2022 නොවැම්බර් 06 වන ඉරිදා

ඇස් ඉස් මස් ලේ දන් දුන් හසලක චමින්ද

 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:00 52

මහා බෝසතාණන් වහන්සේ විවිධ බවයන්හි ඇස්, ඉස්, මස්, ලේ දන් දුන්නේ බුදුබව පතමිනි. මිය යන්නට නියමිත ජීවිත කිහිපයකට ජීවත්වීමේ අපේක්ෂා ලබාදෙමින් සිදු කළ එවැනි මහානිසංස පුණ්‍යකර්මයක් පිළිබඳව පසුගියදා අසන්නට ලැබුණේ හසලක ප්‍රදේශයෙනි. බස්රථයකින් ඇදවැටී අනතුරකට ලක්ව බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මොළය මියගිය රෝගියකුගේ හදවත සහ ශරීරයේ අනෙකුත් අවයව දන් දීමට පවුලේ සාමාජිකයන් කැමැත්ත පළ කිරීම හේතුවෙන් මොළය මියගිය එම රෝගියා පසුගිය 31 වැනිදා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයකින් කොළඹ ජාතික රෝහලට වෙත ගෙන එනු ලැබුවේ එම අවයව ඉවත් කර ගැනීම සඳහාය.

හසලක මහ අස්වැද්දුම ප්‍රදේශයේ ජීවත් වූ එම්.ජී. චමින්ද 48 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු හසලක ප්‍රාදේශීය සභාවේ රියැදුරෙක් ලෙස සේවය කළේය. පසුගිය 26 වැනිදා රැකියාවට ගොස් යළි නිවෙස බලා යමින් සිටියදී අවාසනාවන්ත ලෙස බස්රථයෙන් ඇදවැටී බරපතළ ලෙස තුවාල ලැබීය. මහියංගණ රෝහලට ඇතුළත් කර සිටි චමින්දගේ තත්ත්වය බරපතළ වූ බැවින් බදුල්ල මහ රෝහලට මාරුකර යැවිණි. එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියද අනතුරින් ඔහුගේ හිසට දැඩි ලෙස හානි සිදුවී තිබූ හෙයින්.

මේ ආත්මයේ අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වුවද ඔහුගේ සිරුරේ කොටස් මියඇදෙමින් සිටින කිහිපදෙනකු ජීවත් කරවීම සඳහා පරිත්‍යාග කිරීමෙන් ඔහුට මහත් පිනක් ලැබෙන බව විශ්වාස කළ චමින්දගේ බිරිය ජී.ජී. චන්ද්‍රලතා හා දරු දෙදෙනා ඔහුගේ ශරීරයේ අනෙකුත් අවයව දන්දීමට කැමැති යැයි වෛද්‍යවරන්ට ප්‍රකාශ කළෝය. 

''මගේ මහත්තයගේ ජීවිතේ බේරගන්න බැරිවුණත්  තව කෙනෙකුගේ ජීවිතේ බේරගන්න පුළුවන් නම් ඒකත් ලොකු පිනක්. ඒ නිසා එයාගේ ශරීරයේ වෙනත් අවයව දන් දෙන්න අපි කැමැත්ත ප්‍රකාශ කළා''යැයි චන්ද්‍රලතා මහත්මිය ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව ගිලන් රියක් ලෙස සකසන ලද හෙලිකොප්ටර් යානයකින් ඔහුගේ පණ රැකීම සඳහා සවිකර ඇති ජීවිතාරක්ෂක උපකරණ සහිතවම පසුගිය 31 වැනිදා බදුල්ල මහ රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත චමින්ද රැගෙන ඒමට ගුවන් හමුදාව සහාය ලබා දුන්නේය.

ඔහුගේ හදවත කොළඹ ජාතික රෝහලේ සිටින රෝගියකුට බද්ධ කිරීමට නියමිත වන අතර අනෙකුත් අවයව ජීවිතයත් මරණයත් අතර සටන් කරමින් සිටින තවත් රෝගීන් කිහිප දෙනකුට ජීවත්වීමේ අපේක්ෂාව ලබාදෙනු ඇත. ඒ අනුව ඔහුගේ පෙණහැල්ල සහ අක්මාව මහනුවර රෝහලේ රෝගීන් දෙදෙනකු සඳහාත්, වකුගඩු යුගල බදුල්ල රෝහලේ රෝගීන් දෙදෙනකු සඳහාත් ලබාදීමට නියමිතය. එහෙයින් චමින්ද මියගියේ තවත් ජීවිත 5කට ජීවත් වීමේ අවසරය ලබා දෙමිනි.

සාමාන්‍යයෙන් පුද්ගලයකුගේ මොළය මියගිය විට ඔහුට ජීවත්විය හැක්කේ යන්ත්‍රයක ආධාරයෙන් පමණි. එම යන්ත්‍රය ඉවත් කළ විගස ඔහු මරණයට පත්වීම වැළැක්විය නොහැකිය. නිර්වින්දන වෛද්‍ය චන්දන නවරත්න මහතා වරක් මාධ්‍යයට ප්‍රකාශ කර තිබූ අයුරින් පුද්ගලයකු මරණයට පත්වීමේ අවස්ථා දෙකකි. ඉන් පළමුවැන්න පූර්ණ මරණය වන අතර දෙවැන්න මොළය මියයාමයි. පූර්ණ මරණයක් යනු ශ්වසනය සිදු නොවන, දැඩි වේදනා ස්ථානවලට ලබාදෙන සංවේදනාවන්ට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන, නාඩි ශබ්දය සහ හෘදයේ ස්පන්දන ශබ්දය නතර වීමය. මොළය මියයාම යනු මොළය නමැති ඉන්ද්‍රියය පමණක් මිය යාමයි.

සාමාන්‍ය නිරෝගී පුද්ගලයකුගේ මොළය නමැති ඉන්ද්‍රිය දෙයාකාරයකට ක්‍රියාත්මක වේ. ඒ දැනුම්වත්ව සිදුකෙරෙන පාලනය සහ නොදැනුම්වත්ව සිදු කෙරෙන පාලනය වශයෙනි. සිතිවිලි, ශාරිරික අවශ්‍යතා වැනි ක්‍රියා දැනුම්වත්ව කෙරෙන පාලනය වන අතර හෘද ස්පන්දනය, නාඩි වැටීම, ශ්වසනය ඇතුළු විවිධ අවශ්‍යතා නොදැනුවත්ව සිදුකෙරෙන පාලනය මගින් සිදු වේ. මොළය මිය ගියේද, නැද්ද යන්න හඳුනා ගන්නේ මෙම සියලු ක්‍රියා නතරවීමෙනි. මොළය මියගිය බව තහවුරු වූ රෝගියෙකු ශ්වසන යන්ත්‍රයෙන් ඉවත් කිරීමෙන් පසුව හෘදයේ ක්‍රියාකාරීත්වය නතර වී සම්පූර්ණ මිය යාමක් සිදු වෙයි. එයට පෙර අවයව ලබාගත යුතු වන්නේ තවත් පුද්ගලයෙකුට බද්ධ කිරීම සඳහා ජීවී අවයව අවශ්‍ය වන බැවිනි.

චමින්ද බදුල්ල මහ රෝහලේ සිට ජීවිතාරක්ෂක උපකරණද සමඟ කොළඹ මහ රෝහල වෙත ගෙන ආවේ බද්ධ කිරීම සඳහා අවශ්‍ය ජීවි අවයව ඔහුගේ ශරීරයෙන් ඉවත් කර ගත යුතු වූ බැවිනි. එසේ නොමැතිව ශ්වසන පද්ධතියෙන් ඉවත් කළේ නම් ඒ මොහොතේම ඔහුගේ හදවත නවතින අතර එම අවයවද මරණයට පත්වන්නේය.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00