2022 නොවැම්බර් 20 වන ඉරිදා

ශ්‍රී ලංකා ක්‍රිකට් නටවන්න හදන ආගමික කල්ලිය

 2022 නොවැම්බර් 20 වන ඉරිදා, පෙ.ව. 06:00 482

ශ්‍රී ලාංකිකයන්ට ක්‍රිකට් ආගමක් හා සමාන යැයි කතාවක් තිබේ. ඒ කෙසේ වෙතත් දැන් ක්‍රිකට් පිළිබඳ ආගමික කතා නම් බොහෝය. එමනිසාම ක්‍රිකට් පාලනය කරන ආගමික කල්ලියක් පිළිබඳ කතාව කිරා මැන බැලීමට අපි තීරණය කළෙමු.
පසුගියදා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාද මෙම සංවාදයට මැදිහත් විය. ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ආගමික කණ්ඩායමක මැදිහත්වීමක් තිබේදැයි සොයා බලන්නැයි පාර්ශ්ව රුසක් ඉල්ලීම් කර ඇති බවයි.

ජාතික කණ්ඩායමේ සාමාජිකයකු වීම සඳහා ඇතැම් ආගමික කණ්ඩායම්වල සාමාජිකයකු වීම මූලික සුදුසුකමක් වන බවට දීර්ඝ කාලයක් තිස්සේ සමාජ මාධ්‍යයෙහි පැතිර ගිය කතා අනුව කියැවුණි. ක්‍රීඩා අමාත්‍යවරයා එය උපුටා දක්වමින් මෙම ඉල්ලීම් තමා වෙත ඉදිරිපත් වී ඇති බව කීවේය.

කෙසේ වෙතත් වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධව ඇදෙන ආගමික නාමය අප සැඟවිය යුතු නැත. ඔහු නමින් ප්‍රොපට් (වක්ත_) ජෙරම් ප්‍රනාන්දුය. ඔහු පෙනී සිටින්නේ දිවැසිවරයෙක් ලෙසයි. ජෙරම් ප්‍රනාන්දු (බෝන් අගේන්) නම් ආගමික කණ්ඩායමකට නායකත්වය සපයන බව කියැවේ.

කෙසේවෙතත් (බෝන් අගේන්) යනු ආගමික කණ්ඩායමක් නොවන බව මෙම පිරිස කියා සිටියි. ඔවුන්ට අනුව එය යම් ආගමික සංකල්පයක් පමණි. එහෙත්, මේ වනවිටත් ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජනය කරන ක්‍රීඩකයන් කිහිපදෙනකුම ප්‍රොපට් ජෙරම් ප්‍රනාන්දු වෙත ගොස් හමාරය. මීට වසර දෙක තුනකට පමණ ඉහත සිට (බෝන් අගේන්) කල්ලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආක්‍රමණය කර ඇති බවට විශාල සමාජ මතවාදයක් නිර්මාණය වූයේ එබැවිනි.

ඒ අනුව ප්‍රොපට් ජෙරම් ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායම ක්‍රිකට් අභ්‍යන්තරයේ සිය බලය පතුරවා හැර ක්‍රීඩක තේරීම් කෙරෙහි බලපෑම් කරන බව පළමුව අසන්නට ලැබුණි. පළමුවරට 2021 පෙබරවාරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් මේ සම්බන්ධ ප්‍රතිචාර දැක්වූයේය. ''අසත්‍ය ප්‍රචාරණ සම්බන්ධ ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පැහැදිලි කිරීම'' යන ශීර්ෂය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කළේය.

එම නිවේදනයට අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සෑම පුද්ගලයකුටම තමන් කැමැති ආගමක් ඇදහීම සඳහා ලබා දී ඇති නිදහසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෞරව කරන බව පැවසිණි. එසේම ක්‍රිකට් ක්‍රීඩාවේ කිසිදු කටයුත්තක් සඳහා පුද්ගලයකුගේ ආගමික ලබ්ධිය සැලකිල්ලට නොගන්නා බව එහි පැහැදිලිව සඳහන් විය. කෙසේ වෙතත් (බෝන් අගේන්) කතාව හෝ ජෙරම් ප්‍රනාන්දු පිළිබඳ සංවාද එතැනින් නිමා නොවුණි. මුලින්ම අදිසි හස්තයක් ලෙස මෙම පිරිස පිළිබඳ කියැවුණ කරුණු අනාවරණය වූ නමුත් පසුව මෙම ආගමික කණ්ඩායම කරළියට පැමිණියේය. දැන් ඔවුහු සමාජ මාධ්‍ය තුළ සිය ප්‍රවර්ධන වැඩසටහන් දියත් කරමින් සිටිති. 

ජෙරොම් ප්‍රනාන්දු යනු ඇමරිකා එක්සත් ජනපදයේ සහ බ්‍රිතාන්‍යයේ දේවධර්මය පිළිබඳ උසස් අධ්‍යාපනයක් ලබා ඇති පුද්ගලයකි. ඔහු දිවැසිවරයකු ලෙස පෙනී සිටීමට පෙර ව්‍යාපාරිකයෙක් සහ ක්‍රීඩකයෙක් ලෙස කටයුතු කර ඇති බව ඔහුගේම වෙබ් අඩවිය හෙළිකරයි. බෝරිස් නම් කොළඹ පිහිටි දේවස්ථානයක අධිපතීත්වය දරයි. ජෙරම් විවාහකයෙකි.

ආමන්ත විජේසූරිය නම් ජාතික රෑපවාහිනියේ හිටපු ක්‍රීඩා මාධ්‍යවේදියකු ජෙරම්ගේ ප්‍රබල අනුගාමිකයෙක් ලෙස පෙනී සිටියි. මේ වනවිට ඔහුද දේවගැතිවරයෙකි. මෑතකාලීන ක්‍රීඩාව සම්බන්ධ සිදුවීම් ඔස්සේ ප්‍රධාන කරළියට ජෙරම් ඔසවා තැබීමේ මූලිකයා ආමාන්තය. භානුක රාජපක්ෂ සම්බන්ධ සිදුවීමක් මෑතකාලීනව ජෙරම් ප්‍රනාන්දු කරළියට පැමිණීමේ මූලික අවස්ථාව ලෙස සැලකිය හැකිය. භානුක ජාත්‍යන්තර ක්‍රීඩාවට සමුදීමට ගත් තීරණය ආපසු හැරවීමට මැදිහත් වූ බව සිය දේව මෙහෙයකදී ජෙරම් ප්‍රනාන්දු පවසා සිටියේය. භානුකවද වේදිකාව මත තබාගෙන ඔහු මේ බව කීවේය. තවද ප්‍රොපට් ජෙරම් ප්‍රනාන්දු කියා සිටියේ තමාගේ දිවැසි වාක්‍ය නිසා හානුක රට හැරයාමේ තීරණය අත්හළ බවයි. ඒ අනුව යමින් ආසියානු කුසලානය දිනා ගැනීමේ ගෞරවයද ඔහු තමා සතු කරගන්නා ආකාරයේ ප්‍රකාශයක් සිදුකළේය.

පසුගිය සමයේ වඩාත් කතාබහට ලක් වූ සිදුවීම් පෙළ ඇරඹියේ මින් අනතුරුවයි. ප්‍රොපට් ජෙරම් ප්‍රනාන්දු ආමන්ත විජේසූරිය සමඟ එක්වී ක්‍රිකට් පිළිබඳ අනාගත වැකි කියන්නට විය. ජෙරම් දේවමෙහෙයන් අතර කී මෙම අනාවැකි පසුව සඵල වූ බව ආමන්ත විජේසූරිය සමාජ මාධ්‍ය වෙත වීඩියෝ වැඩසටහන් මුදාහරිමින් කියා සිටියේය.

ජෙරම් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පස්දෙනකු ආබාධයට ලක්වන බව කී බවත්, එක් ක්‍රීඩකයකු පන්දු වාරයක් අතරමැද කකුල් අල්ලා ගන්නා බවත්, සඳහන් කළේ යැයි අමාන්ත පසුව වීඩියෝවකදී කීවේය. අනතුරුව බිනුර ප්‍රනාන්දුගේ ආබාධය මෙම ප්‍රකාශයන්ට ගැලපීම හේතුවෙන් සමාජ මාධ්‍යයේ විශාල කතාබහක් නිර්මාණය විය. මෙය සැලසුම් සහගත ක්‍රියාවක් බවට සැකයක් පවතින බව ඇතැම්හු කීහ.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියෙන් ඉවත්වන බවට අනාවැකියක්ද ජෙරම් පවසා තිබුණි. එය සඵල වූ බවද පසුව වීඩියෝ වැඩසටහන් සමාජ මාධ්‍ය වෙත මුදාහරිමින් ආමන්ත විජේසූරිය කීවේය. ආමන්ත සිය පැහැදිලි කිරීම සිදුකළේ ජෙරම්ගේ දේශනවල පළවූ අදහස්, වාක්‍ය උපුටා දක්වමිනි. දිවැසිවරයකු වන ජෙරම්ට දෙවියන්වහන්සේ කල් ඇතිව මෙම තොරතුරු ලබාදෙන බව මෙම කණ්ඩායම ජනතාවට ඒත්තු ගන්වන්නට උත්සාහ දරන බව පෙනී ගියේය. සැබවින්ම දේව වාක්‍යවල සත්‍යය කුමක් වුවත්, ඔවුන් ක්‍රිකට් සිය ප්‍රවර්ධන මාධ්‍යයක් ලෙස භාවිත කරන බව එහිදී පැහැදිලි විය.

මෙම දේවගැතිවරයා විසින් සිදුකරනු ලබන්නේ අනාවැකි කීම පමණක් නොවේ. ''මිරකල් ඩෝම්'' නමැති ශාලාවකදී සිය බැතිමතුන් ඉදිරියේ ඔහු විවිධ රෝගීන් සුව කරන බව කියා සිටියි. වකුගඩු රෝගීන්, ශ්‍රව්‍යාබාධිතයන්, හතිය ඇති දරුවන් ජෙරම් සුවකරනු ඔහුගේ වීඩියෝ පට හරහා දැකගත හැකිය. ආමන්ත ඒවාට සාක්ෂිකාරයෙක් වී පසුව වීඩියෝ වැඩසටහන් හරහා තවදුරටත් ප්‍රචාරණය සිදුකරයි.

ඔවුන්ම පවසන පරිදි කටුනායක පිහිටි ''මිරකල් ඩෝම්” නමැති ශාලාව විශ්මකර්ම ස්ථානයකි. නෙළුම් පොකුණට, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට වඩා පහසුකම් ඇති මෙහි අති නවීන ආලෝකකරණ පද්ධති, නවීන කැමරා උපාංග සහ ශබ්ද පාලන පහසුකම් ඇති බව කියැවේ. ඒ වනවිටත් ශ්‍රී ලාංකීය සමාජයේ ධනය බලය හිමි ඉහළ ස්ථරයේ සිටින පිරිසක් ජෙරම්ගේ අනුගාමිකයෝ වී සිටිති. එමනිසාම සුවිශාල ධනස්කන්ධයක් එම ආගමික කණ්ඩායම වටා ගොනු වී ඇති බව ඉතා පැහැදිලිය. කලාකරුවන්, දේශපාලනඥයන්, මැති ඇමැතිවරුන් පවා මෙම පිරිස අතර සිටින බව පසුගිය සමයේ හෙළිදරව් විය.

(බෝන් අගේන්) විරෝධී කණ්ඩායම් සඳහන් කරන්නේ මෙය මාෆියාවක් බවයි. ඇමෙරිකානු ආගමික කල්ලියක් ලෙස ඔවුන් මෙම පිරිස හඳුන්වයි. (බෝන් අගේන්) (Born Again) යනුවෙන් අදහස් කරන මෙම “යළි ඉපදීම” සංවිධානය සඳහා බොහෝවිට පොළඹවා ගනු ලබන්නේ කිසියම් කිතුනු සභාවකට අයත් වන සාමාජික සමාජිකාවන් හෝ කිසියම් දේව ඇදහිල්ලක සිටින පිරිස්ය. කොරියානු බෞද්ධ රාජ්‍යය බිඳ වැටීමටද (බෝන් අගේන්) කණ්ඩායම් මූලික වූ බවට මතවාදයන් ප්‍රකාශයට පත්ව තිබේ.

කෙසේ වෙතත් ජෙරම් යනු ක්‍රීඩකයකු වීමත් ඔහුට ඒ හා සම්බන්ධ යම්දැනුමක් තිබීමත් හේතුවෙන් ඔහු පැවසූ ඇතැම් අනාවැකි සත්‍ය වන්නට ඇතැයි ක්‍රීඩාවට සම්බන්ධ ප්‍රකට චරිත පවසයි. එහෙත් එම ප්‍රකාශ දෙවියන් වහන්සේගේ හෝ වෙනත් බලවේගයක අනුභාවයෙන් සිදුකරනු ලබන්නක් නොවන බව ඔවුහු කියා සිටිති.

කෙසේ වෙතත් ජෙරම් ඇතුළු කණ්ඩායම ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව සිදුකරමින් සිටින මැදිහත්වීම පුළුල්ව විමසා බැලීම වටියි. මන්දයත් එය එන්න එන්නටම බලවත් වන බව පෙනී යයි. එම නිසාම ඔවුනට ක්‍රීඩාව තුළ ඇතැයි කියන බලය සම්බන්ධව මෙන්ම, දෙවියන් වහන්සේගේ අනාවැකි සම්බන්ධවද සොයා බැලීමට ක්‍රීඩා බලධාරීන් කටයුතු කළ යුතුය. ක්‍රීඩා අමාත්‍යවරයා මේ පිළිබඳ අවධානය යොමු කිරීම සාධනීය කරුණකි.

කෙසේ වෙතත් ඕනෑම අයකුට තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය උල්ලංඝනය කිරීමට කිසිවකුට නොහැකි බව පිළිගත යුතුව තිබේ. එහෙත් ආගමක හෝ වෙනත් කල්ලියක උවමනා එපාකම් මත ක්‍රීඩාව සහ දේශපාලනය ආදී ක්ෂේත්‍රවල කටයුතු සිදුවේ නම් කිසිවකුටත් එය අනුමත කළ නොහැක. ආගම් ඇත්තේ ක්‍රීඩාව සඳහා හෝ දේශපාලනය සඳහා නොවේ. ආගම් ඇත්තේ පුද්ගල විමුක්තිය වෙනුවෙනි.

■  චමිඳු නිසල් ද සිල්වා