2022 නොවැම්බර් 06 වන ඉරිදා

හිරේ ඉඳන් රාජ්‍ය සම්මාන ලැබූ කොටි බෝම්බ සැකකරු

 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:00 211

රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2022 උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය සිකුරාදා පැවැත්විණි. සාමාන්‍යයෙන් සම්මාන උළෙලේ වැඩිපුර කතාබහක් ඇතිවන්නේ සම්මානිත සිංහල නවකතාව ගැනයි. නමුත් මෙවර එම සම්ප්‍රදාය බිඳ දමා වැඩියෙන්ම කතාබහට ලක්වූ සිද්ධිය වුණේ හොඳම දෙමළ ස්වතන්ත්‍ර නවකතාවට හිමි සම්මානයයි. එයට හේතුව එම සම්මානය හිමිකර ගත්තේ බන්ධනාගාරගතව සිටින 42 හැවිරිදි සැකකරුවකු විසින් වීමයි.

සම්මානය සිවලිංගම් ආරූරන් රචනා කළ ‘ආදුරු සාලෙයි’ කෘතියට හිමි විය. ඔහු බන්ධනාගාරගතව සිටින්නේ කොළඹ පිත්තල හන්දියේ දී 2006 වසරේ එවක ආරක්‍ෂක ලේකම්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවකු ලෙසිනි. ඔහු රඳවා සිටින්නේ බොරුල්ල මැගසින් බන්ධනාගාරයේය. බන්ධනාගාර සිර කුටියක වසර 16ක් රඳවා සිටින ඔහුගේ නඩුව ඇදෙමින් යයි. ඔහු අත්අඩංගුවට පත්වුණේ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිය 2004 දී ලැබීමෙන් පසුව පේරාදෙණියේ පශ්චාද් උපාධි අධ්‍යාපනය ලබන අතරතුරය. ඒ 2009 ජූනි 25දා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය. මෙම කාලය තුළ ඔහු මැගසින් බන්ධනාගාරයේ සිටිමින් දෙමළ භාෂා කෘතීන් 7ක් සහ ඉංග්‍රීසි භාෂා කෘතියක් රචනා කර ඇති අතර, එම කෘතීන් සියල්ල රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශ වී ඇත.

2016 දීද හොඳම දෙමළ නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිකරගෙන ඇත්තේ ද සිවලිංගම් ආරූරන් විසිනි. සම්මාන උළෙල සඳහා මැගසින් බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ ඇතුළු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව මධ්‍යයේ ඔහු රැගෙන එනු ලැබ තිබූ අතර, ඔහු බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක අතින් සම්මානය ලබාගත්තේය. 

ඔහුගේ දෙමාපියන් ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර ඔහුගේ පියාද ගුවන් යානා ඉංජිනේරුවරයෙකි.

මේ අවස්ථාවේ දී අප රටේ සමාජ මාධ්‍යවලත් ලොකු කතාබහක් පැන නැංගේය. 

''ප්‍රශ්නය වෙන්නෙ යුද්ධය ඉවරවෙලා දැන් අවුරුදු 13ක්. ගෝඨාභයට බෝම්බ ගහලා දැන් අවුරුදු 17ක්. ඒත් අරූලන් තාම චෝදනා ඔප්පු නොවූ සැකකරුවෙක්. ඔහුට විරුද්ධ චෝදනා විභාග කොට ඔහුට හිමි නීත්‍යනුකූල දඬුවම දෙන්නේ කවදාද?'' එක් පෝස්ටුවක සටහන් කර තිබුණි. 

ඔහුගේ පියා වන ඉංජිනේරු සිවලිංගම් පැවසුවේ පුතු බන්ධනාගාරගත වීමට පෙර නවකතා කෙටිකතා කියවීමේ පුරුද්දක් නොතිබූ බවයි. ඔහු සිරගෙදරදී කාලය ගතකිරීමට පොතපත කියවා තිබෙන බවයි. ඉන් පසුව ඔහු පොත් ලිවීමටත් පටන් ගත්තේය. තරුණ කාලයේ අවුරුදු 17ක්ම බන්ධනාගාරයේ සැකකරුවකු ලෙස ගත කරන අරූලන් බන්ධනාගාර පරිසරය විසින් නිර්මාණය කළ ලේඛකයෙකි. ඔහු තුළ ජීවිතයේ සියල්ල අහිමි වී තිබියදීත් අඳුරු සිරගෙයක් තුළදී මෙවන් සාහිත්‍ය කාර්යයක නිරතවීම ලේසි පහසු කරුණක් නොවේ.

සිවලිංගම් ආරූරන්  බන්ධනාගාරය තුළදී ලේඛකයකු වීමේ අවස්ථාව ගැන දේශයට සිහිපත් කළේ මැගසින් බන්ධනාගාර අධිකාරි ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරි ජගත් වීරසිංහයි:  ''බන්ධනාගාරයට පැමිණෙන විට ඔහුට ඉංජිනේරු හැකියාව තිබුණත් ලිවීමට මෙන්ම කියවීමට උනන්දුවක් තිබුණේ නෑ. පසුව මෙයා කාලය ගතකිරීමට පුස්තකාලයට පැමිණ කියවන්න ක්‍රමයෙන් හුරු වුණා. බහුලව පොත් කියවන්න ගත්තා. ඔහු සිටින වාට්ටුවේ ජ්‍යෙෂ්ඨ රුඳවියකු විසින් අරූරන්ට දෙමළ භාෂාව ලිවීමට උගන්වා තිබෙනවා. සිතේ තිබෙන දේ ලේඛනගත කිරීම පිළිබඳව උපදෙස් දී තිබෙනවා. ඔහු ලිවීමට යොමුවන බව දැනගත් විට බන්ධනාගාර සුබසාධක අංශය මගින් පොත් ලිවීමට අවශ්‍ය පොත්, පෑන්, ලිවීමට අවශ්‍ය මේස වගේ පහසුකම් සපයා දුන්නා. රාත්‍රියට ලිවීමේ දී විදුලි පහන් සපයා දුන්නා. බන්ධනාගාරයේ ප්‍රධාන අරමුණ වන්නේ රඳවා ගැනීම, රුකවරණය ලබාදීම සහ හොඳ මිනිසුන් බවට පරිවර්තනය කිරීමයි. තුන්වැනි එක තමයි අමාරුම කාර්යය නූගත් බහුතරයක් ඉන්න බන්ධනාගාරයක. සිවලිංගම් වගේ උගත් රුඳවියන් මෙවැනි ජයග්‍රහණයක් ලබාගැනීම ගැන අපටත් ලොකු සතුටක් තිබෙන්නේ. එයට අපේ සුබසාධක වැඩසටහනුත් බලපා තිබෙනවා.''

බාහිර සමාජය ජාති, ආගම්, කුල සහ මුදල් මත විවිධ බෙදීම් රාශියකි. ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී ජගත් පැවසුවේ බන්ධනාගාරය තුළ එම බෙදීම් නැති බවයි. ''මැගසින් බන්ධනාගාරයේ රුඳවියන් 1400ක් පමණ සිටිනවා. දෙමළ රුඳවියන් 40ක් පමණ සිටිනවා. කොටි රුඳවියන් රඳවා තිබෙන්නේ වෙනම වාට්ටුවක. ඒ වාට්ටුව තමයි හොඳම විනයක් තිබෙන තැන. ඔවුන්ගෙwන් පාලනාධිකාරියට කිසිම ප්‍රශ්නයක් මතුවෙලා නෑ. අරූරන් ඉන්නෙත් එම වාට්ටුවේ.''

දික්වැල්ලේ කමල් හොඳම දෙමළ නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය ඇතුළු සම්මාන රාශියක් දිනාගත් දෙමළ ලේඛකයෙකි. ඔහු මේ ගැන අපට අදහස් දක්වමින් කීවේ ළඟදීම (ආදුරු සාලෙයි) නවකතාව සිංහල භාෂාවට පරිවර්තනය කිරීමට එක් පරිවර්තකයෙක් කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි. ''දෙමළ පොත් රාශියක් අතරින් හොඳම නවකතාව බවට පත්වීම ලොකු අභියෝගයක්. ඒ වගේම පළවුණු පොත් අතරින් හොඳම පොතට වෙනත් කරුණු නොසලකා අරූරන්ට සම්මානය ලැබී තිබෙන බවත් පේනවා.'' ඔහු වැඩිදුරටත් කීවේය. 

අරූරන්ට සැකකරුවකු ලෙස බන්ධනාගාරගත වීමට සිදුවුණේ 2006 වසරේ දෙසැම්බර් මස 01 දා උදේ 10.30ට පමණ  ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එල්ල කරගෙන පුපුරා ගිය මරාගෙන මැරෙන බෝම්බය නිසාය. ගෝඨාභය ආරක්ෂක කවුන්සිලයේ රුස්වීමට සහභාගිවීමට කාර් රථයෙන් යමින් සිටියේ අරලියගහ මන්දිරය වෙතය.  වෙඩි නොවදින රථයකින් ආරක්ෂක ලේකම්වරයා දැඩි ආරක්ෂක රැකවල් මැද ගමන් කරන විට පිත්තල හන්දිය අසලදී බෝම්බයක් පුපුරා ගියේය.     
මරාගෙන මැරෙන බෝම්බයෙන් ආරක්ෂක ලේකම්වරයා කිසිදු තුවාලයක් හෝ නොලබා බේරුණු අතර හමුදාවේ දෙදෙනෙක් මියගොස් 14 දෙනෙක් තුවාල ලැබූහ. මෙම සිද්ධියට අදාළව කරන ලද විමර්ශයකින් පසුව එල්ටීටීඊ සැකකරුවන් පස්දෙනකුට එරෙහිව නීතිපතිවරයා 2014 පෙබරවාරි 10දා කොළඹ මහාධිකරණයේ දී අධි චෝදනා ගොනු කරමින් නඩු පැවරීය. සිවලිංගම් අරූරන් ද එම සැකකරුවන් අතර සිටියේය. 

■ කුසුම්සිරි විජයවර්ධන 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00