2022 නොවැම්බර් 20 වන ඉරිදා

දිගින් දිගට ඇදෙන ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම

 2022 නොවැම්බර් 20 වන ඉරිදා, පෙ.ව. 06:00 32

සිවිල් සමාජය ඇතුළු පාර්ශ්ව රැසක් දිගින් දිගටම ඉල්ලා සිටි ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ කල් මැරීමේ ක්‍රියා කලාපය හේතු කොට ගෙන මුළුමනින්ම ඇනහිට තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ යැයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබේ. සිවිල් නියෝජිතයන් පත් කිරීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ එකඟතාව මෙතෙක් පළ නොවීම හේතු කොට ගෙන මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි එම වාර්තාවල සඳහන් විය. මෙම තත්ත්වය හේතු කොට ගෙන ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමේ බලය හිමි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සාමාජිකයන් පත් කිරීම උග්‍ර ගැටලුවක් වී ඇතැයිද ඉහත ආරංචි මාර්ග පෙන්වා දී තිබිණි.

එම ප්‍රකාශ සම්බන්ධයෙන් පසුගිය 15 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ විපක්ෂ නායකවරයා කියා සිටියේ එය සාවද්‍ය ප්‍රකාශයක් බවටය. ව්‍යවස්ථාදාක සභාව ස්ථාපනය වූයේ 21 වැනි සංශෝධනයට සමගි ජනබලවේගය සහයෝගය දැක්වීම නිසා යැයි ඔහු එහිදී ප්‍රකාශ කළේය. ''කබීර් හෂීම් මන්ත්‍රිවරයා ව්‍යවස්ථාදායක සභාවට අපගේ පාර්ශ්වයේ මන්ත්‍රිවරයා ලෙස නම් කිරීමට අප තීන්දු කර තිබෙනවා. අපි කිසිම අයුරකින් කල් මරා නැහැ. මෙවැනි බොරු ප්‍රවෘත්ති මවන්නේ මැතිවරණයක් ලබා දීමට කටයුතු කරන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාව සහ මෙරට පොදුජනතාව වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් කොමිසමේ සභාපතිතුමිය ඉවත් කරන්නයි. මෙවැනි වැරදි ප්‍රවෘත්ති පළකරන අය පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ගෙන්වා විභාග කරන ලෙස ඉල්ලා සිටිනවා'' යැයි ප්‍රකාශ කළේය. මෙහිදී කතානායකවරයා ප්‍රකාශ කළේ විවිධ හේතුන් මත අවසන් තීරණය ගැනීම මෙම සතිය තෙක් කල් දැමීමට සිදු වූ බවත් සජිත් ප්‍රේමදාස මහතා සෑම රැස්වීමකටම සහභාගී වූ බවත්ය.

ශ්‍රී ලංකාවේ ස්වාධීන කොමිෂන් සභා ඇති කිරීම මෑතකාලීනව ඇති වූ අදහසක් නොවේ. එවැනි කොමිෂන් සභා පිහිටුවීමේ වැදගත්කම පෙන්වා දුන්නේ  1998දී ආචාර්ය නීලන් තිරුචෙල්වම් විසිනි. මෙරට වැදගත් ඇතැම් ආයතන පාලනය කිරීම රජයේ නිලධාරියකු අත පැවැතීම ප්‍රජාතන්ත්‍රවාදයට යම් අයුරක  අනතුරක් ලෙස සැලකූ ඔහු ව්‍යවස්ථාදායක සභාවකට අනුරූපි වන පරිදි පුද්ගලයන් කිහිප දෙනකුගෙන් සමන්විත කමිටුවක්  නොහොත් කොමිෂන් සභාවක් එකී වැදගත් ආයතන සඳහා පත්කිරීම සදුසු බවට පෙන්වා දුන්නේය. දේශපාලනීකරණය හා ළැදියාවන් අතර ගැටුම යනු මෙරට රාජ්‍යකරණය හමුවේ පවත්නා බරපතළම අභියෝගවලින් එකකි. එය වඩාත් තීව්‍ර කරනු ලබන සාධකය බවට පත්ව ඇත්තේ විධායක ජනාධිපති ධුරයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන ප්‍රකාර කවර සංවරණ හා තුලන ක්‍රමවේදයක් සහතික කර තිබුණේ වුවද රජයේ සියලු තීරක ආයතන මත පතිත වී ඇති විධායක ජනාධිපති ධුරයේ සෙවණැල්ල පහසුවෙන් මඟහැරිය හැක්කක් නොවේ. එවන් පරිසරයක කොමිෂන් සභා පිහිටුවීම නිසැකවම ශ්‍රී ලාංකීය සමාජයට වෙනසක් කළ  අදහසක් බව පැහැදිලිය. 

කොමිෂන් සභා පත්කිරීමේ මුඛ්‍ය අරමුණ වූයේ රාජය සේවය නිර්දේශපාලනීයකරණය කිරීමය. එමෙන්ම දේශපාලන අභිමතය පරිදි තමන්ගේ හිතවතුන් නිලතලවලට පත් කිරීම නතර කිරීමද එහි තවත් අපේක්ෂාවක් විය. 17 සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධන මගින් මෙම කොමිෂන් සභාවලට යම් බලතල පැවරුණු අතර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ආපස්සට හැරවිණි. 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එය යළි බලාත්මක කළ බව පැවසිණි. කොමිෂන් සභා පිහිටුවීමේ පූර්ණ බලැති අධිකාරිය හොබවන්නේ ව්‍යවස්ථාදායක සභාවයි. එහි සංයුතිය තුළ පුරවැසි නියෝජනයට ද අවස්ථාවක් හිමිව ඇත. එහෙත් නිර්දේශපාලනීකරණය මුඛ්‍ය අරමුණ වුවද එහි, වැඩි හඬක් හිමිව ඇත්තේ පාර්ලිමේන්තු නියෝජිතයන් සතුවය.

මැතිවරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, ජාතික පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ පිළිබඳ විමර්ශන කොමිසම, විගණන සේවා කොමිසම,‍ හා අධිකරණ සේවා කොමිසම, ජාතික ප්‍රසම්පාදන කොමිසම පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ කොමිෂන් සභාය. ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමේ බලය ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට වන අතර එහිදි ව්‍යවස්ථා සභාවට අගමැතිවරයා, කථානායකවරයා සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාවෙන් පත් කෙරෙන සිවිල් සංවිධාන නියෝජිතයන් පත් කිරීමට නියමිතය.

ස්වාධීන කොමිෂන් සභා පත්කිරීම ප්‍රමාද වීමෙන් රටේ නිර්මාණය වන තත්ත්වය පිළිබඳව අප විද්වත් දෙපළකගෙන් විමසා බැලුවෙමු. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ  පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමට නම් ව්‍යවස්ථාදායක සභාව පත් කළ යුතු බවයි. ''ව්‍යවස්ථාදායක සභාව පත් කිරීම සඳහා මේ වන විට නාම යෝජනා කැඳවා තිබෙනවා. ඒ සඳහා ඉදිරිපත්වන පුද්ගලයන්ටම අයැදුම් කරන ලෙසයි ඔවුන් දන්වා තිබෙන්නේ. ඉදිරිපත් වන පුද්ගලයන්ගෙන් ඉල්ලුම්පත් නොකැඳවා ඒ සඳහා වෙනත් පුද්ගලයන් මගින් සුදුසු පුද්ගලයන් නම් කර එවීමේ ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන ලෙසට අපි කතානායකවරයාට ලිපියක් යැවීමට කටයුතු කරමින් සිටිනවා. එමෙන්ම එම ක්‍රියාවලිය පාරදෘශ්‍ය ක්‍රියාවලියක් විය යුතුයි. ස්වාධීන කොමිෂන් සභා පත්කරන විටත් ඉතා ප්‍රවේශමෙන් නිර්නායකයන්ට යටත්ව සිදු කළ යුතුයි. විශ්‍රාමික රාජ්‍ය සේවකයන් කිහිප දෙනෙක් පත් කිරීමෙන් හෝ  නීතීඥයන් කිහිප දෙනෙක් පත් කිරීමෙන් හෝ සිවිල් සමාජයේ කිහිප දෙනෙක් පත් කිරීමෙන් හෝ ඒවා ස්වාධීන කොමිෂන් සභා බවට පත් වෙන්නේ නැහැ. ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්ගෙන් 7 දෙනෙක්ම ඉන්නේ දේශපාලනඥයෝ. ඔවුන් වැරදි විධියට කටයුතු කරන්නේ නම් එම මතවාදයන් හා ගැටෙන්නට හැකි පෞරුෂයක් සහ දැනුමක් සහිත පොදු සමාජයේ පිළිගැනීමක්  තිබෙන පුද්ගලයන් ඒ සඳහා පත් විය යුතුයි. එසේ නොමැතිව නාමිකව කොමිෂන් පත්වුණාට රටට ප්‍රයෝජනයක් නැහැ.

විපක්ෂ නායකවරයා මෙය ප්‍රමාද කරන බවට නම් අපට තොරතුරු ලැබිල නැහැ. මේ වන විට ඔවුන් මුණ ගැසී කිසියම් එකඟතාවකට පැමිණ ඇති බව අපට වාර්තා වුණා. එලෙස එකඟතාවකට පැමිණ ඇත්තේ ඉදිරිපත්වන පුද්ගලයන් විසින්ම නොවැම්බර් 28 වැනිදාට පෙර අයැදුම්පත් ඉදිරිපත් කළ යුතුය යන ක්‍රමවේදයකටයි. එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම වැරදි බවයි මගේ මතය. ඊළඟ කොමිෂන් සභාව පත් කෙරෙන තුරු දැනට තිබෙන කොමිෂන් සභාව වලංගු බැවින් කොමිෂන් සභා පත් කිරීම ප්‍රමාද වීමෙන් රටට විශාල බලපෑමක් සිදු වන්නේ  නැහැ. දැනට ඇති කොමිෂන් සභා පත් වූයේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ. අලුත් කොමිෂන් සභා පත්වන්නේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ව්‍යවස්ථා දායක සභාවක් යටතේ. ඒ නිසා එහි විශේෂත්වයක් තිබෙනවා. කොමිෂන් සභා කඩිනමින් පත් කෙරෙනවා නම් හොඳයි. ඒ වගේම දැනට හොඳින් ක්‍රියාත්මක වන කොමිෂන් සභා තිබේනම් ඒවායේ සිටින සාමාජිකයන් පිළිබඳවද සලකා බැලීම වැදගත්.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ  විපක්ෂ නායකවරයාගේ කල්මැරීම හේතුවෙන් කොමිෂන් සභා පත් කිරීම ප්‍රමාද වනවා යන්න පිළිගත නොහැකි බවටය. ''21 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව විපක්ෂනායකට තනියෙන් කල්මරන්න බැහැ. සාමාජිකයන් පත් කිරීමේ සම්පූර්ණ බලය කතානායකවරයාට සහ අගමැතිවරයාටත් තිබෙනවා. ඔවුන් දෙදෙනා මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නවා නම් විපක්ෂනායකවරයාට ස්වයංක්‍රීයවම ඊට දායක වෙන්න සිදු වෙනවා.

ස්වාධීන කොමිෂන් සභා නිර්මාණය කිරීමට 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් රැකුලක් ලැබී තිබෙනවා යැයි කිසිවකු සිතන්නේ නම් එය සිහිනයක් පමණයි. 17 සහ 19 වැනි වැනි ව්‍යවස්ථා සංශෝධන මගින් ලබා දුන් ජීවය නව ව්‍යවස්ථා සංශෝධනය තුළින් ලැබෙන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රධාන කාරණා තුනක් යටතේ ලබා දුන් තීන්දුවම මෙයටත් ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයාගේ බලතල සම්බන්ධයෙන් ජනමත විචාරණයක් අවශ්‍ය බව මෙවර ඔවුන් පෙන්වා දී තිබෙනවා. නව ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක ජනාධිපතිවරයාගේ බලය අවම වන්නේ නැහැ. මෙතෙක් පත්කරන ලද කොමිෂන් සභාවලින් හෝ ඉදිරියේදී පත් කිරීමට නියමිත යැයි සැලකෙන කොමිෂන් සභා මගින් ශ්‍රී ලංකාවට කිසියම් ප්‍රගතියක් අත්පත් කරගත ගත හැකියැයි මා සිතන්නේ නැහැ. කොමිෂන් සභා පත් කිරීම වැදගත් වුවත් ඒ සඳහා පත් කරන ලද පුද්ගලයන් සම්බන්ධයෙන් ගැටලු පවතිනවා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ප්‍රකාශ කෙරුණේ ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජයෙන් පුද්ගලයන් 6 දෙනෙක් පත් කරන බවටයි. දැම්මේ තුන්දෙනයි. මෙවරත් සිවිල් සමාජයෙන් පුද්ගලයන්  තිදෙනෙක් පත් කිරීමට නියමිතයි. සිවිල් සමාජයෙන් පුද්ගලයන් තෝරා ගැනීමයි. සඳහා බලය ඇත්තේ අගමැති, විපක්ෂනායක හා කතානායකවරයාටයි. එහෙත් බොහෝ විට මෙම පත්වීම් සිදුවන්නේ බලයේ සිටින දේශපාලන පක්ෂයේ අභිමතය අනුවයි. මෙතෙක් පත්වූ කිසිදු කොමිෂන් සභාවකින් ප්‍රගතියක් අත්කරගෙන නැහැ. ව්‍යවස්ථාදායක සභාවට බහුතරයක් තෝරාගන්නට වෙන්නේ ජනතාවට එපා වූ, නිසි වරමක් නැති පාර්ලිමේන්තුව තුළින්මයි. කොමිෂන් සභා සංකල්පය වෙනුවෙන් අපි තවමත් පෙනී සිටිනවා. එහෙත් එම කොමිෂන් සභාවලට පත්කරන ඇතැම් පුද්ගලයන් නිසා ඒවා පිරිහීමට ලක්වුණා.''

''ව්‍යවස්ථාදායක සභාවලින් පවා තෝරා ගන්නා පුද්ගලයන්ගෙන් බහුතරය ස්වාධීන අපක්ෂපාතී පුද්ගලයන් නොවන බවයි ජනතා මතය වී තිබෙන්නේ. කොමිෂන් සභාවකින් ජනතාව අපේක්ෂා කරන්නේ ශ්‍රී ලංකාව යහපත් මාවතක් වෙත යොමු කරනු ඇතැයි කියලයි. අවංකවම කොමිෂන් සභා පිහිටුවන්නේ නම් ඒවා දේශපාලන පක්ෂ පාට කණ්ණාඩිවලින් තොර වූ ස්වාධීන පුද්ගලයන්ගෙන් සැදුම් ලත් ආයතනයක් විය යුතුයි.. එහෙත් මෙතෙක් කොමිෂන් සභාවලට පත් වූ කිසිවකුට සමස්ථ රාජ්‍ය සේවය දේශපාලනීකරණයෙන් මුදා ගැනීමට හැකි වූයේ නැහැ. කොමිෂන් සභාවලට පත්වූ බොහෝ පුද්ගලයන් කිසියම් දේශපාලන පක්ෂයකට හිතැතිවූවන් බැවින් ඔවුන් කටයුතු කළේ ඒ ඒ දේශපාලන පක්ෂවල අභිමතාර්ථ ඉටු කිරීමටයි.''  
එහෙත් ඇතැම් කොමිෂන් සභා යම් පමණකට හෝ කිසියම් ස්වාධීනත්වයක් පෙන්නුම් කළ අතර කොමිෂන් සභා පත් කිරීම කඩිනමින් සිදුවිය යුතු බවත් ඒ සඳහා හැකි ඉක්මනින් ව්‍යවස්ථා සභාව පත් කළ යුතු බවත්, මංජුල ගජනායක සඳහන් කළේය.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා