
ජිනදාස ලියනගේ... ඔහු දෑස්වල කඳුළු පුරවාගෙන බලා සිටියි. ඔහුට බලාපොරොත්තුවක් තිබේ. හීනයක් තිබේ. ඒ තව නොබෝ දිනකින් මිහිදන් වන දෙවැනි එලිසබෙත් මහ රුජිනගේ දේහයට අවසන් ගෞරවය දක්වන්නට යාමටය. තත්ත්පරයකට එම නිසල දේහය දැකබලා ගැනීම ඔහුගේ හීනයයි. ඒ වෙනුවෙන් ජිනදාස හෙවත් කොළඹ නගරය හඳුනන 'අහිංසක මාමා' වෙහෙස වෙයි. ඒ වෙහෙස වෙනුවෙන් ඔහු අත එතරම් මුදලක් ද නැත. නමුත් කප්පරක් නම් බලාපොරොත්තුවක් ඒ හිත තුළ රුඳී තිබේ.
ජිනදාස ලියනගේගේ උපන් ගම අකුරුස්සය. නමුත් අද වනවිට ජිනදාස හෙවත් 'අහිංසක මාමා' ජීවත් වන්නේ කොළොම්තොටය. ඔහුට ඉන්න හිටින්නට ස්ථිර තැනක් නැත. කොළඹ කුඩා බෝඩිම් කාමරයක දවස අවසානය ගෙවා දමන ඔහුගේ තනියට සිටින්නේ බකිංහැම් මාලිගාවේ මහ රුජින ඇතුළු සාමාජිකයන්ගෙන් ලැබුණු ලියුම් කියුම් පමණි.

ජිනදාසගේ මව්පියන්ට මිල මුදල් තිබුණේ නැත. අකුරුස්ස ගමේ කුඩා කල දිවිගෙවූ 'අහිංසක මාමා' ගේ ළමා කාලය එතරම් සුන්දර නොවීය. ආර්ථික අපහසුතා එමට වූ නිසාම පවුලේ අය විඳි දුක ඔහු අදටත් සිහිපත් කරන්නේ දෑස්වල කඳුළු පුරවාගෙනය. පවුලේ ආර්ථික අපහසුතා අහස උසට නගින විට අවුරුදු දාහතක කොල්ලකු වූ ජිනදාස තනියම කොළඹ එන්නට සිතාගත්තේය. ඒ වෙසක් දිනයකය. "කොළඹ සුරපුරයකි." එතෙක් කොළඹ නුදුටු ඔහු ඒ ගැන අසා තිබුණේ එලෙසය.
ජිනදාසගේ පියාට කරත්තයක් තිබුණි. වෙසක් දින කරත්තයේ නැග ගමේ ටවුමට පැමිණි ජිනදාසගේ අතේ සත පහක් නොවීය. ඔහු දින හතරක් තිස්සේ අකුරුස්සේ සිට කොළඹට පැමිණියේය. ඇතැම්විට ඔහු හැතැප්ම ගණන් පයින් ආවේය. තවත් විටෙක පාරේ වෙසක් බලන්නට යන ලොරි, කරත්තවල නැග ආවේය. බඩගින්න නොදැනුණාම නොවේ. වෙසක් දවස නිසාම ඔහු පන්සල්වලින් දන්සල්වලින් බඩ පුරවා ගත්තේය.
අකුරුස්සෙන් කොළඹ ආ 'අහිංසක මාමා' මුලින්ම සේන්දු වූයේ ඇස්වාට්ටු හන්දියටය. ඔහු දන්නා කියන කෙනෙක් කොළඹ සිටියේ නැත. රාත්‍රිය ගතවූයේ කොළඹ මහ පාරකය. නිදාගන්නට කිසිම පහසුකමක් නොතිබුණු තැන ඔහු අත්පා වකුටු කොට රාත්‍රී කාලයේදී නින්දට වැටුණේය. දින කිහිපයකට පසුව ඔහුට රැකියාවක් ලැබුණි. ඒ මුද්දර විකිණීමය. එකල බෙහෙත් ගැනීමට මුද්දර අවශ්‍ය විය. ඒ නිසාම මුද්දර විකිණීමෙන් ඔහු සුළු මුදලක් උපයා ගත්තේය.
"දවසක් සුදු ඇඳගත්තු මහත්තුරු වගයක් බංගලාවක් ළඟ ඉන්නවා මම දැක්කා. මම එතනට ගියා. එක මහත්තයෙක් මට කතා කරලා බත් එකක් දුන්නා. ටිකෙන් ටික මම ඒ බංගලාවේ හිටපු මහත්තුරුන්ට පුරුදු වුණා. ඒ ජේ.ආර්. මහත්තයාගේ ගෙදරයි. මම ඒක දැනගෙන හිටියේ නැහැ. ඒ බංගලාවේ ආරක්ෂාවට හිටපු මහත්තුරු හරිම හොඳයි. මට හැමදාම කෑම දුන්නා. ඒවා පුදුම විදිහට රස කෑම. මට ඒ ගෙදර හොඳට හුරුපුරුදු තැනක් වුණා." අහිංසක මාමා දේශයට තම අතීතය සිහිපත් කළේ එලෙසිනි.
මුද්දර විකිණූ අහිංසක මාමාට තේ මුට්ටියක් ලැබුණි. එකල ප්ලේන්ටියක මිල වූයේ සත පහකි. ඔහු කොළඹ වීදියක් ගාණේ ගොස් තේ මුට්ටිය විකිණුවේය. එකල උසාවිය අසල තේ මුට්ටියට විශාල ඉල්ලුමක් ලැබුණි. ඔහු කොටුව පුරා ඇවිද්දේය. ටිකෙන් ටික ඔහුට කොළඹ නගරය හොඳ හුරුපුරුදු තැනක් විය. තේ මුට්ටියෙන් ලැබුණු සුළු ආදායම ඔහු ඉතිරි කළේය.
ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නිවෙසට ගිය අහිංසක මාමාට එලීනා ජයවර්ධන මැතිනිය ද මුණගැසුණි. ඔහු එම පවුලේ සියලු දෙනාගේ ආදරය දිනාගත්තේය. අකුරැස්ස ගමේ හැදී වැඩුණු ජිනදාසට කොළඹ නගරයේ සෑම වීදියකම නම හොඳින් මතක තිබුණි. ඔහු හැම වීදියක් ගාණේම ඇවිද්දේය. අධ්‍යාපන මට්ටම අඩු වුවද ජිනදාස තමන්ට හැකි අයුරින් අකුරු අමුණමින් පුවත්පත් කියැව්වේය. එකල කොළඹ, පිටකොටුව ප්‍රදේශවල ගැවසුණු චණ්ඩියන්ට ජිනදාස ද චණ්ඩිකම් පෙන්නුවේය. නමුත් ඔහු පවසන පරිදි කිසිදු වැරදි ගමනක් නොයාමට හෝ වැරදි ක්‍රියාවක් නොකරන්නට ඔහු අදිටන් කරගෙන තිබුණි.

ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නිවෙස පිටුපස සිට ඔහු නිතරම සඟරා, පොත්පත් බැලීමට පුරුදු විය. මහ රැජිනියගේ මෙන්ම රජගෙදර තොරතුරු රුගත් සඟරා දෙස ජිනදාස දෑස් නොහෙලා බලා සිටියේය.
"රැජිනට කොහොම සලකනවා ඇද්ද කියලා මට හිතුණා. ඊටපස්සේ මම ඒ සම්බන්ධව ලියවුණු පොත්, පින්තූර බැලුවා. ඒවා දකින්න ආසා කළා. ඒ අයව ඇසුරු කරන්න මට ආසා හිතුණා. පේමන්ට් එකේ නිදාගත්තත් ඒ පවුලේ අය එක්ක සම්බන්ධකම් ඇතිකර ගන්න මම ආසා කළා. ඒ නිසා මුලින්ම මම රැජිනට මම දන්න විදිහට සිංහලෙන් ලියුමක් ලිව්වා." ජිනදාස පවසයි.
'හිරු නොබසින අධිරාජ්‍යයේ ගරු උත්තමාවිය' ලෙසින් ආමන්ත්‍රණ කර ලියූ එම සිංහල ලිපියට පිළිතුරක් බලාපොරොත්තුවෙන් පසුවුවද එයට ජිනදාසට පිළිතුරු ලිපියක් ලැබුණේ නැත.
එකල මහලු ලන්සි දෙපළක් ගුණසිංහපුර ජීවත් වූහ. දිනක් ජිනදාස ඔවුන් මුණගැසී තම අවශ්‍යතාව ඔවුන්ට පැවසුවේය. ඒ අනුව ජිනදාස ලියූ සිංහල ලියුම ඔවුහු ඉංග්‍රීසියට පරිවර්තනය කළහ. එය තැපැල් කිරීමට සූදානම් වනවාත් සමඟ ජිනදාසට මව් රැජිනගෙන් ස්තූති ලිපියක් තැපැල් මගින් ලැබුණි.
ජිනදාසට එයින් නව පණක් ලැබිණි. එතැන් සිට ඔහු සිංහලට ලියා ඉංග්‍රීසියට පරිවර්තනය කර මව් රැජිනට ලිපි රැසක් තැපැල් කළේය. ඒවාට පිළිතුරු ලිපි ද ලැබුණි. ඉංග්‍රීසියෙන් ලියා තිබූ ඒ සෑම ලිපියකම මව් රැජිනගේ අත්සන තිබුණි. ආමන්ත්‍රණ කර තිබුණේ ද 'Dear Jinadasa Liyanage' යනුවෙනි.
එතැන් සිට තේ මුට්ටිය විකුණන අතරතුර ලැබෙන සුළු විවේක කාලයේදී ගහක් යට, බෝක්කුව උඩ හිඳ ජිනදාස සිංහලෙන් රැජින ඇතුළු මාලිගාවේ අනෙක් සාමාජිකයන්ට ද ලිපි ලිව්වේය. සවස් වරුවේ මහලු දෙපළට කෑම බීම සඳහා කිසිවක් හෝ ගෙන යමින් ජිනදාස ඒවා ඉංග්‍රීසියට පරිවර්තනය කර ගත්තේය.
ඩයනා කුමරියට ද ඔහු ලිපි ලිව්වේය. ඇය ද පෙරළා ජිනදාසට පිළිතුරු ලිපි එවා තිබුණි. ඒවා ද ජිනදාස ළඟ අදටත් සුරක්ෂිතව පවතී. ඩයනා සහ චාල්ස්ගේ විවාහ ජීවිතයේ විවිධ හැලහැප්පීම් ගැන මුළු ලොවක් කතාබහ කරද්දී ජිනදාසට ඇතිවූයේ දැඩි කම්පනයකි. ඒ සම්බන්ධයෙන් ලියවුණු පුවත්පත් ලිපි ජිනදාස කියවූයේ දෑස්වල කඳුළු පුරවාගෙනය. ඔහු "පවුල් ජිවිතේ විසුරුවා ගන්න එපා. සමගියෙන් ඉන්න. ජීවිතයට මුහුණ දෙන්න" යැයි පවසමින් ඩයනා කුමරියට ඉංග්‍රීසියෙන් ලිපි ලිව්වේය. දිනක් ඩයනා කුමරිය "My dear Jinadasa Liyanage' නමින් ආමන්ත්‍රණය කරමින් "මම දරුවන් දෙදෙනා සමඟ ශ්‍රී ලංකාවට පැමිණෙනවා." යනුවෙන් ලියා අත්සන් කළ ලිපියක් ද ජිනදාසට එවා තිබුණි. එය ද අදටත් ජිනදාස මාමා හෙවත් 'අහිංසක මාමා' ළඟ සුරක්ෂිතව පවතී. ඔහු මේ ලිපි ගෙන්වා ගත්තේ පිටකොටුවේ ඕල්කට් මාවතේ ලිපිනයකටය.
ඩයනා මියගිය පුවත ඇසූ දා ජිනදාසට මහා කම්පනයක් ඇතිවිය. ඔහු පිටකොටුවේ මතක බතක් දුන්නේය. හත් දවස දානය, තුන් මාසයේ දානය පමණක් නොව අවුරුද්දේ දානය ද දුන්නේය. ඔහු රණවිරු සෙවණට රෝද පුටු, කිහිළිකරු ඇය වෙනුවෙන් ප්‍රදානය කළේය.
ජිනදාස විවාහක පුද්ගලයෙකි. ඔහුගේ විවාහය ද සුවිශේෂී මතකයකි. ශ්‍රීපාද වන්දනා ගමනකදී ඔහුට තම බිරිඳ මුණගැසුණි. ඇය නාවලපිටියේ පදිංචිකාරිණියකි. නාවලපිටියේ සිට ජිනදාස තම පෙම්වතිය ද සමඟ මාතර ගියේ දුම්රියෙනි. තරුණිය දුටු ජිනදාසගේ මව කෑගැසුවාය. ඒ වෙද්දී ඔවුන් විවාහ වී සිටියේ නැත. මේ අතර ඩයනා කුමරිය සහ චාල්ස් කුමරුගේ විවාහය උත්කර්ෂවත් අන්දමින් සැමරීමට සියල්ල සූදානම් කර තිබුණි. ඔවුන්ගේ විවාහය මුළු ලොවක් දැකගත් දිනයේම ජිනදාස තම පෙම්වතිය සමඟ පවුලේ සමීපතමයන් කිහිප දෙනකුගේ ද සහභාගීත්වයෙන් මාතර කච්චේරියේදී විවාහ විය. රටවල් දෙකකදී එකම දිනයක මේ විවාහ දෙක සිදුවිය. විවාහයෙන් පසුව ජිනදාස මිතුරන් කිහිප දෙනකුට සුළු සාදයක් පැවැත්වුවද ඩයනා කුමරිය හා චාල්ස් කුමරු උත්සවශ්‍රීයෙන් දින කිහිපයක් විවාහය සැමරූහ. ඔවුන් රජ මාලිගාවේ පදිංචි වූ අතර ජිනදාස කුඩා පොල් අතු පැලක තම බිරිඳ සමඟ පදිංචි විය.
"මට දරුවන් තුන්දෙනයි. බිරිඳයි දරුවනුයි ගමේ හොඳට ඉන්නවා. මම එයාලා බලන්න යනවා. රැජිනගේ අවමඟුලට යාම මගේ ආසාව. ඒ ගැන එයාලත් දන්නවා." ජිනදාස කියන්නේය.
අද ජිනදාසට බලාපොරොත්තුවක් තිබේ. වරක් එලිසබෙත් මහ රැජින රජ මාලිගාවට පැමිණෙන ලෙස ආරාධනා කරමින් ඔහුට ලියුමක් එවා තිබුණි. නමුත් කොවිඩ් හේතුවෙන් ඔහුට ඒ අවස්ථාව අහිමි විය. මහ රැජිනගේ අභාවයත් සමඟ ජිනදාස දැඩි කනස්සල්ලට පත්ව සිටියි. ඔහුට එම රට තොට බලාගැනීමට අවශ්‍යතාවක් නැත. නමුත් ඇගේ දේහය අවසන් වරට දැකීම ඔහුගේ බලාපොරොත්තුවයි. ඒ සම්බන්ධයෙන් ඔහු අවශ්‍ය ලියකියවිලි ද සූදානම් කර අවසන්ය. නමුත් තවමත් ඒ සඳහා කිසිදු මාර්ගයක් හෝ කිසිදු පහසුකමක් නැත. රැජින වෙනුවෙන් මුද්‍රණය කර ඇති ශෝක පත්‍රිකාවක් ද ඔහු සතුය. ඒ සියල්ල රජ මාලිගාවේ සාමාජික සාමාජිකාවන්ට ලබාදීම ඔහුගේ පැතුමයි. නමුත් එය සැබෑ වන සිහිනයක් දැයි ඉටුනොවන බලාපොරොත්තුවක් දැයි ජිනදාස දන්නේ නැත.
I දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ