
සිරගෙවල්වල රඳවා සිටින්නේ ද රටේ ජනතාව අතරින් පිරිසකි. මිනිසුන් වීම නිසාම සිදු කළ යම් අතපසුවීම් හා වැරදි හේතුවෙන් සැකකරුවන් හෝ වරදකරුවන් වූ පසුව ඔවුහු එහි රඳවා සිටිති. ''සිරකරුවෝද මනුෂ්‍යයෝය'' යන්න බන්ධනාගාරයේ ප්‍රසිද්ධ පාඨයකි. නමුත් කල්දේරම් බත් කමින් ලගින සිරකරුවන්ට විඳින්නට සිදුවන දුක් ගැහැට මිහිපිට අපායක් තරම් බවට තොරතුරු වාර්තා වෙයි.
මෙම පිරිස රටේ පවතින පොදු නීතිය හමුවේ වැරදි ක්‍රියාවක නිරතවීම නිසා නීති ප්‍රකාරව දඬුවමක් වශයෙන් ඔවුහු මහඋළු ගෙදර රඳවා සිටිති. මේ අතර කිසිදු වරදක් නොමැති සැකකරුවන් වශයෙන් නම් කළ පිරිස් ද එහි අපා දුක් විඳිති.
රටේ විවිධ තරාතිරමේ පුද්ගලයන් මේ මහඋළු ගෙදර රඳවා සිටින අතර ස්ත්‍රී පුරුෂ, ගිහි පැවිදි, දුප්පත් පොහොසත්, ප්රභූවරු, දේශපාලනඥයෝ, කලාකරුවෝ, වෘත්තිකයෝ ඇතුළු සැවොම උගත් නූගත් භේදයකින් තොරව සිරකරුවෝ ලෙස නම්කර සිටිති. බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මේ ආකාරයට 2022 වර්ෂය ආරම්භයත් සමඟ මේ දක්වා බන්ධනාගාර ගතවන්නන්ගේ සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස වර්ධනය වී තිබෙන බවය. ඒ බව සනාථ කර ගැනීම සඳහා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතාගෙන් සිදු කළ විමසීමේදී ඔහු කියා සිටියේ මෙරට බන්ධනාගාරවල රඳවා තැබිය හැකි සමස්ත රැඳවියන් ගණනට වඩා දැනට බන්ධනාගාර ගතව සිටින පිරිස 180% කින් ඉහළ ගොස් ඇති බවය. ඇතැම් බන්ධනාගාරවල මේ තත්ත්වය 200% කින් හෝ 300% කින් ඉහළ ගොස් ඇති බවද ඔහු පැවසීය.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසූ පරිදි මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ රඳවා තැබිය හැකි සමස්ත රැඳවියන් සංඛ්‍යාව 13,200 කි. එහෙත් මේ වනවිට අදාළ ප්‍රමාණය ඉක්මවා 24,000කට අධික පිරිසක් බන්ධනාගාර ගතව සිටීම ඛේදජනකය. මෙම රුඳවියන් අතර සැකකරුවන් ලෙස රඳවා සිටින සංඛ්‍යාව 15,000ක් පමණ වෙති. වරදකරුවන් වශයෙන් රඳවා සිටින පිරිස 9000 ක් පමණ බවද වාර්තා වෙයි. මේ අතර විශේෂම කාරණය වන්නේ රැඳවියන් අතර පුද්ගලයන් 7500කට ආසන්න පිරිසක් මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් සිරගත වී සිටීමය.
මේ ආකාරයට ඉදිරියේදීත් වර්ධනය වන රැඳවියන් ප්‍රමාණය හේතුවෙන් ලබන වසරේදී ඔවුන්ගේ ආහාර සඳහා වන වියදම රුපියල් බිලියන 4.7ක් දක්වා ඉහළ යනු ඇති බවට ගණන් බලා ඇත. එම පිරිවැය රජය විසින් කෙසේ හෝ දැරිය යුතුව තිබේ.
පවතින තත්ත්වය මත සැකකරුවන් වශයෙන් රඳවා තබන රුඳවියන්ගේ නඩු කටයුතු කඩිනම් කිරීමට හැකි නම් එය කාලෝචිත ක්රියාමාර්ගයකි. සැකකරුවන් අතර අඩක් හෝ නිවැරදිකරුවන් වුවහොත් අවමය 7500ක පමණ පිරිසක් නිදහස ලබා බන්ධනාගාරයෙන් පිටව යනු ඇත.
සිරකරුවන් භාරයේ තබාගැනීම, ආරක්ෂාව රුකවරණය ලබාදීම, නිවැරදි මගට ගැනීම, පුනරුත්ථාපනය හා සමාජගත කිරීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වගකීමකි. එම නිසා සැකකරුවන්ටත් වරදකරුවන්ටත් සිරගෙදර මිහිපිට අපායක් නොකර ඔවුන් යහපත් පුරවැසියන් ලෙස සමාජයට දායාද කිරීමට ඇවැසි ක්‍රියාමාර්ග ගත යුතුව තිබේ.
සමන්ත ප්‍රදීප් විල්තෙර