2022 නොවැම්බර් 06 වන ඉරිදා

යෝධ වැවේ බැම්ම ගැන ඇඟ හිරිවට්ටන අනාවරණය!

 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:00 290

ගෙවුණු සතියේ ඇදහැලුණු අධික වර්ෂාව නිසා සුළු ගංවතුර තත්ත්වයක් පහත් බිම් කිහිපයකම වාර්තා විය. කඳු ආශ්‍රිතව නාය යාම් නිසා ජීවිත හානි ද සිදු විය. අකුණු සැර වැදීම් අනතුරු වාර්තා නොවුණද කිසියම් අවදානමක් පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වරින් වර ප්‍රකාශ කළේය. සුළි කුණාටු තත්ත්වයක පෙරනිමිති ද පැවැති බවට එම දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීය. ස්වභාවික අනතුරු අතරවාරයේ මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවීමට නියමිත අනතුරක් පිළිබඳ ඇඟ හිරිවැටෙන අනාවරණයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සිදු කළේය. පවතින අධික වර්ෂාවෙන් ඇතිවන ජල පීඩනය නිසා යෝධ වැවේ බැම්ම කැඩී යාමට තිබෙන අවදානම පිළිබඳවය. 1985 වර්ෂයේ කන්තලේ වැව් බැම්ම කැඩී යාමෙන් ජීවිත හානි 280කට වැඩි ප්‍රමාණයක් සිදු විය. එනිසා යෝධ වැව් බැම්ම කැඩී ගියහොත් ඇතිවිය හැකි මහා විනාශය පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා විසින් සිදු කර තිබිණි.

ඉතිහාසයේ උසස් වාරි තාක්ෂණයකට උරුමකම් කියූ ශ්‍රී ලංකාව, වසර දහසකට වැඩි කාලයක සිට කුඹුරු පෝෂණය කරන වැව් ගණනාවකින් සමන්විතය. කුඩා, මධ්‍යම හා මහා පරිමාණයෙන් යුතු එම වැව් ප්‍රධාන වශයෙන් ගංගා හරස් කර ඉදිකර තිබේ. භූ විෂමතාව අනුව මෙරට වැව් වර්ගීකරණයක් සිදු කෙරේ. මෙරට වැව් වැඩිම සංඛ්‍යාවක් පිහිටා තිබෙන්නේ උතුරුමැද පළාත සහ වයඹ පළාතේය. පැරුණ්නෝ මෙම ප්‍රදේශවල  වැව් නිර්මාණය කළේ කඳු ගැට දෙකක් හා කර එකට අමුණා පස් බැම්මක් බැඳීමෙනි. මින්නේරිය වැව, ගිරිතලේ වැව මේ සඳහා හොඳ උදාහරණ වේ. නවීන තාක්ෂණය භාවිතයේදීද කොන්ක්‍රීට්වලින් කඳු ගැට දෙකක් හා කර බැම්ම බඳිනු ලැබේ. එය ඉතාමත් ශක්තිමත්ය. 

නමුත් මුහුදු මට්ටමට ආසන්නයේ පිහිටි වැව් විශේෂත්වයක් ගන්නේ තැනිතලාවේ වැව් බැම්ම බැඳීමට සිදුව ඇති බැවිනි. මුහුදුබඩ ප්‍රදේශවල තැනිතලාවේ කඳු ගැට නොමැති නිසා සම්පූර්ණ බැම්ම පස්වලින්ම බැඳීම සිදු කර ඇත. නැතිනම් ඉතා ඈතින් පිහිටි කඳු හෝ කිසියම් ස්ථානයක පිහිටි පාෂාණ තට්ටුවක් සම්බන්ධ කරමින් පස්වලින් සම්පීඩිත බැම්ම සකස් කර තිබේ. එයට ඉතා උසස් වර්ගයේ පස් තට්ටු වශයෙන් තබා තැලීමෙන් වැව් කන්ද සකස් කරගෙන ඇත. බැම්ම මුළුමනින්ම කන්දක් සේ සකස් කෙරෙන නිසා (වෑ කන්ද) යනුවෙන් ග්‍රාමීය භාෂාවෙන් එය හඳුන්වයි. කන්තලේ වැව මේ සඳහා කදිම උදාහරණයකි.

ලංකාවේ මුහුදු මට්ටමට ඉතාමත් ආසන්නයේ පිහිටා තිබෙන්නේ යෝධ වැවය. එය විශාල ජල ධාරිතාවක් දරා සිටියි. යෝධ වැවේ බැම්ම මෙරට වැව් බැමි අතර දිගම වෑ බැම්මයි. කිලෝමීටර හතක් පමණ දිගය. තැනිතලා ප්‍රදේශයක විශාල වතුර කන්දක් රඳවා ගැනීමට ඉපැරණි වැව් තාක්ෂණය උපයෝගි කරගෙන ඇත. වැව් බැම්ම හොඳ වර්ගයේ පස් තලා සකස් කර ඇති වැව ධාතුසේන රජු විසින් කරන ලද්දකි. මෙම වැවේ විශේෂත්වය වන්නේ උතුරුමැද පළාත සහ වයඹ පළාතේ සියලුම ඇළවල් අවසානයේ කෙළවර වන්නේ මල්වතු ඔයෙනි. එනිසා මල්වතු ඔයට විශාල ජල ධාරිතාවක් එකතු වේ. විශේෂයෙන් එක්වරම ඇද හැලෙන වර්ෂාව නිසා විශාල ජල ප්‍රමාණයක් ගලා එයි. මල්වතු ඔයේ ප්‍රදේශවල පිහිටි සියලුම විශාල වැව් වාන් දමන විට එම ජලය මල්වතු ඔය හරහා විශාල ජල කඳක් ලෙසින් යෝධ වැවට ගලා එයි. ඒ මහා ජල කඳ කිලෝමීටර හතක් පමණ දිග බැම්ම රඳවා ගනී. 

යෝධ වැව නිසා විශාල පළාතක්, එනම් වර්ග කිලෝමීටර් හාරසීයක පමණ ප්‍රදේශයක වගා බිම් අස්වැද්දීමට වතුර බෙදා හරිනු ලබයි. ඉතා ක්‍රමවත්ව සකස් කළ වතුර බෙදා දීමේ ක්‍රමවේදයක් ද එහි පවතී. හොඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුවක් තිබෙන එහි සියලු කටයුතු ඉතා මැනවින් සිදුවන බවට එහි නිරීක්ෂණයක නිරත වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා ප්‍රකාශ කළේය. දේශය සමඟ අදහස් දැක්වූ මහචාර්යවරයා යෝධ වැව නිරීක්ෂණයට ගිය අවස්ථාවේදී දුටු දෑ පිළිබඳ මෙලෙස විග්‍රහයක නිරත විය.

“වැව් බැම්ම පාරට පේන හරිය, පාරත් එක්ක සමාන්තරව යන හරිය වැව් බැම්ම හොඳට තියෙනවා. ලස්සනට නඩත්තු කරල තියෙනවා. හැබැයි හමුදා කැන්ටිමක් තියෙන තැනකින් පාර හැරිලා යනවා වැව් බැම්මෙන් එපිටට. එතනින් ඇතුළට තියෙනවා ගමට පාරක්. ඒ පාර අයින දිගේ තමයි වැව් බැම්ම තියෙන්නේ. නමුත් ඒ පාර මහපාරට පේන්නෙ නෑ. ඒ පාර දිගේ මම ගියා. ඒ පාර දිගේ තැන් තැන්වල වාහන දාලා. හිටපු ගමන් ට්‍රුක්ටර් නග්ගනවා වෑකන්ද උඩට. ගම ඇතුළේ මේ කාර්යය ගොඩක් නරක විදිහට සිදුවෙන බවට මට ආරංචි වූ නිසා වැව් බැම්ම දිගේ මං ඇතුළට ගිහිල්ලා මේක බැලුවා. හරිම කනගාටුදායකයි. වැව් බැම්ම සෝදා පාළුවට ලක්වෙලා. සමහර තැන්වල වැව් බැම්ම කපලා ඇතුළට බට දාලා තියෙනවා. සමහර තැන්වල බට දාලා මිනිස්සු වතුර ගන්නවා. වැව් බැම්ම උඩට වාහනත් දාලා. වැව් බැම්මේ තත්ත්වය සෝචනීයයි. වෑකන්ද හොඳටම හේදිලා ගිහිල්ලා. ඒ කියන්නේ ඇතුළේ කිසිම නඩත්තුවක් සිදුවෙලාම නෑ.“

යෝධ වැවේ වැව් බැම්මේ වර්තමාන තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි හානිය පිළිබඳව ද මහාචාර්යවරයා විග්‍රහ කළේය. 

“මෙහෙම තියෙන වැවට වතුර පිරෙන කාලෙකට බැම්මට ලොකු ආතතියක් තියෙනවා. මේ ආතතිය වැඩි වෙනවා, අඩු වෙනවා. මේ ක්‍රියාවලියේ දී බැමිවල නොයෙක් වෙනස්කම් වෙන්න පුළුවන්. වෙනස්කම් වෙන වෙලාවේ ස්වභාවිකව ඒවා හැඩ ගැසෙනවා. මේ ආතතියට ඔරොත්තු දෙන්න හැඩගැහෙනවා වැව් බැමි. නමුත් ප්‍රශ්නය තියෙන්නේ ඒවාට බාධා කළොත්, වාහන දාලා කම්පනයක්  ඇතිවුණොත්, එහෙම නැත්නම් තව තව කපන්න ගත්තොත්, තව තව නිර්මාණ කරන්න ගත්තොත්, අස්ථායි තත්ත්වයකට පත්වෙලා වෑකන්ද දෙදරලා පුපුරලා යන්නත් පුළුවන්. මෙහෙම 1985 කන්තලේ වැව කඩාගෙන ගියා. මහා විශාල ජල ස්කන්ධයක් ගිහිල්ලා මිනිස්සු දෙසිය අසූ ගාණක් මැරුණා. ඒකට හේතු වුණේ වැව් බැම්මේ කෙළවරක හයි කරලා තිබුණු සිමෙන්ති ගල් හදන ෆැක්ටරියකින් ඇති කළ කම්පනයයි. එකයි. ඒ වගේ දෙයක් යෝධ වැවේ වෑකන්දටත් වෙන්න අවශ්‍ය සියලුම සාධක තියෙනවා.''

මහාචාර්යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් අවධාරණය කළේ අනතුරු වළක්වා ගැනීමට රජය වහාම මැදිහත් විය යුතු බවත් අනතුරක් සිදුවීමෙන් පසු ක්‍රියාත්මක වීමෙන් සිදුවන විනාශය ආපසු හැරවිය නොහැකි බවත්ය. “ප්‍රදේශයේ තිබෙනවා හොඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුවක්. හොඳ ඉංජිනේරුවරු ඉන්නවා. හොඳ උපකරණ තියෙනවා. ඒගොල්ලන්ට වෙන කිසිම දෙයක් රජය වියදම් කරන්න අවශ්‍ය නෑ. ඒ ඉං‍ජිනේරු කණ්ඩායම යොදවලා මේ වෑ බැම්ම අධ්‍යයනයක් කරන්න, අනතුරුදායක තත්ත්වයක් තියෙනවද? අධ්‍යයනය කරලා සෝදාපාළු වීමට හේතු හොයාගෙන ඒක නිවැරදි කළ යුතුයි මේ වෙලාවේ. විශේෂයෙන්ම ගම ඇතුළට තියෙන කිලෝමීටර් දෙකහමාර සම්පූර්ණයෙන් ඛාදනයට ලක්වෙලා තියෙන්නේ. ඒ නිසා මේක බැලිය යුතුමයි මේ වෙලාවේ. ආණ්ඩුවට දවසක වැඩක් තියෙන්නේ. කිසි ප්‍රශ්නයක් නැත්නම් ගැටලුවක් නෑ. අනතුරක් තියෙනවා නම් අනතුරු නැති කරන්න අවශ්‍ය කටයුතු කරන්න ඕන.''

මෙරට පැරණි ජලාශ සියල්ලම නිර්මාණය කර තිබෙන්නේ පෞරාණික තාක්ෂණයෙනි. ඒවායේ බැමි ද නොයෙක් ආකාරයෙන් සම්පීඩිත පස් තට්ටුවලින් සකස් කර ඇත. ඒවාට වසර දෙදහස් ගණනක ඉතිහාසයක් තිබුණත් දැන් අවදානම් තත්ත්වයක් ඇති වී තිබෙන්නේ නොමනා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙනි. යෝධ වැවේ වැව් බැම්මේ අඟල් 03-04ක පැලුම් මතු වී ඇති අන්දමින් සෙසු පෞරණික වැව් ආශ්‍රිතව ද අවදානම් තත්ත්වයන් ඇතිවිය හැකිය. එබැවින් ඒවා පිළිබඳව නිරතුරු අවදානයෙන් සිටීම බලධරයන්ගේ වගකීම බව සිහිකොට තැබිය යුතුය.

■ සකීෆ් සාම්