2022 නොවැම්බර් 20 වන ඉරිදා

මෙවර අයවැයේ යෝජනා සහ අපේක්ෂා

 2022 නොවැම්බර් 20 වන ඉරිදා, පෙ.ව. 06:00 34

2023 වසර සඳහා වූ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 14දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මෙවර අයවැය තරුණ පරපුර අපේක්ෂා කරන ක්‍රමවේදයේ වෙනසක් සහිතව නව ආර්ථිකයක් නිර්මාණය කරන එකක් බවයි. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ තරගකාරී නවීන ආර්ථිකයක් සඳහා වූ අපේ ගමන මෙම අයවැයත් සමග ඉදිරිපත් කරන අතර, මෙය සකස්කර ඇත්තේ නිදහසින් වසර 100ක් සපිරෙන 2048 වනවිට ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීමේ අභිලාෂයෙන් බවකි. ''ශ්‍රී ලංකාව නව ආරම්භයක් කරා'' යන තේමා පාඨය මුල්කරගෙන මෙම අයවැය ලේඛනය සකස් කර තිබෙන බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

මෙම අයවැය ලේඛනය තරුණ පරපුර උදෙසා විශේෂ යෝජනාවලින් සමන්විත වන අතර ජනාධිපතිවරයා ආරම්භයේදී පැවසුවේ තරුණ තරුණියන්ට යහපත් හෙට දවසක් උදා කරවීමේ අරමුණෙන් සකස් කර ඇති බවය.

''තරුණ තරුණියන්ගේ යහපත් හෙට දවසක් වෙනුවෙන් උද්ඝෝෂණ, අරගල, වැඩවර්ජන වැනි සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමවේදවලින් ඔබ්බට ගොස් අලුත් ප්‍රවේශයක්, අලුත් වැඩපිළිවෙළක් සකස්කර ඔවුන්ගේ අපේක්ෂාවලට ගැලපෙන නව ආර්ථිකයක් නිර්මාණය කර ගනිමු.'' යැයි ජනපති අයවැය කතාව ආරම්භ කරමින් පවසා තිබේ. අප නව ආර්ථිකයක් නිර්මාණය කරන්නේ රටේ ජාතික සම්පත වන තරුණ තරුණියන් වෙනුවෙන්, ''ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන්'' යැයි හෙතෙම අවධාරණය කර ඇත. රටේ පවතින ආර්ථික අර්බුදයේ සැබෑ තත්ත්වය නිශ්චය කරගෙන තරුණ පරපුර ඒවා කෙරෙහි දක්වන ප්‍රතිචාර හඳුනා ගැනීමට ප්‍රමුඛත්වය දී ඇති බව සඳහන්ය. රටේ සැබෑ ජාතික සම්පත තරුණ පරපුරයි. ඒ තරුණ පරපුරට අධ්‍යාපන සමාජ සහ ආර්ථික අවස්ථා නිර්මාණය කරදීම වෙනුවෙන් අප මෙතෙක් කර ඇති කාර්යභාරය ගැන සෑහීමකට පත්වන්න පුළුවන්ද යනුවෙන් ජනාධිපතිවරයා අයවැය කතාව ආරම්භ කරමින් විමසා ඇත. මේ අනුව පෙනී යන්නේ මෙවර අයවැය සකස් කිරීමේදී තරුණ පරපුර කෙරෙහි වැඩි අවධානයක් යොමුකර තිබෙන බවය. එයට හේතුව පසුගියදා ඇතිවූ තරුණ අරගලයට හේතු වූ කරුණු පිළිබඳ විශේෂයෙන් සලකා බැලීමෙන් බව පෙනෙන්නට තිබේ.

මෙම අයවැය ආර්ථික ඉලක්ක පහක් සපුරා ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද්දක් බව පවසා ඇත.

1. සියයට 7-8ක තරමේ ඉහළ ආර්ථික වර්ධනයක් ඇති කිරීම.
2. ජාත්‍යන්තර වෙළෙඳාම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට සියයකට වඩා ඉහළ නංවා ගැනීම.
3. 2023 සිට 2032 දක්වා නව අපනයන මඟින් ඩොලර් බිලියන තුනක වාර්ෂික වර්ධනයක් සිදු කිරීම.
4. ඉදිරි වසර 10 තුළ වාර්ෂිකව ඩොලර් බිලියන 3කට වඩා ඍජු විදේශ ආයෝජන ලබා ගැනීම.
5. ජාත්‍යන්තර වශයෙන් තරගකාරී ශ්‍රම බලකායක් ඉදිරි වසර 10 තුළදී නිර්මාණය කිරීම.

මෙම ඉලක්කවලට එළඹීම සඳහා අයවැය තුළින් විධිමත් ක්‍රියාමාර්ග ගෙන ඇතිදැයි සොයාබැලීම වැදගත් වේ.

''මේ අයවැයෙන් අප කරන්නේ ලෝකයටම ණය වෙමින් මඟුල් කන තාලයේ වැඩක් නොවෙයි. මේ අයවැයෙන් අප කරන්නේ අපේම ශක්තියෙන් නැගී සිටින්නට පුළුවන් පදනමක් සකස් කිරීමක්...''

යනුවෙන්ද ජනාධිපතිවරයා අයවැය ඉදිරිපත් කරමින් පවසා ඇත. මේ අනුව පෙනීයන්නේ මෙවර අයවැයේ පරමාර්ථය ජනතාව සතුටු කිරීමට වඩා ස්ථාවර ආර්ථික වැඩපිළිවෙළක් සකස් කිරීම බවය. එහෙත් එය සාර්ථකද යන්න පිළිබඳ සමාලෝචනයක යෙදිය හැක්කේ අවම වශයෙන් ප්‍රකාශිත වර්ෂය අවසානයේදී බව පැවසිය යුතුය. මෙතෙක් කල් අපේ රටේ ඉදිරිපත් කළ අයවැය පිළිබඳ පසු විපරමක් සිදුකර ඇතිද යන්න පිළිබඳ නැගෙන්නේ ප්‍රශ්නාර්ථයකි. එම වගකීම මෙයට පෙර ආණ්ඩුවලින් ඉටුකරනු ලැබුවා නම් අද වනවිට රට මෙවැනි අගාධයකට වැටී තිබෙන්නට පුළුවන්කමක් නැති බව පැවසිය යුතුය.

කෙසේ වුවද රාජ්‍ය ආදායම් වර්ධනය කරගෙන ණය ගැනීම් අවම කර ගැනීම සඳහා මෙම අයවැයෙන් ප්‍රමුඛත්වය දී තිබේ. ඒ අනුව ඍජු සහ වක්‍රබදු ඉහළ නැංවීමට අනිවාර්යයෙන් සිදුව ඇත. රාජ්‍ය ආදායම 2021 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.3 දක්වා විශාල ලෙස අඩුව ඇති බව පෙන්වා දෙමින් 2019 වසරේදී සිදුකර ඇති බදු කපාහැරීම් නිසා සිදුව ඇති පාඩුව නිවැරදි කරන බවද ප්‍රධාන වශයෙන් ආදායම් බදු සහ එකතු කළ අගය මත බදු (VAT) ක්‍රමයේ වෙනස්කම් සිදුකරන බවද සඳහන් කර ඇත. බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම මගින් 2023 වසරට සහ ඉන් ඔබ්බට ආදායම ඉහළ නංවාගෙන මුදල් මුද්‍රණය කිරීම නවතන බවටද ප්‍රතිඥා දී ඇත.

විදුලිය, ප්‍රවාහනය සහ ඉන්ධන ඇතුළු අංශ සඳහා වැට් බදු නිදහස් කිරීම නිසා අහිමි වූ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1 ඉක්මවා ගොස් ඇති නිසා 2023 අප්‍රේල් 01 දා සිට මෙම බදු නිදහස් කිරීම් නවත්වන අතර එයට අවශ්‍ය සංශෝධන ගෙන එන බවද පවසයි. රජය මගින් ඇතැම් සේවකයන්ගේ උපයන විට ගෙවීම් බද්ද ගෙවන බව අනාවරණය වී ඇති අතර 2023 ජනවාරි 01දා සිට එලෙස ගෙවීම් කිරීම අත්හිටුවන බවද පවසා තිබේ. බීඩි භාවිතයෙන් ජනතාව බේරාගැනීමේ අරමුණෙන් බීඩියක් මත රුපියල් 2ක බද්දක් පනවා ඇති අතර බලපත්‍ර ගාස්තුද ඉහළ නංවා තිබේ.

2023 ජනවාරි මස සිට ක්‍රියාත්මක වන පරිදි තීරුබදු අනුපාත සියයට 15 සහ 20 වශයෙන් සංශෝධනය කර තිබේ. දේශීය කර්මාන්ත දිරිගැන්වීම සඳහා ලබන ජනවාරි සිට සෙස් බද්ද වසර තුනකින්ද වරාය හා ගුවන් තොටුපොළ බද්ද වසර පහකින්ද මුළුමනින්ම ඉවත් කිරීමට අයවැය තුළින් යෝජනා කර තිබේ. එසේම බදු නොවන විවිධ ගාස්තු සියයට 20කින් ඉහළ නංවන අතර එහිදී විදේශ ගමන් බලපත්‍ර ගාස්තු සහ වීසා ගාස්තුද ඉහළ නංවනු ඇත.

බදු පරිපාලනය විධිමත් කිරීම සඳහා අවුරුදු 18ට වැඩි සෑම අයකුටම බදු ලිපිගොනුවක් විවෘත කිරීමට යෝජනා කර ඇති අතර, බදු නිදහස් සීමාවෙන් ඉහළ අය හඳුනා ගැනීමට සුවිශේෂ ක්‍රියාමාර්ග ගන්නවා ඇත.

එසේම වියදම් කළමනාකරණය පිළිබඳ විවිධ යෝජනා අයවැය කතාව තුළින් ඉදිරිපත් කර ඇති අතර වියදම් පරිපාලනය කිරීම වෙනුවෙන් ''ඉන්ස්පෙක්ටර් ජනරාල්''වරයකු පත්කිරීම සහ නව රාජ්‍ය මුදල් කළමනාකරණ පනත හඳුන්වාදීමටද යෝජනාකර තිබේ. එසේම රාජ්‍ය වියදම් දැඩි ලෙස පාලනය කිරීම සඳහා චක්‍රලේඛ උපදෙස් දැනටමත් නිකුත් කර ඇති බවද සඳහන්ය. මෙයට අමතරව රාජ්‍ය වියදම් නිසි ලෙස කළමනාකරණය කිරීම සිදුවේද යන්න අධීක්ෂණය කිරීම සඳහා මුදල් අමාත්‍යංශයට අනුබද්ධ ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ජාතික මෙහෙයුම් මැදිරියක් ස්ථාපනය කිරීමටද යෝජනා වී තිබේ. ක්ෂුද්‍රමූල්‍ය හා ණයදෙන ආයතනවල පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරියක් ස්ථාපනය කිරීමටද යෝජනා වී තිබේ.

මෙම අයවැය මගින් විශේෂයෙන් සමෘද්ධි, වැඩිහිටි, විවිධ හැකියා ඇති අයගේ සහ වකුගඩු රෝගීන්ට ගෙවන දීමනා වැඩිකරන අතර විශාල කොටසක් පොරොත්තු ලේඛනවල සිටින නිසා ඔවුන්ට සහන සැලසීම සඳහා අත්‍යවශ්‍ය පුද්ගලයන් සොයාබලා ඔවුන්ට 2023 වසර මුළුල්ලේ ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කෙරේ. ලක්ෂ 30කට අධික සමෘද්ධි, වැඩිහිටි, විවිධ හැකියා ඇති අය හා වකුගඩු රෝගීන්ගේ දීමනා ලබන 726,000කට අධික පවුල්වල සාමාජිකයන්ට 2022 අතුරු අයවැයෙන් ගෙවන දීමනාව තව මාස හතරක් සඳහා දිගටම ගෙවීමට යෝජනා කර තිබේ.

මාස 4ක් සඳහා යෝජිත සහන රුසකි. මාසික සමෘද්ධි දීමනාව රුපියල් 3000 දක්වා ඉහළ නංවා ඇති අතර වයස අවුරුදු 70 සිට 100 දක්වා වැඩිහිටියන්ට රුපියල් 3000ක අමතර දීමනාවක් ගෙවීමටද යෝජනා කර තිබේ. ආබාධිත අඩු ආදායම්ලාභීන්ගේ දීමනාව රුපියල් 2500කින් ඉහළ නංවා ඇති අතර ආර්ථික දුෂ්කරතාවලට පත්වූවන්ට රුපියල් 5000ක දීමනාවක්ද යෝජිතය.

එසේම වයස අවුරුදු 5ට අඩු උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ පෝෂණ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 500ක් අයවැය මගින් වෙන්කර තිබේ. කෘෂි ව්‍යවසාය ගම්මාන 10ක් ස්ථාපනය කිරීම උදෙසා රුපියල් මිලියන 250ක්ද වෙන්කර ඇත.

ත්‍රෛයිලෝක විජය පත්‍ර බෝගය අපනයනය සඳහා ඇති හැකියාවන් සොයාබැලීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමටද අයවැය මගින් යෝජනා කර ඇත. මෙය අද වනවිට සමාජයේ දැඩි කතාබහට ලක්වෙමින් පවතින යෝජනාවකි.

මෙහිදී අධ්‍යාපන අංශවලටද වෙනදා නොමැති සහන හිමිව ඇති අතර උසස් පෙළ විභාගය උසස් ලෙස සමත් වූ 75 දෙනකුට විදෙස් සරසවි ශිෂ්‍යත්ව හිමිවන අතර, උපාධිධාරී විශිෂ්ටයන් 75කට පශ්චාත් උපාධි ලබා ගැනීමට විදෙස් ශිෂ්‍යත්ව හිමිවේ. වෛද්‍යවරුන් සඳහා දිරිගැන්වීම් ක්‍රියාත්මක අතර, ඔවුන් සඳහා රුහුණ, පේරාදෙණිය, යාපනය යන සරසවිවල පශ්චාත් වෛද්‍ය උපාධි ලබාදීමටද කටයුතු කෙරේ. එසේම ඌළු වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයක් ඇති කිරීමටද මුදල් වෙන්කර තිබේ.

මේ අනුව අපට පෙනීයන්නේ රටේ ආර්ථිකයේ යම් ආකාර වර්ධනයක් ඇති කිරීමට අයවැය තුළින් උත්සාහ කර ඇති බවය. එසේ වුවද ඇතැම් ධනාත්මක අයවැය යෝජනාවල ප්‍රතිඵල ලබාගත හැක්කේ ඒවා යෝජනා කිරීමෙන් ඔබ්බට ගොස් යථාර්ථයක් බවට පත් කිරීමට සමත් වේ නම් පමණකි. එහෙත් අපේ රටේ අයවැය ලේඛන පිළිබඳ පසුවිපරමක් කරන විට පෙනී යන්නේ ඒවායේ සඳහන් යෝජනාවලින් අඩක් හෝ නිසි පරිදි ක්‍රියාත්මක කර නොමැති බවය. අයවැය ලේඛන ඉලක්කම් විජ්ජාවක් බවට බොහෝ දෙනා නිර්වචනය කිරීමට පෙළඹී ඇත්තේ ඒවා ප්‍රායෝගිකව ක්‍රියාවට නැගීමට අපහසු වන බැවිනි. එහෙත් මෙවර 2023 අයවැය ලේඛනය හෝ යථාර්ථවාදී වන්නේ නම් දුක් ගොඩක වැටී සිටින ජනතාවට කිසියම් සහනයක් ලැබෙනු ඇත.

■  යසවර්ධන රුද්රිගු