


රාජ්‍ය සම්පත් පෞද්ගලිකකරණය කිරීම ආරම්භ වුයේ මෙයට දශක දෙක තුනකට පෙර සිටය. ජනතාකරණය, පෞද්ගලිකකරණය, රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර ආදි විවිධ නම් වලින් හැඳින්වෙන රාජ්‍ය දේපොළ අන්‍යයන්ට පැවරීමේ වැඩපිළිවෙළ යටතේ පෞද්ගලික ව්‍යවසායකයන්ට පවරා දීමට යෝජිත ව්‍යාපාර ලැයිස්තුවට අලුතින්ම එක්ව තිබෙන ආයතන ගණනාවකි. කොළඹ 7 ආර්කේඩ් වෙළෙඳ උද්‍යානය, කොටුවේ ඕලන්ද රෝහල, ඉපැරණි තුරග තරග පිටිය, නුවරඑළිය ක්වීන් එලිසබෙත් මන්දිරය ආදි ස්ථාන ගණනාවක් මෙවර රාජ්‍ය අයිතියෙන් මුදවා හැරීමට නියමිතය. මෙම ආයතන පෞද්ගලික ආයෝජකයන්ට විකුණනවාද? නැතිනම් දිගුකාලීන බදු පදනම යටතේ පවරනවාද යන්න නිශ්චිතව පැහැදිලි නැත.
මේවා බදු පදනම මත ලබාදෙනවාද නොඑසේනම් පෞද්ගලික අංශයට විකුණනවාද යන්න අප අදාළ පාර්ශව වෙතින් දිගින් දිගටම විමසා සිටියත් ඒ පාර්ශ්ව ඊට සෘජු පිළිතුරක් ලබාදුන්නේද නැත.
මෙම දේපොළවල වටිනාකම ඉතා විශාලය. මෙයින් ආයතන ගණනාවක්ම පසුගිය කාලයේ ගරා වැටී අපරිභෝගව තිබියදී මහින්ද රාජපක්ෂ රජය විසින් ගොඩනගා අලුතෙන් නිර්මාණය කළ ඒවාය. කොළඹ කොටුවේ පැරැණි ඕලන්ද රෝහල කොළඹ 7 පැරැණි තුරග තරග පිටිය හා ආර්කේඩ් වෙළෙඳ උද්‍යානයට සම්බන්ධ ගොඩනැගිලි ඊට දිය හැකි උදාහරණය. මෙම සම්පත් දැනටමත් ව්‍යාපාර කටයුතු සඳහා යොදවා රජය මාසිකව විශාල ආදායමක් උපයා ගනී. එසේ තිබියදී වත්මන් ආණ්ඩුවේ සම්පත් විෂයෙහි ගන්නට යන තීරණය කුමක්ද යන්න විමසා බලනු වටී.
ගරා වැටී ජරාජීර්ණව තිබියදී මහින්ද රාජපක්ෂ යුගයේදී නැවත ප්‍රතිසංස්කරණය කර වාණිජමය වටිනාකමක් සහ දෙස් විදෙස් ආකර්ෂණය ඇති ස්ථාන බවට පත් කළ එම ගොඩනැගිලිහි ඉතිහාසය සංක්ෂිප්තව යළි මතක්කර දීමද යෙහෙකැයි සිතේ.
කොළඹ රේස් කෝස් ලෙස ජනප්‍රිය තුරග තරග පිටියේ ඉතිහාසය වර්ෂ 1893 දක්වා ඈතට දිවයන්නකි. එවක ලංකාව පාලනය කළ බ්‍රිතාන්‍ය ජාතිකයෝ ඒ වනතුරු තමන් මහත්සේ ආශා කළ ක්‍රීඩාවක් වූ තුරඟ තරග පැවැත්වූයේ කොල්ලු පිටියේ පිහිටි පිටියකය. 1893දී කොළඹ හතට අයත් මෙම භූමිය තුරඟ තරග පිටියක් ලෙස සංවර්ධනය වූ අතර ඊට වර්තමාන රේස් කෝස් භූමිය මෙන් කිහිප ගුණයක භූමි භාගයක් අයත් විය. වර්තමාන ලේඛනාරක්ෂණ භූමිය, කොළඹ විශ්ව විද්‍යාලයේ කොටසක්, බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණය, රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණය යන සියලු භූමි එකල තුරඟ තරග පිටියට අයත් විය. එය එකල ආසියාවේ තිබූ හොඳම තුරඟ තරග පිටියක් වූයේ විශාලත්වය පමණක් නොව ඔට්ටු ඇල්ලීමේ පුවරුවක් ද එය සතුවීම නිසාවෙනි.
1941 වසර පමණ වනවිට දෙවැනි ලෝක යුද්ධයේ උණුසුම ආසියාවටත් දැනෙන්නට පටන් ගන්නා විට බ්‍රිතාන්‍ය පාලකයෝ තුරග තරග පිටියේ ගුවන් පථයක් ඉදිකිරීමට සැලසුම් කළහ. එය ඉදිකිරීම භාර වූයේ එවකට කෘෂිකර්ම හා ඉඩම් කාරක සභාවේ සභාපතිවරයා වූ ඩී.ඇස්. සේනානායකටය. ගුවන් පථය ඉදිකිරීමෙන් අනතුරැව එහි ගුවන් සේනාංක දෙකක් ද නතර කෙරිණ. එම වසරේදී ජපන් හමුදාව රත්මලානට බෝම්බ හෙලූයේ එය ලංකාවේ බ්‍රිතාන්‍ය ගුවන් හමුදා මූලස්ථානය වූ බැවිනි. නමුත් තුරඟ තරග පිටියේ ගුවන් පථය ජපනුන්ට මඟහැරිණ. ජපන් යානා ලුහුබැඳ ගොස් පහර දීමට බ්‍රිතාන්‍යයන්ට මේ අලුත් ගුවන් ධාවන පථය මහත් සේ උපකාරී වී ඇත.
යුද්ධයේ නිමාවත් සමඟ නැවතත් එහි තුරඟ තරග ආරම්භ විය. නමුත් 50 දශකයේදී ඔට්ටු ඇල්ලීමේ ක්‍රීඩා අධෛර්යමත් කරන ප්රතිපත්තියකට ස්වදේශීය පාලනය ගමන් කළ බැවින් තුරග තරග පිටිය අභාවයට ගියේය. අනතුරුව ඉහත කී වෙනත් ආයතන හා ක්‍රීඩා අවශ්‍යතා වෙනුවෙන් තුරඟ තරග භූමිය ලබාදුන් අතර 2011දී එය වර්තමාන තත්ත්වයට නවීකරණය කරන තෙක් යුද හමුදාවේත් ගුවන් හමුදාවේත් අවශ්‍යතා වෙනුවෙන් ප්‍රධාන ක්‍රීඩාගාරය පවතින භූමිය භාවිත කෙරිණි.
කොළඹ ආර්කේඩ් ඉන්ඩිපෙන්ඩන්ට් ස්ක්වෙයාර් යනු බ්‍රිතාන්‍ය යුගයේ ඉදිකරන ලද තවත් සුවිශේෂී නිර්මාණයකි. අලංකාර ගෘහ නිර්මාණ ශිල්ප භාවිතයක් දක්නට ලැබුණ ද එය බ්‍රිතාන්‍යයන් විසින් ඉදිකරන ලද්දේ, මානසික රෝහලක් ලෙස ය. 1875 වසරේදී එය නිර්මාණය කිරීමට පිඹුරැපත් සැකසිණි. ඒ වනතුරැ බොරැල්ලේ පැවැති මානසික රෝහලේ ඉඩකඩ මදිවීම මෙසේ නව රෝහලක් ඉදිකිරීමට හේතුවිය. රෝගීන් 400කට නේවාසිකව ප්‍රතිකාර ලැබිය හැකි ලෙස 1882දී ඉදිවුණු මෙහි ඉඩපහසුකම්ද කෙටි කලකදී මදි විය. ඒ අනුව 1917 වසරේදී අංගොඩ ප්‍රදේශයේ වර්තමාන මානසික රෝහල ඉදිකෙරුණු අතර මෙහි සිටි මානසික රෝගීන් සියලුදෙනා ඒ වෙත මාරු කර යැවිණ.
ඉන් අනතුරුව, කොළඹ යුනිවර්සිටි කොලීජිය හෙවත් විශ්ව විද්‍යාලයේ ගොඩනැගිල්ලක් ලෙස භාවිත කළ මෙය පසුව සිලෝන් රේඩියෝවත්, විගණන දෙපාර්තමේන්තුවත් ආදී රාජ්‍ය ආයතනවල භාවිතයට ගැනිණ. ඊට වර්තමාන මුහුණුවර ලබාදීම ඇරඹුණේ 2012 වසරේදී ය.
කොළඹ කොටුවේ ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි සංකීර්ණය ඉදිරිපිට පිහිටා ඇති කොළඹ ලන්දේසි රෝහලේ ඉතිහාසය (Dutch Hospital) සියවස් ගණනාවක් ඈතට දිවයයි. කොළඹ අවට පැවති කොරල් පර කඩා පිළියෙළ කරගත් කොරල් ගල්වලින් හා කබොක් ගලින්ද සමන්විත මෙහි අඟල් 32ක් ඝනකමකින් යුත් බිත්ති, මැද මිදුල, විශාල උස් සිවිලිම් සහිත කාමර ආදිය 17 වන ශතවර්ෂයේ මැද භාගයේ ඕලන්දකරැවන්ගේ පෙරදිග ගෘහ නිර්මාණ උදෙසා අනගි උදාහරණ වේ.
අතීතයේදි බෝවෙන රෝග තත්ත්වයන් සහිත පුද්ගලයින් මෙන්ම සොල්දාදුවන් හා ඕලන්ද යටත් විජිත පාලනය හා සම්බන්ධව කටයුතු කළ අන් නිලධාරීන්ද මෙහි ප්‍රතිකාර ලැබූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. 1739 වර්ෂයේදී මෙරට පාලනය කළ නරේන්ද්‍රසිංහ රජතුමාද මේ රෝහලේ ප්‍රතිකාර ලබාගත් බවට සාක්ෂි ඇති.
බ්‍රිතාන්‍ය පාලනය කාලයෙහි බැරැක්කයක් ලෙසත් ඉන් පසුව කොටුව පොලිස් ස්ථානය ලෙසත් භාවිතා වූ මෙය කාලයත් සමඟ ගරා වැටීමට ලක්විය. එමෙන්ම 1996 වර්ෂයේ එල්ල වූ මහ බැංකු බෝම්බ ප්රහාරයෙක්ද බරපතළ හානියට ලක් විය. කොළඹ නගර සංවර්ධන වැඩපිළිවෙළ යටතේ පසුගිය රජයෙන් මේ ස්ථානය සාප්පු සංකීර්ණයක් ලෙස සංවර්ධනය කර 2011 වර්ෂයේ දෙසැම්බර් මස 2දා විවෘත කෙරුණි.
බලයට පත්වන ඕනෑම රජයක යුතුකම හා වගකීම වන්නේ රජය සතු දේපොළ තව තවත් අභිවෘද්ධියට පත්කිරීම, ඒවාට තවතවත් වාණිජ වටිනාකම් ලබාදීම, නිසි නඩත්තුවකට හා කළමනාකාරිත්වයකට නතු කිරීම, ඒවා දෙස් විදෙස් සංචාරක නැරඹුම් ස්ථාන බවට පත්කිරීම මිස සියල්ල විකිණීමේ ප්රතිපත්තියකට එළඹීම නොවේ. අතට ලැබෙන මුදල හා වෙන වෙන ලාභ ප්‍රයෝජන මත රටක් සතු මහජනයාට අයිති සම්පත් දේපොළ බලය දඩමීමා කරගෙන තම තමන්ගේ හිතූ මනාපයට විකුණා දැමීමද නොවේ. කවර රජයක්, කවර දේශපාලන පක්ෂයක් විසින් එවැනි ක්‍රියාමාර්ගයන්ට එළඹුණත් දේශපාලන භේදයකින් තොරව අපි එය අනුමත නොකරමු. පිළිකුල් සහගතව හෙළා දකිමු.
පුරවැසියන් ලෙස තමන් ඡන්ම ලාභය ලද්දා වූ භූමියේ වැලි කැටය පවා සියල්ලන්ටම අයිතියකි. උරුමයකි. ඒ පොදු උරුමය හෝ අයිතිය පිළිබඳව තම තම සිතැඟින්ට අනුකූලව තීරණ ගන්නටවත් අන්සතුකර දමන්නටවත් අතයට ලාභ වලට මුවාවී විකුණා දමන්නටවත් කිසිඳු දේශපාලනඥයෙකුට හෝ රජයකට අයිතියක් නැති බවද අවිවාදිතය.
බලයට පත්වන ඕනෑම ආණ්ඩුවක් බලය නම් මෙවලම සුරත දරන්නේ ජනතා පිහිටෙනි. එහෙයික් රටක ජනතාවට කෘතවේදිත්වය දැක්වීමේ හා ජනතාවගේ අයිතීන් සම්පත් දේපොළ නූපන් පරම්පරාව උදෙසාද සුරැකීම පාලකයන්ගේ නිත්‍ය වගකීමක් වන්නේය. ඒ නිත්‍ය වගකීම දෙවුර දරන පාලකයන් උදාර, උත්තුංග නාමයන්ගෙන් ඉතිහාසයට එක්වන බව සඳහන් කරනු වටී.
සංජීවිකා සමරතුංග
රජිත ජාගොඩආරච්චි
විකුණන්න එපා රාජ්‍ය සමාගමක් යටතට ගන්න

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ
මහින්ද රාජපක්ෂ යුගය වෙද්දී මේ ගොඩනැගිලි අත්හැරදාපු ගොඩනැගිලි තත්ත්වයට පත්වෙලා තිබුණේ. නමුත් ලන්දේසි බ්‍රිතාන්‍ය යුගවල ගෘහනිර්මාණ ශිල්පයට ඉදිකර තිබුණ මේ ගොඩනැගිලිවල පෞරාණික වශයෙන් විශාල වටිනාකමක් තිබුණා. මේවා ජරාවාස වී තිබියදී අපි ප්‍රතිසංස්කරණය කරලා යම් කිසි වාණිජමය වැදගත්කමක් තියෙන ක්‍රමවේද සඳහා යොදාගන්න තීරණය කළා.
අපි මුලින්ම ප්‍රතිසංස්කරණය කළේ කොටුවේ ඕලන්ද රෝහල. ඊළඟට රේස් කෝස් එක. තුන්වැනියට ප්‍රතිසංස්කරණය කළේ පරණ ඔඩිටර් ජෙනරල් ගොඩනැගිල්ල, බ්‍රිතාන්‍ය යුගයේ හදපු රේස්කෝස් ගොඩනැගිල්ල තුළ විශාල ප්‍රේක්ෂකාගාරය සහ කුඩා ප්‍රේක්ෂකාගාරය ලෙස ප්රේක්ෂකාගාර දෙකක් තියෙනවා. මේ රටේ අශ්වරේස් නැවැත්තුවාට පසුව මේවා භාවිතයට ගෙන තිබුණේ නෑ.
මේ රටේ විවිධ කාලවලදී යම් දේවල් සඳහා භාවිත කර තිබුණත් අවුරුදු ගණනක් තිස්සෙ කිසිම නඩත්තුවක් නැතුව ගරාවැටිලා භාවිතයට කිසිදු ලෙසකින් ගත නොහැකි ජරාජීර්ණ තත්ත්වයක තිබුණේ. මහින්ද රාජපක්ෂ රජයට ෙපර රජය මේ ගොඩනැගිලි කඩා දාන්න තීරණ කරලා තිබුණේ. අපි ඒ ගොඩනැගිලි පරීක්ෂා කරලා මේවා යළි විධිමත් ලෙස ප්‍රතිසංස්කරණය කර වාණිජ වටිනාකමක් සහිත ස්ථාන බවට පත්කළා.
නාවික හමුදාවේ සහ යුද හමුදාවේ පිරිස් තමා මේ ප්‍රතිසංස්කරණ කටයුතුවලදී තාක්ෂණික සහාය වගේම ශ්‍රම දායකත්වයත් ලබලා දුන්නේ. ඒ වගේම ගෘහ නිර්මාණ සැලසුම්වලදී නාගරික සංවර්ධන අධිකාරියේ ගෘහ නිර්මාණ ශිල්පීන් දායකත්වය ලබලා දුන්නා. අපි තීරණය කළේ අලුත් සැලසුම් මත නව තාක්ෂණය අනුව ඒත් මේ ගොඩනැගිලි ඉදිකළ යුගයේ තිබූ ස්වරූපයෙන්ම සකස් කරන්නයි. ඒ පෞරාණික වටිනාකම සුරැකෙන්න ඕනෑ නිසා. අපි මේ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරලා ඉන්පසු නඩත්තු කටයුතු සඳහා මුදල් ලැබෙන මාර්ගත් සකස් කළා. ඒ එම ගොඩනැගිලි තුළ කඩසාප්පු ඉදිකිරීමෙන්. ඒවා බදු හා කුලී පදනම මත ලබාදීමෙන් රජයට ලාභයක් සහ නඩත්තුව සඳහා මුදල්ද ලැබුණු අතර එම ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය සඳහා වැය කළ මුදල්ද යළි පියවා ගැනීමට ලැබුණා. ඒ වගේම ඒවා යළිත් ජරාජීර්ණ වීමත් වැළකුණා. මෙවැනි දීර්ඝකාලීන ක්‍රමවත් සැලසුමක් අනුවයි අපි මේ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කළේ.
බ්‍රිතාන්‍ය යුගයේ මානසික රෝහලක් ලෙස තමා ආකේඩ් එක ආරම්භක යුගයේ පැවතුණේ. එදා ඒ හරියට කීවේ කූඹිකැලේ කියලා. කලින් කී ආකාරයටම අපි මේ ගොඩනැගිල්ලත් ප්‍රතිසංස්කරණය කළා. ඒ වෙද්දී මේ ගොඩනැගිල්ල ඉතා ජරාවාස වී තිබුණේ. ඒ වගේම ඒ වෙද්දී මුල් ගොඩනැගිල්ලේ තැනින් තැන වෙනස්කම් සිදුවී තිබුණේ. අපි නැවතත් එය පැරැණි ආකාරයෙන්ම ඒ වටිනාකම සුරැකෙන පරිදි ප්‍රතිසංස්කරණය කළා. අපි ඒ ප්‍රතිසංස්කරණය සඳහා හුඟක් මහන්සි වුණා. දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත් ඒ වගේම වාණිජ වටිනාකමක් තිබූ රාජපක්ෂ යුගයේදී යළි ගොඩනැංවූ මේ ගොඩනැගිලි නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය සමාගමක් ඇති කරලා ඊට මෙහි පාලනය පවරන්න අප තීරණය කරලා තිබුණා. එවැනි ක්රියාමාර්ගයකින් රජයට කිසිදු පාඩුවක් වෙන්නේ නෑ. එය විකිණීමක් වෙන්නෙත් නෑ. එයින් වෙන්නේ එහි පාලනය වඩා හොඳ රාජ්‍ය සමාගමක් යටතට පත්වීම පමණයි. දැන් මෙය පෞද්ගලික අංශයට විකිණීමට යනවානම් එය කවර හේතුවක් නිසා කරන්න යනවද කියලා මම දන්නෙ නෑ. එහෙත් මෙය පෞද්ගලික අංශයට නොවිකුණා රජ්‍ය සමාගමක පාලනය යටතට පත් කරනවා නම් මේවා තවත් දියුණු කිරීමට හා තව තව ආදායම් ලබාගන්නට පුළුවන්. දැන් ආණ්ඩුව ගන්න තීරණය ගැන මට කිසිවක් කියන්න බෑ. ඒවා ඒ අයගේ තීරණනේ.
පෞද්ගලික අංශයට අයිතිය පැවරීම වැරදියි

මහනගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක
අයවැයේදී උපාය මාර්ගික නොවන ආයතන පෞද්ගලික අංශයට ලබාදිය යුතුයි කියලා තීරණය කෙරුණා. ඒ වගේම ඒ ගැන වැඩිදුරටත් සාකච්ඡා කරද්දී ජනාධිපතිතුමා ප්‍රතිපත්ති ප්‍රකාශයක් කළා රජයට අයත් වුවත් උපාය මාර්ගික වශයෙන් වැදගත් නොවුණත් ලාභ උපයන ආයතන සහ නිසි කළමනාකාරිත්වයකින් පවත්වාගෙන යන ආයතන පෞද්ගලිකකරණය කළ යුතු නැහැ කියලා. ආර්කේඩ් ආයතනය ගත්තොත් එය ගොඩනගන්න නාගරික සංවර්ධන අධිකාරිය මිලියන 800ක් පමණ ආයෝජනය කර තිබෙනවා. ඉන් පසු පෞද්ගලික ආයෝජකයන්ට මෙහි ව්‍යාපාර සඳහා ඉඩ ලබාදී තිබෙනවා. මේ වන තෙක් ආකේඩ් ඇතුළු ප්‍රතිසංස්කරණය කළ රේස්කෝස්, ඩච් හොස්පිට්ල් ඇතුළු ආයතන පාඩු ලබන ආයතන බවට පත්වී නැහැ. ආකේඩ් හුඟක් අය සංචාරක ආකර්ෂණය සහිත ස්ථානයක් අරමුණින් මිසක් ව්‍යාපාරික ස්ථානයකට පැමිණෙන අරමුණින් එන්නෙ නැහැ. මෙහි වැසිකිළි පාවිච්චි කළත් ඕන කෙනෙක්ට ඇවිත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි පෞද්ගලික අංශයට මේවා දුන්නොත් මේ විදිහට පාවිච්චි කරන්න බෑ. එහෙම වුණොත් අද ජනතාව නිකම් භුක්ති විඳින හැම පහසුකමකටම මුදල් ගෙවන්න වෙනවා.
මේ ස්ථානය සම්බන්ධව අපට තව තව ප්‍රශ්නත් තියෙනවා. උදාහරණයක් විදිහට ආකේඩ්හි කෝටි ගණනක් වියදම් කර හදා ඇති මාළු ටැංකියට දාලා දියෙන බාල බඩු නිසා දැන් ඒක සම්පූර්ණයෙන්ම දුර්වර්ණ වෙලා. ඒක නඩත්තුවේ ප්‍රශ්නයක් නෙවෙයි. හදද්දි එහි ගුණාත්මක බව සහ නොසැලිකිල්ල නිසා වූ දෙයක්. මේ සියලු කරුණු සැලකිල්ලට අරන් අපි කළමනාකරණ කමිටු දෙකක් පත් කළා. පත්කරලා නාගරික සංවර්ධන අධිකාරියට අයත් ගාල්ල, මහනුවර, හම්බන්තොට, නුවරඑළිය ආදි ප්‍රදේශවල ඇති මේ වගේ ආයතන ගැන අවධානය යොමු කළා. දැනට ලාභ ලැබුවට මේ ආයතන වලින් ලැබිය යුතු ලාභය නොවෙයි දැන් ලැබෙන්නේ. ඒ අනුව මේ වෙද්දී අපි ආර්කේඩ්, රේස්කෝස් කොළඹ සහ ගාල්ල ඩච් හොස්පිට්ල්, නුවරඑළිය කුවීන් එළිසබත් සාප්පු සංකීර්ණය, ගෝල් සෙන්ටර් යන ආයතන හය සම්බන්ධව අපි අලුත් ව්‍යාපාර සැලසුම් හදලා තියෙනවා.
ආකේඩ් එකට නාගරික සංවර්ධන අධිකාරිය රුපියල් මිලියන 800ක් වැය කළාට එහි වටිනාකම රැපියල් මිලිය සීය ඉක්මවනවා. එහි පර්චස් එකක් රැපියල් මිලියන 20ක් විතර වෙනවා. ඒ වගේම මෙය තියෙන්නේ නිදහස් චතුරස්රයේ. මීට යාබද ඉඩම් වන ගුවන් විදුලි සංස්ථාවේ ඉඩම, රජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ඉඩම ඇතුළු තදාසන්න ඉඩම් විධිමත් සංවර්ධන වැඩසටහනක යොදාගන්නත් අපි ඉදිරියේදී අපේක්ෂා කරනවා.
අපි කරන්න යන්නේ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ කළමනාකරණ කමිටුවක් පත් කරලා ඒ කමිටුව හරහා අපේ සැලසුම ක්‍රියාත්මක කිරීම. රාජ්‍ය අංශයක් යටතේ කළමනාකරණය වෙද්දී දූෂණය අකාර්යක්ෂමතාව අනිවාර් යයෙන් වෙනවා. ඒ නිසා අපි නාගරික සංවර්ධන අධිකාරියට දේපල අයිතිය තබාගෙන නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් පත්කරන කළමනාකරණ කමිටුවක් මගින් ව්‍යාපාර සැලසුමකට යනවා. මේ කලමනාකරණ කමිටුවේ ඉන්න රටේ යම් යම් ක්ෂේත්රවල කීර්තිදර පිරිසක්. ඒ අය අතර හමුදාවල, පෞද්ගලික අංශයේ හා රාජ්‍ය අංශයේ වැඩකරපු අයත් ඉන්නවා. අපි මෙච්චර කල් කළේ මේවා පෞද්ගලික අංශයට බදු පදනම මතදීම. දැන් යෝජනාව ඇවිත් තියෙන්නේ පෞද්ගලික අංශයට අයිතියම දෙන්න. රජයේ අයිතිය අයින් කරන්න. අපි කරන්න යන්නේ නාගරික සංවර්ධන අධිකාරිය මේ ආයතනවල කළමනාකරණය කරනවා හැරෙන්න කළමනාකරුවෝ පිරිසක් වෙනමම ගෙන්වන එක.