2022 නොවැම්බර් 13 වන ඉරිදා

ගමේ - නගරේ බඩු මිලේ කරුමේ

 2022 නොවැම්බර් 13 වන ඉරිදා, පෙ.ව. 06:00 49

රටේ අත්‍යවශ්‍ය ඇතැම් ආහාර ද්‍රව්‍යවල මිල මේ වනවිට යම් ප්‍රමාණයකට පහළ බැස තිබුණද අපේ ගමේ කඩයේ මිල අඩුවීමක් සිදුව නැත. සීනි කිලෝව රු. 300/- කි. පාන් පිටි රු. 320/- කි. පරිප්පු කිලෝව රු. 360/- ට ආසන්නය. කුකුළු මස් කිලෝව රු. 1400/- කි. තලපත් කිලෝව රු. 1350/- ක් පමණය. සෙසු මාළු ද මිල ඉහළය. කරවල මිල තවත් ඉහළ නැග ඇත. හාල්මැස්සන් ග්‍රෑම් 100, තොණ්ඩයා ග්‍රෑම් 100 රු. 250/- කට අධිකය. බිත්තර මිල පාලනය කළා යැයි ප්‍රචාරය කළ ද බිත්තරය රු. 55/- කි. මුදලාලි ආණ්ඩුවට බණිමින් ඉහළ මිලට බඩු විකුණයි.

''අපි ගාව තියෙන්නේ පරණ ස්ටොක්. අඩු කළ මිලට දෙන්න ඒවා ඉවර වෙන්න ඕනෑ. තවම අලුත් බඩු ආවේ නැහැ.'' මේ ආදී නිදහසට කරුණු එමටය. පාරිභෝගිකයාට සිදුව ඇත්තේ මෙම යාන් හෑල්ල අසාගෙන සිට දෙන මිලට බඩු ගන්නටය. මෙම තත්ත්වය නගරයට වඩා ගම්බද වඩාත් තීව්‍ර වී තිබේ. නගරයේ බහුලව කඩ සාප්පු තිබෙන නිසා එක තැනක මිල වැඩි නම් තවත් කඩයකින් මිලදී ගත හැකිය. එහෙත් ගම්බද එම පහසුකම් නැත. කුඩා මංසන්ධියක ඇත්තේ එක කඩයකි. නැතිනම් දෙකකි. ඇතැම් ඒවායේ අවශ්‍ය බඩු නොමැත. මිල වැඩි යැයි වෙනත් ස්ථානයකට යාමට නොහැකිය. බඩු ලාබෙට දෙනවා යැයි පම්පොරි ගැසුවද ලක් සතොස වෙළෙඳසලක් සොයා ගැනීම නිකිණි සොයනවාටත් වඩා අමාරුය. ඇතැම් ගම්වල සතොස ඇත්තේම නැත. වෙළෙඳසලක් සොයාගෙන කිලෝමීටර් 6 – 7ක් දුර යාමට සිදුවේ. ඒ නිසා මුදලාලිට බැණ බැණ හෝ ඔහු දෙන ගාණට ගන්නවා හැර පාරිභෝගිකයාට වෙනත් විකල්පයක් නැත.

බොහෝ විට දුප්පත් පාරිභෝගිකයා මිලට ගන්නේ කිලෝ ගාණට නොවේ. උපරිම ප්‍රමාණය ග්‍රෑම් 100 කි. ග්‍රෑම් 50 මිලට ගන්නා අවස්ථා ද බහුලය. පොල්තෙල් බෝතල් කාලකි. මෙලෙස කුඩා ප්‍රමාණවලින් මිලදී ගන්නා අවස්ථාවලදී දුප්පතා ගසාකෑමට මුදලාලිට තවත් ඉඩ ලැබේ. එයට හේතුව කුඩා ප්‍රමාණවල මිල ගණන් තැනීමේදී මුදලාලි වැඩි ලාභයක් තබා ගැනීමය. කෙසේ වුවද මිල ඉහළ නැංගුවා හෝ පහළ බැස්සුවා ජය ගන්නේ මුදලාලිමය. පාරිභෝගිකයාට සැමවිටම පරාජය හිමි වේ.

තත්ත්වය මෙසේ පවතිද්දී පසුගිය දිනවල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක තොග මිල අඩු විය. ආනයනික තිරිඟු පිටි මිල පසුගිය 20දා සිට තවත් රු. 25/- කින් අඩු විය. රු. 290/- ක්ව පැවති කිලෝවක මිල රු. 265/- දක්වා අඩු කළ අතර එයට පෙර සතියේද කිලෝව රු. 85/- කින් අඩු කර තිබිණ. අනතුරුව මේ සතිය වනවිට කිලෝවක තොග මිල රු. 250/- දක්වා අඩු කළ අතර ලෝක වෙළෙඳපොළේ තිරිඟු පිටි මිල ඉහළ ගියද, පසුගිය සමයේ අඩු මිලට පිටි වැඩි වශයෙන් ආනයනය කිරීමට හැකිවීම නිසා යළිත් මිල අඩු කළ බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පැවසුවේය.

මේ අතර පසුගිය ඔක්තෝබර් 19දා සහ නොවැම්බර් 3 වැනිදා ලක් සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රුසක මිල පහළ දැමීය. මුලින් ආහාර ද්‍රව්‍ය 6 ක මිල අඩු කළ අතර දෙවනුව භාණ්ඩ 5 ක මිල පහළ දමා තිබුණි.

සුදු සීනි කිලෝව රු. 22/- කින් පහළ දැමූ අතර එහි නව මිල රු. 238/- ක් විය. පාන් පිටි කිලෝව රු. 96/- කින් අඩු කළ අතර නව මිල රු. 279/- කි. රු. 690/- ක්ව තිබූ සැමන් ටින් එකක මිල රු. 585/- දක්වා රු. 105/- කින් අඩු විය. හාල්මැස්සන් කිලෝව රු. 200/- කින් අඩු වූ අතර දැන් මිල රු. 1300/- ක් වේ. රතු පරිප්පු මිල රු. 17/- කින් යළි අඩු කළ අතර කිලෝවක වර්තමාන මිල රු. 398/- ක් වේ.

මේ අතර පසුගිය දිනවල රු. 1500/- මිල ඉක්මවා ඉහළ නැගුණු කුකුළු මස් කිලෝව මේ වනවිට රු. 1080/- දක්වා මිල පහළ දමා ඇත. සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය නිවේදනය කළේ බිත්තර දමන කිකිළියන් මස් පිණිස මැරීම වැඩිවීම නිසා මෙලෙස මස් මිල පහළ දැමූ බවය. මිල ඉහළ යාම නිසා අලෙවිය අඩුව තිබුණු බවද ඔවුන් පවසා තිබිණ. එසේම පසුගිය දිනවල මත්ස්‍ය මිල ද පහළ ගිය අතර රු. 1600/- ට අලෙවි වූ තලපත් කිලෝව රු. 1200/- දක්වා ද, රු. 900/- ට අලෙවි වූ ලින්නා කිලෝව රු. 600/- ට ආසන්න ලෙසද රු. 600/- ක්ව තිබූ සාලයා කිලෝව රු. 320/- දක්වා ද පහළ ගොස් තිබුණි.

ඉන්ධන මිල පසුගිය 9දා සිට යළිත් වරක් පහළ දැමීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර ඇත. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරය රු. 40/- කින් සහ ඔටෝ ඩීසල් ලීටරය රු. 15/- කින්ද පහළ දමා ඇත. ලීටරය රු. 410/- ක්ව තිබූ පෙට්‍රල් රු. 370/- ටද, රු. 430/- ක්වූ ඔටෝ ඩීසල් ලීටරය රු. 415/- දක්වා ද පහළ වැටුණි. එසේ වුවද මෙම මිල පහළ යාමට සාපේක්ෂව බස් රථ හෝ ත්‍රිරෝද රථ ගාස්තු පහළ ගියේ නැත.

ඩීසල් මිල ඉහළ ගියා යැයි වැඩි කළ බස් ගාස්තුද යළි පහළ බසින ආරංචියක් නොමැත. සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න දැන් පවසන්නේ රු. 15/- වැනි සොච්චම් මිල අඩු කිරීමකින් බස් ගාස්තු අඩු කළ නොහැකි බවය.

 

ප්‍රිමා - සෙරන්ඩිබ් සමාගම් තාම මිල අඩුකර නෑ

පාරිභෝගික අයිතින් සුරුකීමේ සංවිධානයේ සංවිධායක සහ සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත්:-

''දැනට අපේ රටේ තිරිඟු පිටි නිෂ්පාදනය කරන ප්‍රධාන සමාගම් දෙක වන්නේ ප්‍රිමා සහ සෙරන්ඩිබ් සමාගම්. මෙම ආයතන පිටි ආනයනය නොකරන අතර ඔවුන් තිරිඟු ගෙනත් පිටි බවට පත් කරනවා. අමු තිරිඟු ආනයනය කිරීමට එතරම් විශාල වියදමක් යන්නේ නැහැ. නිෂ්පාදන වියදමත් සමඟ තිරිඟු පිටි කිලෝවකට රු. 200/- කට අඩුවෙන් තමා වැය වෙන්නේ. ඒත් ඒ අය අලෙවි කරන්නේ කිලෝව රු. 320/- රු. 340/- වැනි ඉහළ මිලකටයි. මෙහිදී කිලෝවකට රු. 100/- කට වැඩියෙන් ලාභ ලබනවා. මෙම තත්ත්වය නැති කරලා අඩු මිලට දෙන්න පුළුවන්. එහෙත් එහෙම අලෙවි කරන්නේ නැහැ. මෙම සමාගම් දෙක පාරිභෝගිකයාට යම් සහනයක් දෙනවා නම් ආපන ශාලාවල වැඩියෙන් අලෙවි කරන පාන් ඇතුළු පිටි නිෂ්පාදන අඩු මිලට අලෙවි කරන්න පුළුවන්.

ආනයනය කරන තිරිඟු පිටිවල මිල රු. 250/- ට බැස්සුවාට ජනතාවට සහනයක් ලැබෙන්නේ නැහැ. එයට හේතුව පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වැඩි කොටසක් නිෂ්පාදනය කරන්නේ ප්‍රිමා සහ සෙරන්ඩිබ් සමාගම් මගින් තනන පිටිවලින්. එයට හේතුව එහි ප්‍රමිතිය ඉහළ නිසයි.''

පාන් මිල තවත් අඩු කළ හැක්කේ මෙහෙමයි

තිරිඟු පිටි මිල අඩු වුවද පාන් පිටි ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ හැක්කේ රු. 10/- කින් පමණක් බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති ඇම්.කේ. ජයවර්ධන පවසයි. එයට හේතුව ලෙස ඔහු පවසන්නේ කිලෝව රු. 250/- බැගින් පිටි ලබාගැනීමට නම් පිටි කන්ටේනරයක් හෙවත් කිලෝ 50 මිටි 50 ක් එකවර මිලට ගතහොත් පමණක් බව ඔහු පෙන්වා දෙයි. එලෙස විශාල ලෙස පිටි මිලට ගත හැක්කේ බේකරි හිමියන් දහ දෙනකුට පමණක් බව ඔහු කියයි.

''බේකරි හිමියන් තිරිඟු පිටි ගන්නේ වරකට මිටි 10 – 15 බැගින්. එවිට මිල රු. 270/- පමණ වෙනවා. අනිත් අතට රු. 250/- ට දෙන බව කියන තිරිඟු පිටි ප්‍රමිතියෙන් බාලයි. ඒ නිසා ඒ පිටිවලින් පාන් තනන්න බැහැ. වැඩි මිලට ප්‍රිමා හා සෙරන්ඩිබ් සමාගම්වලින් පිටි ගන්න සිදුවෙලා තියෙන්නේ ඒ නිසයි. එම සමාගම්වල මිල අඩු කළොත් අපට පුළුවන් පාන් මිල තවත් අඩු කරන්න.''

වැඩි මිලට බඩු විකිණීම් වහාම පැමිණිලි කරන්න

මේ පිළිබඳ අදහස් දක්වන කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න පවසන්නේ භාණ්ඩ අලෙවියේදී පාරිභෝගිකයාට සිදුවන අසාධාරණකම් මැඩපැවැත්වීම සඳහා තම ඍජු අධීක්ෂණය යටතේ ඒකක දෙකක් ස්ථාපිත කර ඇති බවය. එය පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර ජනතාවගේ පැමිණිලි පිළිබඳව වහා ක්‍රියාත්මක වෙයි.

''මේ අනුව පාරිභෝගික සේවා අධිකාරියේ දිස්ත්‍රික් ඒකකයක්ද, කිරුම් මිනුම් හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් ඒකකයක්ද ක්‍රියාත්මක කර තිබෙනවා. මේ මගින් රජය ගැසට් කර ඇති පාලන මිලට හා ප්‍රමිතියට අදාළ නොවන සේ කරන අලෙවි කටයුතු ගැන පරීක්ෂා කරනවා. මෙම ඒකකවලට අනුයුක්තව අවම වශයෙන් නිලධාරීන් 10 ක් බැගින් වූ 20 ක පිරිසක් ක්‍රියාත්මකයි. කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ම මෙම ඒකකවලට සම්බන්ධ කර තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත ක්ෂේත්‍ර නිලධාරීන් ක්ෂේත්‍ර පරීක්ෂණවල යෙදෙනවා. වැඩිපුර පාරිභෝගිකයන් ගසාකන වෙළෙඳුන් පිළිබඳ ක්ෂණිකව කටයුතු කරනවා.

දවසේ පැය 24 තුළම ක්‍රියාත්මක වන මෙම ඒකකවලට 2369139 යන දුරකතන අංකයෙන් සහ 2319142 යන ෆැක්ස් අංකයෙන් ජනතාවට පැමිණිලි කළ හැකියි. පාරිභෝගික අයිතින් උල්ලංඝනය කිරීම් පිළිබඳ මේ වනවිට අධිකරණවල නඩු 50 ක් පමණ ගොනු කර තිබෙනවා. මේ තත්ත්වය මත කොළඹ දිස්ත්‍රික්කය යම් පාලනයකට නතුකර ඇති බව පැවසිය හැකියි. වඩාත්ම පාරිභෝගිකයන් සංඛ්‍යාවක් සිටින්නේ කොළඹ දිස්ත්‍රික්කය තුළයි. ඔවුන්ට සිදුවන අසාධාරණකම් ද ඉහළයි. දැනට පවතින භාණ්ඩ හිඟය සහ ඉහළ මිල දඩමීමා කරගෙන අසරණ පාරිභෝගිකයා ගසාකන ව්‍යාපාරික කොටසක් බිහි වී තිබෙනවා. ඒ නිසා රජය දෙන ඇතැම් සහන පාරිභෝගිකයාට ලැබෙන්නේ නැහැ. විවිධ හේතු ඉදිරිපත් කරමින් ඒවා ප්‍රමාද කරන බවක් දක්නට ලැබෙනවා. එම තත්ත්වය දිගටම පැවතිය යුතු නැහැ. පාරිභෝගික කටයුතු අධිකාරිය සහ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවද ස්වකීය බලතල යටතේ මේ පිළිබඳ ක්‍රියාත්මක වෙනවා. එයට අතිරේක වශයෙන් තමා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙම ඒකක දෙක ස්ථාපිත කර ඇත්තේ.

විශේෂයෙන් මේ වනවිට අඩු බර පාන් අලෙවි කිරීමට එරෙහිව පියවර ගනිමින් සිටිනවා. සාමාන්‍ය බේකරිවල පමණක් නොවෙයි ඇතැම් ප්‍රසිද්ධ ආයතනවල පවා පාන් ගෙඩිය ග්‍රෑම් 450 ට අඩුයි. අපි මෙවැනි සුපිරි ආයතනවලටද මේ වනවිට නඩු පවරා තිබෙනවා. තමා මිලට ගන්නා ඕනෑම භාණ්ඩයක බර කිරා බැලීමට පාරිභෝගිකයාට පාරිභෝගික සේවා පනත අනුව අවස්ථාව තිබිය යුතුයි. එය පිළිබඳ පාරිභෝගිකයා දැනුවත් වෙලා නැති නිසා ගසාකෑම පහසුවෙලා තියෙනවා. බොහෝ විශාල වෙළෙඳසල්වල හා බේකරිවල පවා මෙම අවස්ථාව අහිමි කර තිබෙනවා. එසේම ඇසුරුම්වල දමා ඇති පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල බර මෙන්ම නිෂ්පාදන දිනය ද කල් ඉකුත් දා දිනය ද ප්‍රදර්ශනය කළ යුතුයි. එම අයිතිය උල්ලංඝනය කර ඇති වෙළෙඳුන්ට එරෙහිව පියවර ගන්නවා. බරෙන් සහ මිලෙන් යන දෙකෙන්ම පාරිභෝගිකයා ගසාකෑමට කූඨ වෙළෙඳුන් උත්සාහ කරන බවක් පෙනෙන්නට තිබෙනවා. මෙම තත්ත්වය මර්දනය කිරීමට දිසාපති කාර්යාලය ක්‍රියාත්මක වෙනවා.''
පාරිභෝගික කටයුතු ආයතනයේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර පවසන්නේ අධිකාරිය විශේෂ වැටලීම් කරන අතර, පසුගිය සැප්තැම්බර් දක්වා වැටලීම් 8662 ක් සිදු කර ඉන් 7949 කට මේ වනවිට නඩු පවරා ඇති බවය. මෙයින් මිලියන 64ක දඩ ආදායමක් ලබා තිබේ. ඔක්තෝබර් මාසයේදී මෙයට වැඩි වැටලීම් සංඛ්‍යාවක් සිදු කරන්නට ඇති බව ඔහු උපකල්පනය කරයි. එයට හේතුව වැටලීම් කිරීම තවත් කාර්යක්ෂම කිරීමයි.

I යසවර්ධන රුද්රිගූ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00