2022 නොවැම්බර් 12 වන සෙනසුරාදා

විදුලි බිලෙන් කඩා වැටෙන තේ කර්මාන්තය

 2022 නොවැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 55

විදුලි ගාස්තු ඉහළ යාමෙන් කඩා වැටෙන කර්මාන්ත පිළිබඳ තොරතුරු දෛනිකව යාවත්කාලීන වේ. මේ හේතුවෙන් මෙරටට ඩොලර් රැගෙන එන ප්‍රධානතම කර්මාන්ත පවා අර්බුදයට ලක් වී ඇති බව නොරහසකි. මේ විමසා බැලීම විදුලි බිලෙන් අගතියට පත් තේ කර්මාන්තය පිළිබඳවයි.

මේ වන විටත් පසුගිය මිල වැඩිවීමට සාපේක්ෂව තේ කම්හල්වල විදුලිය ගාස්තු දෙගුණයකට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව තේ කම්හල් පවත්වාගෙන යාමේ දැඩි ගැටලුකාරී තත්ත්වයක් පැන නැගී ඇති බව කම්හල් හිමියෝ අනාවරණය කරති. 

තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් මහතා පසුගියදා පැවසූ පරිදි සාමාන්‍යයෙන් තේ කිලෝ 50,000 ක පමණ නිෂ්පාදනයක් සහිත තේ කම්හලකට පසුගිය සමයේ දළ වශයෙන් රුපියල් ලක්ෂ පහක් පමණ විදුලි ගාස්තුවක් ගෙවීමට සිදු වී තිබේ. එහෙත් නව ගාස්තු සංශෝධනය සමඟ රුපියල් ලක්ෂ දහයක් දක්වා එම ගාස්තුව ඉහළ ගොස් ඇත. ඔහුට අනුව මෙය පැහැදිලිවම බරපතළ තත්ත්වයකි.

මීට අමතරව විදුලි කප්පාදුව හේතුවෙන් ද බොහෝ කර්මාන්ත ශාලා අර්බුදයට ලක් වී ඇති බව දැනගන්නට ලැබේ. තේ කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට කර්මාන්ත ශාලා හිමියන්ට විදුලි ජනන යන්ත්‍ර භාවිත කිරීමට සිදුව ඇත. කෙසේ වෙතත් ඩීසල් මිල ගණන් හේතුවෙන් ඒ සඳහා ද ඔවුනට දැරීමට සිදුව ඇත්තේ අධික පිරිවැයකි. මේ හා සම්බන්ධ සහන ලබා දෙන ලෙස කර්මාන්තකරුවන් විටින් විට බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද මෙතෙක් ඔවුනට කිසිදු සහනයක් ලැබී නොමැත.

මෙරට තේ වෙන්දේසියේ මිල ගණන් පසුගිය සමයේ  ඉහළ ගිය නමුත් තේ කර්මාන්තයට හුදෙක් යහපත් තත්ත්වයක් ලෙස අරුත් ගැන්විය නොහැකිය. ඊට හේතුව වී තිබුණේ දේශීය වශයෙන් සිදුවන අයහපත් ආර්ථික බලපෑම්ය. කෙසේ වෙතත් මෑත සති කිහිපය තුළදී නැවත තේ මිල පහළ යාමක් දක්නට ලැබේ. කර්මාන්ත බිඳවැටීම පිළිබඳ කතා කරන විට ඒ පිළිබඳවද අවධානය යොමු කළ යුතුය.

මෙම වසර ආරම්භයේ දී රුපියල් හත්සියයක් පමණ වූ තේ කිලෝවක මිල ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් ඉහළ ගියේය. අවස්ථානුකූලව එය වාසියක් ලෙස කර්මාන්තයේ ඇතැම් පිරිස් සැලකූහ. පසුගිය සමයේ රුපියල් එක්දහස් හයසීයත් හත්සීයත් අතර අගයක් තේ වෙන්දේසිය තුළදී තේ කිලෝවකට ලැබී තිබුණි.

ඔක්තෝබර් පළමු සතියේ ද තේ වෙන්දේසිය තුළදී රුපියල් 1670/- ක පමණ මිලක් තේ කිලෝවක් සඳහා නියම විය. එහෙත් හිටිහැටියේම ගෙවුණු සති දෙක තුනක කාලය තුළ තේ මිල පහළ ගියේය. පසුගිය තේ වෙන්දේසිය වන විට රුපියල් 1440/- ක පමණ අගයක් දක්වා තේ කිලෝවක මිල පහළ වැටී තිබූ බව දැනගන්නට ලැබේ. රට තුළ පවතින ආර්ථික වටපිටාව සැලකූ විට මෙය බරපතළ තත්ත්වයකි.

සති තුනක පමණ කාලයක් තුළ තුළ සිදු වූ මෙම මිල පහළ වැටීම 2.6% ක් බව කියැවේ. මීට අමතරව 2022 වසරේ පළමු මාස නමය තුළ 9% කින් පමණ තේ අපනයනය ද පහළ වැටී ඇති බවට තොරතුරු ලැබී තිබේ. ඒ අනුව මුල දී රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් තේ කර්මාන්තයට යම් වාසියක් සැලසෙනු ඇතැයි කියවුණු නමුත් වර්තමාන තත්ත්වය ඊට ඉඳුරා වෙනස් බව පැහැදිලිය.

විදුලිය ඇතුළු සියලු පහසුකම් සැලකීමේදී කර්මාන්තකරුවන් පෙන්වා දෙන්නේ තේ කර්මාන්තය පවත්වාගෙන යාමට යෙදිය යුතු පිරිවැය අධික ලෙස ඉහළ ගොස් ඇති බවයි. රට තුළ සියලු කර්මාන්ත සඳහා වන පිරිවැය ඉහළ යාම සමාන්‍යයෙන් දක්නට ලැබෙන පොදු ස්වභාවයකි. එහෙත් තේ කර්මාන්තයේ තත්ත්වය තරමක් බරපතළ වෙමින් පවතියි.

ඒ අනුව තේ මිල තවදුරටත්  පහළ ගියහොත් තේ කම්හල් පවත්වාගෙන යාමේ  බරපතළ අවදානම් තත්ත්වයක් මතුවිය හැකි බව ෙත් කම්හල්  හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා අවධාරණය කරයි. මෙරට ආර්ථිකය සවිමත්ව පවත්වාගෙන යාමට දායක වන තේ කම්හල් 550 ක් රට පුරා දැනට ක්‍රියාත්මක වේ. විදුලි බිලට අමතරව ප්‍රවාහන ඇතුළු අනෙකුත් වියදම් සම්බන්ධව ද ගැටලුකාරී තත්ත්වයකට මෙම සියලු කර්මාන්ත ශාලා මුහුණ දී තිබේ.

තවද කර්මාන්තය පිළිබඳ තොරතුරු විමසීමේදී පෙනී යන්නේ බැංකු පොලී වැඩිවීමද තේ කර්මාන්තයට ඉතාමත් අයහපත් ලෙස බලපා ඇති බවයි. තේ කර්මාන්තය ආශ්‍රිත ව්‍යාපාර බැංකු ණය මත යැපීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව තිබේ. ඇතැම් තේ කර්මාන්ත ශාලා ණය වාරික ගෙවීම සම්බන්ධව ගැටලුවලට ද මැදි වී ඇති බව කියැවේ. එය ද කර්මාන්තයේ වර්තමාන බිඳවැටීම පෙන්නුම් කරන ප්‍රමුඛ සාධකයකි.

මේ අතර පසුගිය සතියේ පැවති ශ්‍රී ලංකා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ 32 වැනි වාර්ෂික මහා සභා රුස්වීම අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තේ කර්මාන්තය පිළිබඳ අදහස් දක්වා තිබුණි. 

එහිදී කඩා වැටී ඇති මෙරට තේ කර්මාන්තය නැවත නගාසිටුවීමට විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. තවද අපනයන ආර්ථිකයක් කරා යන ගමනේදී එය ඉතා වැදගත් පියවරක් බව අවධාරණය කළ ජනාධිපතිවරයා, අතීතයේදී මෙරට තේ කර්මාන්තයේ පැවති සශ්‍රීකත්වය යළිත් උදා කර ගත යුතු බව පෙන්වා දුන්නේය.

සැබැවින්ම තේ කර්මාන්තය පිළිබඳ විශේෂ අවධානයක් යොමුවන්නේ නම් එය යහපත්ය. නමුත් මේ දක්වා තේ කර්මාන්තය පිළිබඳ බලධාරීන්ගේ ප්‍රමාණවත් අවධානයක් යොමු වූවා ද යන්න සැකයකි. අපනයන ආර්ථිකයක් පිළිබඳ සිහිනයක සිටින රාජ්‍යයක් ලෙස මෙරට ප්‍රධානතම අපනයන කර්මාන්තයක් වන තේ කර්මාන්තය අර්බුදයට ලක්වීමට ඉඩ තැබීම සිදු නොකළ යුත්තකි. කර්මාන්තකරුවන්ගේ ගැටලු විසඳීමට කඩිනම් මැදිහත්වීමක අවශ්‍යතාවය ඉතා පැහැදිලිය.

I චමිඳු නිසල් ද සිල්වා