2022 නොවැම්බර් 06 වන ඉරිදා

කාන්තාවන් වැඩිපිරිසකගේ මාරයා සැමියා!

 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:00 64

මහ දවාලේ සිදුවන ස්ත්‍රී ඝාතන ගැන ඇඟකිලිපොලා යන එළිදරව්වක්!

ලංකාවේ කාන්තා ඝාතන “Femicide” අතරින් සියයට 75ක්ම මහ දවාලේ සිදුව ඇති අතර ඉන් සියයට 84ක්ම ඇයට ආරක්ෂිතම ස්ථානය යැයි සිතන තමන්ගේ නිවෙස තුළ සිටියදීම සිදුව ඇති බවට භයානක එළිදරව්වක් දැන් ප්‍රකාශයට පත්ව තිබේ. ඒ අතර ඇති වඩාත් ඇඟ කිලිපොලා යන ආරංචිය වන්නේ මේ මරණවලින් සියයට 62ක්ම ඒ කාන්තාවන්ගේ ස්වාමි පුරුෂයා හෝ සමීපතම සහකරුවන් හෝ හිටපු සහකරුවන්  නැතහොත් සමීපතම පවුලේ සාමාජිකයන් විසින් සිදුකර ඇති බවට ඇති එළිදරව්වයි.

කාන්තාවගේ ආරක්ෂිතම ස්ථානය ලෙස සැලකෙන සිය නිවෙස මෙන්ම, ප්‍රධාන  ආරක්ෂකයා බවට පත්විය යුතු ස්වාමියා හෝ සමීප සහකරුවා හෝ ඥාතියාම සිය මාරයා ලෙස ඉදිරිපත්වීම පමණක් නොව මරණයට පත්වූ පසුද ඒ ඝාතන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීමේදී සිදුවන අතපසුවීම්, නොසලකා හැරීම් සහ කල් ගතවිම්, හෝ “හදිසි කෝපය” වැනි සුලබ අර්ථ දැක්වීමකට ලඝු කර ගැටලුව ඉස්මතු වීමට ඇති ඉඩකඩ ඇහිරීම යන හේතු මත මේ තරම් දියුණු යැයි කියනා ලෝකයේ තවමත් කාන්තාවන් තදබල සමාජ ආසාධාරණයකට ලක්වන බව මේ එළදරව්ව විද්‍යාත්මකව තහවුරු කර තිබේ.

තදබල ගෝත්‍රීය ආකල්ප, යල්පැන ගිය බමුණු මත, නොදියුණු සංස්කෘතික පිළිගැනීම්, ඇගැයුම් සහ වත් පිළිවෙත් ආදිය තවමත් මැකී නොගිය අවතාර ලෙසින් සැඟවී සැරිසරමින් සමාජ දේහයම ආතුර කර ඇති බවත් ඒ සඳහා පූර්ණ ආකල්පමය වෙනසක් සහ සමාජ සංස්කෘතික පෙරැළියක් සහිත මැදිහත් වීමක් තරයේම නොපමාවම සිදුවිය යුතු බවටත් මේ අධ්‍යයනය අවධාරණය කර සිටියි.

ලංකාව තුළ කාන්තාවන් මුහුණදෙන බරපතළ ඛේදවාචයක් ගැන මේ ගවේෂණාත්මක විද්‍යාත්මක පර්යේෂණයක් මගින් ඇඟකිලිපොලා යන තවත් කරුණු ගණනාවක්ම එළිදරව් වී තිබේ. ඒ ලංකාවේ කාන්තාවන් මුල්කොට සිදුවන අසාමාන්‍ය මරණ සම්බන්ධයෙනි. කාන්තාවන් ඝාතනයට ලක්වීම හෝ සියදිවි නසාගැනීම යන කාරණා මුල් කොටගෙන සිදුකළ මේ අධ්‍යයනයේදී ලංකාව තුළ කාන්තාවන් සඳහා තවමත් නිසි සමාජීය ගරුකිරීමක්, සම නීතිමය අයිතිවාසිකමක්, සහ පුද්ගල ආරක්ෂිතභාවය තහවුරු වීමක් සිදුනොවන බවට දැඩි අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ මහාචාර්ය අනුරුද්ධිකා එදිරිසිංහ, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, මහාචාර්ය මාණික්‍ය කොඩිතුවක්කු යන විද්වතුන්ගේ ප්‍රධානත්වයෙන් අනූෂා එදිරිසිංහ, ඉන්දිරා කිතුල්වත්ත, හඳුන් විජේවර්ධන, උදාර සේනාරත්න, ඒ. පත්මේෂ්වරන්, පී. පරනිදරන්, ඇනිස්ටා විජේනායක, නිර්මලා පෙරේරා, අස්විනි ප්‍රනාන්දු, දිලිනි චාමලි වලිසුන්දර යන පර්යේෂකයන්ගේ කැපවීමෙන් සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA)මගින් ලද ආධාර මත, කැලණිය විශ්වවිද්‍යාලයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානය සමඟ අධිකරවෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුව මූලිකව වඩාත්කාලීනව වැදගත් වූ මේ ගවේෂණාත්මක පර්යේෂණය එළිදක්වා තිබේ.

දැනට ප්‍රකාශයට පත්කර ඇති මේ ආන්දෝලනාත්මක වාර්තාවට අනුව ලංකාවේ කාන්තාවන් අතර සිදුවන අසාමාන්‍ය මරණ කාණ්ඩයේ ඉහළම අගය සියදිවිනසා ගැනීම්වලට හිමිව ඇත. අධ්‍යයනයට ලක්වු දත්ත ප්‍රමාණය අනුව සියදිවි නසාගත් වැඩිම පිරිසක් (46%) වයස 21 සහ 40 වයස් කාණ්ඩයේය. විවාහක කතුන් දිවි නසාගැනීම සාපේක්ෂව ඉහළය. එය  සාපේක්ෂව සියයට 60කට වැඩි අගයක් ගෙන තිබේ. සියදිවි නසා ගැනීම් පිළිබඳ වාර්ෂික සංඛ්‍යා ලේඛනවලට අනුව කාන්තාවන් අතර සිය දිවිනසා ගැනීමේ ප්‍රමුඛතම ක්‍රමය බවට පත්ව ඇත්තේ ගෙල වැළ ලා ගැනීමය.

පවුල් ගැටුම්, අධ්‍යාපනික තරගය, අහිමිව ගිය ප්‍රේම සබඳතා වැනි පොදු හේතු ගැහැනු දරුවන්ගේ දිවිතොර කර ගැනීම සඳහා හේතුවී ඇති අතර වැඩිහිටි කාන්තාවන් සඳහා රහස් පෙම් පලහිලව්, මානසික අවපීඩනය, ලිංගික ගැටලු සහ ශාරීරික දුබලතාද වැඩිහිටි අය කල්තබා මේ තත්ත්වයට සූදානම් කිරිමට බලපා ඇත.

සියදිවි නසා ගැනීම් සහ අනතුරු පසුපස හඹා එමින් ඒ හා සමාන ප්‍රවනතාවකින් ඉහළ දායකත්වයක් දක්වා ඇත්තේ අමානුෂික කාන්තා ඝාතනයන්ය. ලිංගික හිරිහැර, ළමා අපයෝජන, භාර්යාවන්ට පහර දීම, ස්ත්‍රි ජාවාරම්, විවාහක දූෂණය, ස්ත්‍රීදූෂණ, දැවැද්ද සහ ගෞරවය මූලික කරගත් ඝාතන කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩ රැල්ලක් සේ නැඟී විත් තිබේ.

මෙහිදී ඝාතනයට ලක්වන වින්දිතයාගේ සමීපතමයින් අතින් සිදුවන ඝාතන ඉහළම (43%) අගයක් ගෙන ඇත. ඉන්මුල් තැන ස්වාමීපුරුෂයන්ය (28%). දෙවැනි තැන පූර්ව පෙම්වතුන්ය (14%). අන් අය ලේ ඥාතීන්ය (20%). අසල්වැසියන් (9%) මෙන්ම ආරවුල් (4%) හේතුවෙන් සිදුවූ ඝාතන මෙන්ම ලිංගිකත්වය මත පදනම් වූ ඝාතන (1%) ඉන් අනතුරුව පෙළ ගැසී ඇත.

කාන්තාවන් සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති මේ ප්‍රචණ්ඩත්වය සමාජය තුළ පිළිකුලට, හෙළා දැකීමට ප්‍රතික්ෂේප කිරිමට සහ නිසි දඬුවම්දීමකට භාජනය වනු වෙනුවට එක්තරා අන්දමකට කාන්තාවම වරදකරු කරමින්, අපරාධය අසාධාරණ ලෙස  සාධාරණීයකරණය වන ආකාරයක් හෝ නොතකා හැරීමක් හෝ නීතිය ක්‍රියාත්මක වීම කල් දැමීමක් හෝ ලිහිල් වීමක් සිදුවන ආකාරය සිය අධ්‍යයනයේදී නිරීක්ෂණය වූ බව මහාචාර්ය අනුරුද්ධිකා එදිරිසිංහ “දේශය”ට කීවාය. මේ අසමාන සැලකීම සහ ආසාධාරණ ක්‍රියාකාරීත්වය පිළිබඳ සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක් සහ ජනමාධ්‍ය මූලිකව  පුළුල් කතිකාවක් ඉක්මණින්ම ඇරැඹිය යුතු බවත් නීතිය සහ සාධාරණය ඉෂ්ට කරණ ආයතන තුළින් මේ සඳහා පුළුල් අවධානය යොමුකර සාධාරණ ක්‍රියාවලියක් සැකසිය යුතු බවත් ඇය කියයි. එසේම කලින් උපකල්පනය කළ අසරණභාවය  කාන්තාව මත පැටවීම වෙනුවට ගෞරවනීය සහ සාමානාත්මීය නිසි පිළිගැනීමක් සමාජය තුළ ඇතිවන පරිදි තදබල ආකල්පයමය වෙනෙසක් ඇති කිරීමට නීති සම්පාදකයන් සහ සමාජ ක්‍රියාකාරීන් නොපමාව මූලිකත්වය ගත යුතු බවට, සිය අධ්‍යනය මගින් බලකර කර ඇති බව මහාචාර්ය අනුරුද්ධිකා එදිරිසිංහ අවධාරණය කරයි.

I සුගත් පී. කුලතුංගආරච්චි