
නීතිඥවරයා විසින් සුරැකුම්පත් නිකුත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දායකත්වයෙන් සකස් කළ තාක්ෂණ වාර්තාවක් නන්දලාල් වීරසිංහ මහතා වෙත ප්‍රශ්න කිරීම් හමුවේදී ඉදිරිපත් කළේය.
එවිට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා නැගීසිටිමින් පවසා සිටියේ අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ නීතිඥවරයා විසින් ඉදිරිපත් කරන තාක්ෂණ වාර්තාව ඉතා රහසිගත වාර්තාවක් බැවින් එය අර්ජුන් මහේන්ද්‍රන්ගේ අතට ලැබීම පිළිබඳව පරීක්ෂණයක් සිදුකළ යුතු බවය.
ඒ අවස්ථාවේ කොමිසමේ සභාපති කේ.ටී. චිත්රසිරි මහතා පවසා සිටියේ එම වාර්තාව ලැබුණේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීමට මහ බැංකුවට පරීක්ෂණයක් සිදුකරන ලෙසට දැනුම් දීමේ හැකියාවක් කොමිසමට තිබෙන බවය. එහිදී අර්ජුන් මහේන්ද්‍රන්ගේ නීතිඥවරයා ඊට එරෙහි වෙමින් පවසා සිටින්නේ මෙම වාර්තාව සම්පූර්ණ රහසිගත නොවන බවය. එහිදී කොමිසමේ සභාපති චිත්රසිරි මහතා පවසා සිටියේ එම වාර්තාව කොමිසමට අදාළ වන නිසා එයට එරෙහි නොවන ලෙසය. එසේම සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් පිළිතුරු දීමට නන්දලාල් මහතාට අවශ්‍ය උපදෙස් මහ බැංකු අධිපතිවරයාගෙන් දුරකතනය හරහා ලබාගැනීමට අවසර ලබදෙන ලෙසය.
ප්‍රශ්නවලට උත්තර දෙද්දි මාධ්‍ය එළියට
ඒ සඳහා විනාඩි 15කට කොමිසම කල්තබන අතර ඒ අතරතුර නන්දලාල් මහතාත් මහ බැංකු අධිපතිවරයාත් අතර දුරකතන සංවාදය සිදුවිය. නැවත විනාඩි 15කට පසුව කොමිසම ආරම්භ වූ අතර එහිදී නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපතිවරයා සමඟ සිදුකළ සංවාදය පිළිබඳ කොමිසම දැනුම්වත් කළේය.
එනම් එම වාර්තාව සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා දැනුම්වත් කළ විට ඔහු පවසා ඇත්තේ එම රහසිගත වාර්තාව පිටවීම බරපතළ කාරණාවක් බවය. එහෙත් එම වාර්තාව සම්බන්ධයෙන් පිළිතුරැ ලබාදීම සඳහා අවසරය ලබා දී තිබේ.
ඒ අනුව අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චානක ද සිල්වා පවසා සිටියේ අදාළ ප්‍රශ්න කිරීම් ආරම්භ කිරීමට පෙර මාධ්‍යවේදීන් සහ පිටස්තර පුද්ගලයන් කොමිසමෙන් පිටත් කරන ලෙසය. ඒ අනුව කොමිසමේ සභාපතිවරයා විසින් සියලු මාධ්‍යවේදීන් සහ පිටස්තර පුද්ගලයන් එළියට යවනු ලැබීය.
නැවත අඟහරුවාදා දිනයේ කොමිසම රැස්වුණි. එදින ද ප්‍රශ්න කිරීම සඳහා කැඳවනු ලැබ සිටියේ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතාය. එදින 2015 පෙබරවාරි 26 වැනිදා මහ බැංකුවේ උදෑසන පැවැත්වූ රැස්වීමක් පිළිබඳව කරුණු විමසන්නට විය.

රහසිගත ලිපිය සැකයට භාජනය වෙයි
නන්දලාල් මහතා පවසන ආකාරයට එම රැස්වීම සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාය. ඊට අමතරව කබීර් හෂීම් අමාත්‍යවරයාත් මලික් සමරවික්‍රම අමාත්‍යවරයාත් සහභාගි වී ඇත. ඊට අමතරව මහාමාර්ග අමාත්‍යංශයෙන් නිලධාරීන් කිහිප දෙනකු ද සහභාගි වූ බව වීරසිංහ මහතා පැවසීය.
මෙහිදී මහාමාර්ග අමාත්‍යංශයේ සංවර්ධන ව්‍යාපෘති නිමකිරීම සඳහා මුදල් ඉල්ලූ බව වීරසිංහ මහතා සඳහන් කළේය. කොපමණ මුදලක් ඉල්ලා සිටියාද යන්න මෙහිදී අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විමසා සිටියත් එය තමන් නොදන්නා බව වීරසිංහ මහතා පැවසීය. නැවත නීතිඥවරයා සඳහන් කළේ අදාළ මුදල දළ වශයෙන් පවසන ලෙසය. එහිදී වීරසිංහ මහතා දළ වශයෙන් රුපියල් බිලියන 75ක් ඉල්ලා සිටි බව සඳහන් කළේය.
එම අවස්ථාවේදී අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වීරසිංහ මහතාට ලිපියක් ඉදිරිපත් කළේය. එය ඉදිරිපත් කොට එහි වූ අත්සනක් පෙන්වා මෙය රවී කරුණානායක මහතාගේ නේදැයි විමසන්නට විය. එය වීරසිංහ මහතා විසින් පිළිගැනුණි.
කෙසේ වෙතත් ඒ සමඟම නැගීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා සඳහන් කර තිබෙන්නේ එම ලිපියේ කුමන මහ බැංකු අධිපතිවරයාටද, එසේම දිනයක්ද සටහන් වී නොමැති බවය. ඒ නිසා එම ලිපිය සැකසහිත බව ඔහු එහිදී සඳහන් කළේය. එයට පිළිතුරු දෙමින් මහේන්ද්‍රන්ගේ නීතිඥවරයා පවසා සිටියේ අදාළ ලිපිය ප්‍රශ්නසහගත නම් ඒ පිළිබඳ විමසීමට රවී කරුණානායක මහතා කොමිසම වෙත කැඳවන ලෙසය. එහිදී කොමිසමේ සභාපති චිත්රසිරි මහතා අසන්නේ එලෙස කැඳවීමට අවශ්‍යතාවයක් තිබෙනවාද යන්නය. එහිදී නීතිඥ චානක මහතා පැවසුවේ එවැනි අවශ්‍යතාවයක් නොමැති බවත් අවශ්‍ය නම් කොමිසමට කැඳවීමට අවස්ථාවක් ඇති බවත්ය.
කෙසේ වෙතත් එදින ද අලෙවි මෙහෙයුම් කමිටුවේ සිදුවීම පිළිබඳ ප්‍රශ්න කෙරුණු අතර එයට අර්ජුන් මහේන්ද්‍රන් සහභාගි වීමද ප්‍රශ්න කෙරුණි.
නැවත පසුගිය බදාදා කොමිසම කැඳවිණි. එදින ද ප්‍රශ්න කිරීම සඳහා නන්දලාල් වීරසිංහ මහතා කැඳවනු ලැබ සිටියේය.
එදින ප්‍රශ්න කිරීම සිදුවුණේ අදාළ බැඳුම්කර වෙන්දේසිය සිදු වූ දිනය සම්බන්ධයෙනි. වීරසිංහ මහතා පවසන ආකාරයට එදින අර්ජුන් මහේන්ද්‍රන් මහතා සමඟ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ගොස් ඇත.
එසේ යනවිටත් ආචාර්ය ආර්ෂින් මහතා, දීපා සෙනවිරත්න මහත්මිය සහ මුතුගල මහත්මිය යන අය මුණගැසී ඇත. එහිදී මහේන්ද්‍රන් විසින් අදාළ වෙන්දේසිය සම්බන්ධයෙන් කරුණු විමසා ඇත. එහිදී ආචාර්ය ආර්ෂින් මහතා කරුණු පැහැදිලි කර ඇත. වෙන්දේසියේදී ඉදිරිපත් වූ ලංසු සියල්ල ලබානොගත්තේ ඇයිදැයි මෙහිදී අර්ජුන් මහේන්ද්‍රන් මහතා විසින් විමසා ඇත. එහිදී ආචාර්ය ආර්ෂින් මහතා පවසා ඇත්තේ එසේ ලබාගතහොත් පොලී අනුපාතය ඉහළ යා හැකි බවත්, එසේම ව්‍යාජ ලංසු ද ලැබිය හැකි බවත්ය. ඊට පිළිතුරු දෙමින් අර්ජුන් මහේන්ද්‍රන්, එසේ නම් බිලියන 10ක ලංසු ලබාගනිමු යැයි යෝජනා කර ඇත. එහෙත් එයට කිසිවකු විරුද්ධ නොවූ බව වීරසිංහ මහතා සිය සාක්ෂියේ සඳහන් කර තිබුණි.
කෙසේ වෙතත් මෙලෙස මහ බැංකු අධිපතිවරයා වෙන්දේසිය වෙත යාම අසාමාන්‍ය බව දැනගත්තේ පසුව බවද ඔහු සඳහන් කර තිබුණි.
පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී කොමිසම හමුවට කැඳවනු ලැබුවේ මහා භාණ්ඩාගාරයේ විශ්‍රාමික මෙහෙයුම් අධ්යක්ෂ ජනරාල් එම්.එස්.සී. රණසිරි මහතාය. එදින ඔහු විශේෂ හෙළිදරව්වක් කරමින් පවසා සිටියේ මාර්ග සංවර්ධන කටයුතු සඳහා ගෙවීමට රුපියල් බිලියන 75ක මුදලක් අවශ්‍ය බව කියමින් මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ සඳහන් මුදලට අමතරව තවත් මිලියන 75ක් අවශ්‍ය බව කිසිවකු ඔහුට දැනුම් නොදුන් බවය. එවැනි ලිපියක් භාණ්ඩාගාරයෙන් මහ බැංකුවට යැවූ බවට 2015 පෙබරවාරි මාසයෙන් පසු අවස්ථාවක දැන නොසිටි බවත් හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් මේ වන විට අදාළ අත්සන් රහිත ලිපිය කොමිසමේ සැකයට භාජනය වී ඇත. ඒ නිසා ඉදිරි සාක්ෂි විමසීමේදී මේ ගැන අවධානයට යොමුකිරීමට කොමිසමේ නිලධාරීහු සූදානම්ව සිටිති. ඒ මහා බැඳුම්කර සොරකමට අමතරව නැගුණු තවත් ප්‍රශ්නයක් නිසාය.
ගයාන් ගාල්ලගේ