2022 නොවැම්බර් 13 වන ඉරිදා

තුනෙන් එකට බැස්ස ඇඟළුම් කෝටාව

 2022 නොවැම්බර් 13 වන ඉරිදා, පෙ.ව. 06:00 85

ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක පමණ ප්‍රමාණයක් සහ සමස්ත වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් සඳහා දායක වන්නේ ඇඟලුම් කර්මාන්තයයි. 2022 වසරේ මුල් මාස 9 තුළ සමස්ත වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 10කට ආසන්න ආදායමක් උපයා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ඉන් වැඩිම ආදායම හිමි වී ඇත්තේ ඇඟලුම් හා රෙදිපිළි  අපනයනයෙනි. එය ඇමෙරිකානු ඩොලර් මිලියන 4562. 67කි. 

එහෙත් ලබන වසරේ මුල් භාගය වනවිට මෙරටින් අපනයනය කෙරෙන ඇඟලුම් ප්‍රමාණය 30%කින් පමණ අඩුවිය හැකියැයි නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයන්ගේ සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු මහතා දේශයට අනාවරණය කළේය. දැනට ලැබී ඇති ඇණවුම් ලබන ජනවාරිය දක්වා පවතින අතර ඉන්පසු කොතරම් ප්‍රමාණයකින් ලැබෙන ඇණවුම් ප්‍රමාණය අවම වේදැයි ප්‍රකාශ කළ නොහැකි බවත් එය 30% ක් පමණ විය හැකි බවත් ධම්මික ප්‍රනාන්දු මහතා මහතා සඳහන් කරයි. ඒ මහතාට අනුව 2022 ජනවාරියේ සිට ජූලි දක්වා ඇමෙරිකානු ඩොලර් බිලියන 3.314ක පමණ අගයකින් යුතු ඇඟලුම් අපනයනය කර තිබේ. ඉන් ඇමෙරිකා එක්සත් ජනපදයට බිලියන 1.4කද යුරෝපා සංගමයට බිලියන 1ක ප්‍රමාණයක්ද, එංගලන්තයට මිලියන 455ක ප්‍රමාණයක් සහ වෙනත් රටවලට මිලියන 484 පමණ වටිනා ඇඟලුම් අපනයනය කර ඇත. සාමාන්‍යයෙන් ඇඟලුම් අපනයනයෙන් වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 4.8ත් බිලියන 5ත් අතර පමණ ආදායමක් ශ්‍රී ලංකාව උපයා ගනී. 

මේ වනවිට ශ්‍රී ලංකාවට ලැබෙන ඇණවුම්වලින් යම් ප්‍රමාණයක් බංග්ලාදේශය, කාම්බෝජය, ලාඕසය, මියන්මාරය, වියට්නාමය, ඉතියෝපියාව වැනි රටවලට හිමිවී තිබේ. එයට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන හා ආර්ථික අස්ථාවරභාවය යැයි ධම්මික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. ඇඟලුම් නිෂ්පාදනය කරන අනෙකුත් ආසියානු රටවල උද්ධමනය ඉහළ ගියද ශ්‍රී ලංකාවේ තරම් ඉහළ අගයක නොමැති හෙයින් ඇඟලුම් ආනයන සමාගම් එම රටවල් වෙත යොමු වී තිබේ. 

එමෙන්ම ඇමෙරිකාව ඇතුළු ලොව බොහෝ රටවල නිර්මාණය වී ඇති ආර්ථික උද්ධමනයද ඇණවුම් අවම වීමට බලපා තිබේ. රුසියානු - යුක්රේන යුද්ධය හා රුසියානු ගෑස් සැපයුම අඩාල වීමත්, ඉන්ධන මිල ඉහළ යෑමත්, යුරෝපීය රටවල නිර්මාණය වී ඇති උද්ධමනයත් හේතුවෙන් අපේ ඇඟලුම් සඳහා වන ඉල්ලුමද පහත වැටී ඇත. අනාගතයේ ලෝක දේශපාලනික වාතාවරණය තුළ ඇතිවන වෙනස්කම් මත හා ලංකාවේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති වුවහොත් ඇණවුම් වැඩිවීමට හෝ එසේ නොමැති වුවහොත් තව තවත් අවම වීමට හෝ ඉඩ ඇතැයි ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

නිදහස් වෙළෙඳ කලාපය තුළ කර්මාන්ත ශාලා 290ක් පමණ ඇති අතර ඉන් බැහැර ආයෝජන මණ්ඩලය මගින් අනුමත කම්හල් 1500ක් පමණ පවතී. ශ්‍රී ලංකාවට ඇඟලුම් සඳහා ඇණවුම් ලැබෙන්නේ එම නිෂ්පාදනයේ ස්වභාවය අනුවය. ඒ අනුව සය මසකට, කාර්තුවකට වැනි කාලයකට ඇණවුම් ලැබේ. දැනට ලැබී ඇති ඇණවුම් ජනවාරි මාසය තෙක් ප්‍රමාණවත්ය. පසුගිය සමයේ මෙරට ඇති වූ විදුලි  හා ඉන්ධන අර්බුදය යම් පමණකින් ඇඟලුම් නිෂ්පාදනයටද බලපෑවේය.  ශ්‍රී ලංකාවට වඩා අඩු මිලකට, කෙටි කාලයකින් ඇඟලුම් නිපදවා අපනයනය කළ හැකි රටවල් බොහෝ ඇත. ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, වියට්නාමය, තායිලන්තය ඊට උදාහරණ කිහිපයකි. ඒ හැර තවත් රටවල් කිහිපයක්ම තරගකාරී ලෙස ඉදිරියට පැමිණ තිබේ. අප්‍රිකාව, ඉතියෝපියාව, කෙන්යාව, ඊජිප්තුව වැනි රටවල් අපට වඩා ඉතාමත් අඩු මිලකට ඇඟලුම් නිෂ්පාදනය කරයි. එහෙත් එවැනි රටවලට ලැබෙන ඇණවුම් හා ශ්‍රී ලංකාවට ලැබෙන ඇණවුම් අතර වෙනසක් පවතී. අපේ නිමි ඇඳුම්වල තත්ත්වය ඉතා උසස් බව ලොව පිළිගැනීමයි.

ලොව උසස්ම හා මිල අධිකම ඇඟලුම් සන්නාමයන් යටතේ වන බොහෝ ඇඟලුම් නිෂ්පාදනය කෙරෙන්නේ ශ්‍රී ලංකාවේය. ඒවා මිල අධික වෙළෙඳපොළ සඳහා වන අතර බංග්ලාදේශය වැනි රටවල නිපදවන්නේ බල්ක් ගාර්මන්ට් හෙවත් ටීෂර්ට් වැනි ඇඟලුම්ය. ක්‍රීඩා ඇඳුම්, ලෝන්ජරි, කම්හල් සේවක ඇඳුම් වැනි ඇඟලුම් නොවන නිෂ්පාදන සඳහාද ශ්‍රී ලංකාවට ඇණවුම් ලැබේ.

මහා පරිමාණ ඇඟලුම් කම්හල් තමන්ට ලැබෙන ඇඟලුම් නිෂ්පාදන ඇණවුම්වලින් කොටසක් සුළු හා මධ්‍ය පරිමාණ උප කොන්ත්‍රාත් ඇඟලුම් කම්හල්වලටද ලබාදෙයි. ඇඟලුම් ඇණවුම් අවම වීම හේතුවෙන් කුඩා හා හා මධ්‍යම කර්මාන්තකරුවන් සඳහා ලබා දෙන ඇණවුම් ලබා දිය නොහැකි තත්ත්වයක් ඇතිවූ අතර මධ්‍යම හා සුළු පරිමාණ ඇඟලුම් කම්හල් කිහිපයක්ද පසුගිය කාලයේ අවදානමකට මුහුණ පෑවේය. වසර 15ක් පුරා ප්‍රධාන පෙළේ සන්නාමයක් යටතේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ ඇඟලුම් ඇණවුමක් පසුගියදා වියට්නාමයට හා බංග්ලාදේශයට පිරිනැමීමමට එම සමාගම කටයුතු කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස සුළු හා මධ්‍යම ප්‍රමාණයේ ඇඟලුම් කර්මාන්තශාලා 15ක පමණ නිෂ්පාදන කටයුතු ඇනහිටියේය.

ඉදිරි කාර්තුව සඳහා ලැබිය යුතු ඇණවුම් ප්‍රමාණය අවම වුවහොත් බොහෝ කර්මාන්තශාලා විශාල අර්බුදයකට මුහුණ දීමට නියමිත බව ඇඟලුම් නිෂ්පාදකයෝ  ප්‍රකාශ කරති. විදුලි බිල 100%කින් වැඩිවීමද, ඉන්ධන අර්බුදයද ආයතනවල පිරිවැය 5%ත් 10%ත් අතර ප්‍රමාණයකින් ඉහළ දමා තිබේ. එවැනි ප්‍රතිශතයකින් පිරිවැය අධික වීම තම ලාභාංශවලට ඉතා විශාල බලපෑමක් ඇතිකරන බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති. 

මෙම තත්ත්වය මත ඇඟලුම් කර්මාන්තය බිඳවැටුණහොත්, එහි සෘජු රැකියාවල නිරත ශ්‍රමිකයින් 350,000කට සහ වක්‍ර රුකියාවල නිරත සැපයුම් ක්ෂේත්‍රයේ මිලියනයකට අධික පිරිසකට ආදායම් අහිමිවීමේ අවදානමක් ඇතැයි වෘත්තිය සමිති පවසයි.
ශ්‍රී ලංකාව මුහුණ පා සිටින අහිතකර තතත්වයෙන් බැහැර වීමට නම් ශ්‍රී ලංකාවේ ආයෝජනයට හිතකර වාතාවරණයක් ඇති කළ යුතු බව ධම්මික ප්‍රනාන්දු මහතා පවසයි. ආණ්ඩුවේ ක්‍රියාකලාපය තුළින් ආයෝජනවලට හිතකර පසුබිමක් නොව ආයෝජන අපෙන් ඈත්වීමේ වීමේ ක්‍රියාවලියක් සිදුවන බව ඔහු පවසයි. ආයෝජකයන් සඳහා 30% බද්දක් පැනවීම සහ විදේශීය සහ දේශීය විධායක ශ්‍රේණියේ නිලධාරින්ගේ වැටුපට 36%ක බද්දක් අයකිරීමත් 2.5% සමාජ ආරක්ෂණ බද්දක් පැනවීමත් ආයෝජකයන් අධෛර්මත් කර ඇතැයි ඔහු පෙන්වා දෙයි. සමාජ ආරක්ෂණ බද්ද හේතුවෙන් එකම භාණ්ඩයට අවස්ථා කිහිපයකදීම බදු එකතුවීම හේතුවෙන් විශාල ලෙස මිල ඉහළ යන අතර උද්ධමනකාරි තත්ත්වය හේතුවෙන් සේවක වැටුප් වැඩි කිරීමට සිදුව ඇති බවද එම හේතුව මත ශ්‍රී ලංකාවට ඇති තරගකාරි බව අවම වන බවද ඒ මහතා පෙන්වා දෙයි. 

පසුගිය අගොස්තු මාසයේ ඇඟලුම් පිරිවැටුම 20%ක පමණ වැඩිවීමක් දැකිය හැකි විය. ඒ අනුව 2022 අවසන් වනවිට සමස්ත ඉපැයීම් දල වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 5.6ක් දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබේ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට වැදගත්ම වෙළෙඳපොළක් සහිත යුරෝපයේ නිර්මාණය වී ඇති භූ දේශපාලනික ආතතීන් සහ ආර්ථික අස්ථාවරත්වය අනුව 2023 කෙබඳු තත්ත්වයක් නිර්මාණය වේදැයි කිව නොහැකි බව ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ  ෆීලික්ස් ප්‍රනාන්දු මහතා අප සහෝදර පුවත්පත වන &ඩේලි මිරර්* පුවත්පතට ප්‍රකාශ කර තිබේ. මෙරට සමස්ත අපනයනවලින් 86%ක් අපනයනය කෙරෙනුයේ ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය වෙතය. මෙවැනි අභියෝගාත්මක පරිසරයක් තුළ ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය තම වෙළෙඳපොළ විවිධාංගීකරණය කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන ඔහු. එබැවින් චීනය, ඉන්දියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීම සඳහා රජයේ අවධානය යොමුවිය යුතු බව පවසයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන තරඟකරුවන් වන බංග්ලාදේශය, වියට්නාමය වැනි රටවලට සහ ඇතැම් අප්‍රිකානු රටවලට ගෝලීය වෙළෙඳපොළේ  තීරුබදු සහන ලැබෙන නමුදු ශ්‍රී ලංකාවට එවැනි තත්ත්වයක් නොමැත. ශ්‍රී ලංකාවට සහන ලැබෙන්නේ එක්සත් රාජධානිය සහ යුරෝපා සංගම් වෙළෙඳපොළේ පමණි. එවායේද විවිධ කොන්දේසි පවතී.

නව නිදහස් වෙළඳ ගිවිසුම් මගින් ශ්‍රී ලාංකේය ඇඟලුම් අපනයනකරුවන්ට විවිධාංගීකරණය කිරීමට ඇති බාධක අවම කළ හැකිය. එබැවින් චීනය සමඟ නිදහස් වෙළඳ ගිවිසුමක් ඇතිකර ගැනීම අපනයනකරුවන්ගේ ප්‍රමුඛ අවශ්‍යතාව පෙන්වා දෙන ෆීලික්ස් ප්‍රනාන්දු මහතා ඉන්දියානු වෙළෙඳපොළ වෙත 10% පමණ ප්‍රමාණයකින් හෝ ප්‍රවිශ්ඨ විය හැකිනම් එමගින් මිලියන 100ක පමණ පිරිසක් වෙත සමීප විය හැකි බවද අප තවමත් එරටට අපනයනය කරන්නේ ඇඟලුම් කැබලි  මිලියන 8ක් පමණක් බවද පෙන්වා දී තිබේ.


I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා