2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා

මහ දවල් ඉඩම් කොල්ල කන පානම සීක්‍රට් පොයින්ට්

 2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා, ප.ව. 04:00 276

කොළඹ සිට නැගෙනහිර වෙරළබඩ පිහිටි පොතුවිල් හරහා පානමට ඇති  දුර කිලෝ මීටර 339කි. එය නැගෙනහිර අන්තයේ පිහිටි අවසන් ගම්මානයයි. ඒ ගමේ සිට ඇරඹෙන්නේ යාල වනය හා බැඳුණු වනාන්තරයි. පොතුවිල් සිට මුහුද අද්දරින් කලපු අතරින් පානම ගම හා අවට ඉසව් වෙත මහා මාර්ගය ඇදී යාම සිදුවේ. 

2010 කාලයේ සිට රාජපක්ෂ ආණ්ඩුව කාලයේ පොතුවිල් සිට පානම දක්වා කලාපය සංචාරක කලාපයක් ලෙස නම්කර ඇති අතර දේශීය විදේශීය සංචාරක ගමනාන්තයක් වශයෙන්ද පානම අවට වෙරළ තීරය ප්‍රකටව පවතී. මේ නිසා සංචාරක හෝටල් රාශියක්ද පානම අවට ඉදි වී තිබේ.

පානම් පත්තුව සිංහල, දෙමළ, මුස්ලිම් ජන කොටස් තුනම සහජීවනයෙන් සරලව ජීවත්වෙන පළාතකි. නමුත් මෑතක සිට පානම සංචාරක ආකර්ශනය දඩමීමා කරගෙන හෝටල් ඉදිකිරීමට කූට උපක්‍රම යොදාගන්නා දේශපාලන හයිය ඇති පුද්ගලයන්ගේ ක්‍රියාකලාපය නිසා මේ සුන්දර ගම්මානයේ වටිනා වනාන්තර විනාශ වන අතර ගැමි දිවියද අර්බුදවලට මුහුණ පා තිබේ. වැව්, කලපු, සහ සුන්දර වෙරළ තීරද සහිත වනසතුන් නිතර ගැවසෙන යාල නැගෙනහිර වනාන්තරයට යාබද මේ ඉසව්වේ පාරිසරික වැදගත්කම ඉතා ඉහළය.

පානම ප්‍රදේශයේ මුහුදුබඩ පිහිටි ගල්පර්වත හා වනාන්තර සහිත රජයේ අවශේෂ වනාන්තරවලට අයත් බිමකි, සීක්‍රට් පොයින්ට් සහ එලිෆන්ට් රොක් නමින් හඳුන්වන්නේ.  මෙම ප්‍රදේශයේ වනාන්තර ඉඩම් කැබලි කර අල්ලා ගැනීමේ දේශපාලන ක්‍රමන්ත්‍රණයක් ඇරඹී ඇති බවට පසුගිය දිනවල විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වුණි. මෙහි බිම්කඩක් ඉඩම් කොමසාරිස්වරයා මේ වනවිටත් ව්‍යාපාරිකයන්ට බදු දී ඇති බවයි පැවසෙන්නේ.

එය නීතිවිරෝධී බව පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ පවසා සිටී. මේ ඉඩම් ලබා ගැනීම පසුපස ප්‍රබල ඇමැතිවරුන් සිටින බව පෙන්වා දෙන පරිසරවේදීන් මෙම පිරිස් අධිකරණ නියෝග හෝ ගණන් නොගන්නා තත්ත්වයට පත්ව ඇති බවද පවසති.

රජයේ අවශේෂ වනාන්තරවලට අයත් වනාන්තර අක්කර 1/2 බැගින් ඉඩම් ප්‍රමාණයන් පුද්ගලයින් 11 දෙනකුට බදු දීමට ලාහුගල ප්‍රාදේශීය ලේකම්වරයා විසින් කටයුතු කර ඇති බව පරිසර යුක්ති කේන්ද්‍රයට වාර්තා වී තිබේ. අලි ඇතුන් පවා ගැවසෙන සික්‍රට් පොයින්ට් අවට ප්‍රදේශය සහ Elephant rock වශයෙන්ද හඳුන්වනු ලබන අතිශයින් වැදගත් පරිසර පද්ධතියකින් යුක්තය.

මෙම ඉඩම ශාස්ත්‍රවෙලට උතුරින් කලපුවට මායිම්වන අතර, නැගෙනහිරින් මායිම් වන්නේ වෙරළ තීරයටය. ශාස්ත්‍රවෙල සිට පානමට යන මාර්ගය බටහිරින් මායිම්ව තිබේ. ඉඩම් හිමිකරුවන්ගේ බලපත්‍ර පෙන්වමින් රක්ෂිතයේ ඉඩම්වලට අත ගසා ඇති බව පැවසේ. මෙහිදී සිදුවිය හැකි බරපතල කරුණක් වන්නේ මේ අවට ප්‍රදේශයේ පදිංචිවූවන් පිටමං කර දැමීම හේතුවෙන් ඒ ඉඩම් ලබා ගන්නවුන් අතර ගැටුම් ඇතිවීමට තිබෙන ඉඩකඩ වැඩිවීමයි.

මෙම ඉඩම්වල ගොවි ජනතාව පදිංචි කිරීම 1996දී සිදුවී ඇති අතර, එදා පදිංචි කර ඇති පවුල් සංඛ්‍යාව 75 කි.

ඉඩම් අක්කර 1/2ක් බැගින් එකල මෙම පිරිස්වලට ලබා දී තිබේ. ඔවුන් එම බිම්වල වගාකර ගනිමින් දිවි ගෙවා ඇත. පසුව 1998 /99 කාලයේ පානම අවට වනාන්තරබද ගම්වලට කොටි තර්ජන ඉහළ ගිය බැවින් පදිංචිව සිටි පවුල් ඉඩම්වලින් ඉවත් කර ඒ භූමිය හමුදා පුහුණු කඳවුරකට යොදා ගැනුණි. එදා වගාකරගෙන ජීවත් වූ ජනතාව අදත් පානම ගමේ ජීවත් වෙති. තමා මුලින් පදිංචි වී තැන් අතහැර වෙනත් තැන්වල පදිංචිව සිටීම ගැන කණස්සල්ල පළකරන බොහෝ දෙනෙක් ඉල්ලා සිටින්නේ තමන්ට අයිතිව තිබෙන ඉඩමට යාමට අවස්ථාව යළි සලසා දෙන ලෙසය. 

ශාස්ත්‍රවෙල විහාරාධිපති ස්වාමීන්වහන්සේ පෙන්වා දෙන්නේත් මෙම ඉඩම්වල පෙර අයිතිවාසිකම් දරන 75 දෙනාටම යළි ලබාදෙන ලෙසයි. මේවායේ ඇති හිමිකම වෙනුවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නඩු දමා ඇති අතර එම නඩුවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජයග්‍රහණය කර තිබේ. නමුත් මේ වනවිටත් එම ඉඩම් ලබා දී නොමැත. කෙසේ වුවද මෙම ඉඩම් ලබාගත් අය විසින් දෙවැනි පාර්ශවයකට බදු පදනම යටතේ ලබාදීමට කටයුතු කරන්නේ නිවාඩු නිකේතන හෝ හෝටල් ඉදිකිරීමට බව සඳහන් වේ.

යළිත් බලයට පත්වූ වහාම රාජපක්ෂවරු කළේ මෙරට ඉඩම් හෙක්ටයාර 694,100ක් වෙනත් වනාන්තර ලෙස නම් කරමින් ඊට රුකවරණ සැලසූ 5/2001 චක්‍රලේඛය අහෝසි කර දැමීමය. මේ වනාන්තර කොටස වෙනත් රජයේ වනාන්තර (other state forest) යටතට අයත් වේ. 1/2020 චක්‍රලේඛය මගින් වෙනත් රජයේ වනාන්තර ප්‍රාදේශීය ලේකම්රුන්ටත්, දිස්ත්‍රික් ලේකම්වරුන්ටත්, ඉඩම් කොමසාරිස් ජනරාල් හරහා පැවරීමට ගෙන තිබූ තීරණයට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පරිසර සංවිධාන සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ආදී ආයතනවල වෘත්තීය සමිති නියෝජිතයන්ද එක්ව පැවරෑ නඩුවේ තීන්දුව සැප්තැම්බර් මස 28 වැනි දින ලබා දුන්නේය. ඒ අනුව අදාළ චක්‍ර ලේඛය  අත්හිටුවීම සිදුවිය. පරිසර යුක්ති කේන්ද්‍රයේ උපදේශක, ජ්‍යෙෂ්ඨ පරිසරවේදී හේමන්ත විතානගේ පවසන්නේ මෙම ඉඩම් බදු දීමේදී ඉඩම් කොමසාරිස් විසින් අධිකරණයේ ඒ වනවිට පැවැති වෙනත් රජයේ වනාන්තර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයෙන් ඉවත් කිරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශ්වකරුවන් කිහිපදෙනකු විසින් පවරා තිබූ CAWRT 502/21 නඩුවේදී ලබාදී තිබුණු වාරණ නියෝගය නොසලකා හැර ඇති අතර එය අධිකරණයට අපහාස කිරීමක් බවයි.

පානම සීක්‍රට් පොයින්ට් වනබිම කොල්ලකෑමද වන සංරක්ෂක සතුව තිබූ අවශේෂ වනාන්තර ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීමේ තක්කඩි තීන්දුවට අනුව සිදුකළත් පසුගිය සැප්තැම්බර් නඩු තීන්දුවෙන් එම චක්‍රෙල්ඛය අත්හිටුවා ඇති බව කොල්ලකරුවන් නොදැන සිටින්නට විදිහක් නැත. මෙය මහ දවල් ඉඩම් මංකොල්ලයකි.  

මේ කලාපය පානම වෙරළ තීරයේ පානකල කලපුව අසල පිහිටි සංවේදී පාරිසරික කලාපයකි. පානකල කලපුව, සාගරය සහ එක්වන්නේ සීක්‍රට් පොයින්ට්වලට නුදුරුවය.  වෙරළාසන්න වනාන්තර සහ පානකල කලපුව ආසන්නව පිහිටි කඩොලාන වනාන්තර පද්ධතිය සහ සමීපව පිහිටි වැලි වැටි නිසා මේ ප්‍රදේශය ඉතා අලංකාර පාරිසරික සුන්දරත්වයකින් යුක්තය. පානම කළපුව අවට ඇති කඩොලාන පරිසරයද ඉහළ විවිධත්වයක් දරන ශාක ප්‍රජාවකින් යුක්තය. 

ඉඩම බදුගත් පුද්ගලයන් දැනටමත් එහි වැටවල් ඉදිකර ගස් කපා දමා සැලකියයුතු විනාශයක් සිදුකර ඇත.
 
■ කුසුම්සිරි විජයවර්ධන

 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:05