2022 නොවැම්බර් 13 වන ඉරිදා

හරීන්ලා ඇමැතිකම් අතහැර හදන්න යන සංධානය

 2022 නොවැම්බර් 13 වන ඉරිදා, පෙ.ව. 06:00 47

මේ දවස්වල දේශපාලන තිරයේ පිටුපස කතා එච්චර හොඳ නැත. එක පැත්තකින් බිඳීම්ය. අනෙක් පැත්තෙන් ගෝරිය. තවත් අය ඉන්නේ කනස්සල්ලෙන්ය. ඒකට හේතුව බලය නිසිලෙස බෙදී නොයාම නිසාය. දැන් වැඩියෙන්ම ප්‍රශ්න තිබෙන්නේ පොහොට්ටුවත් ආණ්ඩුවත් අතරය.

මේ නිසාම දේශපාලන කරළියේ ගැටුම් මැද දැන් අලුතින් සන්ධාන කීපයක් හැදෙන්න පටන්ගෙන ඇත. අපි මීට පෙර පසුගිය සතියේ මේ සම්බන්ධයෙන් සඳහන් කළෙමු. එහෙත් මේ කියන්නට යන්නේ වෙනස්ම කාටවත් හිතාගන්න බැරි අලුත් සන්ධානයක් ගැනය.

සාමාන්‍යයෙන් අලුත් සන්ධාන දේශපාලන ව්‍යාපාර හැදෙන්නේ විපක්ෂය තුළිනි. ඒ පවතින ආණ්ඩුව බලයෙන් පහ කිරීමටය. එහෙත් මෙවර මෙම නව දේශපාලන ව්‍යාපාරය ආරම්භ වන්නේ ආණ්ඩුව ඇතුළෙන්මය. ආණ්ඩුවේ ආශීර්වාදය ඇතිවය. එය එක පැත්තකින් නව ආරම්භයක් වන අතර ප්‍රධානම ඉලක්කය වන්නේ පවතින ආණ්ඩු බලය තවදුරටත් රැක ගැනීමය. ඒ නිසා මෙම අලුත් ව්‍යාපාරය එක් පැත්තකින් රනිල් වික්‍රමසිංහ මහතා නැවත රජ කරවීමටය.

මෙම අලුත් දේශපාලන ව්‍යාපාරය, සන්ධානය ආරම්භ වන්නේ අද ඊයේ නොවේ. මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය මේ කතාවේ ආරම්භක ස්ථානයයි. 2015 යහපාලන රජය ගෙන ඒම සඳහා සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ රැසක් එකට එක්කළ ජාතික ව්‍යාපාරයක් වූ එය පසු කලෙක යහපාලනය වල් වැදීමත් සමඟ එම ව්‍යාපාරය තරමක් සෝදාපාළුවට ලක්වන්නට විය. පසුව තවත් කඩා වැටීමට ලක්වූයේ එහි සභාපති මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීමත් සමඟය.

කෙසේ වෙතත් සෝභිත හිමියන්ගේ අපවත් වීමත් සමඟ එහි සභාපතිත්වය සඳහා විවිධ පුද්ගලයෝ උත්සාහ දැරෑහ. එහෙත් අවසානයේ එය හිමිවූයේ හිටපු කථානායක කරු ජයසුරිය මහතාටය. දැන් ඒ තනතුරේ සිටින්නේ ඔහුය. කෙසේ වෙතත් එම ව්‍යාපාරයේ මූලික අරමුණ වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හරහා පාර්ලිමේන්තුවට බලය ගෙන රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමය.

මේ අතර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා තවත් මෙහෙයුමක් ගෙන ගිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා දැන් එම ජාතික ව්‍යාපාරයේ කොටස්කරුවකු ලෙස එක්ව කටයුතු කරමින් සිටී. සිය අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පසුගිය කාලයේ කරු ජයසූරිය, වික්ටර් අයිවන් සහ තවත් පිරිසක් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් හමුවී දේශනයක් සිදුකළහ. මෙම දේශනයේදී පැහැදිලිවම පෙන්වා දුන්නේ වර්තමාන සමාජ කැළඹීමත්, ආර්ථික අවුලත් ඒ සඳහා දේශපාලන පරිවර්තනයත් ගැනය. සැබවින්ම එය මීළඟ බලය ලබාගන්නා ඕනෑම් අයකු අනුගමනය කළයුතු පියවරක් වනු ඇත. මේ නිසා රනිල් වික්‍රමසිංහ මහතා සමඟ දේශපාලන ගමනක් යාමට අපේක්ෂා කරන පිරිස එම අවස්ථාව ඉක්මනින් ඩැහැගත්තේ ඊළඟ පියවර සඳහාය.

විශේෂයෙන් දේශපාලඥයන් හමුවේ ඇති ජනතා විරෝධය වෙනස් කිරීම සඳහා මෙය අලුත් අත්දැකීමක් කර ගැනීමේ අරමුණින් මෙම දේශපාලන ව්‍යාපාරය ඊළඟ බලය ඇල්ලීමේ ක්‍රමය බවට පත්කර ගනු ඇත. මේ සඳහා තරුණ මන්ත්‍රීවරුන් රුසක් කැමැත්ත පළකර ඇති අතර එහි පළමු ආරම්භය ලෙස හැමදාම දේශපාලන අභියෝග බාරගත් හරීන් ප්‍රනාන්දු සිය අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට තීන්දු කර ඇත. එසේ ඉවත් වීමෙන් පසුව මේ සඳහා නායකත්වය ගෙන පරිවර්තනීය දේශපාලන වෙනසක් ඇති කිරීම ඔවුන්ගේ අරමුණ වී ඇත. කෙසේ වෙතත් හරීන් අමත්‍යවරයාට අමතරව තවත් අමාත්‍යවරු කිහිප දෙනෙක් සහ හිටපු අමාත්‍යවරු කිහිප දෙනෙක් එකතු වීමට තීරණය කර තිබේ. ඒ සඳහා දැනට අවශ්‍ය සැලසුම සැකසෙමින් ඉන්නේ සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින්ය.

මෙම නව දේශපාලන ව්‍යාපාරය හරහා ගොඩනැගෙන පක්ෂ සන්ධානය සඳහා පොහොට්ටුවේ සහ සමගි ජනබලවේගයේ කිහිප දෙනෙක්ද එක්වීමට කැමැත්ත පළකර තිබේ. විශේෂයෙන් නව ව්‍යවස්ථාවක් අරමුණු කරගනිමින් ආරම්භ වන මෙම ව්‍යාපාරය සඳහා කරු ජයසූරිය මහතා කැමැත්ත පළකර ඇති අතර එහෙත් ඊළඟ ප්‍රධාන මැතිවරණවලට පෙර එම වෙනස ඇති කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.

සියල්ල සිදුවන්නේ පවතින දේශපාලන භූමිය තුළය. ඒ නිසා යම් වෙනසක් සිදුවේද නැද්ද යන්න ජනතාවට පෙර මෙන් බලාපොරොත්තු නැත. කුමන හෝ ආකාරයකින් දේශපාලන පරිවර්තනයක් සිදුවන්නේ නම් ඒ සියල්ල ජනතාව විසින් අනුමත කළ යුතුය. එසේ නම් එය ජනතාව අනුමත කරයිද? එය ඉදිරියේ තීරණය වනු ඇත.

 ගයාන් ගාල්ලගේ