2022 නොවැම්බර් 06 වන ඉරිදා

වසා දමන රාජ්‍ය පරිපාලනයේ ’’සයිබීරියාව’’

 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:00 55

මෙරට දේශපාලනය සහ පරිපාලන ව්‍යුහය පිළිබඳ යම් අවබෝධයක් ඇති ඕනෑම අයෙක් රාජ්‍ය පරිපාලන සංචිතය පිළිබඳ දනිති. විවිධ හේතු මත රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන් මෙම සංචිතය වෙත යැවීම ඉතිහාසය පුරාවට සිදුව තිබේ. විටෙක මාධ්‍ය සහ නිලධාරීන් අතරේ මෙම සංචිතය ''සයිබීරියාව'' ලෙසින් හඳුන්වන අවස්ථා ද අපි දැක ඇත්තෙමු. ඒ කවරක් වෙතත් එම සයිබීරියානු පරිච්ඡේදය දැන් අවසන්‍ වීමට නියමිතය. ඊට හේතු වූයේ පසුගියදා රාජ්‍ය පරිපාලන සංචිතය අහෝසි කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා තීන්දු කිරීමයි.

අප මෙය "සංචිතය" එසේ නොමැති නම් "පූල් එක" ලෙසින් හැඳින්වුවද එය අයත් වන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අභ්‍යන්තර පාලන අංශයටයි. අතිරික්ත නිලධාරීන් රැඳෙන්නේ එම අංශය තුළයි. 

රට පුරා රාජ්‍ය අංශයේ විවිධ ආයතන තුළ සේවය කරමින් සිටින රාජ්‍ය පරිපාලන සේවයේ විවිධ ශ්‍රේණිවලට අදාළ නිලධාරීහු විනය ගැටලුවලදී, ශිෂ්‍යත්ව සඳහා විදෙස්ගත වීම්වලදී මෙම සංචිතය තුළ රැඳෙති. මීට අමතරව ආයතනික ගැටලු හා ඔප්පු කොට පෙන්විය නොහැකි  දේශපාලන හේතු මත ද නිලධාරීන්ට රාජ්‍ය පරිපාලන සංචිතය තුළට පැමිණීමට සිදුවේ.

වෙනත් ආයතනයක සේවාව සඳහා අනුයුක්ත කරන තුරු "පූල් එක" නමින් හඳුන්වන මෙම සංචිතයේ කාර්යභාරයක් නොමැතිව රුඳී සිටීමට එම නිලධාරීන්ට සිදු වේ. ඔවුන් අතින් සාධනීය කාර්යයක් සිදු නොවුණද රජය ඔවුන් වෙත වැටුප් ගෙවනු ලබයි.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ සංචිත පවතින්නේ රාජ්‍ය පරිපාලන සේවයට පමණක් නොවේ. තවත් ප්‍රධාන පෙළේ විද්‍යාත්මක, ඉංජිනේරු ආදී සේවා සඳහා කුඩා පරිමාණයේ සංචිත නිර්මාණය වන අවස්ථා තිබේ. කෙසේ වෙතත් මෙම සියලු සේවා රජයේ ඉහළ වැටුප් දරන, ඉහළම අධ්‍යාපන සුදුසුකම් සහිත නිලධාරීන්ගෙන් සමන්විත සේවා ලෙස දැක්වේ.

එවන් වටපිටාවක් තුළ නිකරුණේ නිලධාරීන්ට වැටුප් ගෙවමින් ඔවුන්ව දිනක් හෝ සංචිතයක රඳවා ගැනීම රටට ආර්ථිකයට සිදු කරන අපරාධයක් යැයි කීම සාධාරණය. එහෙත් අවාසනාවකට ඇතැම් නිලධාරීන් මෙම සංචිතයේ වසරකට ආසන්න කාලයක් රැඳී සිටි අවස්ථා පිළිබඳව ද තොරතුරු තිබේ.

නිකරුණේ වැටුප් ලබමින් මෙවන් සංචිතයක රැඳී සිටීමට කැමැති නිලධාරීන් ද සිටිය හැකිය. එහෙත් තවත් පිරිසක් රාජකාරියකින් තොරව සංචිතයක රැඳී සිටීමට අකැමැති වූවෝ වෙති. එහෙත් සේවා ස්ථානයක් සොයාගන්නා තුරු හෝ සොයා දෙන තුරු පවතින ක්‍රමවේදය තුළ සංචිතයේ රැඳී සිටීම මිස ඔවුනට විකල්පයක් නොමැත.

සැබැවින්ම මෙම සංචිතය අහෝසි කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ගත් තීරණය පැසසිය යුත්තකි. ඒ හරහා රටට මෙන්ම රාජ්‍ය නිලධාරීන්ට ද සිදුවන්නේ යහපතක් බව සඳහන් කළ යුතුය. රාජ්‍ය සේවය කාර්යක්ෂම වීමෙන් රටට සිදුවන යහපත අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ. එහෙත් මේ හරහා නිලධාරීන් වෙත සැලසෙන යහපත පිළිබඳ යමක් සඳහන් කළ යුතුය.

“පූල් එකක්" තිබීම නම් වූ කාරණාව හේතු කොටගෙන ඕනෑම අවස්ථාවක සිය නිලධාරීන් ඒ වෙත යොමු කළ හැකි යැයි ඉහළ බලධාරීහු සිතා සිටිති. "ඔතනින් මාරු කරලා පූල් එකට යවන්න." ඇතැම් විට රටේ ඉහළම තැනකින් එවන් නියෝගයක් පැමිණිය හැකිය. 

එවන් නියෝගයකට බලපාන්නේ විනය ගැටලුවක්, පක්ෂපාතීත්වය පිළිබඳ ගැටලුවක් විය හැකිය. එහි සාධාරණ අසාධාරණ බව කවරක් වෙතත් නියෝග ක්‍රියාත්මක වීමට හේතුව "පූල් එක" නැතිනම් "සංචිතයක්" රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නඩත්තු කිරීමයි. එහෙත් ඉදිරිපත්ව ඇති යෝජනාව අනුව ඉදිරියේ දී එවැන්නකට ඉඩ නැත. නිලධාරින් නිසි පරිදි ස්ථානගත කිරීම සිදු කළ යුතුමය.

මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ නිලධාරී සංචිත අහෝසි කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා කටයුතු කරනු ලබන්නේ විධිමත් වැඩපිළිවෙළක් සහිතව බවයි. විනය ගැටලුවකදී, පළාත් සභා වැනි ආයතනවලින් නිදහස් කිරීමකදී, ආදී ඕනෑම අවස්ථාවක සංචිතයට නොකැඳවා නිලධාරීන් සේවයේ ස්ථානගත කිරීමේ ක්‍රමවේදයක් ලේකම්වරයා යෝජනා කර තිබේ.

විශේෂයෙන්ම මේ අනුව විනය ගැටලුවලදී ද නිලධාරීන් සංචිතය වෙත යොමුවීම වළකා ගැනීමට අවකාශය උදා වේ. එනිසාම අදාළ පත්වීම් බලධාරීන් විනය ක්‍රියාමාර්ග නිසි අයුරින් කඩිනමින් ගත යුතු වේ. ඒ අතර සුපුරුදු පරිදි "පූල් එකට" නිලධාරීන් යොමු කර බලා සිටීමේ අවකාශය අහිමි වී යයි. ඒ වෙනුවට එම නිලධාරීන්ට සුදුසු පරිදි ස්ථාන මාරු ලබා දීමට අවස්ථාව තිබේ. යෝජනාවලිය අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට එවන් කටයුතු කඩිනමින් ඉටුකර දීමට ඉදිරිපත් වනු ඇත. 

තවත් පසෙකින් අභ්‍යන්තර පාලන අංශයට මෙම නිලධාරීන් අතිරික්තය පවත්වාගෙන යාමට අවැසි නම් හැකියාව පවතියි. එහෙත් සංචිතගත කරන නිලධාරීන් විවිධ ආයතන වෙත යොමු කිරීමේදී එම අංශය ද ගැටලුවලට මැදි වේ. ඇතැම් විට එය භාෂා ගැටලුවක් විය හැක. නැතිනම් විශ්‍රාම ගන්නා නිලධාරීන් ප්‍රමාණය අවම වීම නිසා පුරප්පාඩු නොමැති වීමක් විය හැකිය. එම නිසාම සංචිත ක්‍රමවේදයෙන් මිදීමට ගත් තීරණය සෑම අතකින්ම යහපත්ය.

මෙම තීරණය, උපයෝගීතාව රටේ ආර්ථිකය කෙරෙහි ද බලපවත්වනු ලබයි. ඉදිරියේදී රාජ්‍ය සේවය සම්බන්ධව සුවිශේෂී තීරණවලට යාමට පාලකයන්ට සිදු වනු ඇත. ඇතැම් විට බඳවා ගැනීම් පවා සීමා වීමට ඉඩ තිබේ. එවන් අවස්ථාවක මෙවන් සංචිත පවත්වා ගැනීමට කිසිසේත්ම උචිත නොවේ. ඍජුව නොපෙනුණද පරිපාලන ව්‍යුහය වෙත සිදුවන අනිසි දේශපාලන මැදිහත්වීම් ද අවම කර ගැනීමට හැකියාවක් මේ හරහා උදාවන බව අපට පෙනී යයි.

සමස්ත රාජ්‍යයේ සැකිල්ල වන්නේ රාජ්‍ය පරිපාලන සේවයයි. මෙම තීරණය පිළිබඳ සැකෙවින් සොයා බැලුවේ එබැවිනි. පුරවැසියන් ලෙස අප හැම කරුණු දත යුතුය. මන්ද, රාජ්‍ය හිමිකරුවන් පුරවැසියන්ය. රාජ්‍ය සේවය පවත්වාගෙන යන්නේ පුරවැසියන් විසිනි. රාජ්‍ය සේවයේ නිශේධනීය සියලු සාධනීය තීන්දු තීරණ පිළිබඳ විමසා බැලීමේ යුතුකම පුරවැසියන් සතුය.

I චමිඳු නිසල් ද සිල්වා 

ආයතනික තොරතුරු:
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් ඒ සම්බන්ධ  නිලධාරියකු වෙතිනි.