
''පාර්ලිමේන්තුව රැස්වන දින ගණන වැඩිකර හෝ රටේ නීති පද්ධතිය නවීකරණය කළ යුතුයි. මේ වසරේදී වගේම ලබන වසරේදී සියලුම නීති පද්ධති නවීකරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා.''
- ජනාධිපති රනිල් වික්‍රමසිංහ
ආණ්ඩුව ඇමැතිකම්වලට නම් කිරීම සඳහා විපක්ෂයෙන් මන්ත්‍රිවරුන් බිලි බා ගන්න හදනවා. අද යන්නේ ඇමැති වෙන්දේසියක්. බෑග් පිටින් ගෙනැල්ලා දෙන්නේ. බෑග් පිටින් පොරොන්දු වෙන්නේ. සමහරුන්ට දැන් හිතෙනවා ඇති දැන් සියල්ල ඉවරයි කියලා. මේ රටේ ජනතාවගේ හෘද ස්ඵන්දනය තවම මේ ආණ්ඩුවට තේරිලා නෑ.
- විපක්ෂනායක සජිත් ප්‍රේමදාස
රටේ ජනාධිපති සහ විපක්ෂනායක දෙදෙනාම මේ අදහස් දැක්වූයේ පසුගිය බ්‍රහස්පතින්දා (10) පාර්ලිමේන්තුවේදීය. ජනාධිපතිවරයා දේශගුණ විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුවක් වූ කෝප් 27 සම්මන්ත්‍රණයට සහභාගි වී ආපසු ශ්‍රී ලංකාවට පැමිණ පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශයේදී ලංකාවේ නීති ගැනත් සඳහන් කළේ එහෙමය. ජනාධිපතිවරයා නීති ගැන එහෙම කතාකරන විට විපක්ෂනායකවරයා චෝදනා කරන්නේ විපක්ෂයේ මන්ත්‍රීන් බිලි බා ගැනීමට ආණ්ඩුව උත්සාහ කරන බවය. අන්ත දෙකක ඉඳගෙන මේ දෙදෙනාම අදහස් දක්වන්නේ (සඳුදා) 14 වැනිදා ඉදිරිපත් කෙරෙන අයවැය සම්බන්ධ පසුබිමේදීය. අයවැය විවාදය අවසානයේ සිදුකෙරෙන ඡන්ද විමසීම ආණ්ඩුව ශක්තිමත් වී විපක්ෂය දුර්වල කරන ව්‍යායාමයක් වෙයිද? එහෙමත් නැත්නම් ඒකෙම අනෙක් පැත්ත ඒ කියන්නේ විපක්ෂය ශක්තිමත් වී ආණ්ඩුව අසීරුවට පත්වෙයිද?
ඒක බලාගන්න ආණ්ඩුවක් විපක්ෂයත් මේ දවස්වල දේශපාලනය කරන හැටි ගැන කතා කළ යුතුය.
ආණ්ඩුව මේ දවස්වල ඉන්නේ ගිරයට හසුවුණු පුවක් ගෙඩියක් වගේය. ඒකට ලොකුම හේතුව තවමත් අවසන් කරගත නොහැකි වූ ඇමැතිකම් බෙදාදීමේ අර්බුදයයි. කැබිනට් ඇමැතිකම් බලාපොරොත්තු වන වැඩිම පිරිස ඉන්නේ පොහොට්ටුවේය. තමන්ගේ සහාය නැතුව අයවැය ඡන්දය දිනාගැනීම ආණ්ඩුවට අසීරු වනු ඇති බව ඔවුන්ගේ අදහස වී තිබේ. අපට ඇමැතිකම් නැත්නම් අපේ ඡන්දෙ අයවැයේදී බලාපොරොත්තු වෙන්න එපා කියන තරමට මේ ගැටලුව උග්‍ර වෙමින් තිබේ. එයට තවමත් විසඳුමක් නොලැබීම පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමේ ලොකුම ප්‍රශ්නය වීම වැළැක්විය නොහැක.
එහෙම නම් ඇයි ජනාධිපතිවරයා ඇමැතිකම් ගැන කතා නොකර රටේ නීති පද්ධති වෙනස් කිරීම, අයි.එම්.එෆ්. සාකච්ඡාවලට යාමේ පෙර සූදානම ගැන කතා කරන්නේ. පොහොට්ටුවේ ප්‍රශ්න ඒ අයටම විසඳගන්න ඇරලා තමන්ගේ වැඩේ කරගෙන යාම ජනාධිපතිවරයාගේ උවමනාව නිසාද?
ජනාධිපති ධුරයේ කටයුතු කිරීමට නම් පොහොට්ටුවේ නිරන්තර සහායක් අවශ්‍ය වෙන්නේ නැත. එහෙම වුණත් මුදල් අමාත්‍ය ධුරයේ කටයුතු කිරීම ඒ විදියට කරන්න බැරිය. අයවැය වැඩි ඡන්ද විශාල සංඛ්‍යාවකින් ජයග්‍රහණය කරන්න නම් පොහොට්ටු මන්ත්‍රීන්ගේ සහාය ලබා ගැනීම අනිවාර්ය සාධකයකි. රනිල් වික්‍රමසිංහ මහතා මේ ගැන දැන් සිටම ගණන් බලා නැත්නම් ඒ ගැන පුදුම විය යුතුය.
ඒකට එකම හේතුව පොහොට්ටුවේ සහාය ලබා ගැනීමට නම් කැබිනට් අමාත්‍ය ධුර දොළ පිදේනි වශයෙන් ලබාදීමට සිදුවීම පමණක් නොවේ. අයවැයේ ඇතැම් යෝජනා බෙහෙවින් සංවේදී ඒවා වීමට තිබෙන ඉඩකඩ හේතුවෙනි. මෙවර අයවැය සම්පූර්ණයෙන්ම අයි.එම්.එෆ්. යෝජනා මත පදනම්ව සකස් කෙරෙන බැවින් ජනතාවගේ දැඩි දෝෂදර්ශනයට ලක්වීම නියතයකි. රට බංකොළොත් බව ප්‍රකාශ කෙරුණු රටක් වීම එකකි. එහෙත් ඒ තත්ත්වයක් යටතේ වුණත් දැනටමත් දැඩි පීඩාකාරී තත්ත්වයකින් ජීවත්වෙන රටේ පොදු මහජනතාව තවදුරටත් තමන්ට බර පැටවීම උහුලන්නේ නැත. මේ නිසා අයවැයට පාර්ලිමේන්තුවේ බහුතරයකගේ අනුමැතිය ලබා ගැනීම දැඩි ප්‍රශ්නකාරී තත්ත්වයක් වීමට බොහෝදුරට ඉඩ තිබේ. අයි.එම්.එෆ්. යෝජනා දැනටද හෙළි වී තිබෙන කරුණු අනුව ජන ජීවිතය තවත් දුෂ්කර තත්ත්වයකට පත් කිරීමට හේතු වන බැවිනි. මේ නිසා එවැනි ජනතාවට දිරවා ගත නොහැකි යෝජනා ඇතුළත් අයවැයක් ඉදිරිපත් වෙනවා නම් එය පැහැදිලිවම පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීමේ පරීක්ෂාවක් බවට පත්වීම වැළැක්විය නොහැක.
එහෙම තත්ත්වයකදී පොහොට්ටුවට හිමිවන්නේ ඉහළම කේවල් කිරීමේ බලයකි. ඔවුන් දැඩිවම තමන්ට කැබිනට් ඇමැතිකම් අවශ්‍ය බව කියන්නේ මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම සඳහා බව පැහැදිලිය. හැබෑටම එවැනි තත්ත්වයක් තිබණත් ජනාධිපතිවරයා ඒ ගැන ඒ තරම් නම්‍යශීලී බවක් පෙන්වන්නේ නැත. ඒ බවක් දැනුණා නම් ඔහු මෙහෙම බලය උරගා බැලීම් වැදගත්ම පරීක්ෂාවක් ඉදිරියේ තබාගෙන රටේ නීති පද්ධති වෙනස් කිරීමක් ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්නේ නැත. ඒ වෙනුවට පේන්නේ අයවැය ''ටෙස්ට්'' එකෙන් තමන් ගොඩයනු ඇති බවට දැඩි විශ්වාසයකින් ජනාධිපතිවරයා තම දේශපාලනය හසුරුවන බවය.
21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම ආසන්නයේද තිබුණේ මෙවැනිම වාතාවරණයකි. කැබිනට් ඇමැතිකම් නැත්නම් 21ට අත උස්සන්නේ නැති බව පොහොට්ටුවේ මන්ත්‍රීවරු කීහ. පොහොට්ටුවෙන් කැඩී ස්වාධීන වූ මන්ත්‍රීවරුද 21 ගැන සිටියේ නිහඬවය. මේ තත්ත්වය තුළ 21 ගොඩ දාගත නොහැකි වනු ඇති බවට මතයක් පැතිරිණි. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකයාද රටින් බැහැරව සිටීම නිසා මේ මතය තදින් පැතිරුණේය. යෝජනාව ඉදිරිපත් නොවනු ඇති බවටද කතාවක් තිබිණි.
හැබැයි විවාදය අවසානයේ පැවති ඡන්දයෙන් ඡන්ද 178ක් ලබා ගැනීමට ජනාධිපතිවරයා සමත් විය. එයින් පහර වැදුණේ ජනාධිපතිවරයාට නොව පොහොට්ටුවටය. ඒ සමඟ එම ප්‍රතිඵලය හේතුවෙන් වක්‍රාකාරව එතෙක් පොහොට්ටුවේ නායකයන්ව සිටි රාජපක්ෂවරුන්ගේ බල පරාක්‍රමයටද වැදුණේ තද පහරකි. අමෙරිකාවේ සිට සියල්ල මෙහෙයවන බව කියූ බැසිල්ද නිහඬ විය. ඔහු තාමත් කතා නැත. 21ට ඡන්ද නොදුන් පිරිස අතර මහින්ද රාජපක්ෂද විය. ඒ සමස්ත ක්‍රියාදාමයෙන් ශක්තිමත් වුණේ ඇමැතිකම් ඉල්ලා කේවල් කළ පොහොට්ටුව නොව ඇමැතිකම් දීම ප්‍රමාද කරමින් සිටින ජනාධිපතිවරයාය. අයවැයේදීත් මේකම වෙන්න බැරිද?
එහෙම වෙන්න ඉඩක් තිබෙන බව සජිත් පාර්ලිමේන්තුවේදී කළ බෑග් අරන් ඇමැතිකම් දෙන්න හදනවා යන කතාවෙන් පැහැදිලි වෙයි. විපක්ෂයේ මන්ත්‍රීන් බිලී බා ගන්න ඇමැතිකම් දෙන්න හදන බවට සජිත් කෙළින්ම චෝදනා කළේය. ඒ චෝදනාව එල්ල කරන්නේ කාටදැයි ඔහු නොකීවත් ඒ කාටද යන බව සියලු දෙනා දැන සිටිති. පසුගියදා සජබ පාර්ලිමේන්තු කණ්ඩායම් රුස්වීමේදී ආණ්ඩුවේ අලුත්ම බදු ගැහිල්ලට එරෙහිව හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා දැඩිව අදහස් දක්වද්දී රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා එයට එරෙහි අදහසක් ප්‍රකාශ කිරීම යට තිබෙන්නේද මේ කතාවමය. එදින රාජිත තම අදහස් දැක්වීමේදී ජනාධිපතිවරයා ගනු ලබන තීන්දු පිළිබඳ ප්‍රසාදයකින් සහ ඒවා අනුමත කරන න්‍යායයෙන් කතා කළ බවටද සෙසු මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා එල්ල විය. එසේ වුවත් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා තමන් අමාත්‍ය ධුරයක් ලබා ගනිමින් ජනාධිපතිවරයාට සහාය දැක්වීමට සූදානම් බවට පැතිර යන ආරංචිය අසත්‍යයක් බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීමද කැපි පෙනිණි.
මේ කතා කොහොම වුණත් අයවැය ගොඩ දා ගැනීම ජනාධිපතිවරයා හිතනවාට වඩා දුෂ්කර කාර්යයක් වීමට ඉඩ තිබෙන බව පැහැදිලිය. අයවැයේ යෝජනා ජනතාවගෙන් ප්‍රතික්ෂේප වන මට්ටමේ ඒවා නම් එවැනි අවස්ථාවක ආණ්ඩුවට එක්වීම ගැන විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙවරක් සිතනු ඇත. ව්‍යවස්ථා සංශෝධනයකට සහාය දැක්වීම සහ අයවැයක් සම්මත කිරීම දෙකක් බැවිනි. මෙවර අයවැයට ලබාදෙන ඡන්දය තමන්ගේ දේශපාලනයේ අනාගතය තීරණය කරනු ඇති බවට බොහොමයක් මන්ත්‍රීන් තුළ අදහසක් තිබේ නම් එහි වැරුද්දක් දැකිය නොහැකිය.
ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයේදී අයි.එම්.එෆ්. සමඟ සාකච්ඡා ඉදිරියට ගෙන යාම පිළිබඳ මහත් විශ්වාසයකින් කතා කළේ මේ පසුබිම හොඳින් ධාරණය කර ගැනීමෙන් පසුව විය යුතුය. අයි.එම්.එෆ්. සමඟ ගිවිසුම අයවැයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවාද යන ප්‍රශ්නයට ජනාධිපතිවරයාගේ පිළිතුර වූයේ රටවල් සමඟ කතා කළ යුතු බවත් ජපානය, චීනය සහ ඉන්දියාව සමඟ කතාකර ඔක්කොම කළ පසුව ඒ ගැන කියන බවත්ය.
ඒ අනුව පෙනෙන්නේ අයි.එම්.එෆ්. ගිවිසුම අයවැයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවනු ඇති බවය. ඒ අනුව අයවැයට අත ඉස්සීම බොහොමයක් මන්ත්‍රීවරුන්ට දැඩිව සලකා බැලිය යුතු තීන්දුවක් බවට පත්ව තිබෙන බව දැනට පෙනෙන්න තිබෙන තත්ත්වයයි.
මේ වගේම පාර්ලිමේන්තුවේදී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ළඟදීම ඡන්දයක් එන කතාවක්ද කියා තිබුණි. එමෙන්ම ළඟදීම ඡන්දයක් දිනාගන්නා බවද ඔහුගේ කතාවේ සඳහන් විය. එහිදී ආණ්ඩුවත් අයි.එම්.එෆ්. එකක් අතර ඇති කරගෙන තිබෙන එකඟතාව එළිදක්වන්නේ නැත්තේ ඇයිද කියාද ඔහු ප්‍රශ්න කළේය. රට මේ තරම් බංකොලොත් වනතුරු ආණ්ඩුව මිනිසුන් සමඟ සෙල්ලම් කරන්නේ ඇයි කියාද විපක්ෂනායකවරයා ප්‍රශ්න කළේය.
විපක්ෂ නායකවරයා ආණ්ඩුවට පහර දෙමින් ළඟදීම ඡන්දයක් එන බවත් ඒක දිනාගන්නා බවත් කිව්වේ අයවැය ඡන්දය ගැනද? එහෙම වෙන්තත් ඉඩ තිබෙන බව පැහැදිලිය. ආණ්ඩුව වෙනත් ඡන්දයක් තැබීමක් ගැන තාම හිතලාවත් නැත. හැම තීන්දුවක්ම ගන්නේ හැකිතරම් ඡන්ද කල් දැමීමේ අරමුණිනි. මේ නිසා අයවැය ආණ්ඩුවට සැබෑ පරීක්ෂාවක් වීමේ ලකුණු පහළ වෙමින් තිබෙන බව පැහැදිලිය.
දැනට සති කිහිපයකට පෙර චන්න ජයසුමන මන්ත්‍රීවරයාද මීට සමාන කතාවක් කියා තිබිණි. ආණ්ඩුවෙන් කැඩී වෙන්වී සිටින පාර්ශ්වයක් නියෝජනය කරන ඔහු කිව්වේ දෙසැම්බර් 08 වැනිදා මේ ආණ්ඩුව වට්ටන බවය. දෙසැම්බර් 08 යනු අයවැයට ඡන්දය විමසන දිනයයි.
21 සම්මතයේදී ජනාධිපතිවරයා එක්ක පොහොට්ටුවේ පිරිසක් හැර අනෙක් සියලුදෙනා එකතු වී ජයගත්තා වගේ අයවැයේදීත් එහෙම වේදැයි කියන්නත් බැරිය. හැබැයි 21දී සජබ ඇතුළු ආණ්ඩුවෙන් කැඩී ගිය කොටස් සියල්ලේම සහාය ලැබුණේ එය සම්මත කර ගැනීමටය. ළඟදීම ඡන්දයක් එන බවත් ඒකෙන් ජයගන්නා බවත් සජිත් කියන්නේ එදා සහාය දුන් සියලුදෙනා අයවැයට විරුද්ධ වනු ඇතැයි සිතාගෙනද? එහෙම වෙන්නත් බැරි නැත.
- ශශීන්ද්‍ර