
මේ සාහිත්‍ය මාසයයි. සැප්තැම්බර් මාසයේදී පුරා දින 10ක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන ජාතික පොත් ප්‍රදර්ශනය මේ වනවිට ඉතා සාර්ථක ලෙස පැවැත්වේ. වසරක් නොපැවැත්වුණු පොත් ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන අතර ඒ සඳහා විශාල පාඨක පිරිසක් දිනපතා පැමිණෙති. සෑම දිනකම උදෑසන නවයට ආරම්භ වන පොත් ප්‍රදර්ශනය රාත්‍රී හත දක්වා විවෘතය. විශේෂයෙන් සති අන්ත දිනවලදී ද සවස් කාලයේදී ප්‍රදර්ශනය නැරඹීම සඳහා විශාල පිරිසක් පැමිණෙන බව සංවිධායක මණ්ඩලය පවසයි.
''වෙන වසරවලදී මෙන්ම මෙවරත් ප්‍රදර්ශනයට පැමිණෙන පිරිසේ ලොකු අඩුවක් දකින්න ලැබෙන්නෙ නැහැ. නමුත් ප්‍රදර්ශන කුටියට පිරිස ආවට අපේ අලෙවියේ යම් අඩුවක් තියෙනවා. ග්‍රන්ථවල මිලෙහි වෙනදාට වඩා වැඩිවීමක් තියෙනවා. මෙතනට පැමිණෙන අය අඩු මිලට පොත් බලාපොරොත්තු වෙනවා. නමුත් නව මුද්‍රණය කරපු පොත්වල මිලෙහි වැඩිවීමක් තියෙනවා. හැබැයි මෙතනට අපි අඩු මිල යටතේ තියෙන පොත් තමයි වැඩිපුරම ගෙනත් තියෙන්නෙ. එයිනුත් අලෙවියේ අඩුවක් තියෙනවා. මේ වසරේදී අලුතින් මුද්‍රණය වුණු පොත් තිහකට ආසන්න සංඛ්‍යාවක් අපේ පොත් අලෙවි කුටියේ තියෙනවා. හැම වසරකදීම අපි මුද්‍රණය කරන්නේ විශාල පොත්. බෞද්ධ සංස්කෘතිය විකාශය උදෙසා කරන පොත් නිසා පොතේ ප්‍රමාණය අනෙකුත් පොත්වලට සාපේක්ෂව විශාලයි. ඒ නිසා එහි මිල අනෙකුත් පොත්වලට සාපේක්ෂව වැඩියි. නමුත් එම ග්‍රන්ථ මිලදී ගන්න මෙම අලෙවි කුටිය හොයාගෙන එන පිරිසක් ඉන්නවා.'' බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අලෙවි කුටියේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නාලක බණ්ඩාර මහතා දේශයට එසේ පැවසීය.

රුපියල් විස්සක ටිකට් පතක් ලබාගන්නා බොහෝ පාඨකයන්ගේ අතෙහි ඇත්තේ පොත් ප්‍රදර්ශනයේ කුටි සම්බන්ධයෙන් සඳහන්ව ඇති දැන්වීම් සටහන් පතකි. ඇතැමුන් තමන්ට අවශ්‍ය පොත් මිලදී ගැනීමට එම සටහන් පතට අනුව අලෙවි කුටි සොයාගෙන යන අතර ඇතැම්හු සෑම අලෙවි කුටියකයටම යමින් තමන්ට අවශ්‍ය පොත්පත් මිලදී ගනිති. පොත්පත් මිලදී ගැනීමට එන පාඨකයන්ගේ අඩුවක් දක්නට නැත.
''අපි හිතුවාට වඩා සාර්ථක ප්‍රතිඵල තියෙනවා. පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සාමාජිකයන් විදිහට මේ රටේ මිනිසුන් ගැන මම අවංකව සතුටු වෙනවා. මෙච්චර ආර්ථික උද්ධමනයක් තියෙන රටක පොත් තමන්ගේ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් කර ගනිමින් තාමත් පොතපතට ආදරය කරන අහිංසක මිනිසුන්ට අවංකවම හදවතින්ම ගරු කරනවා. මේ වගේ ප්‍රශ්නයක් රට තුළ තියෙන වෙලාවක මෙවර පොත් ප්‍රදර්ශනය කරන්න සූදානම් වෙද්දි අපේ හිත්වලත් දෙගිඩියාවක් තිබුණා. නමුත් ලංකාවේ තවමත් පොතපතට ආදරය කරන මිනිසුන් ඉන්න බව අපි විශ්වාස කළා. ඒක අද අපේ මිනිසුන් ලෝකයටම පෙන්වලා හමාරයි. අද වෙද්දි කඩදාසි හිඟයක් තියෙනවා. ඒ වගේම තියෙන කඩදාසි ලොකු මිලක් වෙනවා. පොත් මිල කිරීමේදී දැඩි අපහසුතාවයකට අපිට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. ඒ නිසා වර්ණ ග්‍රුෆික් ආයතනයෙන් මේ වසරේදි සීමිත පිටපත් ප්‍රමාණයක් තමයි මුද්‍රණය වුණේ. මගේ පොත් තුනකුත් බාහිර ලේඛක ලේඛිකාවන් කිහිප දෙනකුගේ පොත් කිහිපයකුත් මෙවර මුද්‍රණය වුණා.'' වර්ණ ග්‍රුෆික් සහ ප්‍රකාශකයෝ හි අධිපති මොනිකා පුෂ්පකුමාරි මහත්මිය අපට එසේ පැවසුවාය.
පොත් අලෙවි කුටිවලට අමතරව විවිධ කෑම බීම සහිත කුටි ද මෙවරත් පවත්වාගෙන යයි. බොහෝ පොත් අලෙවි කුටිවලින් 10% ක හා 20% ක වට්ටමක් හිමිවන අතර පසුගිය වසරවලදී තරම් වට්ටම් ලබා නොදීම සුවිශේෂත්වයකි.

''අපි මෙවර පුළුවන්කමකට ආවේ නැහැ. හැම වසරකම පොත් ප්‍රදර්ශනයේ අලෙවි කුටියක් තියෙන නිසා තමයි මෙවරත් අපි මෙතනට ආවේ. ඇත්තම කිව්වොත් මෙතනට නෑවිත් ඉන්න ලෝබ හිතුණා. හැබැයි ඒ සල්ලිවලට ලෝභකමෙන් නම් නෙමෙයි. මේ ආදරණීය පාඨකයන්ගේ ආදරය සජීවීව අපිට විඳින්න ලැබෙන්නේ මේ පොත් ප්‍රදර්ශනයේදියි. ඔවුන් පොතපතට, ඒ චරිතවලට දක්වන ආදරය ගැන අදහස් හුවමාරු කර ගන්නේ මේ පොත් ප්‍රදර්ශනයේදියි. පොතක් කියවලා අපිව මෙතනට හොයාගෙන එන පිරිසක් ඉන්නවා. මෙවර මිනිසුන්ට ආර්ථික ප්‍රශ්න, කරදර බොහොමයකට මුහුණ දෙන්න සිදු වුණා. අදටත් මුහුණ දෙනවා. ඉස්සර අපි ඕන එකත් ගත්තා. එපා එකත් ගත්තා. නමුත් අද එහෙම බැහැ. හැබැයි මේ මිනිසුන් අද ඇවිත් ඉන්නේ ඔවුන්ට ඕන දේ රුගෙන යන්නයි. ඒ අය ගැන ඇත්තටම මට හරි පුදුමයි. මම ඔවුන්ට මගේ ගෞරවය ලබා දෙනවා. මම වුණත් අලුතින් පොතක් මුද්‍රණය කරන්න බය වුණා. ලියපු පොත් කිහිපයක්ම තිබුණත් ඒවා මුද්‍රණය කළේ නැහැ. ඒ මිල පාඨකයන්ට දරාගන්න බැරිවේවි යැයි හිතුවා. නමුත් (අග පිපි මල්), (කන්දක් සේ මා) සහ (මධුර මන්තර) පොත් තුන හැම වසරකදිම පොත් ප්‍රදර්ශනයේ නැතිවම බැරිවුණු පොත් තුනක්. ඒ නිසා මේ පොත් තුන අමාරුවෙන් නැවතත් මුද්‍රණය කළා. ඉස්සර එක පොතක් පිටපත් දෙදහක් නැවත මුද්‍රණය කළා. නමුත් මෙවර මුදල් සහ කඩදාසි ගැටලුව නිසා පොත් දෙකක් දහස බැගින් හා එක් පොතක් පිටපත් පන්සීය බැගින් නැවත මුද්‍රණය කළා. ඒ පොත් තුනට පමණක් නැවත මුද්‍රණය කරන්න ලක්ෂ නවයක් වැය වුණා. මේ වෙද්දි ඒ පොත් තුනෙත් බොහෝ පිටපත් විකිණී හමාරයි.'' යැයි සුමිත්‍රා රාහුබද්ධ මහත්මිය දේශයට පැවසුවාය.
''මේ සැරේ අපි බලාපොරොත්තු වුණාට වැඩි පිරිසක් පොත් ප්‍රදර්ශනයට ඇවිත් ඉන්නවා. රටේ ආර්ථිකයත්, පවතින විවිධ ගැටලු සහගත තත්ත්වයත් නිසා පොත් අලෙවි කුටි මේ පාර තිබුණෙ නැහැ. බොහෝ අය මෙවර පාඨකයන් එන්නෙ නැති වේවි යැයි විශ්වාස කළා. හැබැයි හිතුවට වඩා පාඨකයන් පිරිසක් එනවා. පොත් අලෙවි වෙනවා. වෙන වසරවලදි මගේ නවකතා පොත් තුනකට වැඩි සංඛ්‍යාවක් නව මුද්‍රණය වුණා. නමුත් කඩදාසිවල ගැටලු සහගත තත්ත්වය නිසා මෙවර මගේ එක් නව මුද්‍රණයක් පමණයි සිදු වුණේ. ඊට අමතරව වෙනත් ලේඛක ලේඛිකාවන් කිහිප දෙනකුගේ පොත් ද අපේ ආයතනයෙන් මුද්‍රණය වී ප්‍රකාශයට පත් වුණා.'' යැයි )සිලිකා ප්‍රකාශකයෝ) හි අධිපති මනෝරි සිලිකා වික්‍රමආරච්චි මහත්මිය දේශයට පැවසුවාය.
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා ඈත ගම්වල ජීවත් වන පාඨකයෝ බොහොමයක් ද පැමිණෙති. පොත්වලට ලැබෙන වට්ටම මෙන්ම, තමන්ට තම ගමේ පුස්තකාලයට පමණක් නොව, පාසලට පොත් මිලදී ගැනීමට පැමිණෙන පිරිස ද වෙති.
''මම ඇඹිලිපිටිය සංඛපාලේ ඉඳන් මේ පොත් ප්‍රදර්ශනයට ආවේ. අපි උදේ පාන්දර දෙකට ඇඹිලිපිටියේ ඉඳන් ආවේ. මේ පළවෙනි වතාවට තමයි මේ පොත් ප්‍රදර්ශනයට ඇවිත් පොත් ගත්තේ. මේ වෙද්දි රුපියල් දහනව දහසකට වැඩි මුදලකට පොත් ගත්තා. තවත් පොත් කිහිපයක් ගන්න තියෙනවා. මම කැමැති පොත් වගේම මගේ බබාලා කැමැති පොත් කිහිපයකම නම් ලියාගෙන ඇවිත් තමයි මෙතනින් පොත් ගත්තෙ. හැම අවුරුද්දකට පොත්වලට මම යම් මුදලක් වැඩි වෙනවා. මම කාගේ හරි උපන් දිනයකට තෑගි දෙන්නෙත් පොතක්. ඒ නිසා මේ ලැබුණු වට්ටමත් එක්ක මම අද ගෙදර යන්නෙ සතුටින්. මේ පොත් මම විතරක් නෙමෙයි, අපේ ගමේ අහළ පහළ අයත් කියවනවා.'' යැයි ඇඹිලිපිටිය සිට පොත් ප්‍රදර්ශනයට පැමිණි හර්ෂණී මහත්මිය දේශයට පැවසුවාය.
දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ