රටපුරා නිර්මාණය වී ඇති උද්ධමනය ජන ජීවිතයට එල්ල කර ඇත්තේ සුළුපටු පීඩනයක් නොවේ. ආහාර ද්‍රව්‍ය, ඖෂධ ඇතුළු සියලුම අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයන්ගේ මිල මේ වනවිට අහස උසට ඉහළ නැඟ තිබේ. එලෙස මිල ඉහළ යාමෙන් අසරණභාවයට පත්ව සිටින තවත් පිරිසක් වන්නේ අධ්‍යාපනය ලබන දරු දැරියන්ය. කඩදාසි මිල සහ මුද්‍රණ කර්මාන්තය සඳහා භාවිත කරන අනෙකුත් ද්‍රව්‍යවල මිල ඉහළ යෑම නිසා අභ්‍යාස පොත්, පාසල් උපකරණ ඇතුළු සියලු ලිපිද්‍රව්‍ය මිල සියයට තුන්සියයකින් ඉහළ ගොස් ඇතැයි ප්‍රධාන පෙළේ ලිපිද්‍රව්‍ය අලෙවිකරුවෝ ප්‍රකාශ කරති.
2022 ජනවාරි මාසයේ පිටු 80 අභ්‍යාස පොතක මිල පැවතියේ රුපියල් 50ක් ලෙසිනි. මේ වනවිට එය රුපියල් 145ක් දක්වා ඉහළ ගොස් තිබේ. පිටු 40 පොතක් දැන් රුපියල් 85කි. රුපියල් 80ට තිබූ පිටු 120 අභ්‍යාස පෙතක මිල අද රුපියල් 170කි. පැන්සලක මිල පැවතියේ රුපියල් 20 ක් වැනි මිලකය. මේ වනවිට එය රුපියල් 35ත් 40ත් අතර ගණනකි. රුපියල් 295ට පැවැති පාට පැන්සල් 12 පෙට්ටියක් දැන් රුපියල් 570කි. රුපියල් 20ට පැවැති මකන කැබැල්ලක් දැන් 40 කි. රුපියල් 15ක් වූ බොල්පොයින්ට් පෑනක් රුපියල් 35කි. රුපියල් 160ක් වූ පැස්ටල් 24 පෙට්ටියක අද මිල රුපියල් 325කි. රුපියල් 85ක් වූ පිටු 40 කුඩා ඩ්‍රොවින් පොතක් දැන් රුපියල් 140කි. රුපියල් 70ක් වූ ගම් බෝතලයක් 140කි. රුපියල් 80ට පැවැති කුඩා කතුරක් රුපියල් 170කි.
අනෙකුත් සියලු ලිපිද්‍රව්‍ය මිලද මේ හා සමාන ලෙස ඉහළ ගොස් තිබේ. මෙම මිල ගණන් මෙලෙස විශාල වශයෙන් ඉහළ ගියේ මාස 8 වැනි කාලයක් තුළය. මේ හේතුවෙන් ලිපිද්‍රව්‍ය අලෙවිය 50%ක පමණ පහත වැටීමක් පසුගිය කාලයේ සිදු වී ඇතැයි අභ්‍යාස පොත් හා ලිපිද්‍රව්‍ය අලෙවිකරුවෝ පවසති.
මරදාන ප්‍රදේශයේ ප්‍රකට ලිපිද්‍රව්‍ය අලෙවි ආයතනයක හිමිකරුවකු ප්‍රකාශ කළේ තවමත් ලිපිද්‍රව්‍ය හා අභ්‍යාස පොත් අලෙවියේ 20%ක් පමණ ප්‍රමාණයක පහත වැටීමක් පෙන්නුම් කරන බවයි. "මිල ඉහළ ගිය ගමන් 50%කින් පමණ අලෙවිය පහත වැටුණා. ඒත් දරුවන්ගේ අවශ්‍යතා කෙසේ හෝ ඉටු කර දෙන්නට මවුපියන් කටයුතු කරනවා. වෙනත් දෙයකට වැය කරන්න තිබෙන මුදලකින් හෝ ඔවුන් දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය දේ ලබා දෙනවා. ඒ නිසා අලෙවිය ටිකක් වැඩි වුණා. තවමත් කලින් පැවැති තත්ත්වයට සාපේක්ෂව 20%ක පමණ අලෙවියේ අඩුවක් පවතිනවා. ලිපිද්‍රව්‍ය සහ අභ්‍යාස පොත් අප ලබාගන්නේ මෙරට ප්‍රධාන පෙළේ පොත් සහ ලිපිද්‍රව්‍ය නිෂ්පාදකයන්ගෙනුයි. ඔවුන් අපට වට්ටමක් ලබාදෙනවා. මිල වැඩිවීම මත අලෙවියේ යම් අඩුවක් පෙන්නුම් කළත් අපට ලැබෙන වට්ටම එලෙසම පවතින නිසා අලාබයක් නැහැ. සියයට තුන්සියයකින් පමණ මිල ඉහළ ගිය නිසා අපට ලැබෙන ලාභාංශයත් වැඩි වුණා." යනුවෙන් සඳහන් කළේය.
අභ්‍යාස පොත් හා පාසල් උපකරණවල මිල ඉහළ යාම සම්බන්ධයෙන් මවුපියන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටය. මහරගම ප්‍රදේශයේ තිදරු මවක වන ඉන්ද්‍රානි ප්‍රේමරත්න මහත්මිය ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ මෙවැනි අදහසකි.
"මගේ දරුවෝ තුන් දෙනාම තාම පාසල් වයසේ. රටේ හැමදේම ඉහළ ගිහින් තියෙන වෙලාවක දරුවන්ට අවශ්‍ය පොත්පත්වල මිලත් විශාල ලෙස ඉහළ ගිහින්. පොත් පත්වල මිල අද ගණන නෙමෙයි හෙට. මම රැකියාවක් කරන්නේ නැහැ. මහත්තයාගෙ වැටුපෙන් තමයි සේරම කර ගන්න වෙලා තියෙන්නේ. අපිට පඩි වැඩි වෙන්නේ නැහැනේ. ඒ වුණාට හැමදේම උහුලන්න බැරි විදිහට දවසින් දවස වැඩි වෙනවා. ඒ මදිවට විදුලි බිලයි වතුර බිලයි අපිට ඔරොත්තු දෙන්නෙම නැහැ. ඒ කියල දරුවන්ගේ අධ්‍යාපනයට ඕන කරන දේවල් කොහොම හරි අරන් දෙන්න ඕන. අපිට අද අඩුකරන්න වෙලා තියෙන්නේ ගන්න කෑම ප්‍රමාණයෙන් තමයි. අපි ආණ්ඩුවට කියන්නේ දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය දේවල මිල පහත දාන්න කියලයි." යනුවෙන් පැවසුවාය.
මෙරට අභ්‍යාස පොත් හා ලිපිද්‍රව්‍ය නිෂ්පාදනය කරන ප්‍රධාන පෙළේ සමාගම් තුනක් තිබේ. රටේ ලිපිද්‍රව්‍ය අවශ්‍යතාවෙන් වැඩි ප්‍රමාණයක් සපුරාලන්නේ එම ආයතන මගිනි. ලෝක වෙළෙඳපොළේ අමුද්‍රව්‍ය මිල ඉහළ යාම සහ ඩොලරයේ අගය ඉහළ යෑමත් රටේ පවතින ආර්ථික අර්බුදයත් හේතුවෙන් තම නිෂ්පාදනවල මිල ඉහළ දමන්නට එම නිෂ්පාදකයන්ට සිදුව තිබේ.
යුක්රේන යුද්ධය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ප්ලාස්ටික් මිල හා නිෂ්පාදන අමුද්‍රව්‍ය මිල ඉහළ ගිය හෙයින් පොත් හා ලිපිද්‍රව්‍ය මිල ඉහළ ගිය බව මෙරට පොත් හා ලිපිද්‍රව්‍ය නිපදවන සමාගම් ප්‍රකාශ කරයි. කඩදාසි, මුද්‍රණ තීන්ත, මුද්‍රණ තහඩු (ප්ලේට්) සහ වෙනත් මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍යවල මිල විශාල ලෙස ඉහළ ගොස් තිබේ. විවිධ බදු, විදුලිබිල, ජලබිල, සේවක වැටුප්ද ගෙවිය යුතුය. මේ වනවිට ප්‍රවාහන වියදම පෙර වසරට සාපේක්ෂව දෙගුණ වී තිබේ. එමෙන්ම මෙරට බැංකු මගින් නිකුත් කරන ණයවර ලිපි ලොව ඇතැම් සමාගම් පිළිගන්නේ නැත. එහෙයින් ආනයනකරුවා ඇණවුම සඳහා අවශ්‍ය සම්පූර්ණ මුදල බැංකුවට කලින් ලබා දිය යුතුය. විදේශ නිෂ්පාදන සමාගම් ඇණවුම භාර ගන්නේ බැංකුව මගින් තම ආයතනය වෙත මුදල් ගෙවීමෙන් පසුය. අභ්‍යාස පොත් නිෂ්පාදකයන්ට එකවර විශාල මුදලක් ගෙවීම අපහසු බැවින් ඔවුනට ඉහළ පොලී අනුපාතයක් යටතේ ණයක් ලබාගැනීමට සිදුවේ. එසේ ණයට ගෙන අමුද්‍රව්‍ය ආනයනය කර භාණ්ඩ නිපදවා වැය කළ මුදල පියවා ගැනීමට නිෂ්පාදකයකුට මාස හත අටක් පමණ ගතවේ. එම කාලය පුරාවටම ඔහු පොලිය ගෙවිය යුතුය. මෙවැනි තත්ත්වයක් යටතේ ඉදිරි කාලයේ දැන් පවතින මිලට හෝ අභ්‍යාස පොත් හා ලිපිද්‍රව්‍ය අලෙවි කළ නොහැකි වනු ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
මෙරට අභ්‍යාස පොත් සහ ලිපිද්‍රව්‍ය නිෂ්පාදනය කරන ප්‍රධාන පෙළේ සමාගමක ප්‍රකාශයකු සඳහන් කරන පරිදි පසුගිය කාලයේ ජී.එස්.එම්. 60 පිටු 80 අභ්‍යාස පොතක මිල පැවතියේ රුපියල් 55ක් ලෙසය. මේ වනවිට එය රුපියල් 140ක් දක්වා ඉහළ ගොස් තිබේ. අභ්‍යාස පොත් හා ලිපිද්‍රව්‍ය මිල ඉහළ යෑමට බලපෑ සාධක බොහෝය. පසුගිය කාලයේ කඩදාසි ටොන් එකක මිල ඇමෙරිකානු ඩොලර් 700ත් 800ත් අතර අගයක පැවතියේය. ඒ සඳහා වැට් සහ රේගු බද්ද 17%කි. මේ වනවිට කඩදාසි ටොන් එකක මිල ඇමෙරිකානු ඩොලර් 1200ක් 1300ක් දක්වා ඉහළ ගොසිනි. වැට් බදු සහ අනෙකුත් බදු 28.5%කි. වසරකට පමණ ඉහත බැංකු ණය සඳහා පොලී අනුපාතය 8%ත් 10%ත් අතර තිබූ නමුදු මේ වනවිට එය 28%ත් 34% අතර ඉහළ අගයක පවතී. එදා 190ත් 202ත් අතර තිබූ ඩොලරයේ අගය මේ වනවිට රුපියල් 370කි. අභ්‍යාස පොත් හා අනෙකුත් ලිපිද්‍රව්‍ය මිල ඉහළ ගොස් ඇත්තේ මෙම හේතුවෙන් යැයි එම ප්‍රකාශකයා දේශයට කියා සිටියේය.
අභ්‍යාස පොත් මිල ඉහළ ගිය පසු පොත් නිෂ්පාදනය කරන මෙරට ප්රමුඛ පෙළේ සමාගමක් අභ්‍යාස පොත් හා ලිපිද්‍රව්‍ය අලෙවිය පිළිබඳව දිවයින පුරා සමීක්ෂණයක් කර තිබේ. මෙම සමීක්ෂණයේදී නගරබද මෙන්ම දුෂ්කර ගම්බද පළාත් කෙරෙහිද ඔවුන්ගේ අවධානය යොමු විය. බොහෝ දුෂ්කර ගම්වල පොත් සහ ලිපිද්‍රව්‍ය අලෙවිය සඳහාම වෙන්වූ අලෙවි සල් නොමැති අතර ඒවා අලෙවි කරනුයේ ගමේ කුඩා සිල්ලර වෙළෙඳසල් මගිනි.
රුහුණේ එක්තරා දුෂ්කර ගමක අභ්‍යාස පොත් අලෙවි කරන සිල්ලර වෙළෙන්දෙක් සමීක්ෂණ කණ්ඩායමට අපූරු කතාවක් පවසා තිබේ. "මහත්තයෝ මේ ගම්වල අපි වගේ පොඩි වෙළෙන්දො තමයි ළමයින්ට පොතපත විකුණන්නේ. අපි කඩේ අරින්නේ උදේ 6 විතර. සමහර දවස්වලට දොර ඇරපු ගමන් ඉස්කෝලෙ යන දරුවො පොත් ගන්න කඩේ ඉස්සරහ ඉන්නවා. ඒ ළමයි අපිට රුපියල් 55ක් දීල පිටු අසූවේ ඇක්සයිස් පොතක් ඉල්ලනවා. රුපියල් 140 පොතක් අපි කොහොමද රුපියල් 55ට දෙන්නේ. අපිටත් දැරුවො ඉන්නවා. මේ ගම්වල ඉන්නේ ඔක්කොම දුප්පත් මිනිස්සු. අපිට සල්ලි මදියි කියල දරුවා හරවල යවන්න බැහැ. ඒ නිසා පාඩුව විඳගෙන රුපියල් 55ට ඒ පොත දෙනවා දරුවාට." යනුවෙන් කියා තිබේ. පොත් මිල ඉහළ යාම දිළිඳු දරුවන්ට කෙතරම් විශාල ලෙස බලපා ඇතිදැයි එයින් පැහැදිලිය. එමෙන්ම සෑම වෙළෙන්දෙක්ම පාඩු ලබමින් පොත් අලෙවි කරන්නේද නැත. ඈත ගම්බද සිත උණුවන මිනිසුන් එකකු දෙන්නකු සිටියද හැමතැනම එසේ නොවේ.
දැනට අභ්‍යාස පොත් සඳහා භාවිත වන්නේ ජී.එස්.එම්. 60 ප්‍රමාණයේ කඩදාසිය. එහෙත් සහන මිලකට අභ්‍යාස පොත් ලබාදීමේ අරමුණින් තම ආයතනය ඉදිරියේදී ජී.එස්.එම්. 56 ප්‍රමාණයේ කඩදාසියේ යොදා අභ්‍යාස පොත් නිෂ්පාදනය කොට පිටු 80 අභ්‍යාස පොතක් රුපියල් 100ත් 110ත් අතර මිලකට ලබා දීමට කටයුතු කරමින් සිටින බව එක්තරා ප්‍රකට අභ්‍යාස පොත් නිෂ්පාදන සමාගමක් දේශයට පැවසීය.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා