බලහත්කාර දූෂණ චෝදනාව පිළිගන්න බෑ:
- ඕස්ට්‍රේලියා මාධ්‍ය කියයි
ධනුෂ්ක වෙනුවෙන් අලුත් නීතිඥයෙක්
ජොෂුවා’ යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටිමින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක ධනුෂ්ක ගුණතිලක තමන් දූෂණය කළේ යැයි 29 හැවිරිදි තරුණියකගෙන් ‘සිඩ්නි සිටි’ පොලිසියට පැමිණිල්ලක් ලැබෙන්නේ පසුගිය සතියේ සෙනසුරාදා (5 වැනිදා) රාත‍්‍රියේය.
දූෂණය කළේ යැයි කියන සිද්ධිය ඊට දින තුනකට පෙර එනම් පසුගිය 3 වැනිදා අලුයම සිඩ්නිහි පිහිටි පැමිණිලිකාරියගේ නිවසේදී සිදුවූ බව පැමිණිල්ලේ සඳහන් විය. ‘සිඩ්නි’ පොලීසියට පැමිණිල්ල ලැබුණු වහාම ක‍්‍රියාත්මක වෙමින් ධනුෂ්ක සිඩ්නිහි හෝටලයක සිටියදී අත්අඩංගුවට පත්වන අතර එතැන් සිට නාටකය දිගහැරේ.
විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටි තුන් ඉරියව් ක‍්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ස්ත‍්‍රී දූෂණ චෝදනාවකට ඕස්ට්‍රේලියාවේදී බන්ධනාගාරගත කිරීමේ සිද්ධිය පසුගිය සතියේ ශ්‍රී ලංකාව උණුසුම් කළේය. මෙම සටහන තබන මොහොත වන විටත් ධනුෂ්ක, සිඩ්නි නුවර බන්ධනාගාරයක රඳවා සිටි අතර ඔහු වෙනුවෙන් තවත් ඇප අයදුම්පත‍්‍රයක් පසුගිය සිකුරාදා (11 වැනිදා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
කාන්තාවන් සම්බන්ධ කරගත හැකි ඕස්ට්‍රේලියාවේ සුප‍්‍රසිද්ධ ‘දුරකථන’ යෙදවුමක් (ඇප්) වන ‘ටින්ඩර්’ හරහා කාන්තාවක් සමඟ සම්බන්ධයක් ගොඩනඟා ගත්තේ යැයි කියන ධනුෂ්ක ඇය සමඟ මුලදී කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම් මගින් සම්බන්ධ වී ඇති බව වාර්තා විය.
ධනුෂ්ක පසුගිය ඔක්තෝබර් මස 29 වැනිදා පළමුවරට ඇය සමඟ ‘ඇප්’ එක හරහා සම්බන්ධ වී ඇති බවත් ඉන් පසුව ඇයව බ්‍රිස්බේන්වලට ගෙන්වා ගැනීමට උත්සාහ කර ඇති බවත් පොලිස් පැමිණිල්ලේ සඳහන් වේ. ඇය බ්‍රිස්බේන් පැමිණීම ප‍්‍රතික්ෂේප කිරීමෙන් පසුව සිඩ්නි නුවර සර්කියුලර්ක්වේහි ඔපෙරා අවහලේදී දෙදෙනා මේ මස 2 වැනිදා රාත‍්‍රී 8.00ට පමණ මුණගැසී මත්පැන් පානය කර තිබිණි. ඉන්පසුව වෙනත් අවන්හලකදී රාත‍්‍රී ආහාරද ගෙන රාත‍්‍රී 10.50ට පමණ රෝස්බේ පිහිටි ඇයගේ නිවසට මගී යාත‍්‍රාවකින් ගොස් ඇති බවත් යාත‍්‍රාව පැමිණෙන තෙක් සහ යාත‍්‍රාවේ යන අතරතුරදීත් ධනුෂ්ක තමන්ව බලහත්කාරයෙන් සිපගත් බවත් ඇය පැමිණිල්ලේ සටහන් කර තිබේ.
එහිදී ඇයගේ පසුපස ප‍්‍රදේශයට ධනුෂ්ක පහර දී ඇති බවත් එම ප‍්‍රහාරය ඇයට දරාගත නොහැකි වී ඇති බවත් සඳහන් කර තිබේ. බලහත්කාරකමට ලක්වූයේ යැයි කියන අවස්ථාව වනවිට ධනුෂ්ක මත්පැන් වීදුරු දෙකක් සහ පැමිණිලිකාරිය මත්පැන් වීදුරු පහක් පානය කර සිටි බවද අධිකරණයේදී හෙළි විය.
නිවෙසට පැමිණි වහාම ධනුෂ්ක ඇය සමඟ ලිංගික ක‍්‍රියාකාරකම්වල නිරත වූ බවත් හදිසි නොවන්නැයි පැවසුවද ධනුෂ්ක එයට ප‍්‍රතිචාර නොදැක්වූ බවත් පැමිණිල්ලේ දක්වා තිබේ. ධනුෂ්ක පසුව අනාරක්‍ෂිත අයුරින් තමා සමඟ ලිංගිකව හැසිරීමෙන් තමන් දැඩි කායික පීඩාවට මෙන්ම කම්පන තත්ත්වයට පත්වූ බවත් අධික ශීතලකට නිරාවරණය වූ බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇති ඇය එම අවස්ථාවේදී ධනුෂ්ක සිය ගෙල සිරකළ බවද කියන්නීය.
මේ සිදුවීම්වලින් පසුව කුලී රථයක් තමා ලවාම ගෙන්වා ගෙන අලුයම 1.00ට පමණ ධනුෂ්ක නිවසින් පිටව ගිය අතර පසුදින පෙරවරුවේ තමාට ශාරීරික අපහසුතා නිසා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට සිදුවූ බව ඇය පැමිණිල්ලේ සඳහන් කර ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. ඇය සිඩ්නි නුවර රෝහලකින් වෛද්‍ය පරීක්ෂණ මගින් ලිංගික අඩත්තේට්ටම් පරීක්‍ෂා කිරීමේ ක‍්‍රියාවලියකටද පෙනී සිට ඇති අතර ගෙල සිර කිරීම නිසා හුස්ම සිරවීමෙන් හානියක් සිදුවී ඇද්දැයි පරීක්‍ෂා කිරීමට මොළයේ ස්කෑන් පරීක්‍ෂාවක්ද කර ඇති බවත් අධිකරණයේ හෙළි වී තිබේ.
ධනුෂ්ක දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට කළ සියලු උත්සාහයන් ව්‍යාර්ථ වූ පසුව ඇය පොලීසියට පැමිණිලි කර ඇති බව ඕස්ට්‍රේලියාවෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි. සිඩ්නි පොලිසියේ අත්අඩංගුවට පත්වීමෙන් පසුව අවස්ථා තුනකදී ධනුෂ්ක අධිකරණයට ඉදිරිපත් කළද ධනුෂ්කට ඉදිරිපත් කළ ඇප අයැදුම්පත් ප‍්‍රතික්ෂේප විය. ඒ හේතුවෙන් ධනුෂ්ක තවදුරටත් සිල්වර් වෝටර් නැමැති බන්ධනාගාරයේ රඳවා සිටී.
ධනුෂ්ක අන්තර්ජාලය හරහා අධිකරණයට ඉදිරිපත් කළ පළමු අවස්ථාවේදී ඔහු අළු පැහැති ටී ෂර්ටයක් ඇඳ සිටි බවත් ඔහුගේ දෑත්වලට මාංචු දමා තිබූ බවත් විදේශ මාධ්‍ය වාර්තා කළේය. ඉන්පසුව ධනුෂ්කව ඩව්නිං සෙන්ටර් මහේස්ත‍්‍රාත් උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේදී විනිසුරු රොබට් විලියම්ද ඇපදීම ප‍්‍රතික්ෂේප කළ අතර එහිදී ධනුෂ්ක වෙනුවෙන් නීතිඥ ආනන්ද අමරනාත් මහතා පෙනී සිටියේය.
පැමිණිලිකාරියගේ නිවෙස පරීක්‍ෂා කළ සිඩ්නි පොලිසියට ධනුෂ්කගේ හිස කෙස් සහ ඔහු පාවිච්චි කළේ යැයි සැකකරන උපත් පාලන කොපුවක් සොයාගත් බවත් එම භාණ්ඩ මත සිඩ්නි පොලිසිය නඩුව ගොනුකිරීමට සූදානම් වන බවත් වාර්තා වේ. නඩුව ජනවාරි 12 වැනිදා නැවත කැඳවීමට නියමිත අතර ඒ හේතුවෙන් ඔහුට ඒ වනතුරු මාස දෙකක් රක්‍ෂිත බන්ධනාගතව සිටීම සිදුවේ.
කෙසේ වෙතත් ඇයගේ අකැමැත්ත මත ඇයගේ නිවෙසටම ගොස් දූෂණය කළ බවට නැගෙන චෝදනාව ධනුෂ්ක ප‍්‍රතික්ෂේප කළද ඇය සමඟ ලිංගිකව හැසිරුණු බව ප‍්‍රතික්ෂේප නොකළ බව අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි. ධනුෂ්ක නොදන්නා රටක පැමිණිලිකාරියගේම නිවෙසට ගොස් බලහක්කාරයෙන් දූෂණය කළ බවට එල්ල වන චෝදනාව පිළිගත නොහැකි බවට ඕස්ට්‍රේලියානු මාධ්‍ය සඳහන් කර තිබූ බවද වාර්තා වේ.
ධනුෂ්ක ගුණතිලක සහ දූෂණයට ලක්වූයේ යැයි කියන කාන්තාව අතර සිදුවූ දුරකථන සංවාද සහ කෙටි පණිවුඩ ඇතුළත් දුරකථන යෙදවුම ධනුෂ්ක මකාදමා තිබීම ඔහුට අවාසියක් බවට පත්ව ඇතැයිද දැනගන්නට තිබේ. ධනුෂ්ක වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ ආනන්ද අමරනාත් මහතා පසුගිය බදාදා වනවිට එම අධිකරණ ක්‍රියාවලියෙන් ඉවත්ව සිටි අතර ඒ වෙනුවට ඕස්ට්‍රේලියාවේ නමගිය නීතිඥවරයකු වන සෑම් පරරාජසිංහම් මහතා පෙනී සිටින බවද වාර්තා විය.
ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ග්ලේන් මැක්ස්වෙල්, ධනුෂ්ක රඳවා සිටි පොලීසිය වෙත ගොස් සිද්ධිය පිළිබඳව සිය කණගාටුව පළකර ඇති බවත් සිද්ධිය සමථයකට පත්කර ගැනීම සඳහා අදාළ තරුණිය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් දැනුම් දී ඇති බවත් සමාජ මාධ්‍ය ජාලාවල පළවිය. කෙසේ වෙතත් මැක්ස්වෙල් එවැනි ප‍්‍රකාශයක් කළේද යන්න මේ දක්වා නිල වශයෙන් තහවුරු කර නොතිබුණි.
මේ අතර ඕස්ට්‍රේලියානු පිලේ හිටපු නායකයකු වන රිකී පොන්ටිංද ධනුෂ්කට මුහුණදීමට සිදුවූ සිද්ධිය පිළිබඳව කණගාටුව පළකර තිබූ බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර ඇති බව වාර්තා විය. ඕස්ට්‍රේලියානු ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක් ධනුෂ්කට ආහාර රැගෙන ගොස් ඇති බවටද සමාජ මාධ්‍යවල විස්තර පළවුවද එයද මේ දක්වා තහවුරු වී නොමැත.
පැමිණිකාර තරුණියගේ හිටපු පෙම්වතෙක් යැයි කියන පුද්ගලයෙක්ද ඇය මුදල් ලබාගැනීම සඳහා මේ ආකාරයටම කටයුතු කළ බව ප‍්‍රකාශකර ඇති බවද විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණි. ඕස්ට්‍රේලියාවේ කාන්තාවන්ට මුහුණදීමට සිදුවන ලිංගික හිරිහැර සම්බන්ධ නීති ඉතාමත් තද බවත් මෙම වසර මුලදීද කාන්තාවන් සම්බන්ධ නීති වඩාත් තද කළ බවත් එරට ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම නඩු විභාගය ජනමාධ්‍යයට විවෘත නොකරන ලෙස පැමිණිලි පාර්ශවයේ නීතිඥවරුන් කළ ඉල්ලීමකට ප‍්‍රතිචාර දක්වමින් ජනමාධ්‍යවලට එය තහනම් කළද පසුගිය බදාදා නැවත ජනමාධ්‍ය ආයතනවලට නඩු විභාගය වාර්තා කිරීමට දොරටු විවෘත කිරීමට අධිකරණය පියවර ගත්තේය.
ධනුෂ්ක අදාළ කාන්තාව සම්බන්ධ කරගත්තේ යැයි කියන දුරකථන ‘ඇප්’ එකේ කාන්තාවන් ලක්‍ෂ 80ක පමණ පිරිසක් සාමාජිකත්වය දරන බවත් ඕස්ට්‍රේලියාව තුළ මෙවැනි සිද්ධීන් නිරන්තරයෙන් වාර්තා වන බවත් ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයෙක් පැවසීය.
ධනුෂ්ක ගුණතිලකට මෙවැනි චෝදනා එල්ල වූ පළමු හෝ දෙවැනි අවස්ථාව මෙය නොවන අතර ශ්‍රී ලංකාවේදී පැවැති සංචාරයක් අතරතුරදී ද තරුණියක් දූෂණය කළ බවට ඔහුට චෝදනා එල්ල විය. එම චෝදනාවට ධනුෂ්කට මාස 6ක තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පියවර ගත්තේය.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පසුගිය සඳුදා ධනුෂ්ක ගුණතිලකට සියලුම මාදිලියේ ක‍්‍රිකට් තහනම් කරමින් එම සිද්ධිය සහ ඇතුළු වාර්තාවන සිද්ධීන් පිළිබඳව විමර්ශනය සඳහා විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත‍්‍රිපුද්ගල කමිටුවක් පත් කළේය.
ධනුෂ්කගේ මෙම සිද්ධියත් සමඟ ලෝක කුසලාන තරගාවලියේදී සිදුවූයේ යැයි කියන සිද්ධීන් රුසක් ද පසුගිය සතියේ එළියට පැමිණියේය. එම සිද්ධීන් පිළිබඳව පරීක්‍ෂණ කිරීමට ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් ද කමිටුවක් පත්කිරීමේ සූදානමක් තිබුණි.
I සටහන: යොහාන් භාසුර