2022 නොවැම්බර් 13 වන ඉරිදා

ගෙදර හතරවැනි තට්ටුවේ එළවළු පළතුරු වවන මාතර දොස්තර මහත්තයා

 2022 නොවැම්බර් 13 වන ඉරිදා, පෙ.ව. 06:00 255

රංජිත් මෙන්ඩිස්.. ඔහු මාතර මහ රෝහලේ මුඛ හා අණුක රෝග විශේෂඥ සායනයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයාය. මාතර වාව්ව ගම් පියසේ උපත ලද රංජිත් දොස්තර මහතා මූලික අධ්‍යාපනය ලැබුවේ වාව්ව කනිෂ්ඨ විද්‍යාලයෙනි. පසුව මාතර රාහුල විදුහලෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලැබීය.

රංජිත් මහතා වෛද්‍යවරයකු සේම දක්ෂ ගොවි මහතෙකි. ඔහු තම සිව් මහල් නිවෙසේ ඉහළම මාලයේ විවිධාකාර බෝග වගා සිදු කරයි. වසර ගණනාවක් තිස්සේ නිවැසියන් ආහාරයට ගනු ලබන්නේ මෙම ගෙවත්තෙන් නෙලාගත් බෝග අස්වැන්නය. රංජිත් දොස්තර මහතාගේ පියා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවය කළේය. ඔහු කුඩා කල සිටම වගා කටයුතුවලට මහා ඇල්මක් දැක්වූ අයෙකි. පාසල් යන කාලෙදිත් ඉඩ ලැබෙන හැම මොහොතකම තම ගෙවත්තේ ඇති ඉඩ ප්‍රමාණයේ වගා කරන්නට ඔහු පුරුදු වී සිටියේය. වගා කටයුතු මෙන්ම සත්ව පාලනය, මී මැසි පාලනය පිළිබඳ අවබෝධයක් පාසල් අවධියේ සිටම ඔහු සතුව තිබිණි.

''2012 වසරේදී තමයි මම මුලින්ම නිවෙස හදන්න පටන් ගත්තෙ. මගේ නිවෙස හදන්න සැලසුම් කරද්දිම ඒ වගාවලට ගැලපෙන පරිදි අත්තිවාරම් පවා දැම්මා. උඩ මහලේ අඩි තුනක පස දැමූ අඩි තිහක පොල් ගසක් වුණත් හදන්න පුළුවන් විදිහට ඉංජිනේරුවන් සමඟ කතාබහ කරල තමයි මේ නිවෙස සැලසුම් කළේ. 2015 දි පමණ නිවෙස සාදා අවසන් වුණා. ඊට පස්සෙ ජල කාන්දුවීම් ඇතුළු අනෙකුත් කටයුතු සියල්ල අවසන් කොට වගා කටයුතු පටන් ගත්තා.'' යැයි වෛද්‍ය රංජිත් මෙන්ඩිස් මහතා දේශයට පැවසීය.

මේ වන විට ඉහළ මාලයේ කිසිදු අඩුවකින් තොරව බොහෝ වගා කටයුතු සිදු කර ඇත. අද වනවිට රංජිත් මහතා ඒ සෑම බෝගයකින්ම අස්වැන්න ලබමින් සිටී. එදිනෙදා පරිභෝජනය කරනු ලබන සියලුම බෝග වර්ග මෙම මාලයේ වගා කර ඇති බව ඔහු කියයි. ඖෂධ වර්ග, එළවළු, අල බෝග, පළතුරු මෙන්ම පලා වර්ග තිස් පහක් පමණ මෙම උඩු මහල් ගෙවත්තේ වගා කර තිබේ.

''අපේ ගෙදරට එදිනෙදා අවශ්‍ය කරන එළවළු පළතුරු සියල්ලම ලබාගන්නෙ මේ ඉහළ මාලයෙනුයි. ඒ නිසා නැවුම් එළවළු පළතුරු රස බලන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. උගුරුස්ස, අඹ, පේර, දොඩම්, දිවුල්, ගස්ලබු, කෙසෙල්, ජම්බු, ලොවි, වෙරළු, ඇඹුල් පේර, පැණි දොඩම්, ඉන්දියන් රතු දෙළුම් ආදී බොහෝ පළතුරු මම වගා කරලා තියෙනවා. බට් ගස් සහ බොන්සයි ක්‍රමයට තමයි මම මේ ගස් සියල්ලම වගා කරල තියෙන්නෙ.'' යැයි වෛද්‍ය රංජිත් මෙන්ඩිස් වැඩිදුරටත් පැවසීය.

මෙම වගා බිම වර්ග අඩි පන්දහසක ප්‍රමාණයකින් සමන්විතය. එමෙන්ම මෙහි බෝග ඉහළට යන ක්‍රමයට වගා කර ඇති නිසා වැඩි ඉඩ ප්‍රමාණයක වගා කිරීමේ පහසුව ලැබී තිබේ. රංජිත් මහතා පදිංචි වී සිටින්නේ මහ නගර සීමාව තුළය. ඒ නිසාම කාබනික පොහොර ලබාගැනීමට ඇති අපහසුතාවයට විසඳුමක් ලෙස ඔහු බයෝ ගෑස් ක්‍රමයට අවශ්‍ය ගෑස් සහ පොහොර ලබාගනියි. තම නිවෙසේ පමණක් නොව අහළ පහළ නිවෙස්වල ද ඉවත ලන කෑම බීම, එළවළු වර්ගවල කොටස්, මාළු යෙදූ ජලය ඇතුළු ඉවත ලන කොටස් සියල්ල බයෝ ගෑස් තුළට දමා ඔහු ගෑස් නිෂ්පාදනය කරයි. වසර දෙක තුනක සිට ඔහුගේ නිවෙසේ ආහාර පිසිනු ලබන්නේ මෙම ගෑස් මගිනි. එම බයෝ ගෑස්වලින් ඉතිරි වන පොහොර ඉහළට පොම්ප කිරීමේ ක්‍රමවේදයක් ඔහු විසින් නිර්මාණය කර තිබේ. පසුගිය කාලයේ රට පුරා පැවති ගෑස් ගැටලුවට ඔහු මුහුණ දුන්නේ නැත. ඔවුහු සුපුරුදු පරිදි %බයෝ ගෑස්^ වලින් ආහාර පිසගත්හ.

වගා කටයුතු සඳහා ඔහුට බිරිඳ සහ දරුවන් දෙදෙනා ද සහයෝගය ලබා දෙති. ඊට අමතරව වගා කටයුතුවලට ඔහුගේ උදව්වට ගෝලයෙක් ද සිටියි. සෑම දිනකම පැය දෙකක් පමණ වෛද්‍යවරයා මෙම ශාක සමඟ කාලය ගත කරයි. ඒ කාලය තුළදී ඔහු බෝගවලට වැළඳෙන ලෙඩරෝග, ඵලදාව, අවශ්‍ය පොහොර ආදී දෑ පිළිබඳව සොයා බලයි.

කාර්යබහුල රැකියාවක නිරත වෛද්‍යවරයාට මෙම පැය දෙක සිතට මෙන්ම ගතට ද සහනයක් ලබා දෙන හොඳ ඔසුවකි. ඔහු නවීන තාක්ෂණ ක්‍රමවේදයක් අනුගමනය කරමින් ස්වයංක්‍රීයව ජලය හා දියර පොහොර ශාකවලට අවශ්‍ය පරිදි ලබා දෙයි. ඊට අමතරව ඝන පොහොර, ගොම පොහොර ආදිය සති දෙකකට වරක් යොදයි. ගස්වලට වැළඳෙන රෝග සඳහා අවශ්‍ය ඖෂධ ඔහු විසින් සාදා ඇති අතර අවශ්‍ය පරිදි අවශ්‍ය කාලයට එම ඖෂධ ගස්වලට ලබා දෙයි. තාක්ෂණයත් සමඟ දිනකට පැය දෙකක් මෙම ගස් සමඟ ගැවසීම ප්‍රමාණවත් බව ඔහු පවසයි.

''පසුගිය කොවිඩ් කාලයේදී රටේ බොහෝ දෙනා වගා කරන්න පටන් ගත්තා. හැබැයි ඒ වෙද්දිත් අපි අපේම අස්වැන්න නෙලමිනුයි හිටියේ. ඒ නිසා කොවිඩ් කාලෙදි මට ඒක විශේෂයක් වුණේ නැහැ. උඩ තට්ටුවල වගා කරන මධ්‍යම පාන්තිකයන්ගේ සමාජයක් සාදා මම ඔවුන්ට මගේ දැනුම ලබා දුන්නා. මම %වගා බීජ බැංකුවක්^ සාදා ඔවුන්ට මගේ වගා බීජ පවා ලබා දුන්නා. දැනටත් අපි අපේ නිවෙසට විශේෂ අවස්ථාවකට හැර එළවළු කඩෙන් ගෙනල්ලා නැහැ. මම කැරට්, බෝංචි, ලීක්ස්, ගෝවා පවා වගා කරලයි තියෙන්නෙ. මේ වගා කටයුතු සම්බන්ධයෙන් උනන්දු කෙනෙක් ඉන්නවා නම් මම උනන්දුව ඇති කරවනවා. සල්ලි කොච්චර තිබුණත් මේ වගේ නැවුම් එළවළු, පළතුරු, පලා ටිකක් ලැබෙන්නේ නැත්නම් වැඩක් නැහැ. වෙළෙඳපොළේ බොහෝ වෙලාවට රසායනික පොහොර යෙදූ, දින ගණනාවකට කලින් නෙලපු තැලුණු, කුණු වුණු බෝග තමයි තියෙන්නෙ. ඒවායේ නැවුම් බවක් නැහැ. අපේ ගෙදර ඵලදාව නෙලා විනාඩි දහයක් ඇතුළත ආහාර පිසිනවා. ආහාරයට ගන්නවා. මම කුකුළන් කළුකුං පවා ඇති කරනවා. ඒ නිසා මේ දවස්වල රටටම බලපාන බිත්තර මිල, බිත්තර හිඟය මට බලපාන්නෙ නැහැ. මේ දේවල්ලින් හිතට දැනෙන මානසික සතුට සල්ලිවලට ගන්න බැහැ.'' රංජිත් මෙන්ඩිස් මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.

■ දිශානි