2022 නොවැම්බර් 13 වන ඉරිදා

ඉදිරි ශීත සමයේදී තෙල්-ගෑස්වලට වන දේ

 2022 නොවැම්බර් 13 වන ඉරිදා, පෙ.ව. 06:00 57

බලශක්ති ප‍්‍රභව ගැන ජාත්‍යන්තරයේ කැළඹීමක් පවතී. වරින්වර උච්ඡාවචනය වන මිල ගණන් පාරිභෝගිකයන් අසීරුවට පත්කරන කරුණකි. කොවිඩ් වසංගතය පැවැති කාල සීමාවේ පැවැති ඉල්ලුම අඩුවීම පදනම් කරගෙන ඛනිජ තෙල්, ගෑස් හා ගල් අඟුරු මිල ගණන් පහත වැටිණ. ඇමෙරිකා එක්සත් ජනපදයේ තෙල් ආකරවල ගබඩා පහසුකම් රහිත තත්ත්වය යටතේ තෙල් නොමිලේ නිකුත් කරන ලද බව වාර්තා විය. වර්තමානයේ ස්වභාවය මඳක් වෙනස් වී තිබේ. මිල ගණන් ඉහළ ගොස් ඇත. රුසියාව හා යුක්රේනය අතර පවතින ගැටුම් එයට පසුබිම බව බලශක්ති ඒජන්සි නිවේදනය කරයි. යුරෝපයේ එක කොටසක් තද නියඟයකට ගොදුරු වී ඇත. බටහිර ඉහළ කලාපයට ශීත කාලගුණය එළැඹෙමින් පවතී. උණුසුමට පමණක් නොව ශීත කාලයටද බලශක්ති ඉල්ලුම වැඩිවේ. දැනට පවතින ඛනිජ තෙල් හා ගෑස් ඉල්ලුම මිල ගණන් තවත් වටයකින් වැඩිකරන්නට හේතු විය හැකිද යන්න ගැන අවධානය යොමු වී ඇත.

කෝප් 27 සමුළුව කයිරෝ නගරයේ පැවැත්වෙන අතර එහිදී ගෝලීය උණුසුම ගැන සාකච්ඡා කර තිබේ. ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම සමුළුව අමතමින් දේශගුණික විපර්යාසවලට මුලික හේතුව දියුණු රටවල අසීමිත කාර්මීකරණය බව පෙන්වා දෙයි. එතැනින් නතර නොවුණ හෙතෙම සංවර්ධනය වන රටවලට සිදුවන හානිය හා අලාභ වෙනුවෙන් සංවර්ධිත රටවල් ගෙවන වන්දිය දෙගුණ කළ යුතු බවද ප‍්‍රකාශ කර තිබේ.

• දේශගුණය හා බලශක්තිය අතර සම්බන්ධය

1800 ගණන්වල සිට මිහිතලයේ උණුසුම වැඩිවන බව පරිසර විද්‍යාඥයෝ දක්වති. එතෙක් සෙල්සියස් අංශක 0.08 කින් පමණන වසර දහයකට වරක් පමණ උණුසුම වැඩිවන බව සනාථ කරගෙන තිබුණි. ජාත්‍යන්තර දත්ත දක්වන පරිදි 2021 වසර ලෝක ඉතිහාසයේ උණුසුම වැඩිම අංශක ප‍්‍රමාණයකින් ඉහළ ගිය වසර ලැයිස්තුවක හයවැනි තැන ගෙන ඇත. සෙල්සියස් අංශක 0.84 කින් එක අවුරුද්දක උණුසුම වැඩි වී ඇත. 2013-21 ගෝලීය උණුසුම විස්මිත පරිදි වැඩිවූ කාලවකවානුවකි. උණුසුම වැඩිවන විට එය සිරුරට දැනෙන පමණක් නොව කාලගුණ විපත් ඇති කරයි. 

කාලගුණ වෙනස්කම් මගින් ඇතිකරන පීඩනය මහ පොළොවට ඉහළින් ඇති ඕසෝන ස්ථරයට හානිකරන බව සොයාගෙන තිබේ. එය අහිතකර කිරණ පොළොවට පතිතකර තව තවත් මිහිතලය උණුසුම් කෙරේ. වනගහනය අඩුවීම, අහිතකර වායු විමෝචන අවාසි සහගත පැති සේ දක්වා ඇත. ගෝලීය උණුසුම වැඩි වනවිට අර්ධගෝලවල හිම දියැවී සාගරයට එකතු වේ. සාගරයේ ජල මටට්ම නැගීමෙන් සමහර මුහුදුබඩ කලාප අහිමිවන තර්ජනයක්ද ඇත. 

මහ පොළොව උණුසුම්වූ පසු ලෝකවාසීහු ඉන්ධන භාවිතා කර සිසිල් තත්ත්ව ඇතිකරගන්නා අතර එයට බලශක්තිය අවශ්‍යය. පොසිල එනම් පොළොවෙන් ලබාගන්නා ඉන්ධන වර්ග දහනය කිරීමෙන් ඇතිවන වායු තව තවත් අහිතකර තත්ත්ව ඇති කරයි. ඩීසල්, පෙට‍්‍රල්, ගෑස් හා ගල් අඟුරු පිළිස්සීම අවම කරන අතර පරිසරය ගැන අලුත් අවධානයක් දැක්වීම අනාගතය ගැන කල්පනා කරන සියලුම දෙනාගේ අභිලාශය වී තිබේ. එහෙත් ප‍්‍රායෝගිකව එවැනි ප‍්‍රතිපත්ති අනුගමනය නොකෙරේ. 2015 වසරේ පැරිස් නගරයට එකතු වූ රටවල් 196 ක නියෝජිතයෝ සම්මුතියක් අත්සන් කළහ. කාලගුණ විපත් අඩුම කරන පරිදි හැසිරෙන බවට පොරොන්දු වූහ.

• පොරොන්දුව එකක් නමුත් කෙරෙන්නේ අනෙකක්

ඉදිරි වසර තිහ ඇතුළත දැනට පවතින බලශක්ති භාවිතය සියයට 47කින් වැඩිවනු ඇතැයි සැලකේ. මෙහිදී ඉන්ධන සියයට 28ක ඉල්ලුමක් ඇතිවන අතර ස්වභාවික ගෑස් සඳහා ඉල්ලුම සියයට 31 කින් වැඩිවෙන බව දැක්වේ. ලෝකයේ සෑම රටක්ම පාහේ හරිත බලශක්තිය එනම් පුනර්ජණනීය බලශක්තිය සඳහා නැඹුරුවීම හේතුවෙන් ඒ සඳහා ඇති ඉල්ලුම සියයට දෙසීයකින් ඉහළ යා හැකි බව පැවසේ. සෑම රටක්ම, සෑම කලාපයක්ම සූර්ය තාපය, සුළං බලශක්තිය හා මුහුදු රළ මගින් විදුලිය නිපදවීම වැනි හානිය අවම ක‍්‍රම කෙරෙහි යොමු වෙමින් සිටී. කෙසේ නමුත් මෙම ප‍්‍රවණතා ප‍්‍රමාණවත් නොවන බව පර් යේෂකයන්ගේ අදහසයි. පොසිල ඉන්ධන පුළුස්සන තරම රටවල් අඩු කරන්නේ නැත. එයට හේතුව අලුත් ප‍්‍රභව කරා ගමන් කිරීමට ආයෝජනය කළ යුතු ධනය බව සඳහන් කළ යුතුය. ඉන්ධන භාවිත කරන වාහන පරිහරණය අඩුකරන අතර කාබන්ඩයොක්සයිඩ් විමෝචනය අවම කරන තීරණ ගන්නා බව දක්වන නමුත් ඒවා පහසු නැත. හරිතාගාරවලින් හා ගුවන්ගමන් වලින් වැඩිම හානියක් සිදුවන බව දැක්වේ. මේවා වළක්වන්නට අන්තිම මොහොත දක්වා සූදානමක් නැත.

දැනට ඇති වාර්තා අනුව මෙහි දෙපැත්තක් පවතින බව පෙනේ. මෙම දිනවල බ්‍රිතාන්‍ය, ජර්මනිය, ඇතුළු රටවල තද නියඟයක් පවතී. රටවල් හතරක නියඟයය හේතුවෙන් හටගෙන ඇති උණුසුම් කාලගුණය පහළොස් දහසකට අධික පිරිසකට මරු කැඳවා ඇත. ස්පාඤ්ඤයේ 4,500ක් හා ජර්මනියේ 4,000ක් දෙනා උණුසුම හෙයින් මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වයි. මෙම පිරිස වායු සමීකරණ පහසුකම් ලබාගැනීමට තරම් ආදායමක් රහිත කොටසකි. 2020 වසරේ ශීත කාලයේදී යුරෝපයේ වැසියන් මිලියන තිස් හය දහසකට ඔවුන්ගේ නිවාස උණුසුම් කරගත නොහැකි සිටි බව දැක්වේ. දැන් අධික රශ්මියෙන් පසුවන ඔවුහු ශීත කාලයේදී අධික පීඩාවකට පත්වන අතර ජීවිතක්ෂයට පත්වන පිරිසද සුළුපටු නොවේ. මෙම ජන කොටස් වෙනුවෙන් විදුලිය, ගෑස් හෝ ගල් අඟුරු පරිහරණය කරන්නට සිදුවේ. ලාභදායක බලශක්ති ප‍්‍රභව වශයෙන් ගැනෙන ඒවා සීමා කළහොත් තවත් ජන කොටස් අන්තරාදායක තත්ත්වයකට පත්වනු වැළැක්විය නොහැකිය. 

• බලශක්ති දුප්පත්භාවය ගැන අවධානයක්

ජනී ජනයාට තමන්ගේ මූලික අවශ්‍යතා සඳහා බලශක්තිය උපයා ගැනීමට අපහසුවීමද දුප්පත්භාවයක් සේ සැලකේ. ලෝක ජනගහනයෙන් මිලියන 759කට විදුලිය නැත. බිලියන 2.6ක පිරිසක් නිතිපතා ඉවුම් පිහුම් කටයුතු සඳහා අන්තරාදායක හා අකාර්යක්ෂම ක‍්‍රම භාවිතා කරති. දැව පිළිස්සීම එයින් බලවත්ම පරිසර හානිය සේ වර්තමානයේදී සැලකේ. මෙම බිලියන සංඛ්‍යාත ජන කොටසද සුරක්ෂිත ඉවුම් පිහුම් ක‍්‍රම සඳහා යොමුවුවහොත් තවත් වටයකින් බලශක්ති අවශ්‍යතා ඉහළයෑම වැළැක්විය නොහැකි කරුණකි. දියුණු රටවල් අලුත් ව්‍යුහ අනුව ගණන් බලා ප‍්‍රමිති ඉදිරිපත් කරන නමුත් දුප්පත් රටවල ජනතාවට පරිසරය ආරක්ෂා කරන සහ කාර්යක්ෂම බලශක්ති භාවිතයක් කරා ගමන් කළ නොහැක.

පසුගිය කාලයේ ශ‍්‍රී ලංකාවේ තත්ත්වයද නරක අතට හැරිණ. ගෑස් හිඟ වූ අතර ජනතාව නැවතත් පැරණි දර ලිප්වලට හුරුවිය. සුපිරි වෙළඳසල්වල පවා දර මිටිය විකිණුම් ද්‍රව්‍යයක් බවට හරවා තිබුණි. තවමත් ගෑස් පරෙස්සමෙන් භාවිතා කරන පිරිස් හැකි සෑම අවස්ථාවකම සොයාගත හැකි දැව භාවිත කරති. සූර්ය තාපය විදුලියට හැරවිය හැකි නමුත් එයට අවශ්‍ය ආයෝජනය නොමැතිකම ඉදිරියේ තවමත් විදුලිය බහුලව නිපදවන්නේ ගල් අඟුරු හා දැවිතෙල් භාවිතයෙනි. ශ‍්‍රී ලංකාවට ගෙන්වන ඉන්ධනවලින් සියයට හැටක් වාහන ධාවනයට යෙදවේ. හරිත බලශක්ති ප‍්‍රවණතාවයක් අරමුණු කරගෙන 2040 සිට විදුලි වාහන භාවිතා කළ යුතු බව යෝජනා කරන නමුත් එය තවමත් අදහසක් පමණකි.

යුරෝපා රටවල් හැරුණුකොට ආසියා හා අප‍්‍රිකාරටවල තවමත් විශාල වශයෙන් බලශක්ති දුප්පත්භාවයෙන් පීඩා විඳිති. ඉන්ධන අවශ්‍ය ප‍්‍රමාණයට මිල දී ගැනීමට වත්කමක් නැති අතර වැඩිම ඉන්ධන ප‍්‍රමාණයක් වැය කරන්නේ ප‍්‍රවාහනයටය. අධික වාහන තදබදයද විශාල පරිසර හානියකට හේතුවක් වී ඇත.

• එකකට එකක් නොදෙවැනි තීරණවල විපාක

සංවර්ධනය සඳහා ගන්නා තීරණවල ප‍්‍රතිවිපාක අද අත්විඳින්නට සිදුවී තිබේ. ලෝකය එකම යායයක් බවට පත්කර කාර්මීකරණයට නැඹුරුවීම අද පවතින සංකීර්ණ ප‍්‍රශ්නවලට මූලික හේතුව බව පැහැදිලිය. නිතිපතා පුළුස්සන ඉන්ධන ප‍්‍රමාණයත් එම ඉන්ධන පිළිස්සීම හේතුවෙන් ඇතිකරන කාලගුණ විපර්යාසයත් එකකට එකක් නොදෙවැනි සංකීර්ණ තත්ත්ව ඇතිකර තිබේ. ඉදිරි සීත කාලයේදී තවත් වටයකින් ඉන්ධන ඉල්ලුම වැඩිවනු ඇත. සම ශීත කලාපයේ පවා හිරු මුදුන් වනවිට වායු සමීකරණ අවශ්‍යතා ඉහළ ගොස් තිබේ. එය තව තවත් ඉන්ධන දහනය කර කාමර සීතල කර ගැනීමට බලපාන කරුණකි. එහි අවසානය කුමක් විය හැකිද?

අලුත්ම වාර්තා දක්වන පරිදි දැන් පවතින ඉන්ධන මිල ගණන්වලට සියයට හැටක් හේතුවී ඇත්තේ රුසියා යුක්රේන ගැටුම්ය. වඩා විශාල බොරතෙල් හා ගෑස් නිෂ්පාදකයන් සැපයුම අවහිර කරගෙන ඇත. බටහිර සම්බාධකද එයට බලපා ඇති කරුණකි. මෙම වසර අග තෙල් හා ගෑස් මිල වැඩිවිය හැකි නමුත් 2023 වසරේදී සියයට 11කින් තෙල් මිල අඩුවනු ඇතැයි විශ්වාස කෙරේ. දැන් පවතින ඇමෙරිකානු ඩොලර් 92ක් වන බොරතෙල් බැරලයක මිල 2024දී ඇමෙරිකානු ඩොලර් 80ක් විය හැකි අතර කෙසේ වෙතත් එය පසුගිය වසර පහක පමණ කාලයේ පැවැති සාමාන්‍ය වූ බොරතෙල් බැරලයක මිල වූ ඩොලර් 60 ඉක්මවන මට්ටමකි. 

තෙල් හා ගෑස් මිල පරිසරයට පාලනය කළ නොහැක. වැඩිපුර නිෂ්පාදනය කර වෙළෙඳ පොළට සැපයුවහොත් මිල පහත වැටේ. එය පාරිභෝගිකයන්ට සහනයකි. එහෙත් පරිසරය ගැන කල්පනා කරන අන්තර් ජාතික විශේෂඥයෝ තෙල් ළිං වහන්නට යෝජනා කරති. එයට අවනත වන නෝර්වේ රාජ්‍යය අලුතින් තෙල් කණින බලපත‍්‍ර නිකුත් කරන්නේ නැත. එය ඉදිරි කාලයේදී වෙළෙඳ පොළට ඇතිකරන පීඩනය කෙබඳු විය හැකිද? වෙළෙඳපොළ, පරිසරය හා මනුෂ්‍ය ජීවිත පිළිබඳ ප‍්‍රශ්න ඉතාම සියුම් ආකාරයකට විසඳා ගැනීමට අපට සිදුවේ.


 සාරා කන්දෙගොඩ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00