2022 ඔක්තෝබර් 16 වන ඉරිදා

දරුවන් සුරකින්න දෑත් දිගු කරන රොෂාන් මහානාම

 2022 ඔක්තෝබර් 16 වන ඉරිදා, පෙ.ව. 08:00 149

මිනිසෙකුගේ ඇසින් නොව දෙවියන්ගේ ඇසින් ලෝකය දෙස බලන්නට මිනිසාට හැකි සෑම මොහොතකම එතැන නිරායාසයෙන් නිර්මාණය වන්නේ අංශුමාත්‍ර නොවූ මනුෂ්‍යත්වයයි. නොඉල්ලමින් යළි කිසිවක්ම, නිස්සරණ හැඟීමෙන් ලෝකය වෙත යමක් ප්‍රදානය කළ හැකි නම් කිසිවෙකුට, එවන් නිස්සරණ හැඟීමකින් ලෝකයටම ආදරය කළ හැකි නම් කිසිවෙකුට මනුෂ්‍යත්වයේ දිව්‍යමය ස්වභාවයන් දිගහැරෙන තැන එතැනය.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙකු ලෙස නිර්වචනය කළ හැකි රොෂාන් මහානාම යන චරිතය මම හඳුනා ගන්නේ ඒ සියලු සිද්ධාන්තයන් තුළය. පොදු මිනිසුන් අතර වෙනස්ම මිනිසෙකු ලෙස මගේ කියවීම තුළ රොෂාන් මහානාම සනිටුහන් වන්නේත් විසල් අප්‍රමාණ මනුෂ්‍යත්වය උදෙසා ඔහු නිහඬවම සැපයූ සහ සපයන සංනිදර්ශන නිසාමය.

රොෂාන් මහානාම යන නම ලෝකයක්ම හඳුනා ගන්නේ ක්‍රිකට් ක්‍රීඩාව ඔස්සේය. අසීමාන්තික ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් සංඛ්‍යාවකගේ හදවත් මත විසල් ඉඩ හසරක් වෙන් කරගත් රොෂාන් 1996 ශ්‍රී ලංකාව දිනාගත් ලෝක කුසලාන ජයග්‍රහණයේ කීර්තිමත් පංගුකාරයෙක් විය. ඉනික්බිති 1998 වසරේ ක්‍රීඩා කළ ටෙස්ට් තරගය සහ 1999 වසරේ එක්දින ක්‍රිකට් තරගය තම දිගු ක්‍රිකට් දිවිසැරියේ අවසන් තරග අතරට එක් කරමින් රොෂාන් මහානාම ක්‍රිකට් ක්‍රීඩාවට සමු දුන්නේය. සුන්දර අසුන්දර සේම රස නීරස කටුක අත්දැකීම් සමුදායක් අළලා වේදනාත්මක සමුගැනීම - Retired hurt නමින් කෘතියක් රචනා කළ රොෂාන් 2004 වසරේ සිට 2015 වසරේ සැප්තැම්බරය දක්වා ජාත්‍යන්තර තරග තීරකයකු ලෙස යළි ක්‍රිකට් ක්‍රීඩාව සමඟ අත්වැල් බැඳ ගත්තේය.
එහෙත් රොෂාන් මහානාම ගැන හොඳින් දන්නා සියල්ලන්ම දන්නා කරුණක් වන්නේ කුඩා වියේ සිටම මනුෂ්‍යත්වය පෙරදැරිව සමාජය දෙස බලන්නට, ලෝභ සිතින් තොරව යමෙකුට දිය හැකි යමක් වෙත්නම් දෙන්නට නොපැකිලෙන සාධු ධර්ම හදවතක් රොෂාන්ට තිබූ වගය. එහෙත් ප්‍රසිද්ධිය හෝ ජනප්‍රියත්වය පසුපස කිසිදා හඹා නොගිය රොෂාන් මේ තාක් තම මෙහෙවර කළේ නියඬවමය.

තිස් වසරක් ශාපලත් යුද්ධය අවසන ශ්‍රී ලාංකික අප හමුවේ ශේෂ වූ හිස්තැන් සහ ඛේදවාචක අතරින් එකක් වූයේ යුද්ධයෙන් ඉනික්බිති නැවත මිනිසුන් පදිංචි කරන ලද ගම්මානවල තිබූ හිස් බව සහ ජන ජීවිත මතින් දෝර ගලා ගිය දරිද්‍රතාවයයි. නැගෙනහිර මුහුදු තීරය දෙසට මුහුණලා ඇති සිංහල ගම්මානවලින් එකක් වූ වෙහෙරතැන්න ගම්මානයේ ජීවත් වූ මිනිසුන්ගේ ජීවිතවල පොදු ලක්ෂණයක් වූයේ ද ඒ දරිද්‍රතාවයයි. දුෂ්කරතා අභිබවමින් ජීවිතය සමඟ අනවරත අරගලයක යෙදුණ ඒ ගම්මානයේ මව්පියන්ගේ දරුවන් වෙත රොෂාන්ගේ කාරුණික ඇස මුලින්ම යොමුකිරීමේ ගෞරවය හිමිවන්නේ රොෂාන් මහානාමගේ සමීපතම මිතුරියක වූ ශිරෝමි මාසකෝරාළටය. තමන් උපයාගත් ධනය නිර්ලෝභීව වෙහෙරතැන්නේ ළමා ළපටීන් උදෙසා පෙර පාසලක් තනන්නට දන් දුන් රොෂාන් ඒ පෙර පාසල විවෘත කරන්නට ගිය ගමනේදී ඇසූ දුක්බරම කතාවක් වූයේ පාසලක් නොමැතිකමින් ඒ ගම්මානයේ දරුවන් කිලෝමීටර් 14ක් දුර වන කැලේ මැදින් පාසල් යන ගමන ගැන පුවතය. අව්වට කරවෙන, වැස්සට තෙමෙන, දියවෙන භෞතිකව දුප්පත් ඒ ළපටි සිත් මත දයාවේ සිහල ඉසින්නට මොහොතක්වත් නොපැකිලුණු රොෂාන් මහානාම එදා වෙහෙරතැන්නෙන් නික්ම ආවේ ''ආ මම ඔයගොල්ලන්ට පාසලකුත් හදලා දෙන්නම්'' යන පොරොන්දුව ඔවුන් සන්තකයේ තබමිනි. 

2014 වසරේදී රොෂාන් ඒ පොරොන්දුව ඒ අයුරින්ම ඉටු කරමින් වෙහෙරතැන්න දරුවන්ට කණිෂ්ඨ විද්‍යාලයක් ඉදිකර දෙන්නට තමන් හරි හම්බ කළ ධනය වැය කළේය. යුධ හමුදා රණවිරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් තැනුණු එම පාසල විවෘත කරන්නට වෙහෙරතැන්නට ගිය ගමනේදී රොෂාන් එක්වරම තිගැස්සුණේ එම පාසල තමන් නමින් නම් කර තිබෙනු දැකීමෙනි. රොෂාන්ගෙ පියාට ඒ වග කලින් දැනගන්නට ලැබුණු පසු ඔහුද එය එසේ නොකරන ලෙස ඉල්ලීම් කර ඇතත් මේ උතුම් කර්තව්‍යයට රොෂාන්ට මග කී හේමාස් outreach පදනම රොෂාන්ගේ නිහඬ සේවය ඇගයීමක් ලෙස එම පාසල රොෂාන් මහානාම කණිෂ්ඨ විද්‍යාලය ලෙස නම් කරන්නට තීරණය කර තිබුණි. එදා රොෂාන් කළ මෙම උතුම් සත් ක්‍රියාව ලෝකයම දැනගත්තේ චමින්ද වාස් තම ෆේස්බුක් ගිණුම මඟින් එහි ඡායාරෑපයක් පළ කරමින් ඒ වග සටහන් කර තිබූ නිසාය. නිහඬවම තම යුතුකම් වගකීම් ඉටුකරන රොෂාන්ගේ හැටි එහෙමය. සැබැවින්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ නමින් නම් කරන ලද පළමු පාසලද එයයි.

එම පාසල විවෘත කරන දිනයේ රොෂාන් පැවසුවේ මෙවැන්නකි.

''1996 ලෝක කුසලානය දිනාගත්ත වෙලාවේ අපිට දැනුණ සතුට මට මේ වෙලාවේ දැනෙනවා. සෑම දරුවෙක්ම පුළුවන් තරම් ඉගෙන ගන්න ඕනෑ. හැබැයි ඉගෙනීම කියන්නේ අධ්‍යාපනය විතරක් නෙවෙයි. අනාගතේදී මම ඔයාලා වෙනුවෙන් මගේ සේවය අවශ්‍ය හැමතැනකදීම ලබලා දෙනවා.''

රොෂාන් මහානාම කණිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් පෙනී සිටි ඉමල්ෂ හසරුල් දරුවා ශිෂ්‍යත්ව විභාගය සමත් වුණේ එම පාසලෙන් ශිෂ්‍යත්ව විභාගය සමත් වුණු පළමු ශිෂ්‍යයා බවට පත්වෙමිනි. රොෂාන් එම දරුවාගේ අනාගත අධ්‍යාපනය සඳහා යන සියලු වියදම් දැරීමට එකඟ විය. අද රොෂාන්ගේ දියණියක් එම කර්තව්‍යය ඉටු කරමින් සිටී. රොෂාන්ගේ ආදරණීය බිරිඳ ජීවා මෙන්ම දියණියන් තිදෙනාත් මනුෂ්‍යත්වයේ නාමයෙන් ඔහු යන ගමනට දක්වන සහයෝගය අතිමහත්ය.

මනුෂ්‍යත්වය යනු ජාති ආගම් කුල භේද මේ ආදී කිසිදු නිර්ණායකයක් මත පදනම් වන්නක් නොවේ. ඒ වග යථාර්ථයක් බවට පත්කරමින් රොෂාන් උතුරු - නැගෙනහිර දුප්පත් ගම්වල දමිළ දරුවන් තිස් දෙනෙකුට පමණ මසකට රුපියල් තුන්දාහ බැගින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මුදල් ලබා දෙයි. එසේම යුද්ධය නිසා මව්පිය සෙනෙහස, රුකවරණය අහිමි වූ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රොෂාන් මුදල් වියදම් කළේ තම ලෙයින් ජාතක නොකළද ජාතියේ දරුවන් වෙනුවෙන්ද වගකීම් සම්භාරයක් දෙවුර දරන අභිමානවත් ලංකා පුත්‍රයකු ලෙසිනි. දකුණේ වෛද්‍ය විද්‍යාව හදාරමින් සිටි ශිෂ්‍යාවකට වෛද්‍යවරියක් දක්වා යන ගමන සඳහා අතහිත දුන්නේද එම හැඟීම පෙරදැරිවමය.

සෑම බදාදා දිනකම රෝස පාට අඳින්නට රොෂාන් තීරණය කළේ පියයුරු පිළිකා පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ පළමු පියවරක් වශයෙනි. ''ඒ තීරණය ගත්ත කාලේ මට තිබුණේ රෝස පාට ටී ෂර්ට් දෙකක් විතරයි. ඒ ගැන පෝස්ට් එකක් මගේ දුව සමාජ මාධ්‍ය ජාලාවලට එක්කර තිබුණා. ඒක දැකලා ඉන්දිරා පිළිකා භාරය මට කතා කළා. අද මම එම කර්තව්‍යටත් සක්‍රීයව දායක වෙලා ඉන්නවා.'' ඔහු වරෙක කීය.

රොෂාන් මහානාම එදා මෙදාතුර කළ විසල් මෙහෙවර අතුරින් අප මේ සටහන් කර තැබුවේ සැබැවින්ම අංශුමාත්‍රයක්ම පමණි. කොරෝනා වසංගතයෙන් මිනිසුන් පීඩාවට පත්ව සිටි කාලයේ මෙන්ම  වත්මන්  ආර්ථික අර්බුදය ඇති වූ කාලයේදී ද රොෂාන් නිහඬ සේවයක් මිනිසුන් වෙනුවෙන් තමන්ට හැකි උපරිමයෙන් ඉටු කළේය. තෙල් පෝලිමවල පැය ගණන් සිටින මිනිසුන් වෙනුවෙන් කෑමබීම සපයා දුන්නේය. ගංගාරාමයේ වැඩවෙසෙන ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ගේ උපදේශකත්වය යටතේ කොම්පඤ්ඤවීදියේ වෙසෙන අඩු ආදායම්ලාභී ගැබිනි මව්වරුන්ට ආහාර සලාකයක් ලබාදීම සඳහා නිර්මාණය වූ කර්තව්‍යයටද රොෂාන් දායක විය.

මේ කිසිවක් ඔහු කරන්නේ ප්‍රසිද්ධියක් ජනප්‍රියත්වයක් හෝ වෙනත් වරප්‍රසාදයක් අපේක්ෂාවෙන් නොවේ. කිසිදිනෙක දේශපාලනයට පැමිණීමේ අපේක්ෂාවෙන්ද නොවේ. සැබැවින්ම සාංසාරික පුරුද්දකට මෙන් මනුෂ්‍යත්වය පෙරටු කරගත් දානමය සිතිවිල්ලකින් මිස වෙනත් කිසිදු බලාපොරොත්තුවකින් නොවෙයි. ඔහු නිහඬවම පැමිණි මේ ගමනේ තීරණාත්මක සන්ධිස්ථානයක් වූයේ රොෂාන් මහානාම භාරය නිල වශයෙන් දියත් කිරීමය. එහි මූලික අභිප්‍රාය වන්නේ අඩු වරප්‍රසාදලාභී දරුවන්ගේ යහපත වෙනුවෙන් විවිධ පාර්ශ්ව සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කළ හැකි වේදිකාවක් නිර්මාණය කිරීමය.

We promise යන්න මෙම භාරයේ ප්‍රධාන තේමාවයි. ඒ තමන් මේ රටේ දරුවන්ගේ යහපත වෙනුවෙන් කැපවෙන බවට ඔහු රටක් ඉදිරියේ ලබාදෙන ප්‍රතිඥාවය. ඔහුගේ විශ්වාසය වනුයේ දරිද්‍රතාවයෙන් පෙළෙන දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, නිරෝගිමත් ජීවිතයක් සහ තම අනාගතය කැමති පරිදි හැඩගස්වා ගැනීමට ලැබෙන සුරක්ෂිත පරිසරයක් නිමැවිය යුතු බවය.

අවංකභාවය, විශ්වසනීයත්වය, විනය පක්ෂපාතිත්වය සහ මිත්‍රත්වය යන  සාරධර්ම මත පදනම් වී ඇති රොෂාන් මහානාම භාරය ප්‍රධාන වශයෙන් අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් සහ යටිතල පහසුකම් නැංවීම හරහා අධ්‍යාපන ක්ෂේත්‍රය වැඩි දියුණු කිරීම, විවිධ අධ්‍යාපනික වැඩසටහන් පැවැත්වීම සහ කුසලතා සංවර්ධනය ඔස්සේ තරුණ තරුණියන්ගෙ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම, අත්වැලක් අවශ්‍ය දරුවන්ට එම අත්වැල් සැපයීම, බරපතළ රෝග ආබාධ වළක්වා ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම, ස්වභාවික හෝ මිනිසුන් විසින් ඇති කරනු ලබන ආපදාවලදී සහනයක් වෙමින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම, දරිද්‍රතාව, ආබාධ, ජාතිය, ආගම සහ ස්ත්‍රී පුරුෂ භාවය වැනි සාධක නිසා කොන්වීමට ලක් වී සිටින සියලුම අය පුරවැසියන් ලෙස සමාජගත කිරීම සහ දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවම කිරීම ආදිය මීට අයත් වේ.

එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් වියදම් දැරීමට අදාළ  ආයතනයට මුදල් ඇති හෙයින් ක්‍රිකට් ක්‍රීඩා කරන දරුවන් වෙනුවෙන් මූල්‍යමය දායකත්වය ලබා නොදුන්නත් අනෙකුත් ක්‍රීඩාවන්හි නියැලෙන අත්වැලක් අවශ්‍ය දරුවන් වෙනුවෙන් අත්වැල් සැපයීමට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව තම අවධානය යොමුකරන බවද රොෂාන්ගේ එක් පොරොන්දුවකි.

''දශක ගණනාවක් තිස්සේ විවිධ සමාජ සුභසාධන සහ පුණ්‍ය කටයුතුවල නියැලී සිටින අයෙකු ලෙස පිළිසරණක් අවශ්‍ය පුද්ගලයන්ට විශේෂයෙන් දරුවන් වෙනුවෙන් මගේ උපරිමය කිරීමට මා කිසිවිටෙකත් පසුබට වන්නේ නැහැ. අද දවසේ දරුවන් හෙට දවසේ වැඩිහිටියන් මෙන්ම පුරවැසියන් බවට පත්වෙනවා. ඔවුන් යහපත් සිතුවිලි සහිත පුද්ගලයන් බවට පත්කිරීම සඳහා පාසල් අධ්‍යාපනය ඇතුළු අනෙකුත් සාධක සපුරාලීම අත්‍යවශයයි. මේ අලුත් ගමන ආරම්භ කරන මොහොතේ අපගේ අනාගත පරම්පරාවට වඩාත් යහපත් අනාගතයක් උදාකරදීම සඳහා මා සමඟ එක්වන මෙන් මා සියලුම දෙනාට ආරාධනා කර සිටිනවා'' රොෂාන් මහානාම භාරය ජනගත කරමින් ඔහු පැවසුවේ එයයි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පමණක් නොව ඕනෑම ක්‍රීඩා ක්ෂේත්‍රයක සුප්‍රකට ක්‍රීඩකයෙකු තමන්ගේම පුණ්‍ය භාර අරමුදලක් පිහිටු වූ ප්‍රථම අවස්ථාව මෙයයි. ඒ අතින් රොෂාන් මහානාම මහතා ජනප්‍රිය පුද්ගලයන් සමාජ සත්කාර නියැලීම සම්බන්ධයෙන් තවත් ආදර්ශයක් ලබාදී තිබෙනවා. දරුවන්ගේ හැකියාවන් අවදිකර ඔවුන්ට යහපත උදාකරදී ඒ ඔස්සේ රට පෙරට රුගෙන යාම සඳහා කැපවුණු මෙවැනි උදාර මෙහෙවරකට දායක වීමට ලැබීම මට මහත් සතුටක් සාඩම්බරයක්. රොෂාන් භාරයේ මෙහෙයුම් අධ්‍යක්ෂිකා ශිරෝමි මාස්කෝරාල පවසන්නේ එයයි.

රට තුළ සාධනීය වෙනසක් ඇති කිරීම සඳහා රොෂාන් මහානාම භාරය අධ්‍යාපනය හා වර්ධනය සෞඛ්‍ය හා යහපැවැත්ම සහ සුරක්ෂිත පරිසරයක් වැනි ප්‍රධාන අංශ කිහිපයක් හඳුනාගෙන ඇති අතර ඒ අංශවලට අදාළව තිරසාර වෙනස්කම් ඇති කිරීම සඳහා විවිධ පාර්ශ්වකරුවන් සමග අත්වැල් බැඳ ගැනීමට අපේක්ෂා කරයි. ඉදිරියේදී මෙම භාරය හේමාස් අවුට්රීච් පදනමේ පියවර පෙර පාසල් වැඩසටහන, එස්.ඕ.එස් ළමා ගම්මාන වැඩසටහන, රොෂාන් වි‍ජේරාම පවුල් භාරය, ඉන්දිරා පිළිකා භාර අරමුදල, සුවඅරණ Community Meal Share භාරය, ආයති භාරය, Sri Lanka college of Pediatricians(Feed a child සහ ළමා පියස වැනි වැඩසටහන්) යනාදී පාර්ශ්වකරුවන් සමඟ එකට එක්වී වැඩකටයුතු කරනු ඇත. ඔබටත් මේ උතුම් මෙහෙවරට ඔබට හැකි අයුරින් මූල්‍යමය දායකත්වය ලබා දීමට හැකි අතර ඉතාමත් විනිවිදභාවයකින් සියලු මූල්‍ය අධීක්ෂණයන් සිදුකරන බවට රොෂාන් තිර පොරොන්දුවක් ලබාදේ. රොෂාන් මහානාම යනු කවුදැයි දන්නා අයට සැබවින්ම එවන් පොරොන්දුවක් අවැසි වන්නේද නැත. 

සැබැවින්ම ආත්මාර්ථයෙන් තොර පරාර්ථයක් දළුලන්නේ කවර තැනකද එතැන නිතැතින්ම නිර්මාණය වන්නේ මිනිසුන් උදෙසා ක්ෂේම භූමියකි. එම ක්ෂේමභූමියේ අත්තිවාරම වන්නේ මනුෂ්‍යත්වය සහ ආදරයයි. මනුෂ්‍යත්වය සහ ආදරය රුඳෙන්නේ කවර තැනකද එතැන නිතැතින්ම සුරක්ෂිතභාවය ඇති වේ. එවන් ක්ෂේම භූමියක් තනන්නට වගකීම් සම්භාරයක් කිසිවක් නැවත නොඉල්ලමින් දෙවුර දරන අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකු ලෙස සම්භාවනාවට පත්වන රොෂාන් මහානාම ඔබ යන ගමනට අපේ සුබ පැතුම් සහ අපේ ආශිර්වාදය...

සැබැවින්ම සතුට රුඳී ඇත්තේ ගමනේ කෙළවර නොව යන මග දෙපසය.

I සංජීවිකා සමරතුංග
සේයාරූ I සමුදු හේවාපතිරණ සහ අන්තර්ජාලෙයන්

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:05