2022 සැප්තැම්බර් 18 වන ඉරිදා

කිරි කෑ කොළඹට කැකිරිත් නැතිවෙලා

 2022 සැප්තැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 08:00 57

දිනෙන් දිනම ජනතාවට සිදුව ඇත්තේ ආර්ථික ගැටලුවලට මුහුණ දීමටය. සෑම භාණ්ඩයකම මිල ඉහළ යාමත්, අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු භාණ්ඩවල හිඟවීමත් සමඟ ජනතාවට සිදුව ඇත්තේ පවතින රටේ තත්ත්වයත් සමඟ හූල්ලමින් ජීවත් වීමටය. දිනකට තුන් වේලක් ආහාර ගත් පවුල් අතරින් දෙවේලකින් සෑහීමකට පත්වන පවුල් අද වෙද්දී සමාජයේ ජීවත් වෙති. පිරිසක් අනුන්ට අතපා හිඟන්නන් ලෙසින් ජීවත් වුවද මේ පවතින තත්ත්වය හමුවේ පුලන්නන් බවටද පිරිසක් පත්ව සිටිති.

විශේෂයෙන් කොළඹ නගරයද අද වෙද්දී ආහාර අහේනියෙන් පීඩා විඳිමින් සිටී. වෙනදාට කොළඹ නගරයේ තැනින් තැන පිහිටා තිබූ ජංගම කෑම කඩ බොහොමයක් මේ වෙද්දී දකින්නට නැත. කොළඹ නගරයේදී දැනෙන මහන්සිය සංසිඳුවා ගැනීමට ජංගම කෑම ලොරියක් අසල නැවතී වඩයක් කා ප්ලේන්ටියක් බිව් ජනතාව අද වෙද්දී වතුර වීදුරුවක් පමණක් බී තම කුසගින්න පිපාසය සංසිඳුවා ගැනීමේ තත්ත්වයට පත්ව සිටිති.

''මේ රස්සාව කරන්න හරි අමාරුයි. කෑම ලොරි කිහිපයක්ම වහලා දැම්මා. ඉස්සර අපි දවසකට බත් පැකට් හතළිහක් පමණ විකිණුවා. ඒකත් එක එක වර්ගයේ බත් පැකට්, මාළු කෑම, බිත්තර කෑම, ඌරු මස්, කුකුළු මස්, ෆ්‍රයිඩ් රයිස්, කොහෙල් කොළේ බත් කියල වෙන වෙනම විකිණුවා. ඒත් දැන් වැඩියෙන් එළවළු කෑම තමයි විකිණෙන්නේ. ඒ බත් එකත් දැන් දෙසීය විස්සක් වෙනවා. සමහරු ගණන් අහලා යනවා. ගොඩාක් වෙලාවට කෑම ඉතිරි වෙනවා. ඉස්සර තුන හතර වෙද්දී කෑම ටික ඉවරයි. දැන් එහෙම නැහැ. මෙහෙම ගියොත් අපිටත් වෙන්නේ රස්සාව නතර කරල ඔය කුලී වැඩක් කරගන්න තමයි. අපි දැන් ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන්. ඉස්සර සිගරට් එකක් බිබී ප්ලේන්ටියක් බොන්න මෙතැනට ආපු මහත්තුරු දැන් අපිව නොදැක්කා වගේ අහක බලාගෙන යනවා. ප්ලේන්ටියක් ගන්නවත් මිනිස්සුන්ට සල්ලි අතේ නැහැ.''

කොටුව ජංගම ආහාර රථයක් පවත්වාගෙන යන සුදත් මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

''කෑමවල මිල ගණන් නම් අහලා වැඩක් නැහැ. කොච්චර මේවා ගැන කතා කළත් වැඩක් නැහැ. ඉහළ පුටුවල ඉන්න මිනිස්සුන්ට මේ දුප්පත් මිනිස්සුන්ගේ දුක තේරෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේදී ඒ අයට තමන් කැමැති කෑමක් කන්න ලැබෙනවා. අපේ ඡන්දෙන් පාර්ලිමේන්තුවට ගිය අය රජ සැප විඳිද්දී අපි රුපියල් හතළිහක් දීලා ප්ලේන්ටියක් බීලා බඩ පුරෝගන්නවා. ඒ නිසා දැන් ඕවා ගැන කතා කරල වැඩක් නැහැ.''

ප්ලේන්ටියක් බීමට ජංගම ආහාර රථයට පැමිණ සිටි මංගල මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

ආහාර පාන ගැන කතා කරද්දී ජනතාවගේ ආහාර රටාවට වැඩි බලපෑමක් එල්ල වුණ සිදුවීමක් වන්නේ පාන් පිටිවල මිල ඉහළ යාමය. පාන් පිටි මිල ඉහළ යාමෙන් බොහෝ ආහාරවල මිල දෙගුණයකින්ද ඇතැම් ආහාර තෙගුණයකින්ද ඉහළ ගියේය. උදෑසන දරුවන්ට පාන් පෙත්තක්, බනිස් ගෙඩියක් ආහාරයට දුන්, ඉඳිආප්ප මුලක් මිලදී ගෙන එය කෑමට දුන් මාපියෝ අද වෙද්දී එවැනි ආහාර මිලදී ගැනීමට නොහැකිව සිටිති.

''අද වෙද්දී ආපන ශාලාවලින් බොහෝමයක් වැහිලා ගිහින්. එවැනි තත්ත්වයට පත්වෙන්න ප්‍රධානම හේතුව වන්නේ පාන්පිටිවල මිල ඉහළ යාමයි. පාන් පිටි සම්බන්ධයෙන් කළු කඩ මාෆියාවක් නිර්මාණය වීම තුළින් පාන් පිටිවලින් සාදන ආහාරපානවල මිල ඉහළ යාමෙන් ඒවායේ අලෙවිය අඩුවීමක් වෙලා තියෙනවා. ඒ වගේම ආහාර අපතේ යන ප්‍රමාණයක් වැඩිවෙලා තියෙනවා. ආපනශාලාවල බොහෝ කෑම ඉතිරි වෙනවා. ඒවායෙන් ශීතකරණයේ තබා නැවත පරිහරණය කරන්නට හැකි ආහාර පසුවදාට නැවත විකිණීමට තැබුවත් එලෙස කල් තබාගත නොහැකි ආහාර ඉවත් කරන්නට සිදුවෙනවා. ආහාරවලට ගනු ලබන ද්‍රව්‍යවලට මිල නියාමනයක් නොමැතිකමින් මේ ව්‍යාපාරයට සිදුවන අයුක්තිය නිසා අද පාරිභෝගිකයන්ට කුසගින්නේ ඉන්නට සිදුවෙලා තියෙනවා. වෙනදා උදේට ඇඹුල් තියල් මාළු කෑල්ලක් එක්ක බත් ටිකක් කාපු, උදේට බිත්තරයක් එක්ක නූඩ්ල්ස් ටිකක් කාපු, පරිප්පු සහ පොල් සම්බෝල  එක්ක ඉඳිආප්ප කාපු මිනිසුන්ට අද කෑම රාක්කය දිහා බලල කෑම නොගෙන ඇල්වතුර ටිකක් බීලා යන තත්ත්වයට පත්වෙලයි තියෙන්නේ.''

යැයි ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

ඔහු පවසන්නේ ඇතැම් දරුවන් ආපනශාලාවලට පැමිණ කෑම ඉල්ලා දෙමව්පියන්ට කරදර කරන බවය. නමුත් ගන්නට කැමැත්තක් තිබුණද ආහාර ගන්නට මුදල් ඒ දෙමව්පියන් සන්තකයේ නැත. මේ නිසාම බොහෝ දෙමව්පියෝ පත්වන්නේ අසරණ භාවයටය. අද වෙද්දී සාමාන්‍ය බනිස් ගෙඩියක මිල රුපියල් අසූවකි. රෝල්ස් එකක මිල රුපියල් සීයත් එකසිය විස්සත් අතර වේ. කිරි තේ එකක මිල රුපියල් එකසිය විස්සකි. ප්ලේන්ටියක් ඇතැම් තැන්වලදී රුපියල් හතළිහක් වුවද ඇතැම් තැන්වලදී රුපියල් පනහකි. ඉඳි ආප්පයක මිල රුපියල් පහකි. මීට පෙර ඉඳි ආප්පයක් සත පනහකටත්, රුපියලකටත් අලෙවි වුවද අද එහි මිල පස් ගුණයකින් වැඩි වී ඇත. මේ හේතුවෙන් අද බොහෝ ජනතාවට සිදුව ඇත්තේ බඩගින්නේ සිටීමටය. අඩුම වියදමින් කෑම වේල ගනු ලැබීමට උපකාර වුණේ බිත්තරයකි. උදෑසන බිත්තරයක්, පාන් කාලක් සහ කහට කෝප්පයක් බිවු ඔවුන්ට අද ඒ කෑම වේල අහිමි වී ඇත. මෙම භාණ්ඩ මිල දෛනිකව ඉහළ යාමත් සමඟ සතුන්ට දෙනු ලබන කෑම මිලද ඉහළ යයි. ඒ අනුව බිත්තර ඇතුළු සත්ව ආහාරවලින් නිෂ්පාදිත ආහාර සියල්ලේ මිල ඉහළ යමින් පවතී.

''ඉන්ධන මිල හිතාගන්නවත් බැරි විදිහට මිල ඉහළ ගියා. ඒකත් ආහාරපානවල මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වෙනවා. එළවළු මිලදී ගැනීමේදී වෙළඳුන් වගේම පරිභෝගිකයන් එළවළු මිලදී ගන්නා ප්‍රමාණය අඩුවෙලා තියෙනවා. වෙනදා එළවළු ගෝනියක් තොග වශයෙන් අපෙන් මිලදී ගත් වෙළෙඳුන් අද කිලෝ දහයක් පහළොවක් තමයි මිලදී ගන්නේ. සති අන්තයේදී වැඩි එළවළු ප්‍රමාණයක් මිලදී ගත්තද එය වෙනදා තරම් වැඩි ප්‍රමාණයක් වන්නේ නැහැ. අපෙන් මීගමුවේ ඉන්න තොග වෙළඳාමේ නියැලුනු වෙළෙන්දෙක් වෙනදාට ලොරියක් පිරෙන්නට එළවළු අරගෙන යනවා. නමුත් අද වෙද්දී ඔහු එක ගෝනියක්, දෙකක් පමණක් අරගෙන යන තත්ත්වයට පත්වෙලා. එළවළුවල බර අනුව ගෝනියකට පිරෙන එළවළු ප්‍රමාණය වෙනස් වෙනවා. මේ නිසාම ගොවියන්ද දැන් ඉතා කුඩා ගෝනිවලට එළවළු තොග වෙළඳාම සඳහා එවන්න පුරුදුවෙලා ඉන්නවා. ඇත්තම කිව්වොත් ඉස්සර තරම් වෙළඳාමක් දැන් වෙන්නේ නැහැ.''

මැනිං වෙළෙඳසැලේ හිටපු සභාපති ලාල් හෙට්ටිගේ මහතා දේශයට අදහස් දක්වමින් එසේ පැවසීය.

දිශානි ජයමාලි කරුණාරත්න