2022 නොවැම්බර් 06 වන ඉරිදා

අවුරුදු 14 දැරියන් කසාද බන්දන ලංකාවේ අම්මලා

 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:00 930

“පො‍ළොන්නරුව දිස්ත්‍රික්කයේ 24 හැවිරිදි තරුණියක් වන ඇය දීපානි යන නමින් අපි හඳුන්වමු. ඇය දැනට වසර දහයකට පෙර එනම් වයස අවුරුදු 14දී අඩු වයසින් විවාහ වූවාය. දීපානිට පළමුවැනි දරුවා ලැබෙන්නේ වයස අවුරුදු 14දීය. එනම් දැනට වසර දහයකට පෙරය. නිවෙසේ අවුරුදු පහට අඩු දරුවෝ තිදෙනෙක් සහ අවුරුදු දහයක දරුවෙක් සිටිති. කිරිකැටියන් තිදෙනකු සමග එක වහළක් යට 24 හැවිරිදි මවක ගෙවන ජීවිතය පිළිබඳ අසන ඕනෑම මවකට කිරි එරෙනුයේ දරුවන්ටත් වඩා ළාබාල මව ගැන ඇති වන දාරක හැඟීමෙනි.” 

මහපොළොවේ ඇසුණු මේ එක් කතාවක් පමණකි. තවත් කතා බොහොමයක් තිබේ. සැදී රන් අබරණින් රිදී සළුපිළි දරා මංගල පෝරු මස්තකයෙහි සිටි මනාලියක හදිසියේ පොලිස් භාරයට ගත් පුවතක් මෑතක වාර්තා වූයේ මොරටුව අඟුලාන උත්සව ශාලාවක පැවති මංගල උත්සවයකිනි. එලෙස මනාලිය පොලිස් භාරයට ගෙන තිබුණේ මනාලිය අවුරුදු 15ක බාලවයස්කාරියක වීම නිසාය. අවුරුදු 19ක මනාලයාද පොලීසිය අත්අඩංගුවට ගත්තේය. මෙම සිදුවීම අනාවරණය වී තිබුණේ ළමාරක්ෂක අධිකාරියේ 1929 හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක පිහිටෙනි. මේ තවත් සිද්ධියකි. එකම කාරණයක අවධි දෙකකි.

වර්තමානයේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය දරාගත නොහැකිව මවුපියන් තම වයස අවුරුදු 18ට අඩු දැරියන් අඩු වයසින් විවාහ කරවීමේ අවදානමක් මතු වී ඇති බවට රතුකුරුස සංවිධානය මෙම වසරේ සිදුකළ නවතම සමීක්ෂණයකින් මෑතක හෙළි කළේය. එයින් අනාවරණය වූයේ ගම්පහ, කොළඹ, මොණරාගල, පොළොන්නරුව, මුලතිව් යන දිස්ත්‍රික්කවල සහ හැටන්, නුවරඑළිය වතු ආශ්‍රිතව සමීක්‍ෂණයට ලක් වූ බොහෝ නිවෙස්වල වයස අවුරුදු 18ට අඩු දැරියන් පවතින අසීරුතා මත විවාහ කරවීමට මවුපියන් සූදානමින් සිටින බවයි. මේ පිළිබඳ ඇත්ත නැත්ත සොයායාමට අපි උත්සාහ කළෙමු. 

ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය තත්ත්වය නරක අතට හැරුණහොත් අඩු වයසින් විවාහ වැඩිවීමට ඉඩ ඇති බවට අම්පාර ප්‍රදේශයේ වැසියන්ගෙන් අනාවරණය වී තිබේ. එහිදී ගම්පහ සහ යාපනයේ කාන්තාවන් මේ සම්බන්ධයෙන් පවසනුයේ මෙය කාලීන ආරක්‍ෂාව පිළිබඳ ප්‍රශ්නයක් බවයි. 

අම්පාරේ සමීක්ෂණයට ලක්කළ නාගරික ජනගහනයෙන් සියයට 16ක් සහ මුලතිව් ග්‍රාමීය ජනගහනයෙන් සියයට 14ක් තම ගෘහ අවශ්‍යතා සපුරාලන්නේ නැතිනම් තම දියණියන් ඉක්මනින් විවාහ කරදීම විකල්පයක් ලෙස සලකති. මෙම විකල්පය සලකා බැලූවන්ගෙන් අම්පාරේ පවුල්වලින් හතරෙන් තුනක ප්‍රතිශතයක් නියෝජනය කරන අතර එම පවුල් අතරින් මසකට රුපියල් 80,000ට වැඩි ආදායමක් ලබන එකදු පවුලක්වත් නොසිටීම විශේෂත්වයක් බවද එහි සඳහන්ය. 

රටේ පවතින අයහපත් ආර්ථිකය හේතුවෙන් දේපළවලට පමණක් නොව පවුල් කුටුම්භ පවා දෙදරීමට ලක්වන ආකාරය ඛේදජනකය. මවුපියන් තම දරු දැරියන් අඩු වයසින් දීග යවා බර හෑල්ලු කරගැනීමට කල්පනා කරනුයේ එහි අතුරු ඵලයක් ලෙසය. දරුවන් කිහිපදෙනකු සිටින පවුලකට ජීවත් වීමේ අපහසුතාව හේතුවෙන් නිවෙසේ වැඩිමල් දරුවන් මෙලෙස දීග දෙන්නට මවුපියෝ කල්පනා කරති.

නියැදි කණ්ඩායම් සාකච්ඡාවලදී කණ්ඩායම් අටක විශ්වාසය බවට පවසා ඇත්තේ ළමයින්ට එරෙහි කායික හා මානසික හිංසන සිදුවීම්වල වැඩිවීමක් ඇති බවයි. මේ සඳහා රටේ වර්තමාන ආර්ථික අර්බුදය, මවුපියන් දෙදෙනාම රුකියාවක් සොයා නිවෙසින් බැහැරවීම සහ තම දරුවන් නිවසේ සිටින විට මවුපියන්, දරුවන් ඇතුළු සමීපතම වැඩිහිටියන් සියලු දෙනා හට පැය ගණනාවක් පෝලිම්වල සිටීමට සිදුවීම ආදිය හේතු වී ඇතැයි අනාවරණය වී තිබේ. 

සාමාන්‍ය විවාහ ආඥා පනතේ 1995 අංක 18 දරන සංශෝධන පනතින් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම අදාළ වන පරිදි විවාහ අවම වයස අවුරුදු 18 බව දක්වයි. උඩරට නීතිය යටතේත් මෙම වයස 18 සීමාව බලපැවැත්වෙන බවත් මුස්ලිම් නීතිය අනුව එම වයස අවුරුදු 12ට වැඩි අයට මවුපිය කැමැත්ත මත විවාහ වීමට නීත්‍යනුකූල බලය ලබා දී තිබේ.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2022 දත්ත අනුව මෙරට 1,62,628ක් 2021 වසරේ නීත්‍යනුකූල විවාහ වී ඇති අතර ඒ අතරින් සාමාන්‍ය නීතිය යටතේ 139,015ක්ද උඩරට නීතිය යටතේ 127ක්ද, මුස්ලිම් නීතිය යටතේ 23,486ක්ද වෙති. උතුරුමැද පළාතේ එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක දත්ත අනුව බාල වයස් විවාහ 2016 වසරේ 37ක්, 2017 වසරේදී 26ක්, 2018දී 29ක්, 2019දී 32ක්, 2020දී 17ක්, 2021දී 23ක් සහ 2022දී මේ දක්වා සිද්ධීන් 7ක් වාර්තා වී ඇත.

නුවරඑළිය, වලපනේ වතු ආශ්‍රිතව වෙසෙන පවුල්වලින් 2021 වසරේ බාල වයස් විවාහ 6ක් වාර්තා වී ඇති අතර මෙම වසරේ මේ දක්වා වාර්තා වී ඇත්තේ සිද්ධි 3ක් පමණක් බවත් පැවති තත්ත්වය මේ වනවිට යම්තාක් දුරකට උපදේශනය මගින් අවම කරගෙන ඇති බවත් ප්‍රකාශකයෙක් පැවසුවේය. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල, වැලිකන්ද ආදී මුස්ලිම් ගම්මානවල සහ අම්පාර දිස්ත්‍රික්කයේත් කාතන්කුඩි ආදී මුස්ලිම් ගම්මානවල අඩු වයස් ළමා විවාහ බහුලව සිදුවුවද ඒවා මුස්ලිම් නීතිය යටතේ වරදක් නොවනුයේ විවාහ වයස අවුරුදු 12 වීම නිසාය.

බාල වයස් විවාහ අවම කරලීමේ අරමුණින් මේ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ ළමා හිමිකම් සංවර්ධනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශිකාවක පැවසූයේ මේ වනවිට අවදානම් ප්‍රදේශ හඳුනාගෙන ඇති අතර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ මට්ටමින් මවුපියන් සහ දරුවන්ට ප්‍රජා පාදක වැඩසටහන් මගින් දැනුම්වත් කිරීම් කරන බවයි. එසේම දරුවන්ට ජීවන ඉලක්ක වැඩසටහන්, ළමා සමාජ වැඩසටහන්, දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ගම් මට්ටමින් ග්‍රාමීය ළමා සංවර්ධන කමිටු ආදී වැඩසටහන් රුසක් මේ වනවිට ක්‍රියාත්මක කරගෙන යන බවත් ඇය පැවසුවාය. එසේම දිඹුලාගල, හිඟුරක්ගොඩ, වැලිකන්ද ඇතුළු මහවැලි ගම්මානවල තිබෙන නුපුහුණු ශ්‍රමය ඵලදායීව යම් වෘත්තීන් සඳහා භාවිතයට ගතහොත් මෙම අඩු වයස් විවාහ වීමේ ප්‍රශ්නයටත් යම් සාර්ථක විසඳුමක් ලැබෙන බවද ඒ සම්බන්ධයෙන් බලධාරීන් සැවොම සිය අවධානය යොමු කළ යුතු බවද එම ප්‍රකාශිකාව වැඩිදුරටත් පැවසුවාය. 

බාල වයස් විවාහ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී නීති පද්ධතියේ තිබෙන යම් යම් හිඩැස් ප්‍රශ්නකාරී වන්නේය. අඩු වයස් විවාහ නීති පොතේ ගැටලුවක් වූවාට ඔවුන්ගේ ජීවන පොතේ එය ගැටලුවක් වී නොමැති වීම බරපතළ ප්‍රශ්නයකි. මේ සම්බන්ධයෙන් නීත්‍යනුකූල කටයුතු කිරීමට අදාළ නිලධාරීන්ට දැඩි උත්සාහ ගැනීමට සිදුව තිබේ. ශ්‍රී ලංකාවේ විවාහ වීමේ අවම වයස හඳුන්වාදීමේ 2020 අංක දරන සංශෝධන පනත් කෙටුම්පත අනුව විවාහ වීමේ අවම වයස අවුරුදු 18ට නොඅඩු විය යුතු බව පෙන්වා දෙයි. එහිදී එම නීතිය උල්ලංගණය කරමින් ළමා විවාහයක් සිදුකිරීම, එයට අනුබල දීම, පෙළඹවීම, ප්‍රවර්ධනය සඳහා උපදෙස් දීම, විවාහ රෙජිස්ට්‍රාර්වරයාට සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම පමණක් නොව තතු දැන ළමා විවාහ උත්සවයකට සහභාගි වීමද වසර දෙකක සිර දඬුවම් හිමිවන බරපතළ වරදක් ලෙස පෙන්වා දෙයි. එහෙත් සාමාන්‍ය විවාහ නීතිය අනුව විවාහයට අවම වයස අවුරුදු 18 වූවාට වයස අවුරුදු 16ට වැඩි දැරියකට හෝ දරුවකුට තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කිරීමට සහ විවාහ නොවී කැමැත්ත මත කටයුතු කිරීමට ව්‍යවස්ථාපිත නිදහසක හිමිකමක් තිබේ. මෙම එකිනෙකට පරස්පර නීති ද්විත්වය හේතුවෙන් සමාජයේ බරපතළ ප්‍රශ්නයක් මතු වී ඇත්තේය. මෙයත් අඩු වයස් යුවළ නීත්‍යනුකූල විවාහ නොවී එකට පවුල් ජීවිත ගෙවීමට හේතුවක් වී ඇත්තේය.

අඩු වයස් විවාහ ඇති වීමට බලපා ඇති කාරණා අතර ග්‍රාමීය දුෂ්කර ගම්මානවල බොහෝ මවුපියන්ට දරුවන් පිළිබඳ සාම්ප්‍රදායික ජීවන වෘත්තියෙන් ඔබ්බට අනාගත ඉලක්ක නොතිබීම ප්‍රමුඛ වෙයි. එසේම අඩු වයස් විවාහ සම්බන්ධ ප්‍රශ්නය පුළුල්ව සලකා බැලීමේදී දැකගත හැකි බරපතළ ප්‍රශ්නයක් වනුයේ දුෂ්කර ගම්මානවල වෙසෙන බහුතරයක් පවුල් වෙසෙන නිවාසවල ඉඩකඩ සීමිත වී තිබීමයි. මෙරට බාල වයස් විවාහවලින් සිදුවන අවදානම අවම කර ගත හැකි වනුයේ මේ සම්බන්ධයෙන් විධිමත් පර්යේෂණ ක්‍රියාවලියක් සිදුකිරීමෙන් මිස උඩින් පල්ලෙන් සැකසූ ලැයිස්තුවලින් නොවන බව අපි සිතමු. එහෙයින් මේ සම්බන්ධයෙන් ආර්ථික සමාජීය විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් මගින් පුළුල් විශ්ලේෂණයක් සිදුකර මෙහි සත්‍යය තහවුරු කර ගැනීම වැදගත් වන්නේය.

■  සසංක චලන ගිම්හාන