
අභිනව අටමස්ථානාධිපතින් වහන්සේගේ සම්පූර්ණ නම පල්ලේගම සිරිසුමන රතනපාල හේමරතනයි. අටමස්ථානාධිපති පදවියට පත්වූ පසු අපි උන්වහන්සේට කතා කළෙමු. උන්වහන්සේගේ දුරකතනයට පිළිතුරු දුන්නේ අටමස්ථානයේ ආරක්ෂාවේ නියුතු පොලිස් නිලධාරින් නම් නොවේ. වෙනදා මෙන්ම සුහදව කොහොමද ඉතින් යැයි කතාව ඇරඹූ හේමරතන හිමියෝ තවමත් කැමති තමන් මුලින් සිටි රුවන්වැලි සෑ චෛත්‍යාරාමයට යැයි මුලින්ම පැවසූහ.
''නමුත් ඉතිහාසය විසින් මට මේ තනතුර ලබා දී තිබෙනවා. විහාර දේවාලගම් පනත අනුව අටමස්ථානාධිපති හිමියන්ට තමයි මහා බෝධියේ ආරක්ෂාව බාරවන්නේ. මම ඒ නිසා රුවන්වැලි සෑයෙන් උඩමළුවට එනවා.'' යැයි ද පැවසූහ.
''මෙම උත්සවයට කිසිම දේශපාලනඥයකුට විශේෂ ආරාධනාවක් නෑ. ප්‍රභූවරුන්ට කියලා විශේෂ ආරාධනයක් නෑ. කාටවත් එන්න කියලා කියන්නේ නෑ. විශේෂ ආරාධනා මොනවත් නෑ. නමුත් ඕනෑ කෙනකුට මේ උත්සවයට එන්න පුළුවන්. ඒ මගේ පෞද්ගලික හිතවතෙක් ලෙස හෝ දායකයෙක් වශයෙන්, බෞද්ධයෙක් වශයෙන් පැමිණීමට පුළුවන්. කාටවත් විශේෂ ආසන පැනවීමක් නෑ. නිලතලවලට සැලකිල්ලක් නෑ. එන හැමෝටම පොදුවේ තේ පැන් සංග්‍රහයක් ලබා දෙනවා. මේ අවස්ථාව ඉතිහාසය විසින් මා වෙත පවරන ලද වගකීමක් විදිහට සලකනවා.
පළමුවෙන්ම මම කටයුතු කරන්නේ ශ්‍රී මහා බෝධින් වහන්සේට ආරක්ෂාව සලසන මුරකරුවකු ලෙස පමණයි. ඒ වගේම බෝධින් වහන්සේ පිහිටා තිබෙන අනුරාධපුර පෞරාණික නගරයේ පෞරාණිකත්වය ආරක්ෂා වන සේ කටයුතු කිරීමත් මගේ වගකීමක් කොට සලකනවා.'' උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
කැලණිය විශ්ව විද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබා සිටින අභිනව අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නා හිමියෝ ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ, රජරට නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක තනතුරු ද දරති. උන්වහන්සේ රටම හඳුනන්නේ, ප්‍රවීණ ගීත රචකයෙක් වශයෙනි. හේමරතන නාහිමියන්ගේ අටමස්ථානාධිපති පදවියට පත්වීමේ චාම් උත්සවට පසුගිය 11 වැනිදා ශ්‍රී මහා බෝධි හෙවත් උඩමළුව විහාරයේ දී ඉතා චාම්ව පැවැත්විණි. එය මෑතකදී පැවති ඉතාමත් සරල ආගමික උත්සවයක් විය.

මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල පල්ලේගම නමැති රමණීය ගම්පියසේ කරඳගොල්ල වලව්වේ කිරිබණ්ඩා නිලමේතුමාගේ හා කරුණා කුමාරිහාමිගේ එකම දරුවා ලෙස 1954 ජූනි මස 15 වැනි දින උපත ලද කරඳගොල්ල වලව්වේ නන්දසේන කුඩා කල ඉගෙන ගත්තේ බුලාගල ප්‍රාථමික විදුහල, පැල්වෙහෙර වැලිහේන විදුහල හා කණ්ඩලම පල්ලේගම ශ්‍රී සිද්ධාර්ථ මහ විදුහල යන පාසල්වලිනි. තම අත්දැකීම් සිහිපත් කරන පල්ලේගම හේමරතන නා හිමි:
“මගේ ගිහි ජීවිතයේ සන්ධිස්ථානයක් සිදු වෙනවා 1967 අවුරුද්දේ. ඒ කාලෙ මම ඉගෙන ගත්තේ 8 පන්තියේ. පැවිදි සමාජයට ඇතුළු වෙන්න වාසනා ගුණය එන්නේ පෙර ආත්මයේදී සිටයි. ඒ කාලේ දවසක් දා රුවන්වැලි සෑය විහාරාධිපතිව වැඩසිටි පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත ලොකු හාමුදුරුවන් වහන්සේ අපේ ගමට වැඩියා. ඒ මහණ කරන්ඩ ගැලපෙන ළමයි හොයාගෙනයි.
පවුලේම තවත් ඥාතියෙක් වන විජේකෝන් ආරච්චි අත්තාත් මේ කාරණයට සහාය වෙමින් ලොකු හාමුදුරුවොත් එක්ක ගමේ ගෙවල්වල ඇවිද්දා. ධම්මරක්ඛිත ලොකු හාමුදුරුවන් වහන්සේ මගේ මවුපියන්ට තම අදහස පැවසුවාම ඥාතිත්වයත්, ගෞරවයත් නිසාම ඉල්ලීම අහක දාන්න මවුපියන්ට හැකි වුණේ නැහැ. 1968 අවුරුද්දේ මැයි මස නව වැනිදා ජයසිරි මහ හාමුදුරුවන් වහන්සේ ඉදිරියේ හිසකේ දැලි රුවුල් බා කර්ම වාක්‍ය කියවා මහණකමට ඇතුළත් වුණා.”
1968 වසරේ රුවන්වැලි සෑය මහා විහාරයට පැමිණෙන විට හේමරතන හිමියන්ගේ වයස අවුරුදු 14 කි. උන්වහන්සේ පැවිදි බිමට ඇතුළු වුණේ අටමස්ථානාධිපතිව වැඩවිසූ අපවත් වී වදාළ උදුරුව හල්මිල්ලෑවේ ශ්‍රී රේවත හිමි, රුවන්වැලි චෛත්‍යාරාමාධිපති ලෙස වැඩවිසූ අපවත් වී වදාළ පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත හිමි, අපවත් වී වදාළ පල්ලේගම ඥානරතන හිමි යන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ආචාර්යත්වයෙනි.
හේමරතන පොඩිහාමුදුරුවන් මූලික පිරිවෙන් අධ්‍යාපනයට ගියේ අනුරාධපුර මහාවිහාර පිරිවෙනටයි. පසුව 1971 දී මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ ප්‍රාචීන අංශයේ සහ 1975 දී සඳලංකාව ශාස්ත්‍රෝදය පිරිවෙනට ඇතුළත් වී උසස් අධ්‍යාපනය ලැබූහ. 1975 ජූනි 5දා මහනුවර මල්වතු උපෝෂථාගාරයේ දී උපසම්පදා ශීලයෙහි පිහිටවූහ.
උසස් පෙළ හොඳින් සමත් වූ හේමරතන නාහිමියන් කැලණිය සරසවියට ඇතුළත් වුණේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහායි. පුරාවිද්‍යාව ගැන වැඩි කැමැත්තක් දැක්වූ උන්වහන්සේ පුරාවිද්‍යා විශේෂවේදී ශාස්ත්‍රවේදී උපාධියක් ලබා 1978 දී සරසවි අධ්‍යාපනය නිම කළහ. ඒ අතරම ගීත රචනා කිරීමද සිදුවිය.
උපාධිය ලැබීමෙන් පසු පල්ලේගම හේමරතන හිමියෝ නැවත අනුරාධපුරයට වැඩම කළහ. 1982 මහා විහාර පිරිවෙනේ ගුරුවරයකු ලෙස වැඩ භාරගත් උන්වහන්සේ ඊට වසර දහයකට පසු 1992 දී එහි පරිවේනාධිපති ධුරයට පත් වූහ. 1989 වසරේ දී අනුරාධපුර ජේතවනාරාමාධිකාරී ධුරයට පත්වූහ. රුවන්වැලි සෑයේ නායක පදවියට උන්වහන්සේ පත්වුණේ 1997 වසරේ අගෝස්තු 15 දායි. ඒ අතරම නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ධූරයෙන් ද පිදුම් ලැබූහ. මේ නිසා රුවන්වැලි සෑ විහාරය දායකයන් හැරෙන්නට කලාකාමී හිතවතුන් ගායකයන්, ගීත රචකයන් නිතර යන තැනක් බවට ද පත්විය.
1977 සිට 1988 දක්වා උඩමළුව භාරව සිටිමින් තේවාව වසර දහයක්ම පැවැත්වූයේ පල්ලේගම හේමරතන හිමියන් විසිනි. ඒ රේවත හිමියන්ගේ අපවත්වීම හේතුවෙනි. මධ්‍යම සංස්කෘතික අරමුදලේ ජේතවන ව්‍යාපෘතියේ සහකාර අධ්යක්ෂවරයකු ලෙසත් උන්වහන්සේ කලක් කටයුතු කළහ. 1995 සිට අටමස්ථාන කාරක සභාවේ සාමාජිකත්වය ද උන්වහන්සේ දරති.
හේමරතන නාහිමියෝ ගීත රචකයකු ලෙස ප්‍රසිද්ධියට පත්වූයේ 1979 වසරේ සිටය. තම පළමු ගීත පොත 1988 දී ‘පහන නිවී දොළොස්මහේ’ නමින් එළිදැක්වීමට හේමරතන නා හිමියෝ සමත් වූහ. හේමරතන නාහිමියන් ලියූ ගීත ඇතුළත් කොට 2004 අගෝස්තු මස 03 වැනි දින ‘සඳ එළිය’ නම් වූ ප්‍රථම කැසට් පටය සමඟ සංයුක්ත තැටිය සහ ‘අතීත සිහිනයක්’ ගී පද සංග්‍රහය ද නිකුත් කරනු ලැබූහ. මහින්දාගමනය චිත්‍රපටයට ලියූ ගීතයට 2011 වර්ෂයේ හොඳම චිත්‍රපට ගීතයට සම්මාන උන්වහන්සේට හිමිවූ අතර එම වසරේදීම එම ගීතයට OCIC සම්මානය ද, දෙරණ රූපවාහිනී ලක්ස් සම්මාන උළෙලේ දී හොඳම චිත්‍රපට ගී සම්මානය ද හිමි විය. 2015 වර්ෂයේ දී ‘මහරජ ගැමුණු’ චිත්‍රපටයේ ‘සඳ මඩල වී’ යන ගීතය වෙනුවෙන් 2015 වසරේ විශිෂ්ටතම චිත්‍රපට ගී රචනයට ‘හිරු ගෝල්ඩන්’ සම්මානය ද, OCIC සම්මානය ද, සරසවි සම්මානය හා ජනාධිපති සම්මානය ද හිමි විය.
අපවත් වී වදාළ අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි අනුරාධපුර මහා විහාර ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පුරෝගාමී වුණේ හේමරතන නාහිමියෝ වෙති. රුවන්වැලි මහා සෑ මළුවේ මහා ප්‍රාකාරය සංරක්ෂණය කිරීම, වැලි මළුව සංරක්ෂණය කිරීම, ලංකා ට්‍රාන්ස්පෝමර්ස් ආයතනය ලවා රුවන්වැලි මහා සෑයට විදුලි ආලෝකය ලබාගැනීම, රුවන්වැලි මහා සෑ මළුවේ පුරාණ විහාර මන්දිරය වර්තමානයට ගැලපෙන අයුරින් ප්‍රතිසංස්කරණය කිරීම හේමරතන නාහිමියන් මුල්වී සිදු කළ පිංකම් කිහිපයකි.
I කුසුම්සිරි විජයවර්ධන