2022 නොවැම්බර් 13 වන ඉරිදා

ප්‍රියමාලිගේ දැලේ නිළියෝ රෑනක්

 2022 නොවැම්බර් 13 වන ඉරිදා, පෙ.ව. 06:00 494

කොළඹ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ 34 වැනි මහලේ නවීන පහසුකම් සහිත කාර්යාලයක් පවත්වාගෙන යමින් මහා පරිමාණ මූල්‍ය වංචාවක නිරත වූ තිළිණි ප්‍රියමාලිගේ කෙරුවාව සුළුපටු නැත. අගනුවර ප්‍රකට ව්‍යාපාරිකාවක වශයෙන් සමාජයේ පෙනී සිට සිදුකළ ඇගේ රංගනයට රුවටුණු නමගිය ඇත්තන්ට තවමත් ඇගේ රංගනය අදහාගත නොහැකිව සිටිති. එවැනි ඇතැමුන් ඒ බව හරිහැටි තහවුරු කරගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ නිරුත්තර වූ පසුවය.

කෙසේ හෝ මෙරට ප්‍රධාන පෙළේ ප්‍රකෝටිපතියන්, ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන්, කලා ශිල්පීන් මෙන්ම විවිධාකාර ජාවාරම්කරුවන් අන්දවා රුපියල් බිලියන ගණනින් මූල්‍ය වංචා සිදුකිරීමට තිළිණි ප්‍රියමාලි සමත්ව සිටින්නීය. ඉහවහා ගිය වංචාවන් නිසාම හොට පටලාගත් තිළිණි පොලිස් අත්අඩංගුවට පත්වූ පසුව දැන් බන්ධනාගාර ගතව කල් ගෙවයි. ඇගේ කූඨ වංචාවන් සඳහා උඩගෙඩි දෙමින් සිය මඩිය තරකර ගන්නට උත්සාහ කළ තිළිණිගේ සැමියා වශයෙන් පෙනී සිටි ඉසුරු බංඩාර නැමැත්තා සෙසු අයට මත්තෙන් අත්අඩංගුවට පත්විය. අනතුරුව අත්අඩංගුවට ගත්තේ මෙරට අහිංසක බෞද්ධ ජනතාව ගොනාට අන්දමින් බොරු රහත් වෙස්ගෙන චීවරයක් දරා සිටිමින් සිය මඩිය තරකර ගන්නට උත්සාහ කළ භික්ෂුවක වූ බොරුල්ලේ සිරිසුමන හිමිනමය. ඉන්පසුව සමාගම් අධ්‍යක්ෂකවරියක වූ ජානකී සිරිවර්ධන නැමැත්තියද අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේය.

තිළිණි ප්‍රියමාලිගේ මහා පරිමාණ මූල්‍ය ජාවාරම අතරතුර ඇය ප්‍රසිද්ධියේ කෝටිපති ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන් කලා ශිල්පීන් මෙන්ම සමාජයේ ධනවතුන් රුසක් ආශ්‍රය කොට තිබුණි. ඔවුන් අතර බහුතරයක් සමඟ ඇය සමීප ඇසුරක් පවත්වාගෙන ගොස් තිබුණි. පිරිස අතර ප්‍රවීණ හා ජනප්‍රිය රංගන ශිල්පීන් හා ශිල්පිනියන්ද වන බව දැන් රහසක් නොවේ. ජනප්‍රිය හා ප්‍රවීණ රංගන ශිල්පිනියන් වන සංගීතා වීරරත්න සහ සේමිණී ඉද්දමල්ගොඩ මහත්මියද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ අදාළ විමර්ශන වෙනුවෙන් ප්‍රශ්න කිරීම සඳහාය. මේ අතර ප්‍රවීණ රංගන ශිල්පියකු මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ ජීවන් කුමාරතුංග මහතාගෙන් මෙන්ම ඔහුගේ බිරිඳගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර තිබේ.

තිළිණි ප්‍රියමාලිට එරෙහි විමර්ශන අතරතුර රංගන ශිල්පිනී සංගීතා වීරරත්න මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැය 5ක පමණ කාලයක් ප්‍රශ්න කොට ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණේ ඉකුත් 7 වැනිදාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග වාර්තා කළ පරිදි සංගීතා මහත්මිය හා තිළිණි ප්‍රියමාලි අතර හිතවත්කම සබඳතා හා මූල්‍ය ගනුදෙනු පිළිබඳව අවධානය යොමුකර දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇත. එම ප්‍රශ්න කිරීම අතරමැද තිළිණි ප්‍රියමාලි සතුව තිබූ වීඩියෝ දර්ශනයක් පෙන්වා ප්‍රශ්න කිරීමේදී ඇයට පිළිතුරක් ලබාදීමට නොහැකිව නිරුත්තර වූ ඔබට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය. මේ නිසා සංගීතා මහත්මිය ලබාදුන් තොරතුරු අනුව ඇයගෙන් නැවත වරක් ප්‍රශ්න කිරීමට අවශ්‍යතාවක් මතුව ඇති බවද වාර්තා වේ.

මේ ආකාරයටම කරළියේ ප්‍රියමාලි හා සබඳතා පැවැත්වූ බව කියන රංගන ශිල්පිනී සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා පැය 4ක් ප්‍රශ්න කොට ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණි. මේ අතර ජනප්‍රිය නිවේදක යුවළක් වන මනෝජ් පේෂල හා පූර්ණිමා දෙපළ වෙත නිවසක් මිලදී ගැනීම සඳහා කෝටි එකහමාරක මුදලක් තිළිණි විසින් ලබාදී තිබෙන බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායමේ අවධානය යොමුව ඇත. එබැවින් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා සූදානමක් ඇති බවද වාර්තා වේ. පූර්ණිමා නැමැත්තියගේ උපන්දින සාදයක් තිළිණි ප්‍රියමාලිගේ අනුග්‍රාහකත්වය මත ඇයගේ කාර්යාල පරිශ්‍රයේ පැවැත්වූ බව ප්‍රසිද්ධය. එම ඡායාරෑප රුසක් ඉකුත් දිනවලදී අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධ කොට තිබිණ.

ජීවන් කුමාරතුංග මහතාගෙන් හා එම මහත්මියගෙන් පැය 5ක් පමණ ප්‍රශ්න කොට ප්‍රකාශ සටහන් කොටගෙන තිබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩි අවධානයක් යොමුකර ඇත්තේ තිළිණි ප්‍රියමාලි හා කුමාරතුංග පවුල අතර පැවැති සබඳතාව පිළිබඳවය. එසේම ජීවන් කුමාරතුංග මහතාගේ චරිතය පාදක කොටගෙන චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම පිළිබඳවද කරුණු විමසා ඇති බව වාර්තා වේ. මේ කාරණය පිළිබඳව ඉදිරියේදී ජීවන් කුමාරතුංග මහතාගේ සමීපතම ඥාතීන් වෙතින් ප්‍රශ්න කිරීමට නියමිතව තිබේ. එසේම තිළිණි ප්‍රියමාලිට එරෙහි විමර්ශන සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා නවක නිළියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමට නියමිතය. ඒ පිළිබඳව ඇය දැනුම්වත් කොට ඇති අතර ඉදිරි දිනක ඇය පැමිණ ප්‍රකාශයක් ලබාදෙනු ඇති බව කියැවේ.

ජීවන් කුමාරතුංග චරිතය පාදක කරගෙන නිපැදවූ බව කියන චිත්‍රපටය සඳහා තිළිණි ප්‍රියමාලි විශාල මුදලක් වැයකර ඇත. එය දැන් ප්‍රදර්ශනය සඳහා සූදානමින් ඇති බව පැවසේ. මේ ආකාරයට චිත්‍රපටයක් නිපදවා ප්‍රවීන රංගන ශිල්පියකු මෙන්ම දේශපාලනඥයකුද වන කුමාරතුංග අන්දවා චිත්‍රපටයට වැයකළ මුදල මෙන් තුන් ගුණයක පමණ මුදලක් ඔහු ලවා තිළිණි සිය සමාගමේ ආයෝජනය කරවාගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව ඒ මහතා සතු විශාල මුදලක් ඇය විසින් වංචාකොට ඇති බව හෙළි වී ඇත.

මේ අතර විමර්ශන කණ්ඩායම් අනාවරණය කොටගෙන ඇත්තේ තිළිණි ප්‍රියමාලි විසින් දකුණු පළාතේ කට්ටඬින් දෙදෙනකු ලවා සිය ගුප්ත ආශීර්වාද කටයුතු සිදුකරගෙන ඇති බවත් ඒ සඳහා රුපියල් කෝටි 10-15 අතර මුදලක් වැයකර තිබෙන බවත්ය. මේ ආකාරයට සිදුකරන විමර්ශන අතරතුර ඇතැම් ධනවත් පුද්ගලයන් ව්‍යාපාරිකයන් හා දේශපාලනඥයන් මෙන්ම ඇතැම් පූජ්‍ය පක්ෂයේ අයද තිළිණිගේ වංචා සඳහා ආධාර අනුබල දී ඇතැයි අනාවරණය වී තිබේ. මේ අතර තිළිණි ප්‍රියමාලිගේ තිකෝ සමූහ ව්‍යාපාරයට අදාළ වංචාවලට එරෙහිව 13 වැනි පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ මොරටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසිනි. තිළිණි ප්‍රියමාලි විසින් ඩොලර් දෙන බවට පවසා රුපියල් කෝටි 4ක් මොහුගෙන් වංචා සහගතව ලබාගෙන ඇති බවට සිදුකළ පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තාකොට ඇත. මේ අනුව තිළිණි ප්‍රියමාලිට අයත් බැංකු ගිණුම් හතරක් පරීක්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණයේ අවසර ලැබී ඇත.
මේ ආකාරයට තවදුරටත් සිදුකරන විමර්ශනවලින් අනතුරුව තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචාවන් හා ඇය සමග සබඳතා පැවැත්වූ විශේෂ පුද්ගලයන් රුසකගේ නිරුවත හෙළිවන රහස් රුසක් එළිවීමට නියමිතය.

I සමන්ත ප්‍රදීප් විල්තෙර