2022 නොවැම්බර් 13 වන ඉරිදා

රොෂාන් මහානාම දියණියගේ අපූරු ඩෙසර්ට් කඩේ

 2022 නොවැම්බර් 13 වන ඉරිදා, පෙ.ව. 06:00 83

විවිධ රසැති අතුරුපස සහිත අලෙවිසලක් පසුගියදා විවෘත විය. කොළඹ 07, රොස්මීඩ් පෙදෙසේ විවෘත වුණු මෙය (La Creme – Ceylon) ලෙසින් හැඳින්වේ. හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහතාගේ වැඩිමහල් දියණිය වන රශ්මිකා ලියනගේ මෙම අලෙවිසලේ හිමිකාරිනියයි.

(La Creme – Ceylon) අලෙවිසලේ විවිධ වර්ගයේ අතුරුපස, කේක් තියෙනවා. හැම දෙයක්ම පැණි රසෙන් යුක්ත කෑමයි. මීට අවුරුදු තුනකට විතර පෙර තමයි මම La Creme – Ceylon අතුරුපස නිර්මාණය කරන්න පටන් ගත්තෙ. මුලින්ම අපි කේක් ඇණවුම් තමයි බාරගත්තෙ. ඒ සඳහා මට විශාල ඉල්ලුමක් තිබුණා. මම ඒ හැමදේම කළේ මගේ ගෙදර ඉඳන්. පොඩි බබාලගේ උපන් දින කේක්වලට අපිට විශාල ඉල්ලුමක් තිබුණා. එහෙම කේක් ඇතුළු අතුරුපස හදමින් හිටපු මට අයිස්ක්‍රීම් කේක් හදලා බලන්න ආසා හිතුණා.''

මේ වනවිට La Creme – Ceylon අලෙවිසලට පැමිණෙන බොහෝ දෙනා එහි ඇති (අයිස්ක්‍රීම් කේක්) කැබැල්ලක රස බැලීමට අමතක නොකරති. එමෙන්ම මෙම අලෙවි සලේ ප්‍රධාන අතුරුපස ලෙස නම් දරා ඇත්තේ ද මෙම රසවත් අයිස්ක්‍රීම් කේක් වර්ගයයි.

''කේක් හදන අය ගොඩක් හිටියට අයිස්ක්‍රීම් කේක් හදන අය හරි අඩුයි. ඒ නිසා La Creme – Ceylon අලෙවිසලට එන බොහෝ පාරිභෝගිකයන්ගෙන් අපේ අයිස්ක්‍රීම් කේක් අතුරුපසට විශාල ඉල්ලුමක් තියෙනවා. කුඩා දරුවන් හරිම ආසාවෙන් මෙය රස විඳිනවා.'' රශ්මිකා තම අතුරුපස පිළිබඳ දේශයට විස්තර කළාය.

රශ්මිකා ව්‍යාපාරික කාන්තාවකි. ඇගේ පියා මෙරට පමණක් නොව විදෙස් රටවල බොහෝ දෙනා ද හඳුනන මෙරටට කීර්තියක් ගෙන ආ හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

''මගේ තාත්තා රොෂාන් මහානාම. පුංචි කාලේ ඉඳන් මම අතුරුපස හදන්න, කෑම හදන්න හරි ආසයි. මේ හැමදේම පුංචි කාලේ ඉඳන් මට කියල දුන්නේ මගේ අම්මයි. මම පුංචි කාලෙදි උයන පිහන දේවල් දිහා බලාගෙන හිටියා. අම්මගේ කෑම හරිම රසයි. පහුවෙද්දි අම්මා මාවත් කෑම හදන්න උදව්වට ළං කර ගත්තා. ඒ නිසා ආහාර පිසින්න මගේ හිතේ ආසාවක් ඇතිවුණා. පුංචි කාලේ මම හදන අතුරුපස, කෑමවල රස තාත්තා බලලා ඒවා අගය කළා. විවාහ වුණාට පස්සෙ දෙවතාවක්ම කේක් ඇණවුම් බාරගන්න පටන් ගත්තත් දරුවන් ලැබුණු නිසා එයාලට කාලය වෙන් කරන්න ඕන නිසාම ඒ දේවල් නතර කරල දාන්න මට සිදු වුණා. පුතයි දුවයි ටිකක් ලොකු වුණාට පස්සෙ මගේ සැමියා ''ඇයි ඔයා මේක දැන් ආයෙත් පටන් ගන්නෙ නැත්තෙ..'' කියලා මාව දිරිමත් කළා. මගේ තාත්තා, අම්මා වගේම මගේ සැමියාත් මට කේක් හදන්න තියෙන උනන්දුව ගැන දන්නවා. ඒ තුන්දෙනාම මේ කටයුත්තට මාව දිරිමත් කළා.'' රශ්මිකා පවසන්නීය.

ඒ අනුව වසර තුනක කාලයක පටන් තම නිවෙසේ කුඩාවට පවත්වාගෙන ගිය මෙම නිෂ්පාදන ක්‍රියාවලිය පසුගිය දිනෙක රශ්මිකා අලෙවි සලක් බවට පරිවර්තනය කළාය.

''මේ කාලය වෙද්දි පාරිභෝගිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර නම් හොඳයි. අයිස්ක්‍රීම් කේක් බොහෝ දෙනා ආහාරයට ගෙන නැති නිසා ඒ රසය විඳින්න මෙතනට එන පිරිස වැඩියි. අයිස්ක්‍රීම් සහ කේක් එකට රස විඳින්න විශේෂයෙන් පොඩි දරුවන් හරි ආසයි. ගෙදර මම මේවා හදද්දි බොහෝ දෙනකුට කුඩා කැබලි රස විඳින්න ලැබුණෙ නැහැ. මම බොහෝ වෙලාවට ඒ කාලෙදි ඇණවුම් ලබාගත්තෙ සම්පූර්ණ (අයිස්ක්‍රීම් කේක්) එකටයි. නමුත් දැන් අපේ La Creme – Ceylon අලෙවිසලෙන් තමන්ට අවශ්‍ය විදිහට අයිස්ක්‍රීම් කේක් කැබැල්ලක වුණත් රස බලන්න පුළුවන්. මේ වෙද්දි La Creme – Ceylon අලෙවිසලට නිතරම එන පාරිභෝගිකයෝ ඉන්නවා. තමන් කැමැති රස අනුව අයිස්ක්‍රීම් කේක් සාදාගන්නටත් මෙතනට එන පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබිලා තියෙනවා.'' ඇය වැඩිදුරටත් පැවසුවාය.

මේ අනුව (අයිස්ක්‍රීම් කේක්) ඇතුළු La Creme – Ceylon අලෙවිසලේ නිෂ්පාදනය කරනු ලබන අතුරුපස හැදෙන්නේ රශ්මිකාගේ අතිනි. ඇගේ සහායට මෙම අලෙවිසලේ කිහිප දෙනකු සිටියද අතුරුපස සෑදීම සිදු කරන්නේ රශ්මිකා විසිනි.
මේ වනවිට La Creme – Ceylon අලෙවි සලේ සාදන අතුරුපස තම නිවෙසටම ගෙන්වා ගැනීමේ ජංගම සේවයක් ද ක්‍රියාත්මකය. බොහෝ විට කිලෝමීටර් විස්සක් තුළ පිහිටි ප්‍රදේශයකට මෙම අලෙවිසලේ ඇති විශේෂ රථය මගින් අතුරුපස ගෙන්වාගත හැක.

 දිශානි ජයමාලි කරුණාරත්න

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00