2022 නොවැම්බර් 06 වන ඉරිදා

එක දවසෙන් රාජකාරිය එපා වූ පොලිස් කොස්තාපල්

 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:00 82

ඔහු හිටපු පොලිස් කොස්තාපල්වරයෙකි. හා හා පුරා කියා ලැබුණු පළමු රැකියාවේ පළමු දිනයේදීම ඔහු තම නිලඇඳුම, නිල හැඳුනුම්පත ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඔහුට ලබා දුන් සියලුම භාණ්ඩ නැවතත් බාර දී සේවයෙන් ඉවත් විය. ඔහු නමින් ජී.ඒ.ඩබ්ලිව්.කේ. නානායක්කාරය. පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඔහුට ලබා දී තිබූ අංකය ආධුනික පොලිස් කොස්තාපල් 104309 නම් විය.

නානායක්කාරට හීනයක් තිබෙන්නට ඇත. පොලිස් දෙපාර්තමේන්තුවට එක්ව එහි සේවය කරමින් තම ජීවිතය ගොඩනගා ගැනීම ඔහුගේ බලාපොරොත්තුව වන්නට ඇත. තරුණ නානායක්කාරගේ බලාපොරොත්තුව සඵල කරමින් ඔහුව පොලිස් සේවයට එක්කර ගත් බවට වූ පුවත ලැබිණි. ඔහු ගල්ගමුව ප්‍රදේශයේ ජීවත් වුණු තරුණයෙකි.

මහියංගණ පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් ඔහු පොලිස් පුහුණුව ලැබීය. පුහුණුව අවසානයේදී ඔහු අනුයුක්ත කෙරුණේ රඹුක්කන පොලීසියටය. එය ඔහුගේ මුල්ම පත්වීම විය. 156 වැනි පොලිස් දින සැමරුම වෙනුවෙන් පැවති පෙළපාලි පුහුණුව සඳහා ද ඔහු නම් කර තිබිණි. නානායක්කාර ඒ සඳහා වාර්තා කර තිබුණේ කෑගල්ල පොලිස් ස්ථානයටය.

නානායක්කාර කෑගල්ල පොලීසියට වාර්තා කළේය. ඕනෑම පොලීසියක සිර මැදිරියක් පැවතීම සාමාන්‍ය දෙයකි. සිර මැදිරියක් තුළ ජීවත් වන්නේද මිනිසුන්මය. වෙනස නම් ඔවුන් විවිධ චෝදනාවල සැකකරුවන් වීමය. ඉදිරියේදී බොහෝ විට මෙවැනි සිදුවීම් තම සේවා කාලය තුළ තම සේවා ස්ථානයේදී අත්දැකීමට සිදුවනු ඇති බව ඔහුට වැටහිණි. 

එදින නානායක්කාරට නින්දක් නොලැබිණි. හිතට වෙහෙසක් දැනුණි. ඒ වන විටත් ඔහු රඹුක්කන පොලීසිය තුළදී එකදු රාජකාරියක් හෝ සිදු කර තිබුණේ නැත. 

පොලිස් ආරංචි මාර්ගවලට අනුව රඹුක්කන පොලීසියේ බොහෝ පොලිස් නිලධාරීන්, නිලධාරිනියන් මේ නවක තරුණ ආධුනික පොලිස් කොස්තාපල්වරයාගේ මුහුණ පවා දැක නොතිබිණි.

ඒ අනුව ඔහු නැවතත් රඹුක්කන පොලීසියට පැමිණියේය. ඒ පසුගිය මස 26 වැනිදාය. තම පොලිස් ආයතනයට පැමිණි නානායක්කාර රජයේ දේපල හා නිලඇඳුම් පොලීසියට බාර දී තිබිණි.

පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සේවයට එක්වන ඕනෑම කෙනෙක් මේ අත්දැකීම ලබයි. රටේ නීතිය ආරක්ෂා කිරීමේ වගකීම දරමින් සේවයට එක්වන ඔවුන්ට නීතියෙන් පැන යාමට උත්සාහ කරන පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීමට වෙහෙසක් දැරීමට සිදුවේ. එය සාමාන්‍ය දෙයකි. මෙලෙස සේවයේ යෙදෙන සෑම දෙනකුම තම රැකියාවට එක්වන්නේ රාජකාරියේ ස්වභාවය පිළිබඳ අවබෝධයක් ඇතිවය.

නානායක්කාර ද සේවයට එක්වන්නට ඇත්තේ එවන් අවබෝධයකින් වන්නට ඇත. නමුත් සිර මැදිරිය තුළ සිටි සිරකරුවන්ගේ මුහුණු දුටු ඔහුගේ හිතට දැරිය නොහැකි සංවේදී බවක් දැනෙන්නට විය.

''මේ රැකියාවට ආවාම දුක් කම්කටොලු හැම දෙයක්ම ඉවසගෙන ඉන්න ඕනෙ. සිර කුටිවල බොහෝ වෙලාවට අහිංසක මිනිසුන් දාලා නැහැ. කුමක් හෝ වරදක් කරපු, වරදකට අනුබල දුන්න කෙනෙක් තමයි එහෙම සිර මැදිරිවල ඉන්නෙ. ඒක දුකයි කියලා හිතලා රැකියාවෙන් ඉවත්වෙලා යන එක ඇත්තටම අපරාධයක්. පොලිස් නිලධාරීන් තුළ හිතේ ශක්තියක් තියෙන්න ඕනෙ. ධෛර්යයක් තියෙන්න ඕනෙ. අපිට රටේ නීතිය ආරක්ෂා කර ගන්න මිනීමරුවන්, දාමරිකයන් එක්කත් රාජකාරිය කරන්න සිදුවෙනවා. ඒ වෙනුවෙන් හිතට ධෛර්යයක් තියෙන්න ඕනෙ.'' පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් මේ සිද්ධිය සම්බන්ධයෙන් දේශයට පැවසීය.

■ දිශානි ජයමාලි කරුණාරත්න