
ලෝකයේ බොහෝ රටවල ඒ ඒ සංස්කෘතිවලට අනන්‍ය වූ සටන් ක්‍රමවලින් සිය ආරක්ෂක හමුදා සන්නද්ධ කර තිබේ. චීනයේ කුන්ග් ෆූ, ජපානයේ කරාතේ, එංගලන්තයේ බොක්සිං, ඉන්දියාවේ කලාරි, තායිලන්තයේ මුයි තායි ආදී සටන් ක්‍රම උගන්වා එරට හමුදා සන්නද්ධ කරයි. බ්‍රසීලයේ කපොයිරා සටන් කලාව පරපුරෙන් පරපුරට අනාගතය කරා ගෙන ආවේ නර්තන කලාවක සඟවාගෙනය. ශ්‍රී ලංකාවේ පාරම්පරික ඥානයත්, සංස්කෘතික ලක්ෂණත් විදහා පෑ අංගම්පොර සටන් කලාවට නව ජීවයක් දෙමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලංකාවේ ප්‍රථම වරට අංගම්පොර බළකායක් සිය ක්‍රියාන්විතයේ යොදවා සිටී. ක්‍රියාන්විත රාජකාරියේදී සතුරන් පරාජය කිරීමෙහි ලා ජීවිතාරක්ෂක සටන් බළකායක් ලෙස එක් කණ්ඩායමක් සහ අංගම්පොර සංදර්ශන කණ්ඩායමක් ලෙස කණ්ඩායම් ද්විත්වයක් ස්ථාපනය කර තිබේ. එදා රජවාසලේදී රජුන් ඉදිරියේ පෙන්වූ වාහල ඉලංගම් හරඹ මෙදා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සංදර්ශනාත්මක අයුරින් ප්‍රාසාංගික වේදිකාවක විචිත්‍රවත් කරයි.
වසර 5000ක් පමණ පැරැණි දේශීය සටන් කලාවකට නව ජීවයක් දෙමින් මතු පරපුරට රැක දීමෙහිලා ශ්‍රී ලංකා ගුවන් හමුදාව 40 කගෙන් සමන්විත අංගම්පොර කණ්ඩායම් දෙකක් නිර්මාණය කරන්නේ උදාර අරමුණක් පෙරදැරිවය.

මෙම නව ක්‍රියාදාමය සම්බන්ධයෙන් අංගම්පොර සංචිතයේ සභාපති, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් කොමදෝරැ මොහාන් බාලසූරිය මහතා පැවසූයේ මෙවැන්නකි.
“බොහෝ අවස්ථාවල හමුදාව සටන් කරන්නේ අවි ආයුධ සමගයි. එවන් වටපිටාවක දේශීය උරැමයක් වූ අංගම්පොර ශිල්පය ඵලදායීව යොදවමින් මතු පරපුරට ආරක්ෂා කිරීමේ සද් අරමුණින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙම බාරදූර කාර්යයට මේ වනවිට උර දී සිටිනවා. අංගම්පොර කණ්ඩායමක් අපි මූලිකව ආරම්භ කළේ අපේ ගුවන් විහිදුම් බළකාය සහ විශේෂ බළකායට මෙම සටන් ශිල්පය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ අරමුණින්. ගුවන් හමුදා පුහුණුවේදී නිරායුධ සටන් පුහුණුව තිබුණත් ආයුධ සහිත සහ නිරායුධ ප්‍රහාර හමුවේ ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට දැනුවත් කිරීමට සහ මූලික පුහුණුවක් දීමට දේශීය අංගම්පොර සටන් කලාව යොදාගන්න අපි උත්සාහ කළා. අපි අංගම්පොර සටන් කලාවේ සංස්කෘතිකාංගවලින් යුත් කණ්ඩායමක් හැදුවා. ගුවන් හමුදා කණ්ඩායම ප්රසංගවලටත් ඉදිරිපත් වුණා. අතීතයේ දළදා වහන්සේගේ ආරක්ෂාවට අංගම් ශිල්පීන් යොදවා තිබෙනවා. එම අවස්ථාව නිරූපණය කරමින් මෙවර අපි දළදා පෙරහරට සහභාගි වුණා. අපි මෙම පුහුණුවේදී සිදුකරනුයේ අංගම්, වෙළංගම් පමණයි. මායම්ගම් නමැති ගුප්ත ශාස්ත්‍රය ඉගැන්වීමක් සිදු කරන්නේ නෑ. වත්මන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් මත දැනට 40 ක කණ්ඩායමක් පුහුණු කර සිටිනවා. ඉදිරියේදී තවත් 10ක නව පිරිසක් තෝරාගෙන පුහුණු කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මේ ආකාරයට අංගම්පොර ශිල්පය විධිමත්ව පුහුණු වී ගුවන් හමුදාවෙන් පිටව යන විනයානුකූල පරිණත ශිල්පීන් අනාගතයේදී සමාජයට වැඩදායක පිරිසක් බවට පත් වේවි යන පැතුම අපගේ තිබෙනවා.”
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංගම්පොර සටන් පුහුණුකරැ වශයෙන් කටයුතු කරනුයේ කොරතොට පාරම්පරික අංගම්පොර සටන් ශිල්පී ජයන්ත මහන්තආරච්චි මහතාය. මුල්ලේරියා සටනේදී වීරෝධාර නාමයක් තැබූ කොරතොට ආරච්චිලාගේ අංගම් පරපුරේ 7 වැනි පරපුර ඔහු නියෝජනය කරයි. ඔහු මෙම උත්සාහය සම්බන්ධයෙන් මෙසේ පැවසුවේය.
“අංගම් ශාස්ත්‍රයෙහි අංගම්, ඉලංගම් සහ මායම්ගම් යන තුන් වැදෑරැම් ලක්ෂණවලින් පරිපූර්ණ වෙයි. එහෙත් මෙහිදී පුහුණු කරනුයේ අංගම්වල සංදර්ශනාත්මක කොටස් පමණක්ය. බෞද්ධ වත්පිළිවෙත්වලින් සමන්විත අංගම්පොර ශාස්ත්‍රය හදාරන්නන් තෝරා ගැනීමේදී සිංහල බුද්ධාගමට මුල්තැනක් දුන්නද මෙහිදීත් එම වත්පිළිවෙත් බොහෝදුරකට අනුගමනය කරයි. අංගම්පොර ශාස්ත්‍රය ඉගෙනීමට සුදුස්සන් තෝරා ගන්නේ ඒ ඒ සිසුන්ගේ වේලාපත්කඩ එසේත් නැතිනම් හඳහන පරීක්ෂා කර බලා එය ඉගෙනීමට පිහිටීමක් ඇත්නම් පමණයි. ශනි කුජ ග්‍රහ යෝග හඳහනේ හොඳ ස්ථානගතව පිහිටීම සටන් කලාවේ ඉදිරියට යාමට හැකි ලක්ෂණ පෙන්වයි. එයට අමතරව ඥානය, මතක ශක්තිය, ශරීර ශක්තිය, ආයුෂ ආදියත් මෙම ශාස්ත්‍රය ඉගැන්වීමට සලකා බලයි. සාමාන්‍යයෙන් ඉහත කී සියලු දේ හඳහනේ සියයට 80 ක්වත් සපුරාලිය යුතු අතර ගුවන් හමුදාවේ සංදර්ශන අංගම්පොර කණ්ඩායම නිර්මාණය කිරීමේදී සැලකූ මූලික සුදුසුකම ඔවුන්ගේ හැකියාවයි. මෙය අංගම් ශාස්ත්‍රය යැයි වටහා නොගත යුතු අතර මෙහි පුහුණු කරනුයේ සංදර්ශනාත්මක අංග පමණකි. අංගම්පොර කලාව ආරක්ෂා කිරීමෙහිලා මෙම උත්සාහය බොහෝ සෙයින් වටී.”

ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ දඬුබස්නාමානය ටෙලිනාට්‍යයේ සුදාලිය වංශික අංගම්පොර දැනුම එම පරම්පරාවේ ඥාති පුත්‍රයකු විසින් රනා නමැති පරම්පරාවෙන් පිට වෙනත් කෙනකුට උගන්වනු ලැබූ වරදට රණමුරේ ආරච්චි සිය ගෝල ඥාති පුත්‍රයා කාල නිල ප්‍රහාරයකින් මරා දමයි. මෙයට හේතු වන්නේ අංගම් ශාස්ත්‍රය පරම්පරා රහසක් හැටියට පැවතීමත් එය නුසුදුස්සන් අතරට යාම වැළැක්වීමටත්ය. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංගම්පොර පුහුණුකරු ජයන්ත මහන්තආරච්චි මහතා මෙසේ පැවසුවේය.
“අංගම් ශාස්ත්රයේ නීති හැදෙන්නේ ඒ ඒ කාලයට අනුරෑපවයි. මෙරට අංගම්පොර තහනම් කිරීමෙන් පසු එය පාරම්පරික රහසක් විදිහට තබාගැනීමට ශාස්ත්‍රය දත්තෝ කටයුතු කළා. ගුරු කුලයෙන් පිටට නොදෙනවා කියන උප සංස්කෘතිය හැදෙන්නෙත් ඒ විදිහටයි. මෙහිදී සිදුවන්නේ ශාස්ත්‍රය ඉගැන්වීමක් නොවන අතර ශාස්ත්රයේ කොටස් ඉගැන්වීමකි. යම් යම් කාලවල හැදුණු අණපනත් කාලානුරූපව යහපත වෙනුවෙන් වෙනස් කරගැනීම වරදක් නොවේ.”
ශ්‍රී ලංකා පොලීසිය, හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල රාජකාරි කරන නිලධාරීන් විශ්‍රාම යාමේදී තමන් රාජකාරි කරන සියලු අවි ආයුධ උපකරණ ආයතනයට භාර දී යාම දෙපාර්තමේන්තු නියෝගවල සඳහන්ය. එහෙත් අවි ආයුධ භාරදී ගියද මෙම ක්‍රියාවලියේදී අංගම්පොර ශිල්පීන් නිවෙස්වලට යන්නේ සිය සටන් දැනුම සමගිනි. එය සමාජයක ආරක්ෂාවට කවරාකාර තර්ජනයක් වේදැයි මතු කළ පැනයට පිළිතුරු දෙමින් මොහාන් බාලසූරිය මහතා මෙසේ කීය.

“ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙරට විනයවත් ආයතනයක් හැටියට වසර විසි ගණනක සේවයක් ඉටුකර විශ්‍රාම ගන්නා නිලධාරියා පරිණත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්. එවන් නිලධාරියකුගෙන් සමාජයට අවැඩක් වේවි කියා අප සිතන්නේ නෑ. ඔවුන්ගෙන් සමාජයට අයහපතක් වේවි කියා සිතන්නේ නෑ. තමන් ලැබූ දැනුම නිවැරැදි දෙයට යහපත උදෙසා යෙදවීමට අවැසි ශික්ෂණය ගුවන් හමුදාව ලබා දී තිබෙනවා.”
සටන් උපක්‍රම ඉගැන්වීමේදී සටන් ක්‍රම කිහිපයක් උගන්වයි. ගැට පූට්ටු හරඹ යනු ප්‍රතිවාදියා අඩපණ කිරීමේ සිට මරණය දක්වාම ගෙන යා හැකි සටන් ක්රමයකි. මරණ විද්‍යාව යන කොටස නිශ්චිත යම් කාලයකදී මරණය උදාවන කාල නිල ප්‍රහාරය, මොහොතේම මරණය ළඟාවන මරු නිල ආදී වශයෙන් කොටස් 4 කට බෙදෙයි. ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ අංක 92.4 ප්‍රකාරව ආත්මාරක්ෂාවේ අයිතිය ක්‍රියා කර විය හැකි ප්‍රමාණය පිළිබඳව ‘ආරක්ෂාවේ කාර්යය සඳහා අවශ්‍ය වන ප්‍රමාණයකට හැර ඊට වඩා පීඩාවක් සිදුකිරීමට කවර අවස්ථාවකදී වුව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය නොපැවරේ’ යනුවෙන් සඳහන් වෙයි. මේ අනුව සලකා බලන කල ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අංගම්පොර සටන් ක්‍රමය හඳුන්වා දීම මගින් ප්‍රතිවාදියා එල්ල කරන ඕනෑම ප්‍රමාණයේ ප්‍රහාරයකට කාල නිල, මරු නිල වැනි ප්‍රහාර එල්ල කළ හැකිදැයි ප්‍රශ්නයක් මතුවෙයි. ශ්‍රී ලංකා ගුවන් හමුදා අංගම්පොර කණ්ඩායමට ඉහත කී මාරක නිල ඉගැන්වීමක් සිදු නොවන බවත් ඔවුන්ගේ රාජකාරි ආරක්ෂණ කටයුතු උදෙසා යෙදවීමට ‘විසඥ නිල’ යන ප්‍රතිවාදියා සිහි තොර කිරීමෙන් අඩපණ කිරීම යන සටන් ක්‍රමය පමණක් ජීවිතාරක්ෂාව උදෙසා උගන්වන බවත් පුහුණුකරු පැවසුවේය.
1818 ඉංග්‍රීසින් විසින් තහනම් කරනු ලැබූ අපේ අංගම්පොර සටන් කලාවේ සාරය මතු පරපුරට දායාද කරදීමෙහි ලා වත්මන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ප්රමුඛ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගන්නා උත්සාහය ප්‍රශංසනීයය. මෙහි දීප්තිය තවත් පුළුල් පරාසයක් පුරා විහිදීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය මැදිහත්වීම අත්‍යවශ්‍යය.
(ඡායාරූප සැපයුම සහ විශේෂ ස්තුතිය- ගුවන් හමුදා මාධ්‍ය අධ්යක්ෂ ඇතුළු මාධ්‍ය ඒකකය)
I සසංක චලන ගිම්හාන