
''බොන්න නම් සල්ලි නෑ'' එය ඉඳහිට හෝ රහමෙර සප්පායම් වන බොහෝදෙනා මේ දිනවල මුමුණති. සැබැවින්ම ඊට හේතුව රට තුළ දින දින ඉහළ යන ආහාර උද්ධමනයයි. සෞඛ්‍ය අංශයෙන් සැලකූ විට රහමෙර පානය මිනිසුන් වැළකීම සැබැවින්ම යහපත් තත්ත්වයකි. එහෙත් මිනිසුන්ගේ බීමත්කමින් ආදායම් උපයන රජයට නම් එය එතරම් යහපත් පුවතක් නොවේ.
මෙම තත්ත්වය පිළිබඳව පළමුව තොරතුරු අනාවරණය වූයේ ඉකුත් ජූනි මාසයේදීය. මත්පැන් සඳහා රටේ ඇති ඉල්ලුම ජනතාවගේ ආදායම් මට්ටම අඩුවීම නිසා සියයට 30කින් පමණ පහළ බැස ඇතැයි රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී අනාවරණය විය. එසේම රටේ මත්පැන් මිල මෑතකාලීනව විශාල වශයෙන් ඉහළ යෑමද මත්පැන් පාවිච්චිය අඩු වීමට තවත් ප්‍රධාන හේතුවක් බව කියැවුණි.
අද වනවිට සැබැවින්ම සුරාපනයට ලොල් වූ අය හැරෙන්නට සාමාන්‍ය ජනතාව අතර ඉඳහිට සුරාපානය කරන පිරිස් සැලකිය යුතු ලෙස මත්වතුර භාවිතය අවම කර තිබේ. රට තුළ නිර්මාණය වී ඇත්තේ සාමාන්‍ය මහජනතාව දෛනිකව හෝ මාසිකව උපයන ආදායම ආහාර පාන ඇතුළු සිය මූලික අවශ්‍යතා පිරිමසා ගැනීමට පවා ප්‍රමාණවත් නොවන තත්ත්වයකි.
2021 මැයි මාසයෙන් පසුව ගත වූ මාස 18ක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවේ උද්ධමනය අඛණ්ඩව ඉහළ ගොස් තිබේ. ආහාර උද්ධමනය අතින් ශ්‍රී ලංකාව පසුගිය සමයේ ලොව සිව්වැනි ස්ථානයට පවා පත්විය. සුරාවෙන් ජනතාව ඈත්වීමට මූලික හේතුව මෙම ආහාර උද්ධමනයි. මේ වනවිටත් අවම වශයෙන් එක් මත්පැන් බෝතලයක් සහ අනුපාන මිලදී ගැනීමට රුපියල් තුන්දහස් පන්සියයක් පමණ වැයවේ.
ඒ අනුව මත්පැන් භාවිතය අතින් ලොව ඉදිරියෙන්ම සිටි ශ්‍රී ලංකාව මේ වනවිට මත්පැන් භාවිතය අතින් 79 වැනි ස්ථානය දක්වා පහත වැටී ඇතැයි වාර්තා වේ. සැබැවින්ම මේ සෞඛ්‍ය අංශ සතුටු කරන වාර්තාවකි. මේ අනුව යමින් සෞඛ්‍ය බලධාරීන් පැහැදිලි කරන්නේ මත්පැන් භාවිතය අඩුවීම සුරාබදු කෙරෙහි අයහපත් වුවද දීර්ඝකාලීනව සෞඛ්‍ය වියදම් අවම කර ගැනීමට හේතුවක් වන බවයි. කෙසේ වෙතත් එය දිනකින් හෝ වසර කිහිපයකින් සිදුකළ නොහැක්කකි.
මාස කිහිපයකට ඉහතදී සියයට තිහක් ලෙස කියැවුණු මත්පැන් භාවිතය නොවැම්බර් මාසය වනවිට සියයට හතළිහක් දක්වා තවදුරටත් පහත වැටී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සමඟම සුරාබදු ආදායම්ද සැලකිය යුතු මට්ටමින් පහළ යමින් පවතින බව ඔවුහු අනාවරණය කරති.
මේ අතර රටේ ප්‍රධාන නගරවලින් පරිබාහිරව පවතින සුරා සල්වල අලෙවියේ විශාල පහළ වැටීමක් දක්නට ලැබෙන බව සුරාසල් හිමියෝ පවසති. ඔවුන් පෙන්වා දෙන්නේ තම ප්‍රදේශවල තරුණ තරුණියන් පවා මේ වනවිට ''කසිප්පු'' වැනි නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිත කිරීමට පෙළඹී සිටින බවකි.
මෙරට තුළ නීති විරෝධී මත්පැන් භාවිතය සියයට 300කින් පමණ ඉහළ ගොස් ඇති බව ඉකුත් ඔක්තෝබර් මාසයේදී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා තිබුණි. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරට මත්පැන් භාවිතය පිළිබඳව සිදුකළ සමීක්ෂණයක වාර්තාවක් උපුටා දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 2004 සිට 2016 දක්වා වසර 12ක කාලය තුළ මෙරට මත්පැන් කර්මාන්තයේ සියයට 95ක වර්ධනයක් දක්නට ලැබුණද, එහි නීත්‍යනුකූල මත්පැන්වල වර්ධනය පෙන්නුම් කරන්නේ සියයට 50ක් පමණ බව ඒ අනුව කියැවේ.
මෙරට නිෂ්පාදනය කරන නීතිවිරෝධී මත්පැන් හුදු ''කසිප්පු'' පමණක් නොවන බව කිව යුතුය. ඇතැම් ව්‍යාපාරිකයන් විසින් විවිධ ක්‍රම උපයෝගී කර ගනිමින් නීති විරෝධී මත්පැන් පෙරා කලවම් කොට සිදුකරන වංචා පිළිබඳ ඕනෑතරම් සාක්ෂි තිබේ. සුරාබදු ආදායම අහිමි වීමටද හේතුවකි. ආර්ථික අර්බුදය සහ තවත් බලපෑම් මෙම කර්මාන්තය කෙරෙහි එල්ල වී තිබේ. මත්පැන් නිෂ්පාදනය කිරීමට ඇති එතනෝල් ප්‍රමාණය සීමාසහිත වීම, ඩීසල් සහ දැවිතෙල් සීමාසහිත වීම සහ බෙදාහැරීමේදී ඇති ගැටලු මෙහිදී සුවිශේෂීය.
මේ අතර සිහිපත් කළ යුත්තේ වසංගත සමයේද සුරාබදු ආදායම් සැලකිය යුතු ලෙස පහළ වැටුණු බවයි. ඒ අනුව වර්තමානය තත්ත්වය සැලකීමේදී සුරාබදු ආදායම අපේක්ෂිත ඉලක්ක කරා රුගෙන යාමට සුරාබදු දෙපාර්තමේන්තුවට නොහැකි වනු ඇති බව පැහැදිලිය. කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි පවසා තිබුණේ කොරෝනා වසංගතය හේතුවෙන් 2021 වසරේදී රුපියල් බිලියන 22ක පමණ ආදායමක් අහිමි වී ඇති බවකි.
රාජ්‍යයක් ලෙස අප සුරාබදු ආදායම්වලින් යැපීම එතරම් සතුටුදායක නොවන තත්ත්වයක් බව සඳහන් කළ යුතුය. එහෙත් සුරාබදු ආදායම් සියලුම රටවල පාහේ පොදුවේ ලබාගන්නා ආර්ථික ශක්තියකි. සුරාබදු ආදායම් අහිමිවීම පිළිබඳ සතුටු වෙනවාද දුක් වෙනවාද යන්න පිළිබඳව ඇත්තෙන්ම මේ මොහොතේ නිර්මාණය වී ඇත්තේ වික්ෂිප්ත භාවයකි.
I චමිඳු නිසල් ද සිල්වා