2022 සැප්තැම්බර් 25 වන ඉරිදා

උද්ධමන අතීසාරෙට සල්ලි කොළවලින් අමුඩ ගැසීම

 2022 සැප්තැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 08:00 144

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය තීරණාත්මක තැනක පසුවේ. ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් ලබාගත් ණය ගෙවාගන්නට නොහැකි වූ ආසියා පැසිපික් කලාපයේ පළමු රට බවට ශ‍්‍රී ලංකාව පත්ව ඇත. ආර්ථික ප‍්‍රශ්න ඉදිරියේ රටට අභ්‍යන්තර පීඩනයක් තිබේ. පසුගිය කාලයේ හටගත් අරගලය රට කොපමණ දුෂ්කර තැනකට පත්වීද යන්න සනාථ කරයි.

වෙළඳපොළට යන පාරිභෝගිකයෝ බඩු මිල ගැන විස්මයට පත්වෙති. ඇතැම් ආහාර ද්‍රව්‍ය මිල සති දෙකකට කලින් තිබුණ මටට්මට වඩා තරමක් පහත වැටී ඇති නමුත් සමස්ථයක් වශයෙන් මිල දෙගුණ තෙගුණ වී ඇත. උද්ධමනය, ඉන්ධන මිල ඉහළයෑම, පොහොර ප‍්‍රශ්නය හෙයින් නිෂ්පාදනය පහත වැටීම යනාදී වශයෙන් නොයෙක් කරුණු කියැවේ. අලුත් වාර්තා අනුව වසරේ දෙවැනි කාර්තුවේ ආර්ථිකය ඍණ 8.4කි. ඉදිරියේදී තවත් ගැටලුකාරී ද යන්න ජනතාව විමසිලිමත්ව සිටින අතර ආර්ථිකය නිසිමගට ගැනීම බලවත් අවශ්‍යතාවයකි.

• රජයේ ණය ගැනීම

මෙම දිනවල බැංකු පොලී අනුපාත ඉහළ ගොස් ඇත. වාණිජ බැංකු පොලී අනුපාත පහත වැටී තිබුණ කාලයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ කනස්සල්ලට පත්ව සිටි අතර වැඩි පොලී අනුපාත ඉල්ලා විරෝධතාවයෙහි නිරත වූහ. බැංකු පොලී තැන්පත් සාමාන්‍ය අනුපාත සියයට නමය නොඉක්මවා තිබුණි. පසුව එකල පැවැති ආණ්ඩුව කළේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අතිරේක පොලියක් මහා භාණ්ඩාගාරයෙන් ගෙවීම බව මතක් කළ යුතුය. එම අනුපාතය සියයට 15 ක් විය. දැන් බැංකුවල පොලිය සියයට 23 කි. වාණිජ බැංකුවල ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් අරඹන ලද වැඩිහිටියන්ට වඩා පොලී ආදායමක් සාමාන්‍ය තැන්පත්වලට පවා ලබාගත හැකි වී තිබේ. ශ‍්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සමග බැංකු කටයුතු වෙනස් වී ඇති ආකාරය මෙයින් පැහැදිලි වේ.
වාණිජ බැංකු මෙපමණ වැඩි පොලියක් ගෙවා තැන්පත් භාරගන්නේ ඇයි? වැඩිම කොටසක් රජයේ ණය ගැනීමේ ක‍්‍රියාවලියට වෙන් කරන්නන්ට සිදුවී ඇති බව පෙනේ. රජයේ ආදායමෙන් සියයට අසූවක් වැටුප් හා විශ‍්‍රාම වැටුප් ගෙවන අතර ණය පොලිය සඳහා තවත් රජයේ ආදායමෙන් සියයට හැත්තෑවක පමණ ප‍්‍රතිශතයක් වෙන් කරන්නට සිදුවී ඇති පසු වෙනත් දෙයක් කරන්නට ආණ්ඩුවට වත්කමක් නැත. ආර්ථික ක‍්‍රියාකාරීත්වය පහත වැටෙන විට රජයේ ආදායම තවත් අඩුවේ. පිරිහෙන ධනය පිරිමසා ගැනීම සඳහා වහ වහා භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරන ආණ්ඩුව ඒවා පියවන්නේ අලුත් මුදල් නෝට්ටුවලින් බව පෙන්වා දිය යුතුව ඇත.

වාර්තා දක්වන පරිදි 2020 වසරේ අලුත් මුදල් නෝට්ටු මුද්‍රණය රු. බිලියන 505 කි. මෙම වසරේ පළමු කාර්තුවේ පමණක් රු. බිලියන 588 ක අලුත් මුදල් නෝට්ටු මුද්‍රණය කර ඇති බව නිල වාර්තා දක්වයි. 2022 වසරේ සිට 2022 මාර්තු දක්වා කාලය ඇතුළත පමණක් අලුත් රු. ට්‍රිලියන 2.3 ක මුදල් නෝට්ටු මුදණය කර ආණ්ඩු ලබාගත් ණය හා ඒවායේ පොලිය ගෙවා ඇති බව දැක්වේ. 

• උද්ධමනයට හේතු

මුදල් වැඩිපුර සංසරණයට එකතුවන පසු උද්ධමනකාරී තත්ත්වයක් ඇතිවේ. ජනතාවගේ අතට මුදල් ලැබුණ පසු ඒවා තරමට භාණ්ඩ අවශ්‍යතා වර්ධනය නොවේ. මුදල් බහුලවන විට එයට සාපේක්ෂව බඩු මිල ඉහළ නගී. ඉන්ධන වියදම, විදුලිය ගාස්තු, බස් ගාස්තු වැඩි බව මහජනතාවට දැනෙන කාරණයකි. මේවා තුළ ජාත්‍යන්තර සැපයුම අවහිරවීමෙන් හෝ ඩොලර් අවප‍්‍රමාණයෙන් ඇති පීඩනය පමණක් නොව රට තුළ සංසරණය වන මුදල් ප‍්‍රමාණය ඉහළයෑමෙන් සිදුවන අවාසියද සැඟවී ඇත. 
පසුගිය දශක හත තුළ වාර්තා නොවූ උද්ධමන අනුපාතිකයක් දැනට දක්නට ලැබේ. ජූනි මාසයේ ජීවන වියදම් දර්ශකයේ වැඩිවීම සියයට හැටකි. අවුරුද්කට කලින් තත්ත්වය සමඟ සසඳනවිට ආහාර මිල වැඩිවීම සියයට 90.9ක් බව දැක්වේ. එයට කලින් එනම් මැයි මාසයේ ආහාර ද්‍රව්‍ය මිල ගණන් වැඩිවීම සියයට 80.1ක් ව තිබුණ බව මතක් කළ යුතුය.

අය වැය අතුරු වාර්තාවක් ඉදිරිපත් කළ ජනාධිපති හා මුදල් අමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා 2024 වසරේ සිට මුදල් අච්චුගැසීම නතර කරන බව දක්වා ඇත. එවැනි පියවරක් ඉතාම වැදගත්ය. එකී අභිලාෂය සාක්ෂාත් කරගැනීම සඳහා රජයේ ණය ගැනීමේ සීමාව පාලනය කරගත යුතුව තිබේ. විශේෂයෙන් මෙම තත්ත්වය බලපාන්නේ දේශීය වශයෙන් ගන්නා ණය සඳහා බව මතක් කිරීම අවශ්‍යය. දැනට රට තුළ පවතින තත්ත්වය අනුව බදු ආදායම පහත වැටී ඇති අතර වැඩිපුර ආදායමක් සඳහා අලුතින් ගතහැකි ක‍්‍රියාමාර්ග සීමාසහිතය. අලුත් කර්මාන්ත හෝ ව්‍යාපාර ඇතිකරන ආර්ථිකය සක‍්‍රීය කරන පියවරකට හැර රජයේ දේශීය ණය ගැනීමේ ක‍්‍රියාවලිය පාලනය කළ නොහැක. 

• ජාත්‍යන්තර පණිවුඩය 

ලෝක ආර්ථිකය දුබලවන අවස්ථාවක ශ‍්‍රී ලංකාවෙන් ඉසුරු අපේක්ෂා කළ නොහැකිය. ලෝකයේ සෑම රටකම ආදායම දරුණු අන්දමට අඩු වී තිබේ. කොවිඩ් අර්බුදයෙන් පසු නැගී සිටිනු ඇතැයි අපේක්ෂා කළ නමුත් රුසියාව යුක්රේනය අතර ගැටුම ලෝකය අනෙක් පසකට හරවා ඇත. තෙල්, පොහොර සහ ආහාර නිෂ්පාදනය, අර්බුදයකට පත්කර තිබේ. රටවල් අතර ගැටුම් සිදුවන විට ඒවා බලපාන්නේ ශ‍්‍රී ලංකාව වැනි කුඩා රටවල් වලට බව දැක්විය යුතුය. 

ලෝකයේ දුප්පත් ජනගහනය මිලියන තුන්සියයකින් වැඩි වී ඇති අතර දරුණුතම දරිද්‍රතාවයකට පත්ව ඇති පිරිස මිලියන 75ක් බව දැක්වේ. ශ‍්‍රී ලංකාවේ පවා ජනගහනයෙන් සියයකට හතළිහකගේ ආදායම අඩු වී ඇති බව ලෝක බැංකුව ප‍්‍රකාශ කර ඇත. එයට සමාන්තරව සහනාධාර සැපැයිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී තිබේ. සහන සපයන්නට නම් රජයේ ආදායම ඉහළ යා යුතුය. රටට ආදායම ලැබෙන සියලු අංශ අවහිර වී තිබේ. කර්මාන්ත හා ව්‍යාපාර ආදායම සීමා සහිත වන විට රජයට ගෙවිය හැකි බදු අඩුවෙයි. බඩු විකිණෙන්නේ නැති වෙළඳ පොළක පිරිවැටුම අඩුය. ප‍්‍රාදේශීය සභාවේ සිට මහා භාණ්ඩාගාරය දක්වා සෑම තැනෙකම ආදායම හීන වී තිබේ. වියදම පාලනය කරගත නොහැකි තැනකය. 

ණය ගෙවීම වෙනුවෙන් කිසිම අලුත් අදහසක් නැත. අලුත් ව්‍යාපාර හෝ කර්මාන්තවලට අවකාශය සීමිතය. රජයේ ව්‍යවසාය පවා අතිශය පාඩු ලබයි. ඒවා චක‍්‍රීය ණය ගැටලුවක බව පෙනේ. තෙල් සංස්ථාවට විදුලිය බල මණ්ඩලය ගෙවිය යුතු අතර ඒවා නොගෙවන නිසා වරායට මුදල් අහිමි වී තිබේ. රජයේ ආයතන හා සාමාන්‍ය පාරිභෝගිකයන්ගෙන් අති විශාල මුදලක් විදුලිය බල මණ්ඩලයට අය විය යුතුය. නොලැබෙන මුදල් වෙනුවෙන් දේශීය බැංකුවලින් ගන්නා ආයතනික ණයවලට දිනකට මිලියන ගණනින් පොලිය ගෙවන බව වාර්තා වෙයි. මෙම රාමුව වෙනස් කරන්නේ කොතැනින්ද? එකක් කඩා ලිහා ගතහොත් දෙකක් තැන්වල අවුල් ඇතිවෙයි. රජයේ ආදායම තරකර නොගෙන කිසිම පියවරකට යා නොහැකිය.

• බදු වැඩි කරන්නේ ඇයි?

පවතින සංකීර්ණ ව්‍යුහය වෙනස් කරන්නට ආණ්ඩුව තීරණයක් ගෙන ඇති අතර මූල්‍ය අරමුදල ඇතුළු සංවිධාන එයට බලකරන බව පෙනේ. පසුගිය කාලයේ වැඩිම ආධාර සැපයූ ඉන්දියාව පවා ශ‍්‍රී ලංකාවේ ගමන ගැන අවධානයෙන් සිටින බව පැහැදිලි කරයි.  මුදල් අච්චු ගැසීම පහසුය. නමුත් දරුණු උද්ධමන ප‍්‍රතිවිපාක ඇතිවෙයි. 

මෙම රාමුව වෙනස් කළ හැකිය. නැවත නැවතත් ණය නිකුත් කර ඒවායෙන් පැරණි ණය ගෙවා දැමීම කිසිසෙත් නුවණට හුරු කාරණයක් නොවේ. පවතින විෂම පැවැත්ම වෙනස් කළ යුතුය. ආදායම හා වියදම ගලපා ගත යුතු අතර ණය ගැනීම් පාලනය ඉතාම වැදගත්ය. එය කරන්නේ කෙසේද? අධික ණය ගැති තැන් වලට විසඳුම් නිර්මාණය කළ යුතුව තිබේ. රටේ ව්‍යවසාය අලාභ වාර්තා කරනවිට රජයේ ආදායම යහපත් වෙන්නේ නැත. පළමුවෙන් අය වැය පාලනය කරගත යුතුව ඇත. ආදායම වැඩි නොවන පසුබිමක වියදම අවම කරගත නොහැකි ඇයි? 

අතුරු අයවැය මගින් බදුද වැඩිකර තිබේ. වැට්බද්ද සියයට 12ක සිට සියයට 15 දක්වා වැඩි කරයි. එමගින් අතිරේක ආදායමක් අපේක්ෂා කෙරේ. එම බදු වැඩි කිරීම විදුලිය, ජලය හා දුරකථන සේවාවලටද බලපා ඇත. එයින් නැවත වතාවක් ජනතාවට ප‍්‍රශ්න ඇති වන නමුත් මේ මගින් හෝ මුදල් අච්චු ගැසීම නරක බව වටහා ගැනීම වැදගත්ය. එය නොපෙනෙන අර්බුදයකි. 

ආණ්ඩුව ජනතාව හමුවට ගොස් යථාර්ථය පෙන්වා ආර්ථිකයේ නිසි ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දීම වැදගත්ය. අඩුම තරමින් රජයේ බැරි බර පැත්තකින් තැබීම සුදුසුය. ආයෝජනයට විශාල අවස්ථා ලැබෙන පරිදි ලිහිල් තැන් ඇති කිරීම වැදගත්ය. කිසිම දෙයක් වෙනස් කරන්නට නොදෙන විරෝධතාවලින් මුදල් අච්චු ගැසීම වළක්වන්නට හැකියාවක් නැත. විපක්ෂ දේශපාලන පක්ෂ පවා මෙම යථාර්ථය වටහා ගත යුතුව ඇත. ජාතික සම්පතක් බව කියා රටම කොටු කරගෙන ඇත. 

රටට අවශ්‍ය අලුත් ධනෝපායන මාර්ග වන අතර එයට සුදුසු පරිසරයක්, ආයෝජන විශ්වාසයක් ඇති කරන පියවර වහා අවශ්‍ය කෙරේ. ඇඟලුම් කර්මාන්තය ආරම්භ කිරීමෙන් පසු මෙතෙක් අලුත් ආකාරයේ අපනයන ක්ෂේත‍්‍රයක් රටට හමු වී නැත. පළමුව රට තොරතුරු තාක්ෂණ හා පරිගණක මෘදුකාංග අංශයේ වර්ධනයක් පෙනේ. මේවා අලුතින් ප‍්‍රවර්ධකය කර ගත හැකි අතර මුදල් අච්චු ගැසීම වෙනුවට කළ හැකි විකල්ප දේ සඳහා රට පෙළඹවීම සියලු පාර්ශ්වවල වගකීමකි.

 සාරා කන්දෙගොඩ