2022 නොවැම්බර් 06 වන ඉරිදා

තවත් පිරමීඩ සෙල්ලමක් ’’ස්පොට් චේන්’’

 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:00 193

ජාවාරම්කරුවෝ ඔවුන්ගේ මුදල් ඉපයීම සැඟවීමට නව උපක්‍රම භාවිත කරමින් සිටිති. නීත්‍යානුකූල බැංකු පද්ධතිය මගහැර ගනුදෙනු කිරීමට මොවුහු උත්සාහ කරති. කළු සල්ලි සුදු කිරීම හෙවත් මුදල් විශුද්ධිකරණය සඳහා භාවිත කරන එවැනි ක්‍රම විවිධ රටවල විවිධ නම්වලින් හඳුන්වයි. රටකින් රටකට අවිධිමත් ලෙස මුදල් යැවීම සඳහා භාවිත කෙරෙන ක්‍රම අතර හවාලා හා උණ්ඩියල් ප්‍රසිද්ධය. බ්ලොක් චේන් ලෙස හඳුන්වන්නේ රහස් මුදල් සක්‍රීය කරන තාක්ෂණයකි. එමගින් ඉලෙක්ට්‍රොනික ගනුදෙනු හෙවත් ඩිජිටල් මුදල් ගනුදෙනු සිදු කරයි. 

නීත්‍යානුකූල බැංකු පද්ධතිය මගහැර ඩිජිටල් හෙවත් ඉලෙක්ට්‍රොනික ලෙස රහස් කේත භාවිතයෙන් මුදල් තහවුරු කිරීම ක්‍රිප්ටොකරන්සි ක්‍රමයයි. විවිධ නම් භාවිත කළද අවසානයේ රහස් මුදල් සක්‍රීය කිරීම සිදුකෙරෙන්නේ ජාවාරම්කරුවන්ට ඇවැසි පරිදිය.

පිරමීඩ ජාවරම තවත් තහනම් ව්‍යාපාරයකි. එවැනි කූඨ ව්‍යාපාර ජාවාරම් ගණනාවක් මැද ක්‍රිප්ටො කරන්සි ආකාරයෙන් පවත්වාගෙන ගිය දැවැන්ත මුල්‍ය වංචාවක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් විය. 

මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා පසුගිය දිනක පොලිස් මූලස්ථානයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකි. එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ මෙරට විවිධ පුද්ගලයන් 8000ක් පමණ රවටා ඔවුන්ට අයත් රුපියල් කෝටි 1400කට අධික මුදලක් ජාවාරම්කරුවන් විසින් වංචා කොට ඇති බවකි. එම වංචාව සිදුකර ඇත්තේ ''ස්පොට් චේන්'' නමින් පවත්වාගෙන ගිය ආයතනයක් විසිනි.

අනාවරණය වූ තොරතුරු අනුව වෑන් සහ ෂු ආන් චීන ජාතික යුවලකි. මොවුන් දෙදෙනා තරුණ වයසේ පසුවන චීනයේ ෂැංහයි නගරයේ පදිංචිව සිටි පෙම්වතුන්ය. ඔවුන් දෙදෙනා සංචාරය සඳහා කිහිප වතාවක්ම ලංකාවට පැමිණ ගොස් තිබුණි. ඒ කොවිඩ් වසංගතය මෙරට ව්‍යාප්ත වීමට කලින් 2019 වසරේ හා ඊට පෙරය. එසේ පැමිණි අවස්ථාවක ඔවුන් හා මෙරට සිටි ශ්‍රී ලාංකිකයකු හා සබඳතාවක් ගොඩනැගී තිබිණි. ඔහු ශාමල් කිර්ති බණ්ඩාර නැමැත්තෙකි. 

මේ තිදෙනාගේ ඇසුර සමීප මිතුදමක් දක්වා වර්ධනය වී තිබුණේ දින කිහිපයක් තුළදීය. ඒ අතර කාලයේ අවස්ථා කිහිපයකදීම ඔවුන් හමුවී තිබුණු අතර එකිනෙකාගේ සුහදතාව මත ගජ මිතුරන් බවට පත්ව තිබුණේ නොදැනුවත්වමය. එසේ සිටියදී දිනෙක වෑන් - ෂු ආන් යුවල විසින් දුරකතන ඇමතුමක් ලබා දී ශාමල් කීර්ති බණ්ඩාර කොළඹට කැඳවාගෙන තිබුණේ විශේෂ කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමට අවශ්‍ය බව කියමිනි. ආරාධනාව පිළිගත් කීර්ති බණ්ඩාර සැණෙකින් කොළඹට පැමිණ සිය ගජ මිතුරු යුවල හමු වී තිබිණ. ඒ කොළඹ පිහිටි ප්‍රසිද්ධ අවන්හලකදීය.

''අපි දෙන්නා ඉස්සරහට වෙඩින් එක ගන්න ඉන්නෙ. ඉතින් ඊට කලින් අපිට බිස්නස් එකක් පටන්ගන්න ඕනෑ. අපි කැමැතියි ඒක ලංකාවෙම පටන් ගන්න. මොකද අපිට හොඳ යාළුවකුත් ඉන්නවනෙ කීර්ති බණ්ඩාර වගේ..''

මෙසේ වෑන් - ෂු ආන් යුවල සිය යෝජනාව ඉදිරිපත් කොට තිබිණ. ඊට එක පයින් එකඟතාව පළ කළ කීර්ති බණ්ඩාර, ''ෂා නියමයි. මේක මටත් ලොකු චාන්ස් එකක්. ඉතින් මගෙන් මොකද වෙන්න ඕන. කියන දෙයක් මම කරලා දෙන්නම්..'' යැයි පවසා තිබිණ.

ඊට එක පයින් එකඟ වූ චීන ජාතික යුවල මෙසේ කියා තිබිණ.

''ඔයාගේ විශ්වාසය නිසාමයි අපි ඔයාට කතා කළේ. අපිට මුලින්ම ඔෆිස් එකක් පටන් ගන්නයි ඕනෙ. හැබැයි කොළඹ වෙන්න ඕන. ගැලපෙන තැනක් හොයාගන්න කීර්ති බණ්ඩාරට පුළුවන්නෙ..''

''අයියෝ.. ඕක සුළු දෙයක්නෙ. මම හොඳම තැනක් හොයලා දෙන්නම්..'' කීර්ති බණ්ඩාර පොරොන්දු වී තිබිණ.

මේ අතර කතාබහ කෙරුණේ ව්‍යාපාරය පිළිබඳවය. එහිදී චීන යුවල පවසා තිබුණේ ක්‍රිප්ටො කරන්සි ව්‍යාපාරය ගැනය. ලෝකයේ නවතම ව්‍යාපාර ප්‍රවණතාව එය බව කී ඔවුහු එවැන්නක් මෙරට ආරම්භ කිරීමට යෝජනා කළහ. මේ අනුව තිදෙනාගේ එකමුතුවෙන් කොළඹ නගරයේ ව්‍යාපාරික ස්ථානයක් කුලියට ලබාගෙන තිබුණේ කාර්යාලයක් ලෙස භාවිත කිරීමටය. මේ අයුරින් 2020 වර්ෂයේදී ආරම්භ කළ ව්‍යාපාරය නම් කෙරුණේ ''ස්පොට් චේන්'' නමිනි.

එම ව්‍යාපාරය සඳහාම ආවේණික වූ පරිගණක මෘදුකාංගයක් නිර්මාණය කොටගෙන තිබුණේ ඔවුන් තිදෙනාගේම මැදිහත් වීමෙනි. එම මෘදුකාංගය හරහා සිය ගනුදෙනුකරුවන් සිදු කරන ආයෝජනවලට අදාළව ලැබෙන පොලිය ඇතුළු බොහෝ ප්‍රතිලාභ දැකගැනීමට හැකියාව ලැබිණ. ඒ සඳහා ඇළුම් කරන ආයෝජනය කිරීමට හැකි බොහෝ පිරිස් මෙම ස්පොට් චේන් ආයතනය හා එක්ව තිබුණේ වැඩි ප්‍රතිලාභ අපේක්ෂාවෙනි.

ව්‍යාපාරය සාර්ථකව සිදුවන බව තේරුම් ගත් මිතුරු තුන් කට්ටුව ව්‍යාපාරය පිළිබඳව නවීන ක්‍රම අනුගමනය කරමින් ප්‍රචාරණ ක්‍රියාවලියක් දියත් කළහ. ඒ සඳහා ජංගම දුරකතනවලට කෙටි පණිවුඩ යැවීම, සමාජ මාධ්‍ය හරහා දැන්වීම් ප්‍රචාරය ආදිය මුල් තැනක් ගැනිණ. ඒ තරුණ පිරිස්හි වැඩි අවධානයක් දිනාගැනීම සඳහාය.

මෙම ප්‍රචාරණ ක්‍රියාවලියට හසු වූ ධනවත් පිරිස් ස්පොට් චේන් ආයතනය හා සම්බන්ධ වූයේ වැඩි ප්‍රතිලාභ අපේක්ෂාවෙනි. එසේ ආයෝජනය කිරීමට කැමැති පිරිස් කොළඹ තරු පන්තියේ හෝටල් කිහිපයකට කැඳවා කරුණු පහදා දී තිබුණේ වැඩි වැඩියෙන් ආදායම් උපයා ගන්නා ක්‍රම පිළිබඳව මුසා බස් කියමිනි. ඔවුන්ගේ බසට රුවටුණු පිරිස් රුපියල් කෝටි ගණනක මුදල් ආයෝජනය කොට තිබුණේ දැඩි විශ්වාසයකිනි. මේ ආකාරයට වසර දෙකක කාලයක් පුරා ඔවුන් ව්‍යාපාරය සිදු කරගෙන ගොස් තිබුණේ ආයෝජනය කිරීමට පැමිණි පුද්ගලයන් හරහා තවත් පිරිස ද ඒකරාශි කොටගෙනය.

මුදල් ආයෝජනය කළ පිරිසට රහස් කේතයක් හරහා ඔවුන්ගේ ගිණුම පරීක්ෂා කළ හැකිව තිබිණ. ඒ අන්තර්ජාලය හරහාය. ආයෝජන මුදලට අදාළව පොලිය හා තවත් දීමනා වශයෙන් ප්‍රතිලාභ දක්වන අතර ඒවා නැවත ලබාගැනීමට උනන්දු වූ පිරිස්ද වූහ. එම අවස්ථා ආයතනය විසින් වළක්වා තිබුණේ ඊළඟ ප්‍රතිලාභ අවස්ථාව සපිරෙන තෙක් රුඳී සිටින ලෙසත් වැඩි මුදලක් ඇවැසි නම් තවත් මුදල් ප්‍රමාණයක් ආයෝජනය කරන ලෙසත් දන්වමිනි. මේ අයුරින් ගනුදෙනුකරුවන් සතු උපරිම ධනය සූරා ගන්නා අතර ඔවුන් සතු සියලු වත්කම් විනාශ වී තිබුණේ නොදැනුවත්මය.

මෙසේ රුවටුණු පිරිසෙන් කිහිප පොළක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය සහ වාණිජ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිලි කොට තිබිණ. ලැබුණු තොරතුරු අනුව ස්පොට් චේන් ව්‍යාපාරික ආයතනය පිරමීඩ ජාවාරමක් සිදු කරන බවට පෙනී ගියේය. සිදු කළ විමර්ශන අතරතුර කීර්ති බණ්ඩාර නැමැත්තා අත්අඩංගුවට ගැනුණේ රහසිගත විමර්ශනයක ප්‍රතිඵලයක් වශයෙනි. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී හෙළි කළ තොරතුරු අනුව චීන ජාතික යුවල මෙරටින් පලා යාමට උත්සාහ කරන බව හෙළි කරගෙන තිබිණ. ඒ අනුව සැකකාර වෑන් - ෂු ආන් යුවළ ඉකුත් සැප්තැම්බර් 12 වැනිදා අත්අඩංගුවට පත්ව තිබුණේ කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේදීය.

වැඩිදුරටත් සිදු කළ විමර්ශනයේදී හෙළි වී තිබුණේ ව්‍යාපාරය වශයෙන් කළ ක්‍රිප්ටො කරන්සි මිලදී ගැනීම සඳහා පුද්ගලයන් ජාලයක් සම්බන්ධ බවය. ප්‍රතිලාභ ඉල්ලා පැමිණෙන විට ආයතනයේ ඉහළ සිට පහළට ඇති සබඳතාව බිඳ දමා පහළම පුද්ගලයා හා ආයෝජකයා යන දෙදෙනා අතරට පමණක් ගනුදෙනුව සීමා කර තිබිණ.

ක්‍රිප්ටොකරන්සි (Cryptocurrency) වශයෙන් මුදල් ඒකකයක් නම්කොට ඇතත් ලොව කිසිදු රටක එවැනි මුදල් වර්ගයක් භාවිතයේ නැත. එබැවින් මෙය අතාත්වික මුදල් වර්ගයක් ලෙස හඳුන්වා දිය හැකිය. එමෙන්ම ක්‍රිප්ටොකරන්සි මිලදී ගැනීම යනුවෙන් භාවිත කෙරෙන්නේ අන්තර්ජාලය මුල් කොටගෙන සිදු කරන ගනුදෙනු ක්‍රමයකි. මෙවැනි සාමාන්‍ය ගනුදෙනුවලදී ක්‍රෙඩිට් කාඩ් ක්‍රමය තුළ හර හෝ බැර මුදල්වල නියමිත වටිනාකමක් පවතී. ක්‍රිප්ටොකරන්සි ගනුදෙනු ඉලෙක්ට්‍රොනික වශයෙන් තවත් පාර්ශ්වයක් හරහා සිදු කෙරේ. ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනුවලදී බැංකුවක් හෝ මුල්‍ය ආයතනයක් පසුපස සිටියද ක්‍රිප්ටොකරන්සි සඳහා එවැනි වග කියන පාර්ශ්වයක් නොමැත. එබැවින් සයිබර් අවකාශයේ ඩිජිටල් පාර්ශ්ව කිහිපයක ක්‍රියාකාරීත්වය මත සිදුවන ක්‍රිප්ටොකරන්සි ගනුදෙනු සඳහා කිසිදු වගකීමක් දරන ආයතනයක් හෝ පුද්ගලයෙක් නැත. මිලදී ගැනීම් සිදුවන්නේ ඒ සඳහා සකස් කරගත් යෙදවුම් හෙවත් ''ඇප්'' හරහා බව සඳහන් වේ.

මෙය පැහැදිලිව පිරමිඩ ජාවාරමට සමාන ජාවාරමක් වශයෙන් හඳුන්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කළේ ජාවාරම සඳහා මෙරට පුද්ගලයන් 8000ක් පමණ කොටු වී ඇති අතර ඔවුන්ට අයත් රුපියල් කෝටි 1400ක් පමණ වංචා කොට ඇති බවය.

අයථා ඉපැයීම්වලින් රුස්කර ගන්නා ධනය කළු සල්ලිය. මේවා සුදු කර ගැනීමට බොහෝ පිරිස් නීත්‍යානුකූල නොවන ආයතනවල ආයෝජනය කරති. මෙම ජාවාරම තවත් එවැනි පිරමිඩ ජාවාරමකට අයත් කූඨ ව්‍යාපාරයකි. මෙවැනි ස්ථානවල ආයෝජනය කළ පිරිසට සිදුවන්නේ තම මුදල අහිමිවීම පමණක් නොව මුදල් විශුද්ධිකරණය යටතේ නීතියෙන් දඬුවම් විඳීමටය.

■  සමන්ත ප්‍රදීප් විල්තෙර