
“ආනන්ද භවන් එකට වැදී තෝසෙ ගිලිනවා
එළියට ඇවිදින් යාපනෙ දෙමලුන්ට බණිනවා….”
ජනප්‍රිය හින්දි තනුවකට අනුව දීපාල් සිල්වාගේ ගායනයෙන් සුපෝෂිත වූ මෙම ගීතය තල් අරඹේ සුන්දරත්වය සහ රස මතක අවුස්සන්නට සමත් වන්නේය. බදු බරින් තැලී පොඩිවී මිරිකී සිටින ජනතාව දිනෙන් දින ඉහළ යන බඩු මිල හේතුවෙන් නහුතෙටම සිඳී සිටිති. රට පුරා අහන අහන තැන කඩවල ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩවල මිල තිබූ මිල මෙන් දෙගුණ තෙගුණ වී ඇත. මුළු රට පුරාම කඩවල කෑම ගණන් ගියත් උතුර නැගෙනහිර දෙපළාතේ කෑම කඩවල ආහාරවල මිල කිසිදු සාපේක්ෂ වැඩිවීමක් නොමැති බව දකින්නට පුළුවන. අර්බුදකාරී අවස්ථාවක මුළු රටේම ආහාරවල මිල ඉහළ ගියද උතුර නැගෙනහිර බොහෝ කඩවල කෑම මිල සිතාගත නොහැකි තරමට අඩුවෙන් පවතින්නේ කෙසේදැයි ප්‍රශ්නයක් අප සිත් සතන්වල ඉතිරි කරයි. එම ගාණ අසන ඕනෑම කෙනකුට යාපනේ පදිංචියට යාමට පවා සිතෙන ගාණක් බව කිව යුතුය.
උතුරු පළාතේ යාපනය ඇතුළු ප්‍රදේශවලත් නැගෙනහිර පළාතේ මඩකළපුව, එරාවූර්, කල්මුණේ, කාත්තන්කුඩි ආදී ප්‍රදේශවලත් වෙළෙඳපොළේ කෑම මිල ඉතා අඩුවෙන් ඇති බව අප කළ සොයා බැලීමේදී අනාවරණය විය.
“නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය, එරාවූර්, කාත්තන්කුඩිවල බොහෝ දේ මිල අඩුයි. කුළුබඩු ඇතුළු අමුද්‍රව්‍යවල මිල අඩුවීමෙන් ගොඩක් කඩවල කෑම අඩු මිලට ගන්න පුළුවන්. හෝටල්වල පාවිච්චි කරන්නේ දර ලිප. ත්‍රිමලේ ප්‍රීමා එකෙන් පාන් පිටි අඩුවට ලැබෙනවා. මෙහෙ වෙළෙන්දො මිනිස්සුන්ට අඩුවට කෑම විකුණලා සතුටෙන් ඉන්නවා. හොර බොරු කරන්නේ නෑ. කුකුළු මස්, හරක් මස් සහ දියර කිරි ප්‍රවාහන වියදමක් නෑ. මේ පැතිවලට වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන සංචාරකයන් මේ මිල ගණන් අසා පුදුම වෙනවා. සමහර වෙලාවට මිල ගණන් කිව්වාට විශ්වාස කරන්නෙත් නෑ. මෙහෙ කෑමවලින් බඩත් පිරෙනවා. හිතත් පිරෙනවා.”
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එරාවූර් පදිංචි ඉර්ෂාද් ඉස්මත් මහතා පැවසුවේ එවැන්නකි.
එළවළු ව්‍යංජන 4 ක් සමඟ යාපනයේ මාළු බත් පැකට්ටුවක මිල රු. 200/- ක් වන අතර එම බත් පැකට්ටුව මඩකළපුවේ රු. 250/- කි. කුකුළු මස් සහ හරක් මස් බත් පැකට්ටුව රු. 250/- ක් වන අතර මෙම කෑම පැකට්ටුවක් වැඩිහිටි දෙදෙනකුට ප්‍රමාණවත් වෙයි. මස් කැබලි දැමූ හොදි, පොල් සම්බෝල සමඟ ලොකු පරාටා තුනක මිල රු. 100/- කි. මෙය කොළඹ නගරයේ කෑම කඩයකින් රු. 400/- ක් පමණ වෙයි.
උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ බොහෝ කෙටි කෑම ඇතුළත මිශ්‍රණයට යොදාගන්නේ මඤ්ඤොක්කා ආදී අල මිශ්‍රණයකි. යාපනයේ කඩවල කෙටි ආහාර වර්ග බොහොමයක සාමාන්‍ය මිල රු. 50/-ත් රු. 70/-ත් අතර වන එය මඩකළපුවේ එරාවූර්වල රු. 25/-ත් රු. 40/-ත් අතර වෙයි. උළුඳු වඩයක මිල රු. 30/- කි. එය කොළඹ රු. 150/- කි. මාළු බනිස්, සැමන් බනිස්, බිත්තර බනිස් ආදී බනිස් වර්ග රු. 50/- ක් වන අතර කිඹුලා බනිස්, ජෑම් බනිස් සහ ක්‍රීම් බනිස් රු. 25/- ක් වෙයි. වෙනත් පැතිවල රු. 150/- ක් රු. 200/- ක් පමණ වන ඩෝනට් එකක් යාපනයේ රු. 50/- කි. කප් කේක් එකක් රු. 30/- ක් වන අතර අඩයක සහ ස්පන්චියක මිල රු. 10/- කි. එය කොළඹ රු. 70/- පමණ වෙයි. පාන් ගෙඩියක් රු. 180/- කි.
මඩකළපුවේ බොහෝ දෙනාගේ ජනප්‍රියතම උදෑසන ආහාරය වන තෝසෙ 2 කට සහ සාම්බාරු හොද්දට වැය වන්නේ රු. 150/- කි. අනෙක් ප්‍රදේශවල සමහර කඩවල සාම්බාරුවලටත් වෙනම අය කරයි. යාපනය ඇතුළු නගරවල සෑම කෑමවේලකටම පසු රසම් පානයක් ලබා දීම මෙම ආහාර සංස්කෘතියේ සිරිතකි. උතුරේ වඩාත්ම ජනප්‍රිය මසාලා තේ (මසාලා චායි) රු. 50/- ක් වන අතර කිරි තේ රු. 80/- කි. එළකිරි මිලිලීටර 750 රු. 200/- ක් වන අතර මී කිරි ලීටරය රු. 250/- කි.
සහල් මිල අනෙකුත් පළාත්වල මිල සමඟ සැසඳීමේදී වැඩි වෙනසක් නොමැති අතර කැරට් කිලෝව රු. 150/- කි. වැලිමඩ, නුවරඑළියේවත් ඒ ගාණට කැරට් ගන්නට නොහැකිය. කුකුළු මස් කිලෝව රු. 1200/- කි. සම්පූර්ණයෙන් උඳු පිටිවලින් පමණක් සෑදූ ලොකු උඳු වඩයක් යාපනයේ රු. 30/- ක් වන අතර එය උඳු පිටි නමට සීමා වූ උළුඳු වඩයක කොළඹ මිල රු. 100/- ද ඉක්මවා ගොසිනි. මස් සමෝසාවක, අලබොන්ඩාවක මිලද ඒ හා සමාන වෙයි. ෆ්‍රයිඩ් රයිස් (ෆුල්) කෑම පැකට්ටුවක මිල රු. 500/- ක් පමණ වන අතර යාපනයේ බිත්තර කොත්තුව රු. 300/- කි.

යාපනය කිවහොත් තවත් අමතක කළ නොහැකි දෙයක් වනුයේ රියෝ අයිස්ක්‍රීම්ය. විවිධාකාර රසයෙන් යුත් අයිස්ක්‍රීම් පවා යාපනයේ මේ දිනවල රු. 400/- සිට ඉහළ මිල ගණන්වලට අලෙවි වෙයි.
තිරිඟු පිටි මිල වැඩිවීම හේතුවෙන් රට පුරා බේකරි ආහාරවල මිල ගණන් එක පෙළට ඉහළ ගියේය. තිරිඟු පිටි කිලෝවක මිල රු. 290/- ට අඩු වුවත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩුවීමක් සිදු නොවන බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි. එහෙත් යාපනය දිස්ත්‍රික් බේකරි හිමියන්ගේ සමුපකාර සංගමයේ සභාපතිවරයා පැවසුවේ රට පුරා කෙතරම් මිල ගණන් ඉහළ ගියද යාපනයේ මිල වැඩිවීමක් සිදු නොවන බවයි.
මෙහෙම අඩුවට කෑම දුන්නාම පාඩු නැද්ද? යාපනයේ සයිවර් කඩ හිමිකරුවකු වන මන්සූර්ගෙන් අප කළ විමසීමේදී ඔහු පැවසුවේ මෙවැනි අදහසකි.
“අපි ලොකු ලාභ තියන්නේ නෑ. ජනතාවට කන්න බොන්න දෙන එක තමා අපේ රස්සාව. කෑම බීම ටික පිරිසුදුව පහසුවෙන් දෙන එක තමා ලොකුම වැඩේ. අපිට ඕනෑ මිනිස්සු. අපිට පිටි ලැබෙනවා. හිඟයක් නැතුව බඩු ලැබෙනවා. මේ ගාණට දුන්නාට කිසිම පාඩුවක් නෑ. මිනිස්සුන්ව සූරගෙන කාලා අපට පුරුද්දක් නෑ.”
පොල් ත්‍රිකෝණය වූ වයඹ පළාතේ ද පොල් ගෙඩි ගිනි ගණනට යද්දී තල් අරඹේ තල් කිරි සහ තල් කැවුම් ඉතා අඩු මිලකට ගත හැකි බව යාපනයේ වැසියෝ පවසති. උතුරු නැගෙනහිර දෙපළාතට මුහුදු මාර්ගයෙන් ආහාර ද්‍රව්‍ය ලැබෙන බවත් එහෙයින් ආහාර ඇතුළු බොහෝ දේ මිල අඩුවෙන් ලබාගැනීමට හැකි බවත් තතු දත්තෝ පවසති. එහෙත් කොළඹ වරායට නැව් පැමිණියත් වරාය අසල හෝටල්වලද කෑම මිල අඩු නැති බව දැකිය හැකිය. එසේ නම් ප්‍රශ්නය ඇත්තේ ආහාර ද්‍රව්‍ය පැමිණීමෙන්ම නොවේ යැයි අපි සිතමු.
සයිවර් කඩවල තඹ බොයිලේරුවේ හැදෙන කිරි යාරය අමතක නොවෙන මතකයකි. යාපනයේ සයිවර් කඩවලට සමාන සයිවර් කඩ බොහොමයක් කොළඹ පිහිටා තිබේ. එහෙත් ඒවාහි කඩ සමාන වූවාට කෑම සහ මිල ගණන් සමාන නැත. යුද්ධයේ කළු දුමාරය පහව ගොස් රම්‍ය උදෑසනක් උදා වී තිබේ. උතුරුකරේ නඩරාජලා මෙන්ම දකුණුකරේ සිරියලතාලාද අද වනවිට යාල්පානමේ අත් අල්ලාගෙන සිටිති. ජාති කුල මල ආගම් භේද කිසිවකුත් නැත. මේ වනවිට යාල්පානමට භාෂා ප්‍රශ්නයක් නැත. අපේ රටේ අනෙක් පළාත් සමඟ සැසඳීමේදී යාපනයේ වෙනස් වන්නේ එක් භාෂාවකි. එනම් වෙළෙඳාමේ භාෂාවයි. වෙළෙඳාමේ රිද්මයයි. රට පුරා බොහෝ කඩ වෙළෙඳුන්ට වඩා උතුරු නැගෙනහිර බොහෝ වෙළෙඳුන් අතර ඇති එකම වෙනස වනුයේ “ වෙළෙදාමේ භාෂාවේ” වෙනසයි. වෙනත් පැතිවල ගමේ කළු කඩ මුදලාලිලා උත්තම යැයි හැඳින්වුවද යාපනය වෙළෙන්ඳාට උත්තම වන්නේ පාරිභෝගිකයාය. එය පැහැදිලි කිරීමට ඉහත කී මිල දර්ශකය හැර තවත් අටුවා ටීකා ටිප්පණි කුමකටද? අපේ රටේ බොහෝ මුදලාලිලාට නොවැටහෙන යාපනයේ මුදලාලිලාට වැටහෙන දේ තේරුම් ගැනීමට හැකි නම් අපට බොහෝ දුර ගමනක් උරුම වනු නොඅනුමානය.
I සසංක චලන ගිම්හාන