
යුරෝපයේ සීත ඍතුව ඉන්දියන් සාගරයේ සමකාසන්න දූපත්වාසීන් වන අපට සංචාරක වසන්තයයි. එහෙත් එම වසන්තය වසර තුනක් පුරා උදා නොවුණු බැව් සිහිකළ යුතුය. එහෙත් මෙවර වසන්තය යම් බලාපොරොත්තුවක් කර්මාන්තය තුළ දලු ලා වැඩෙමින් පවතියි.
මෙවර සංචාරක වසන්තය පිළිබඳ කතාබහ කරන්නට අපි සුවිශේෂී චරිත ද්විත්වයක් ඔබ හමුවට පමුණුවමු. මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රධානම අංශ ද්විත්වය නියෝජනය කරන්නෝය. ඉන් පළමුවැන්නා ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ හිටපු සභාපති, ගල්කිස්ස මහ හෝටලයේ සභාපති සනත් උක්වත්ත මහතාය.
සංචාරක හෝටල් ප්‍රජාව නියෝජනය කරමින් ඒ මහතා අප සමග අදහස් බෙදා ගනියි.
''අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා වසර තුනකට පසුව මේ සීසන් එක හොඳ කාලයක් වෙයි කියලා. කර්මාන්තය ක්‍රමයෙන් ගොඩනැගෙමින් පවතින බව දැකීම සතුටක්. මේ විදිහට ගියොත් අපි බලාපොරොත්තු වෙනවා ලබන වසරේ අග භාගය වෙනකොට, මීටත් වඩා හොඳ තත්ත්වයකට ළඟාවෙන්න පුළුවන් කියලා.''
සාධනීය ප්‍රවේශයකින් උක්වත්ත මහතා අප සමග සංවාදයට අවතීර්ණ වේ. මීළඟට අප කැඳවා ගන්නේ ද හෝටල් ප්‍රජාවට බාහිරින් සිටින සංචාරක කර්මාන්තයේ නියුතු වූවන් නියෝජනය කරන චරිතයකි.
ඔහු සංචාරක රියදුරු, මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන්ගේ සංගමයේ සභාපති චන්දිම ජයවීර මහතාය. බලාපොරොත්තුවක් පෙරදැරිවය ඔහු ද කතිකාවට සම්බන්ධ වේ.
''අපිට ප්‍රධානතම ප්‍රශ්නය වෙලා තිබුණේ ඉන්ධන ප්‍රශ්නය. ඒ ප්‍රශ්නය විසඳුණා. ඒක අපට තිබුණු ප්‍රශ්නවලින් 50%ක් විතර විසඳුණා. අපිට බලාපොරොත්තුවක් තියෙනවා. දැන් ගුවන් සේවා කිහිපයකින් ලංකාවට සංචාරකයො එනවා. නමුත් ටික දෙනෙක් තමයි ලංකාවෙන් බහින්නෙ. අනෙක් පිරිස මාල දිවයිනට යනවා. ඒකට හේතුව තමයි රජය මොනතරම් කිව්වත් තවමත් සමහර රටවල්වල ශ්‍රී ලංකාව සම්බන්ධ සංචාරක වාරණ ක්‍රියාත්මක වීම.''
මේ අනුව සංචාරක කර්මාන්තයේ නියුතු සියලු පාර්ශ්වවලට එළඹෙන සංචාරක වසන්තය පිළිබඳ යම් බලාපොරොත්තුවක් ඇති බව පෙනෙයි. එහෙත් තවමත් කර්මාන්තයට අභ්‍යන්තරයේ මෙන්ම ඊට පිටතින්ද අභියෝග රුසක් තිබේ. දැන් අපි අපේ අවධානය එම අභියෝග දෙසට යොමු කළෙමු.
මෙරටට සංචාරකයන් පැමිණීම අවම වීමට එක් හේතුවක් වන්නේ තවමත් නිවැරදි නොවුණු මෙරට ආර්ථික දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රතිරෑපයයි. අප සමඟ මෙම සාකච්ඡාවට එකතු වූ දෙපළම ඒ බව අවධාරණය කරයි.
සනත් උක්වත්ත මහතා සිදු කරන්නේ මෙවන් පැහැදිලි කිරීමකි.
''මේ සීත ඍතුවේ මීටත් වඩා හොඳ ප්‍රතිඵල අපිට ලබාගන්න තිබුණා. සාමාන්‍යයෙන් යුරෝපීයයන් ලංකාවට පැමිණීමට සංචාරකයො බුකින් සිදුකරන කාලයේ තමා රටේ තෙල් අර්බුදය තිබුණෙ. ගුවන්යානාවලට ඉන්දියාවට ගිහිල්ලා තෙල් ගහගන්න වුණා. රටේ හැමතැනම තෙල් පෝලිම් ඇතිවුණා. ඒවා දැකලා සංචාරකයෝ බයවුණා ලංකාවේ බුකින් කරන්න.''
මේ හේතුවෙන් තායිලන්තය, වියට්නාමය ඉන්දුනිසියාව, බාලී වැනි සංචාරක ගමනාන්ත වෙත සංචාරකයෝ වැඩි වශයෙන් ඇදී ගියහ. මෙටට ආර්ථික පසුබෑම හේතු කොටගෙන සංචාරක කර්මාන්තයේ අප සමග තරඟ වදින සෙසු සංචාරක ගමනාන්ත දැන් අපිට වඩා අඩියක් ඉදිරියෙන් සිටියි.
මේ සම්බන්ධව චන්දිම ජයවීර මහතාටද පැහැදිලි කිරීමක් ඇත.
''සංචාරකයෝ සුමානෙන් දෙකෙන් වෙන්කිරීම් සිදුකරල ලංකාවට එන්නේ නෑ. මාස හයකට හතරකට ඉස්සෙල්ල තමයි ඒගොල්ලො බුකින් කරන්නෙ. දැන් ඒ අයත් අද ටිකට් එකක් අරගෙන හෙට ලංකාවට එන තත්ත්වයට පත්වෙලා ඉන්නවා. මොකද එයාලා ලංකාවට එන්න ආසයි. නමුත් තාමත් අරගල විරෝධතා වගේ දේවල් ගැන පුවත් ජාත්‍යන්තර මාධ්‍යයෙන් යනවා.''
තමාට හිතවත් සංචාරකයන් බොහෝ දෙනකු රටේ තත්ත්වය පිළිබඳ කණගාටුවෙන් පණිවිඩ එවා ඇති බව චන්දිම ජයවීර මහතා කියා සිටියි. මෙරට ඇතැම් අයගේ ක්‍රියාකාරකම් හේතුවෙන්, තවමත් සංචාරකයන් තුළ රට කෙරෙහි විශ්වාසය ගොඩනගා ගැනීම අපහසු බව ජයවීර මහතා පෙන්වා දෙයි.
කෙසේවෙතත් පමාවී හෝ සංචාරකයන් ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසුවන බව කීමට තවත් සාධක තිබේ. මුලදී වෙන්කරගැනීම් සිදුකර ගැනීමට නොහැකි වුවද මේ දිනවල බුකින් වෙබ් තුළ සංචාරකයන්ගේ විශේෂ අවධානයක් ලංකාවට යොමුව තිබේ.
එහෙත් අප සංවාදයේදී චන්දිම ජයවීර මහතා අවධාරණය කරන්නේ තවදුරටත් රට තුළ විරෝධතා උද්ඝෝෂණ සංවිධානය කිරීම සහ ආර්ථිකය සම්බන්ධව විවිධ අනතුරු ඇඟවීම් සිදුවීම සංචාරක කර්මාන්තයට අයහපත් ලෙස බලපාන බවයි. මෙරට තුළ ඖෂධ හිඟයක් ඇති බව පැවසීම නිසාවෙන් විදේශ රක්ෂණ සමාගම් පාරිභෝගිකයන් ලංකාවේ සංචාරය සම්බන්ධව අධෛර්යට පත් කළ අවස්ථාවක් ඔහු උදාහරණ කොට කොට දක්වයි.
මේ අතර ලෝකය තුළ ශ්‍රී ලංකාවේ සංචාරක ගමනාට ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව සනත් උක්වත්ත මහතා පෙන්වා දෙයි.
''අපි අපේ රට ඉතා හොඳ සංචාරක ගමනාන්තයක් විදිහට ප්‍රවර්ධනය කරන්න උත්සාහ කරන්න ඕනා. මේ මොහොතේ ඒ කාරණාව ඉතාම වැදගත්. මොකද සංචාරකයෝ ලංකාවට ඉන්නේ හෝටලයක ඉන්න නෙවෙයි. මේ රටේ අත්දැකීම් විඳින්න. ඒ වගේම ශ්‍රී ලංකාව සංචාරයට සුදුසුයි කියන එකත් අපි මේ මොහොතේ ලෝකයට කියන්න ඕන.''
හෝටල් සංගමයේ හිටපු සභාපති, ගල්කිස්ස මහ හෝටලයේ සභාපති සනත් උක්වත්ත මහතා මෙරට තානාපති කාර්යාල මහ කොමසාරිස් කාර්යාල යොදාගෙන සංචාරක කර්මාන්තය කඩිනමින් ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවයද අවධාරණය කරයි.
සංචාරක රියදුරු, මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන්ගේ සංගමයේ සභාපති චන්දිම ජයවීර මහතාද සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධන කටයුතු පිළිබඳ සංවාදයට එකතු වෙයි.
''රටේ තත්ත්වය ලෝකෙට පැහැදිලි කරන එක සංචාරක වාරණ ඉවත් කරගන්න එක ටුවරිස් බොඩ් එක තමා කරන්න ඕන. තවමත් රටවල් කිහිපයක සංචාරක වාරණ අපිට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. ඉන්දියාව වගේ රටවල්වලට ගිහිල්ලා සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය කරන්න ''රෝඩ් ෂෝ'' තියනවා. නමුත් ඉන්දියාවේ අයට අන්තර්ජාලයෙන් තාමත් පෙන්වන්නෙ අත්‍යවශ්‍යය කටයුත්තකට මිසක් ලංකාවට යන්න එපා කියලා.''
සංචාරක ප්‍රවර්ධන කටයුතු සම්බන්ධව සැමදා අනුගමනය කරන ඇල්මැරුණු ප්‍රතිපත්තියෙන් පිළිබඳ ජයවීර මහතා පසුවන්නේ කනගාටුවෙනි. ඔහුගේ පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් එම ප්‍රවර්ධන වැඩසටහන්වල ඇති අඩුපාඩු ඒ මහතා පෙන්වා දෙයි.
''මම දැක්කා හරීන් ප්‍රනාන්දු ඇමතිතුමා සංචාරක සමුළුවලට සහභාගී වෙනවා. ඒක හොඳයි. ඒත් මීට කලින් එය රටවල ඇතුලේ අපේ ගැන තියෙන ප්‍රතිරෑපය හදන්න ඕනා. නමුත් බලධාරීන් මේවා බලන්නේ නෑ. එය බලන්නේ මොකක් හරි මුවාවෙන් පිටරට සවාරි යන්න.''
මේ සියලු කරුණු සැලකීමේදී සංචාරක කර්මාන්තය එළඹෙන මාස කිහිපය තුළදී විශ්මකර්ම යමක් සිදුකර ඇතැයි කීම අපහසුය. නමුත් වැටී සිටින වළෙන් ගොඩඒමට පළමු පියවර තැබීමට මේ මාස කිහිපය තුළදී සංචාරක කර්මාන්තයට හැකියාව පවතියි.
ගුවන් සේවාවන් කිහිපයක්ම ලංකාවට පැමිණීමට පටන්ගෙන ඇත, සංචාරකයන් දිනපතා පැමිණීමද වර්ධනය වෙමින් තිබේ. සාර්ථක අසාර්ථක බව කවරක් වෙතත් සංචාරක ප්‍රවර්ධන වැඩසටහන්ද ලොවපුරා යම් පමණකට ක්‍රියාත්මකය. එමනිසාම කිසිවෙකුත් බලාපොරොත්තු අත්හළ යුතු නොවේ.
I චමිඳු නිසල් ද සිල්වා