තුර්කියෙන් ආනයනය කළ තිරිඟු පිටි ශ්‍රී ලංකාවට ලැබීමත් සමඟ තිරිඟු පිටි තොග මිල අඩු කිරීමට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන් තීරණය කර තිබේ. ඒ අනුව ආනයනික තිරිඟු පිටි කිලෝවක තොග මිල රුපියල් 85 කින් අඩු කිරීමට ඔවුන් පසුගිය සතියේ පියවර ගත්තේය. පසුගිය දිනවල තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 375 වැනි අගයක පැවැති අතර කළු කඩයේ පිටි කිලෝවක මිල රුපියල් 450ක් වැනි අගයක පැවතියේය. පිටි කිලෝව රුපියල් 375 වැනි මිලකට අලෙවි වූයේ ඩුබායි සහ ඕමානයෙන් ආනයනයන කරන ලද තිරිඟුපිටි බවත් තුර්කියෙන් ආනයනය කරන ලද පිටිමිල අඩු බැවින් තිරිඟුපිටි කිලෝවක තොග මිල රුපියල් 290ක් දක්වා අඩු වන බවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න ප්‍රකාශ කළේය.
පසුගිය බ්‍රහස්පතින්දා එම සංගමය ප්‍රකාශ කළේ තිරිඟු පිටි මිල තවත් රුපියල් 25කින් අඩු කළ බවයි. ඒ අනුව කිලෝ 25 තිරිඟු පිටි මිටියක මිල රුපියල් 6625ක් බව අත්‍යවශ්‍ය ආහාර අනපනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න ප්‍රකාශ කළේය. ඒ අනුව පිටි කිලෝවක තොග මිල රුපියල් 265කි. එහෙත් ජනතාව සහ බේකරිකරුවන් ප්‍රකාශ කරන්නේ එම මිලට වෙළෙඳපොළේ තිරිඟු පිටි නොමැති බවයි. ආපන ශාලා හිමියන් ප්‍රකාශ කරන්නේ එක් එක් වෙළෙඳසැල්වල පිටි විවිධ මිල ගණන්වලට අලෙවි කරන බවටය. එහෙයින් පාන් පිටිවලට වඩා සහල් පිටි භාවිතයෙන් රොටි, ආප්ප, තෝස වැනි ආහාර නිෂ්පාදනය කිරීම ලාබදායි බව ආපනශාලා හිමියෝ පවසති.
මේ වසර මුල රුපියල් 70ට තිබූ පාන්ගෙඩිය මාස කිහිපයක් තුළ රුපියල් 200කට වඩා ඉහළ ගියේ මෙරට පවතින ආර්ථික උද්ධමනයට පින්සිදුවන්නටය. මාස කිහිපයකට පෙර පිටි කිලෝවක මිල වූයේ රුපියල් 84.50කි. පසුගිය දිනවල එය රුපියල් 375 දක්වා ඉහළ ගියේය. කළුකඩේ එය 420ක් පමණ විය. මෙරට තිරිඟු පිටි ආනයනයේ ඒකාධිකාරීත්වය හිමිව ඇත්තේ ප්‍රීමා සහ සෙරන්ඩිබ් යන බහුජාතික සමාගම්වලටය. ඩොලරයේ අගය ඉහළ යාම මත තිරිඟුපිටි මිල ඉහළ දැමීමට එම සමාගම් පියවර ගත්තේය. ලෝක වෙළෙඳපොළේ තිරිඟු පිටි මිල ඉහළ යන බව හා තිරිඟු පිටි හිඟයක් පවතින බව පවසමින් එම සමාගම් වරින්වර පිටි මිල ඉහළ දැමීම හේතුවෙන්. පාන් සහ සියලු බේකරි නිෂ්පාදනවල මිල වැඩි විය. බේකරි හිමියන් ප්‍රකාශ කළේ තිරිඟු පිටි ඉහළ යාමත් සමඟ බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා ඊස්ට්, මාගරින්, පොල්තෙල්, පාම් තෙල් ආදි විදේශයන්ගෙන් ආනයනය කරන අමුද්‍රව්‍යවල මිල 400% කින් පමණ ඉහළ ගොස් ඇති බවටය. පාන් මිල ඉහළ යාමේ. ප්‍රතිඵලයක් ලෙස පාන් අලෙවිය අඩු විය. රටපුරා බේකරි 2000ක් පමණ වැසී ගිය අතර රුකියා 4000ක් පමණ අහිමි විය.
සමාගම් දෙකකට පැවරී තිබූ තිරිඟු පිටි ආනයනයේ ඒකාධිකාරිය බිඳ දැමීම සඳහා රජය තිරිඟු පිටි ආනයන බලපත්‍රය ඕනෑම ආනයනකරුවකුට දීමට කටයුතු කළේය. එයින් සිදුවූයේ තිරිඟු පිටි මිල තවත් ඉහළ යාමය. රටේ උද්ගත වූ ඩොලර් අර්බුදය හමුවේ තිරිඟු පිටි ආනයනය කළ ප්‍රධාන සමාගම් දෙකට ඒවා ආනයනය කිරීමට නොහැකි විය. එසේම ජාත්‍යන්තර වෙළෙඳ පොළේ තිරිඟු පිටි නිෂ්පාදනය අඩුවූ අතර. ඉන්දියාව පිටි අපනයනය තහනම් කළේය. මේ නිසා තිරිඟු පිටි ආනයනය අඩුවිය. අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මෙරට ඇතැම් ආනයනකරුවෝ ස්වල්ප වශයෙන් තිරිඟු පිටි ගෙන්වා එකට දෙක තුනක් ලාබ තබාගෙන විකිණීම ආරම්භ කළෝය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් රුපියල් 8000ක පමණ මිලකට අලෙවි වූ කිලෝ 50ක පිටි මිටියක මිල රුපියල් 20,000 – 25,000 දක්වා ඉහළ ගියේය.
සෙරන්ඩිබ් සහ ප්‍රීමා සමාගම් ස්වල්ප වශයෙන් ගෙන්වූ තිරිඟු පිටි මිලද වෙළෙඳපොළට සාපේක්ෂව ඉහළ ගියේය. ඒ අනුව විවෘත වෙළෙඳපොලේ තිරිඟුපිටි කිලෝවක මිල රුපියල් 375ක් වැනි අගයක තිබිණි. ජනතාවගේ මැසිවිලි හමුවේ තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 250 දක්වා අඩු කිරීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මේ අතරය. පාන්පිටි සම්බන්ධයෙන් අද විශාල ගැටලුවක් පවතින බව තමා පිළිගන්නේ යැයි සඳහන් කළ ඇමැතිවරයා මෙවැනි ගැටලුවක් නිර්මාණය වූයේ පාන් පිටි නිෂ්පාදනය කරන මෙරට ප්‍රධාන සමාගම් දෙකට ඩොලර් නොමැතිකම හේතුවෙන් තිරිඟු ඇට ප්‍රමාණවත් පරිදි ගෙන්වා ගැනීමට නොහැකිවීම හා ඉන්දියාවෙන් තිරිඟු පිටි අපනයනය තහනම් කෙරුණු නිසා ගෙන්වීමේ ප්‍රමාදයක් ඇතිවීම නිසා බවත් ඔහු ප්‍රකාශ කළේය. තිරිඟු පිටි සඳහා පාලන මිලක් නොමැති අතර පාලන මිලක් යෙදීමට නම් අවශ්‍ය තරම් පිටි මෙරට තිබිය යුතු බවද ඔහු සඳහන් කළේය. ඇමැතිවරයා එලෙස ප්‍රකාශ කළද බේකරි හිමියන් ප්‍රකාශ කළේ මිල පාලනයකින් තොර වීම නිසා පිටි වෙළෙඳුන් තමන්ට හිතෙන ගණන්වල පිටි අලෙවි කරන බවටය.
මේ වන විට වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝවක තොග මිල රුපියල් 265කි. එහෙත් එම සහනය පාරිභෝගිකයන්ට ලබා දෙන්නට බේකරි හිමියන් සූදානම් නැත. බඩු මිල ඉහළ යන සැණින් මිල වැඩි කිරීමට පියවර ගන්නා මෙරට ව්‍යාපාරිකයෝ මිල පහළ ගිය විට එම සහනය පාරිභෝගිකයන්ට ලබා දීමට මැලි බවක් පෙන්වති. වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝවක මිල රු.265 දක්වා අඩු වුවද පාන්, බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට හැකියාවක් නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසයි. ඔහු පවසන අයුරින් පාන්, බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට හැකියාව ඇත්තේ තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 250 දක්වා අඩු වුවහොත් පමණි. බේකරි හිමියන්ට කළු කඩයෙන් රුපියල් 300කටත් වඩා වැඩි මිලකට තිරිඟු පිටි මිල දී ගැනීමට සිදුවී ඇති අතර තවමත් අඩු මිලට තිරිඟු පිටි බේකරි වෙත ලැබී නොමැති බවත් ඔහු පවසයි. තිරිඟු පිටි මිල අනුව ලබන සතියේ බේකරි නිෂ්පාදනවල මිල තීරණය කරනු ලබන බවද ඔහු පවසයි. මේ වනවිට කළුකඩයේ රුපියල් 420ට, 450ට අලෙවි කරන්නේ රුපියල් 250ට අලෙවි කළ හැකි තිරිඟු පිටි බවත් එබැවින් තිරිඟු පිටි කිලෝව රුපියල් 250ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා ලෙස සහ එයට මැදිහත් වන ලෙසත් ඔහු රජයෙන් රජයෙන් ඉල්ලා සිටී. තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 250ක් දක්වා අඩු වුවහොත් පාන්, බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහත දැමිය හැකි බවද බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කරයි.
තිරිඟු පිටි මිල ඉහළ යාමත් සමඟ සියලු ආපනශාලාවල අලෙවි කළ ආහාර වර්ගවලද මිල ඉහළ ගියේය. එහෙත් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසන්නේ තිරිඟු පිටි මිල අවමවීම හේතුවෙන් එහි වාසිය පාරිභෝගිකයන්ට ලබාදීමට තම සංගමය කටයුතු කරන බවයි. එම සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් ප්‍රකාශ කරන්නේ ආපන ශාලා මගින් අලෙවිකරන කොත්තුවක මිල රුපියල් 50කින් පමණ පහළ දමන බවටය. &තුර්කියෙන් ගෙන්වන පිටි කන්ටේනරය වරාය ගාස්තු, රේගු ගාස්තු ගෙවා බේකරියට, ආපන ශාලාවට ලැබෙන විට පිටි කිලෝවක මිල වෙන්නේ රුපියල් 230යි. ඒ බව අප හෙළිකළාම පිටි මිල 290 දක්වා පහත දැම්මා. එය 250 දක්වා පහත දැමිය හැකියි. මේ වනවිට කොත්තුවක් රුපියල් 600ත් 650ත් අතර ගණනකටයි අලෙවි කරන්නේ. පිටි මිල අඩුවීම මත කොත්තුවක මිල රුපියල් 50කින් අඩුකරන්න අප තීරණය කළා.* යනුවෙන් සඳහන් කළේය.
සතොස ආයතනය මගින්.ද තිරිඟු පිටි කිලෝව අලෙවි කළේ රුපියල් 375කටය. මේ වන විට එම ආයතනය පිටි කිලෝවක මිල රුපියල් 55කින් පහත දමා තිබේ. ඒ අනුව සතොසේ පිටි කිලෝවක මිල රුපියල් 320කි. සතොසේ 320ක් වන පිටි කිලෝව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන් ලබා දෙන්නේ 265කටය. ආපනශාලා හිමියන්ගේ සංගමයේ අසේල සම්පත් පෙන්වා දෙන්නේ පාන්පිටි ආනයනය කරන ප්‍රධාන සමාගම් දෙක වැඩි මිලට පිටි අලෙවි කරන බවටය. ආනයනකරුවන් ගෙන්වන පාන්පිටිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් විශාල ගැටලුවක් තිබෙන බවද ඔහු ප්‍රකාශ කරයි. ඔවුන්ට ලාබයට ලබා දෙන්නේ කිසිදු ආහාරයක් පෙර පරිදි ගුණාත්මක බවින් යුතුව නිෂ්පාදනය කළ නොහැකි පාන් පිටි වර්ගයක් යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා