2022 නොවැම්බර් 20 වන ඉරිදා

තරු හෝටලයක් වගේ ආණ්ඩුවේ රෝහල් ඒකකයක්!

 2022 නොවැම්බර් 20 වන ඉරිදා, පෙ.ව. 06:00 159

බැලූ බැල්මට එය සුපිරි නිවහනක කොටසක් වැනිය. ඇතැම්විට එය තරු පහේ හෝටලයක් වැනිය. ඉතා පිරිසුදු වූ, අලංකාරවත් වූ එය රෝහලකි. එය පෞද්ගලික රෝහලක් යැයි කෙනකුට සිතිය හැකිය. නමුත් සැබැවින්ම එය ජාතික රෝහලකි. මහනුවර ජාතික රෝහලේ ස්නායු ශල්‍ය ඒකකය මෙලෙස අලංකාරවත් ලෙසින් ඉතා පිරිසුදු සහ ක්‍රමවත් ලෙස ගොඩනැගී ඇත්තේ ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඩබ්ලිව්.පී. ලෙස්ලි සිරිවර්ධන මහතාගේ සංකල්පයකට අනුවය.

"මෙම ඒකකය මේ විදිහට ගොඩනැගුණේ මගේ සංකල්පයකට අනුවයි. වෛද්‍යවරයෙක් විදිහට මට මෙතනට එන රෝගීන් වෙනුවෙන් යම්කිසි සේවයක් කරන්න ඕන වුණා. ඒ වෙනස කරන්න හොඳම උපක්‍රමය මේ වාට්ටු සංකල්පය කියලයි මට හිතුණේ. මහනුවර කියන්නෙ ඓතිහාසික තැනක්. එහි ඓතිහාසික වස්තු බොහොමයක් තියෙනවා. ඒ වගේම මෙම ඒකකයේ සිස්ටර් මාරසිංහ හරිම කරුණාවන්ත, හැමෝටම උදව් කරන කෙනෙක්. ඇය මවක් වගෙයි. ඒ නිසා සිස්ටර්ගේ උදව්වෙන් මේ කටයුත්ත කරන්න පුළුවන් වෙයි කියල මට හිතුණා. ඒ අනුව තමයි මම මේ වාට්ටුව ටිකෙන් ටික වෙනස් කළේ." විශේෂඥ වෛද්‍ය ලෙස්ලි සිරිවර්ධන මහතා දේශයට අදහස් දක්වමින් එසේ පැවසීය.

ඔහුගේ උපන් ගම මහරගමයි. අදට ද ඔහු ජීවත් වන්නේ කොට්ටාවේය. පන්නිපිටිය ධර්මාශෝක කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ විශේෂඥ වෛද්‍ය සිරිවර්ධන පසුව පිළියන්දල කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේය. පසුව ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වී අධ්‍යයන කටයුතුවල නිරත විය.

"පුංචි කාලේ ඉඳන්ම මම කලාවට හරිම ආසා කරපු කෙනෙක්. විශේෂයෙන් මගේ අම්මා මාව කලාවට යොමු කළා. මවගෙන් මට ලැබුණු දායාද වගේම සංසාරගතව ගෙන ආ දායාද සියල්ල මේ සියල්ලටම උපකාරී වෙන්න ඇති කියල මට හිතෙනවා. ඒ වගේම මහනුවර වැනි ඓතිහාසික පරිසරයක ජීවත් වීම නිසා මගේ හිතට මෙවැනි අදහස් එන්න ඇතැයි මම විශ්වාස කරනවා. කවුරුවත් රෝහල්ගත වෙන්න කැමැති නැහැ. මෙතනට හදිසි අනතුරක් වී පැමිණෙන රෝගීන්ගෙන් සමහරුන් රෝහල්ගත කරද්දි සිහිය නැහැ. යම් හෙයකින් ඔවුන්ට කොන්ද අමාරුවක් වුණොත් තමයි ස්නායු ශල්‍ය ඒකකය සිහියට නැගෙන්නේ. දරුණු තත්ත්වයකට පත්වුණාට පසුව තමයි බොහෝ රෝගීන් මෙතනට රැගෙන එන්නේ. දුක්ඛ දෝමනස්ස සියල්ලම එක්ක මෙතනට එන රෝගීන්ගේ මානසික සුවය ගැන අපි වැඩිපුර හිතන්න ඕනෙ. මෙවැනි ඒකකයට එන රෝගීන් පුදුම අමාරුවකින්, පුදුමාකාර බයකින් තමයි රෝහල්ගත වෙන්නෙ. මේ වාට්ටුවත් සාමාන්‍ය තත්ත්වයේ වාට්ටුවක් වුණොත් ඒ රෝගීන්ට හැම තත්ත්පරයකම ගෙදර යන්න හිත දේවි. විශේෂයෙන් මේ රෝගීන්ගෙන් බොහොමයක් සුමානයකට වැඩි කාලයක් නේවාසිකව ප්‍රතිකාර ගත යුතු රෝගීන්. ඔවුන් පරිහරණය කරන වැසිකිළි අපිරිසුදු නම් ඒක රෝගියාට කොයි තරම් දුරට බලපානවාද? වැසිකිළි අපිරිසුදු නම් රෝගීන් ආහාර ගන්නෙ නැහැ. එවිට මළබද්ධය ඇති වී වැසිකිළියේදී සිදුවන අධික අපහසුතා හේතුවෙන් ප්‍රෙෂර් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඔළුවේ ගෙඩියක් තියෙන රෝගියෙක් නම් ප්‍රෙෂර් වැඩිවෙලා දරුණු වෙන්න පුළුවන්. සැත්කමකට යොමුවුණු රෝගියෙක් නම් ඒ තත්ත්වය තව දරුණු වෙන්න පුළුවන්. ඒ නිසා රෝහලක වැසිකිළි පිරිසුදුව තැබීම ඉතා වැදගත් වෙනවා." විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් දේශයට පැවසීය.

මහනුවර ජාතික රෝහලේ ස්නායු ශල්‍ය ඒකකය සම්පූර්ණයෙන්ම වෙනස් ආකෘතියකට නිර්මාණය වුණු ඒකකයකි. රෝගීන් සඳහා වෙන්වුණු ආසනයේ සිට සෑම දැව භාණ්ඩයක්ම අපූරු සංකල්පයකට අනුව නිර්මාණය වී ඇති අතර එම දැව වර්ග සොයා ගැනීමට බොහෝ විට වෛද්‍යවරයාට උදව් කර ඇත්තේද ස්නායු ශල්‍ය ඒකකයෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන්ය. ඇතැම් භාණ්ඩ නිර්මාණය කිරීමට උදව් කර ඇත්තේද නේවාසිකව ප්‍රතිකාර ලබාගත් රෝගීන්ය. මෙම ඒකකයේ ඇති 'තේක්ක ලී' සොයාගෙන ඇත්තේ මොණරාගල ප්‍රදේශයේ සිට රෝහල් ඒකකයෙන් ප්‍රතිකාර ලබාගත් රෝගියකු මාර්ගයෙනි. පසුව වෛද්‍යවරයා මොණරාගලට ගොස් තේක්ක ලී මහනුවරට ගෙනැවිත් තිබුණේ දින කිහිපයක් වෙහෙස වී අවශ්‍ය නීතිමය ලියකියවිලි නිසි පරිදි සකස් කර ගැනීමෙන් අනතුරුවය. එය ඉතා වෙහෙසකාරී කටයුත්තක් වුවද අද ඒ සම්බන්ධයෙන් ඔහුගේ හිතේ ඇත්තේ අපූරු සතුටකි.

විශේෂඥ වෛද්‍ය සිරිවර්ධන මහනුවර මහ රෝහලේ ස්නායු ශල්‍ය ඒකකයේ රාජකාරි බාරගන්නා විට මෙය පැවතියේ සාමාන්‍ය වාට්ටුවක් ලෙසය. එම වාට්ටුවට ඇතුළු වනවිට ඔහුට දකින්නට ලැබී තිබුණේ ගොඩගසා තිබුණු පැරණි, ඉවත දැමූ දැව බඩු ගොඩක් පමණි. අනතුරුව ඒකකය බාර සිස්ටර් දැනුවත් කළ වෛද්‍යවරයා ඒ සියල්ල එතැනින් ඉවත් කරලීය. පසුව ඔහු එම කොටසේ රෝගීන්ට අසුන් ගත හැකි අසුන් කිහිපයක් තැබීමට කටයුතු කළේය. ඒ අවට ගැරන්ට් කළේය. සිවිලිමක් ගැසුවේය. ක්‍රම ක්‍රමයෙන් මහනුවර මහ රෝහලේ ස්නායු ශල්‍ය ඒකකයට අමුතු එළියක් එක් කිරීමට වෛද්‍යවරයාට හැකි විය. කලක සිට අලුත් වෙමින් පැවති ස්නායු ශල්‍ය ඒකකය අද වනවිට වෙනස්ම හැඩයක් ගත් ස්නායු ශල්‍ය ඒකකයකි.

හේමමාලා සහ දන්ත කුමරු යනු පුරාණ මහනුවරට සම්බන්ධ දෙපළකි. මෙම ඒකකයට ඇතුළු වෙන ඕනෑම කෙනකුට මුලින්ම ඇස ගැටීමට සලස්වා ඇත්තේ ද හේමමාලා සහ දන්ත කුමරුගේ විශාල ඡායාරූපයයි. ඇස්බැස්ටෝස් තහඩු ගෙන ඒවා පුපුරවා, පලා නැවත අලවා පැරණි ඡායාරූපයක් ලෙස නිම කළ මෙහි නිර්මාණකරුවා අමරනාත් නම් ශිල්පියාය. ඔහු ද මෙම ඒකකයෙන් ප්‍රතිකාර ලබාගත් රෝගියෙකි. උඩරට නැට්ටුවකුගේ විශාල ඡායාරූපය ද තවත් රෝගියකුගේ නිර්මාණයකි. ලී කැටයම් සියල්ලම මහනුවරට ආවේණික වුණු කැටයම්ය. 

"මෙම ඒකකයෙන් ප්‍රතිකාර ලබාගත් සෑම රෝගියකුම සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් පොතක් තියෙනවා. ඒ හැම රෝගියකුම මේ ඒකකය සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර තමයි පළ කරලා තියෙන්නෙ. ප්‍රතිකාර, රැකබලා ගැනීම, සන්නිවේදනය සහ භෞතික සම්පත් තිබීම ආදිය සම්බන්ධයෙන් ඉතා හොඳ ප්‍රතිචාර ඔවුන්ගෙන් අපිට මේ දක්වාම ලැබිලා තියෙනවා." විශේෂඥ වෛද්‍ය ලෙස්ලි සිරිවර්ධන මහතා පවසයි.

රජයේ රෝහලකට යන බොහෝ රෝගීන් පවසන දෙයක් වන්නේ රෝහලේ බොහොමයක් වෛද්‍යවරුන් දෙවිවරුන් ලෙස සැලකුවද හෙදියන්ගේ සිට සුළු සේවකයන් දක්වා වූ පිරිස රෝගීන්ට සලකන අන්දම සම්බන්ධයෙන් සෑහීමට පත්විය නොහැකි බවය. එහෙත් මහනුවර ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකයේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. 

"කොහේ හරි තැනක් දියුණු කිරීමට අවශ්‍ය නම් මුලින්ම සම්පත් ලබා දිය යුතු වන්නේ අඩු සම්පත් ලබන අයටයි. අපේ ඒකකයේ වෛද්‍යවරුන් ඉන්නේ දස දෙනයි. සුළු සේවකයන් විසි දෙනෙක් ඉන්නවා. වෛද්‍යවරුන් අවශ්‍ය ප්‍රතිකාර තීරණය කළාට රෝගීන්ට මුල සිටම අවශ්‍ය සියලුම උදව් පදව් ලබා දීලා රෝගීන්ව නැගිටුවා ගන්නේ මෙම ඒකකයේ සේවය කරන සුළු සේවකයන්ගේ ආදරයයි. ඒ නිසා ඒ අයට අපි හැමදාමත් ගෞරව කරනවා. වෛද්‍යවරුන්, හෙද කණ්ඩායම, සුළු සේවකයන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයම එකම කණ්ඩායමක් විදිහටයි අපි සලකන්නේ. මේ කණ්ඩායම් හතරටම උණුවතුර කරාම තියෙනවා. ඒ හැමදෙනාටම වෙන් වෙන් වශයෙන් වැසිකිළි, කබඩ්, මේස, විදුලි පංකා සම සමව ලබා දීලා තියෙනවා. මට පුළුවන් උපරිමයෙන්ම ඒ හැමදෙනාම රැකබලා ගනිමින් තමයි මම ඔවුන්ගෙන් සේවය ලබාගන්නේ. හැම මාසයකම මෙම ඒකකයේ බණක් පවත්වනවා. මුළු කාර්ය මණ්ඩලයේම අයගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර මම ලබා දෙනවා. මුළු කාර්ය මණ්ඩලයේම ඇස් කන් ප්‍රධාන පෙළේ ආයතනයකින් පරීක්ෂා කළා. මේ වෙද්දි අපි දළදා මාලිගාවේ ඇතුළු මාලිගාවේ අවස්ථා හතරකදීම උදේ හයට පූජා පැවැත්වුවා. ඒ හැම එකකටම හැම සේවක සේවිකාවක්ම අපි එකතු කර ගත්තා. ඒ නිසා මේක කණ්ඩායම් හැඟීමෙන් කරන කටයුත්තක්." යැයි ද විශේෂඥ වෛද්‍ය ලෙස්ලි කරුණාරත්න මහතා පැවසීය.

"මේ සියලු කටයුතු නිසි පරිදි කර ගන්නට මට මහනුවර ජාතික රෝහලේ සිටි සියලුම අධ්‍යක්ෂකවරුන්ගේ සහයෝගය ලැබුණා. ඒ වගේම අධ්‍යක්ෂක වෛද්‍ය රත්නායක මහතා ඉතාම ආදරයෙන් මතක් කරන්න ඕනෙ. ඔහු මාව හොඳටම තේරුම් අරගෙන මට හැමදේටම උදව් කළා. ඒ වගේම මගේ ආදරණීය බිරිඳ දිමුතු කාරියවසම් ඉතා ආදරයෙන් මතක් කරනවා. අවුරුදු දහයක් තිස්සේ මේ දේවල් රෝහලට කරද්දි මට ඒ නිදහස ලබා දීලා අපේ දරුවන් දෙන්නත් ගෙදර වැඩත් බලාගන්නේ ඇයයි. ලොකු පුතා දැන් කොළඹ වෛද්‍ය පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබනවා. දෙවැනි පුතා ලබන වසරේ උසස් පෙළ කරනවා. ඒ වගේම අපේ ඒකකයේ වැසිකිළි පද්ධතිය අලුතින්ම සාදා අදටත් එය පිරිසිදු කරන සේවකයාට මාසික වැටුප ලබා දෙන්නේ මහනුවර ශ්‍රියානි ඩ්‍රෙස්පොයින්ට් ආයතනයේ අධිපති සෙල්වරාජ් මහතායි. ඔවුන් වැනි මිනිසුන් ඉඳිද්දි මේ දේවල් සුන්දරව රැකබලා ගන්න අපහසු වන්නෙ නැහැ." යැයි ද ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.පී. ලෙස්ලි සිරිවර්ධන මහතා කියයි. 

I දිශානි ජයමාලි කරුණාරත්න