2022 නොවැම්බර් 06 වන ඉරිදා

රුපියල් 100කින් යන්න පුළුවන් ෙකාන්ෙදාස්තර ’ලස්’ බස්

 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:00 193

පොදු ප්‍රවාහනය නංවාලීමේ අරමුණින් කොන්දොස්තරවරයකු නොමැතිව කොළඹ නගරය තුළ ධාවනය කෙරෙන Gaman by Trace  නමින් වන බස්රථ ව්‍යාපෘතියක් මේ වසර අවසන් වනවිට ආරම්භ වීමට නියමිතය. මේ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, කොළඹ පුරපතිනි රෝසි සේනානායක සහ පෞද්ගලික තාක්ෂණ ආයතනයක් වන Trace ආයතනය අතර පසුගියදා සාකච්ඡාවක් පවත්වා තිබේ. 

සතියේ දිනවල කොළඹ නගරය අධික ලෙස ජනතාවගෙන් පිරී යයි. දිනපතා පිවිසුම් මාර්ග හතකින් මේ පිරිස කොළඹ නගරයට ඇතුළු වන අතර ඔවුහු තම අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා නගරයේ විවිධ ප්‍රදේශ කරා ගමන් කරති. නව බස් සේවය ආරම්භ කිරීමේ අරමුණ එලෙස පැමිණෙන ජනතාවට තම ගමනාන්ත කරා පහසුවෙන් හා අවම මුදලකින් ගමන් කිරීමට අවශ්‍ය පොදු ප්‍රවාහන පහසුකම් සැපයීමය.

මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම ක්‍රියාවට නංවන්නේ ට්‍රේස් (Trace) නමැති ආයතනය මගිනි. එය  ලාබ නොලබන ආයතනයකි. "ගමන් බයි ට්‍රේස්" ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ දිනූෂ කෝන්කඩුව මහතා දේශයට අදහස් දක්වමින් සඳහන් කළේ "ගාලු පාර, හයිලෙවල් පාර, ලෝ ලෙවල් පාර, නුවර පාර, මීගමු පාර වැනි කොරිඩෝ හතකින් ජනතාව කොළඹ නගරයට ඇතුළු වෙනවා. එලෙස පැමිණි පසු බොහෝ විට ත්‍රිරෝද රථයකින් නැතිනම් තවත් බස් රථයකින් ඔවුනට තම ගමනාන්තයට යාමට සිදු වෙනවා.  ත්‍රිරෝද රථයකින් හෝ වෙනත් කුලී රථයකින් යනවා නම් වැඩි මුදලක් ගෙවන්නට සිදුවන අතර, බස්රථයකින් යනවා නම් එම බස්රථ පැමිණෙන තෙක් බලා සිටින්නට සිදු වෙනවා. අපගේ මෙම ව්‍යාපෘතියේ අරමුණ එලෙස කොළඹ නගරයට ඇතුළු වන ජනතාවට ඔවුන්ට යාමට අවශ්‍ය ගමනාන්තය වෙත අවම මුදලකින් පහසුවෙන් ගමන් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර දීමයි. මෙම ව්‍යාපෘතිය මගින් කොළඹට පිවිසිසෙන කොරිඩෝ 7න්ම එන ජනතාවට එකම බස්රථයකින් තමන්ට අවශ්‍ය ස්ථානය කරා යා හැකියි.

"මෙම බස්රථ සේවය ආරම්භ වන්නේ කොළඹ කොටුවෙන්. එතැනින් ලේක්හවුස් ඔස්සේ කොම්පඤ්ඤවීදිය, කොල්ලුපිටිය, බම්බලපිටිය, ධර්මපාල මාවත ඔස්සේ බොරුල්ලට ගොස් ටවුන් හෝල්, ඩාලි පාර, මරදාන ඔස්සේ ගොස් යළි කොළඹ කොටුවට ළඟා වෙනවා. සම්පූර්ණ ගමන් මාර්ගය කිලෝමීටර් 16.75ක්. මේ සඳහා වායු සමනය කරන ලද බස්රථ සහ සාමාන්‍ය බස්රථ යොදා ගැනීමට පියවර ගෙන තිබෙනවා. වායු සමනය කරන ලද බස්රියකින් ඕනෑම දුරක් ගමන් කිරීම සඳහා අයකරනු ලබන්නේ රුපියල් 100ක් වැනි ගාස්තුවක්. සාමාන්‍ය බස් රථ සඳහා ඊට වඩා අඩු ගාස්තුවක් අය කිරීමටයි අපේක්ෂා කරන්නේ. ජනතාවට තමන් කැමති බස් රථයක් තෝරාගත හැකියි. ඉදිරියේදී ජනතාව අතර වඩාත් ජනප්‍රිය බස් සේවාව කුමක්දැයි හඳුනාගෙන ඒ අනුව ඉදිරි වැඩකටයුතු ක්‍රියාත්මක කිරීමයි අප ආයතනයේ අරමුණ." යැයි කෝන්කඩුව මහතා සඳහන් කළේය.

කිසියම් තැනැත්තකුට දිනකට කිහිප වතාවක් කොළඹ නගරයේ විවිධ ප්‍රදේශවලට යාමට සිදුවන අවස්ථා තිබේ. ඒ සඳහා සෑහෙන මුදලක් වැය කිරීමට එවිට සිදුවනු ඇත. මෙම බස්රථ සේවය මගින් කෙතරම් දුරක් ගමන් කළද අයකරනු ලබන්නේ රුපියල් 100ක බැවින් එය කුලී රියකින් යනවාට වඩා පොකට්ටුවට සහනයකි. මෙම බස්රථ සේවය ආරම්භ කරන්නේ දුර ප්‍රමාණය පදනම් කරගෙන නොව ජනතා ඉල්ලුම පදනම් කර ගනිමින් බව එම සමාගම සඳහන් කරයි.

මෙම බස්රථ කොන්දොස්තරවරයකු නොමැති සේවයක් ලෙස ක්‍රියාත්මක වේ. හඳුන්වා දීමේදී ප්‍රවේශ පත්‍රය Gaman by Trace නමැති ජංගම දුරකතන යෙදවුම (APP) මගින් ලබා ගැනීමේ පහසුව සලසන අතර එම යෙදවුම දුරකතනයට බාගත කරගෙන Gaman by trace බස් රථයෙන් තම ගමනාන්තය කරා ළඟා විය හැකිය. නුදුරේම විශේෂයෙන් හඳුන්වා දෙන කාඩ්පතක් මගින් රියදුරු අසුන අසල ඇති ප්‍රවේශපත්‍ර යන්ත්‍රයෙන් ප්‍රවේශපත ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කෙරෙනු ඇත. ලොව බොහෝ දියුණු රටවල බස්රථවල කොන්දොස්තරවරුන් නොමැත. ප්‍රවේශපත්‍රය ලබාගැනීම සඳහා භාවිත වන්නේ  සඳහා කාඩ්පත් ක්‍රමයකි. එමෙන්ම ඒටීඑම් කාඩ් පතින් හෝ ඩෙබිට් කාඩ් පතින් මුදල් ගෙවා ප්‍රවේශපත්‍රය ලබාගත හැකිය. කොන්දොස්තරවරයකු නොමැති බස් සේවයක් ලෙස මෙම බස් රථ සේවය හඳුන්වා දීමේ මූලික අරමුණ දියුණු රටවල ක්‍රියාත්මක තාක්ෂණය මෙරටට හඳුන්වා දීම සහ පිරිවැය අවම කර ගැනීමය.

කාර්යක්ෂම හා පිරිසුදු සේවාවක් ලබාදීම සඳහා මෙම බස්රථ සේවය සඳහා පිරිසුදු කරන කණ්ඩායමක්, අධීක්ෂණ කණ්ඩායමක් සහ මෙහෙයුම් කණ්ඩායමක් යොදා ගැනෙනු ඇත. විනාඩි 15න් 15ට බස් රථයක් පැමිණෙන හෙයින් කාලය නාස්ති වීම අවම වන බව ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි. කිලෝමීටර 16.76 චාරිකාව  තුළ කොතනින් ගමන ආරම්භ කළත් කොතනින් ගමන අවසන් කළත් වැය වෙන්නේ රුපියල් 100ක් වැනි ස්ථාවර ගාස්තුවකි.  

මෙම ව්‍යාපෘතිය නව ආකෘතියක් හඳුන්වා දීමක් බවත්, මෙම ආකෘතිය අනුව ඕනෑම අයෙකුට මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ හැකි බවත් ඒ සඳහා අවශ්‍ය පූර්ණ සහය ට්‍රේස් ආයතනය මගින් ලබා දෙන බවත් ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා සඳහන් කරයි. මේ සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථ භාවිත කිරීමේ සූදානම් පැවතියද ඔවුන් සතුව ඇති බස්රථ චොගම් සමුළුව සඳහා ගෙන්වූ බස්රථ වන අතර ඒවා දිගු ගමන් සඳහා  සුදුසු බස්රථවේ. මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ලෝවර් ඩෙක් හෙවත් තට්ටුව පහත බස්රථය. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම සතු එවැනි බස්රථ කිහිපයක් ලබා ගැනීමට සාකච්ඡා කරමින් සිටින බව ට්‍රේස් ආයතනය පවසයි. ආරම්භයේදී ඩබල් ඩෙකර් බස් රථ, තට්ටුව පහත බස්රථ සහ කුඩා බස්රථ (Mini Coaches) යොදා ගැනීමටද ජනතාවගේ ඉල්ලුම මත බස්රථ ප්‍රමාණය වැඩි කිරීමටද නියමිතය.

මෙම ව්‍යාපෘතිය සඳහා කොළඹ මහ නගර සභාවේ, බස්නාහිර පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ සහ, ලංකා ගමනාගමන මණ්ඩලයේ සහායද හිමිව තිබේ.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00