
ඩොලර් අර්බුදය හමුවේ පසුගිය දිනවල අපේ රටේ පාරිභෝගික භාණ්ඩවල මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියේය. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන්ම දිනපතා සෑම ජන කොටසකටම අවශ්‍ය වන සෑම භාණ්ඩයකම මිල වැඩි විය. මේ අතර රජය මගින් වෙනදා නොතිබූ අානයන පාලනයක් ඇති කිරීම නිසා මෙම මිල ඉහළ යාම තව තවත් වේගවත් විය. සමහර ආහාර ද්‍රව්‍ය, කේක්, බිස්කට්, පැණිරස කෑමවල මිලද හතර පස් ගුණයකින් ඉහළ නැගුණේ දවසට දෙකටය. ඇතැම් කූට වෙළෙන්දෝ මෙම තත්ත්වය දඩමීමා කරගෙන තමන් අත තිබූ සියලුම ද්‍රව්‍යවල මිල අසාධාරණ ලෙස ඉහළ නැංවූහ. ඇසුරුම්වල මුද්‍රණය කර තිබූ මිල ආවරණය කරමින් අලුත් ලේබල් ඇලවීම ජයටම සිදුවිය. මෙලෙස මිල වැඩිකළ ද්‍රව්‍ය අතර ඖෂධ සහ උපකරණ ප්‍රධාන තැනක් ගත්තේය.
දිනපතා දුප්පත් පොහොසත් සෑම දෙනාටම නැතුවම බැරි දත් බෙහෙත්, දත් බුරුසු, සෝදන සබන් සහ ඇඟ ගල්වන සබන්, සබන් කුඩු, නාන කාමර විෂබීජ නාශක ද්‍රාවන, සුවඳ ආලේපන වර්ග, රුවල බාන උපකරණ ආදී බොහෝ දේවල් ජනතාවට දරා ගැනීමට නොහැකි ලෙස ඉහළ ගියේ නිෂ්පාදකයන් හා වෙළෙඳුන්ගේ ''වැඩ කිඩ'' පෙන්වමිනි. මේ හැරුණු විට තිරිඟු පිටි මිල රුපියල් 300 දක්වා ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස, සියලුම බිස්කට් වර්ගවල මිල ඉතාම අසාධාරණ ලෙස ඉහළ නැංවීය. පිටි කිලෝවක මිල වැඩිවීම රුපියල් 200ක පරාසයක් තුළ සිදුවුවද එය පාදක කරගෙන යැයි පවසමින් බිස්කට් මිල විශාල ලෙස වැඩි කිරීමට නිෂ්පාදන සමාගම් කටයුතු කළේය. ඇතැම් සමාගම් වෙළඳසල්වල අලෙවි කිරීමට තබා තිබූ තොග ආපසු රුගෙන ගොස් ඒවාම අලුත් දැවටුම්වල බහා දෙතුන් ගුණයක මිල වැඩිකර අලෙවියට තැබීමට තරම් ආත්මාර්ථකාමී විය. බිස්කට් මිල අසාධාරණ ලෙස ඉහළ නැංවීමේ ප්‍රතිඵලයක් ලෙස පාරිභෝගිකයන් විරෝධය පළකර බිස්කට් මිලට ගැනීමෙන් වැළකීම දක්වා තත්ත්වය උග්‍ර විය.
මෙහිදී නිෂ්පාදකයන් දෙආකාරයකින් පාරිභෝගිකයා සූරා ගන්නට උපක්‍රමශිලී වූ බව පෙනෙන්නට තිබුණ. එකක් වන්නේ ඇසුරුමේ බර අඩු කිරීමය. ග්‍රෑම් ගණන අඩු කිරීමය. ඊළඟට කළේ මිල ඉහළ නැංවීමය. මේ දෙආකාරයකින් අසරණ පාරිභෝගිකයා ගසා කෑමට ඔවුන් උපක්‍රමශීලී වූ බවක් දක්නට ලැබිණ.
ලියුම්කරු විසින් පසුගිය සතියේ වෙළෙඳපොළ තුළ කරන ලද සමීක්ෂණයක් අනුව අනාවරණය වූයේ රටේ ප්‍රධාන බිස්කට් සමාගම් දෙකේ නිෂ්පාදනවලින් ඉතාම අසාධාරණ ලෙස පාරිභෝගිකයා සූරා ගැනීමට කටයුතු කර ඇති අයුරුය. මෙම තත්ත්වය මත ජනතාව බිස්කට් මිලට ගැනීම ප්‍රතික්ෂේප කිරීම සාධාරණ යැයි කීම නිවැරදිය.
ග්‍රෑම් 400ක ෆැමිලි ඇසෝට්මන්ට් බිස්කට් පැකට්ටුවක මිල මුල් අවස්ථාවේ රුපියල් 250ක තරම් මිලක තිබූ අතර අනතුරුව එය රුපියල් 390 දක්වා මිල වැඩි විය. එහෙත් මේ වනවිට එම පැකට්ටුවක මිල රුපියල් 800කි. එය දෙගුණයකටත් වැඩිය. ක්‍රීම් ක්‍රුකර් ග්‍රෑම් 400 පැකැට්ටුව පෙර තිබුණේ රුපියල් 380ක මිලකටය. එය දැන් රුපියල් 590කි. ග්‍රෑම් 100 ක්‍රීම් ක්‍රුකර් පැකැට්ටුවක මිල රුපියල් 300 දක්වා වැඩිකර ඇති අතර මසකට පෙර එය අලෙවි වූයේ රුපියල් 140කට ආසන්න මිලකටය. රුපියල් 250 මට්ටමේ තිබූ ග්‍රෑම් 400 චොකලට් ක්‍රීම් බිස්කට් පැකැට්ටුව රුපියල් 600ක් වෙයි. මෙයට පෙර කුඩාම බිස්කට් පැකැට්ටුවක බර වූයේ ග්‍රෑම් 100කි. එහි මිල රුපියල් 75 පමණ වුවද මේ වනවිට රුපියල් 50ට අලෙවි වන ග්‍රෑම් 50 බිස්කට් පැකට් වෙළෙඳ පොළට පැමිණ තිබේ. මේ ආදී වශයෙන් විවිධ වර්ගවලින් අලෙවි වූ සෑම බිස්කට් වර්ගයකම මිල ඉහළ දමා ඇත. කෙසේ වුවද මේ ලිපිය ලියන මොහොත වනවිට මැලිබන් බිස්කට් සමාගම නිවේදනයක් මගින් පවසා ඇත්තේ නිෂ්පාදන ද්‍රව්‍යවල මිල පහත වැටීම නිසා ස්වකීය නිෂ්පාදනවල මිල පහළ දැමීමට කටයුතු කරන බවකි. ඉදිරියේදී සෙසු සමාගම්ද මෙම සමාගම අනුගමනය කරනු ඇතැයි විශ්වාස කළ හැකිය.
ඊළඟට පාරිභෝගිකයා ගසා කෑම සිදුවන්නේ සබන් වලිනි. රෙදි සෝදන සබන් සහ සබන් කුඩුද ඇඟ ගල්වන සබන් වර්ගද විවිධ දැවටුම් යොදා මිල වැඩිකර ඇති අතර ඒවායේ බර පිළිබඳවද කිසිදු ප්‍රමිතියක් නැත. ග්‍රෑම් 40 පටන් ගෙන ග්‍රෑම් 45, 50, 60, 70, 75, 80, 90 සහ 100 ආදී වශයෙන් විවිධ බරෙන් යුතු සබන් කෑලි වෙළෙඳපොළට පැමිණ තිබේ. බොහෝ සේ අඩු මිලට තිබූ රෙදි සෝදන කුඩුවර්ගවල මිලද ඉහළ නංවා ඇත. මෙතෙක් කල් කිලෝ 1, ග්‍රෑම් 400 ආදී වශයෙන් අලෙවියට තිබූ සෝදන කුඩු ග්‍රෑම් 30-50 ආදී වශයෙන් කුඩා පැකට් බවට පරිවර්තනය කර රුපියල් 50-60ට අලෙවි කරනු දක්නට ඇත.
එක්තරා ඇඟ ගල්වන සබන් වර්ගයක් කැබලි 4 පැක් බවට පත්කර රුපියල් 620ක මිල ගසා රුපියල් 40ක් අඩුවෙන් යැයි 580කට අලෙවි කෙරේ. මෙම සබන් වර්ගය මෙයට පෙර අලෙවි කළේ ග්‍රෑම් 100 කැබැල්ල රුපියල් 70ක පමණ මිලටය. තවත් විෂබීජ නාශක යැයි කියන සබන් වර්ගයක් කැට දෙකේ පැක් එකක් රුපියල් 230කට අලෙවි කෙරේ. මේවා සාමාන්‍යයෙන් අලෙවි කළේ රුපියල් 65ක මිලකටය.
එසේම තවත් පාරිභෝගිකයා ගසා කන්නට පෙළඹී ඇත්තේ දත් බෙහෙත් සහ බුරුසු අලෙවියෙනි. දත් බෙහෙත් ටියුබ්වල විවිධ රසායනික සංඝටක අඩංගු යැයි පවසමින් පාරිභෝගිකයා මුලාකරන අතර මිලද අසීමාන්තික ලෙස ඉහළ නංවා ඇත. දිවයිනේ වැඩිපුර අලෙවි වන දත් බෙහෙත් ටියුබ්වල මිල දෙගුණයක් දක්වා මේ දිනවල ඉහළ නංවා ඇති අතර විවිධ ප්‍රමාණයේ කුඩා ටියුබ් වෙළෙඳපොළට පැමිණ ඇත. මේ දිනවල ජනප්‍රිය එක්තරා වර්ගයක ටියුබයක් වැඩි මිලට අලෙවි කරනුයේ රුපියල් 60ක ''ලොකු ඉතිරියක්'' ඇති බව හුවා දක්වමිනි. දත් බෙහෙත් ටියුබ් විශාල ලෙස පෙන්වීමට විශාල මූඩියක් සවිකර ඇති අතර විවිධ ක්‍රමවලින් ටියුබය විශාල ලෙස පුම්බා සකස් කර තිබේ.
මේ පිළිබඳ විමසීමේදී පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ (පාරිභෝගික කටයුතු සහ තොරතුරු) අසේල බණ්ඩාර පවසන්නේ මෙලෙස බර පිළිබඳ නීති පැනවීම ප්‍රායෝගිකව අපහසු බවය. දැනට පාන්වලට පමණක් බර පිළිබඳ ගැසට්ටුවක් නිකුත් කර ඇති නමුත්, එයද ක්‍රියාත්මක කිරීම අසාර්ථක වූ බව ඔහු කීවේය. තිරිඟු පිටි නිෂ්පාදන දිවයිනේ පිහිටි බේකරි දහස් ගණනක නිෂ්පාදනය වන අතර ඒවායේ පිවිතර හා බර එකිනෙකට වෙනස් වේ. ඒ නිසා ඒ සෑම අවස්ථාවකදීම පරීක්ෂා කිරීම ප්‍රායෝගිකව අපහසු බව ඔහු පෙන්වා දෙයි.
''සෑම භාණ්ඩයකම බර හෝ ප්‍රමාණය සඳහන් කිරීම ප්‍රායෝගික නොවෙයි. මෙය නියාමනය කරන්න අපහසුයි. අද ඇත්තේ නිදහස් වෙළෙඳ පොළක්. ඒ නිසා වෙළෙඳුන්ට හෝ පාරිභෝගිකයාට අවශ්‍ය නීති පනවන්න බැහැ. කොහොම වුණත් විවෘත වෙළෙඳපොළ තුළින් සියල්ල ස්වයංක්‍රීයව පාලනය වෙනවා. ඒ නිසා සෑම භාණ්ඩයක්ම ප්‍රමිතිකරණයට ලක්කිරීම අපහසුයි. අනිත් අතට රටේ වර්තමාන අයහපත් ආර්ථික තත්ත්වය නිසා වෙළෙඳපොළ අලෙවිය සාමාන්‍යයෙන් සියයට 30කින් පමණ අඩුවෙලා. එම තත්ත්වය අත්‍යවශ්‍ය භාණ්ඩවලටත් බලපානවා. පාරිභෝගිකයාට බඩු මිලදී ගැනීමට ඇති ශක්තිය අඩුයි. මිල ඉහළයි. මිලට ගන්න මුදල් නැහැ. මේ නිසා වෙළෙඳන්දා තම අලෙවිය වැඩිකර ගැනීමටයි මෙය කරන්නේ.
කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවේ, මිනුම් සේවා උපක්‍රම පරීක්ෂක ඩී.පී.එස්. වීදාගම:-
භාණ්ඩවල බර, දිග සහ ප්‍රමාණය පිළිබඳ කටයුතු කිරීමේ බලතල කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව සතුයි. මෙහිදී භාණ්ඩයක බර හා මිල අතර ගැටලු පැන නගිනවා. බර අඩු වී මිල වැඩි වුණොත් පාරිභෝගිකයාට අසාධාරණයක් සිදුවෙනවා. මිල පිළිබඳව නම් පාරිභෝගික කටයුතු අධිකාරියට පැමිණිලි කළයුතු වෙනවා.
කෙසේ වුවද අඩු බර සහ අඩු ප්‍රමාණය පිළිබඳ ක්‍රියා කරන්න නම් පාරිභෝගිකයන් අපට ඒ ගැන පැමිණිලි කළයුතු වෙනවා. එවිට සොයා බලා විධිමත් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒ හැර වර්ෂ දෙක තුනකට වරක් විශාල නිෂ්පාදන ආයතනවලට ගොස් බර පිළිබඳ පරීක්ෂා කරනවා. මේ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන අප දෙපාර්තමේන්තුව සතුයි.
මේ පිළිබඳ කරුණු විමසීමේදී කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එන්. අකුරන්තිලක ප්‍රකාශ කළේ දෙපාර්තමේන්තුව බර පිළිබඳ පරීක්ෂා කිරීමේදී ප්‍රායෝගික ගැටලු මතුවන බවය. මේ නිසා ව්‍යාපාරිකයන් දැනුවත් කිරීම වැදගත් බව ඔහු කියයි.
2019 වසරේදී මුළු දිවයිනම ආවරණය වන පරිදි සහල් පැකට් ගැන සමීක්ෂණයක් කළා. එහිදී විවිධ සුපිරි වෙළෙඳසල්වල විවිධ වර්ගවල හාල් පැකට්වල බර පරීක්ෂා කළා. එහිදී අනාවරණය වූයේ මළුවල මතුපිට දක්වා ඇති බරට වඩා සහල් ප්‍රමාණයේ බර අඩු බව. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් සහල් පැකට් කරලා අලෙවි කිරීමට ඒ ආයතනවලට සිදුවුණා. කිරුම් මිනුම් ආඥා පනතේ 42 වගන්තිය යටතේ ද්‍රව්‍යවල බර පිළිබඳ කටයුතු කළ හැකියි. එසේම 52 වගන්තිය අනුව පැකට්වල ලේබල්වල සඳහන් දේ ගැන පියවර ගන්න පුළුවන්. ලේබල්වල ඇසුරුම් කළ දිනය කල් පසුවන දිනය ඇතුළත ඇති ද්‍රව්‍යයේ නම හා බර සඳහන් කළ යුතුයි. විවිධ ද්‍රව්‍යවල කල් ඉකුත්වීමේ දිනය වෙනස් වෙනවා.
යසවර්ධන රුද්රිගු