2022 සැප්තැම්බර් 11 වන ඉරිදා

ප්‍රමාද ගාස්තුවේ වන්දියත් ජනතාවගෙන්!

 2022 සැප්තැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 08:00 66

පෙරදිග ධාන්‍යාගාරය යනුවෙන් ප්‍රසිද්ධයට පත්ව තිබූ ලංකාව මුළුමනින්ම ආනයන මත රඳා පවතින රටක් බවට පත්වූයේ විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් සමඟය. 1977 සිදු වූ එම ආර්ථික පෙරළිය රටේ සියලු ක්ෂේත්‍රවලට බලපෑම් එල්ල කළේය. සාමාන්‍ය ජනයාගේ එදිනෙදා ජීවන තත්ත්වය පවා තීරණය වුණේ ඩොලරයේ මිලට අනුවය. ආර්ථික පෙරළියේ ප්‍රතිඵලයක් ලෙස දේශීය නිෂ්පාදන ක්‍රමයෙන් පහත වැටෙද්දී රටට අවශ්‍ය සියලු සම්පත් ගෙන්වීමට ඩොලර් වැඩි වැඩියෙන් උපයන්නට අවශ්‍ය විය. මුලදීම තේ දලු කඩන අම්මලා, මැදපෙරදිග ගෘහ සේවයට ගිය කාන්තාවෝ සහ ඇඟලුම්හල්වල සේවයට ගිය සේවිකාවෝ ඩොලර් උපයා දෙන ප්‍රධාන මූලාශ්‍ර වූහ. එමෙන්ම ස්වභාවධර්මයේ ආශිර්වාදය නිසා සංචාරක කර්මාන්තය ද රටට අවශ්‍ය ඩොලර් උපයා දෙන්නට සමත් විය. එබැවින් ආර්ථික පෙරළියේ විපාක කිසි කෙනකු විඳ තිබුණේ නැත. ආර්ථික පෙරළියේ තරම දැනෙන්නට පටන් ගත්තේ කොවිඩ් අර්බුදයෙන් පසුව ඇතිවුණු ආර්ථික බිඳවැටීමත් සමඟය. එය ආර්ථික අවපාතයට මෙන්ම විශාල ඩොලර් අර්බුදයකට ද හේතු විය. ඩොලර් අර්බුදයට හේතුව ඩොලර් උත්පාදනය පහත වැටීම පමණක් නොව අකාර්යක්ෂම කළමනාකරණය සහ මූල්‍ය වංචා ද ඊට හේතූ වූ බවට තහවුරු වුණේ ඉකුත් මාස 08ට පමණක් ඉන්ධන නැව්වලට ප්‍රමාද ගාස්තු ලෙස ඩොලර් ලක්ෂ 80කට අධික ප්‍රමාණයක් ගෙවා තිබීමය.

ඉන්ධන ගෙන්වීමේදී නැවක් සඳහා ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවන්නේ රැගෙන එන ඉන්ධන ගොඩබෑමට ප්‍රමාද වීම හෝ ඉන්ධන ගොඩ නොබා වරායෙන් පිට මුහු‍ඳේ රඳවා තබන අවස්ථාවලදීය. ඉන්ධන බෑමට ගතවන පළමු දින තුනට ප්‍රමාද ගාස්තු අය නොකෙරේ. එමෙන්ම බොර තෙල් නැවකට සිදුවන ප්‍රමාදයට දිනකට ඩොලර් 25000ක් ගෙවිය යුතු වේ. පිරිපහදු නැවක් නම් ඩොලර් 18000කි. යම් හෙයකින් ඇණවුම් ලැබිය යුතු දිනට වඩා නැව ප්‍රමාද වන්නේ නම් බොර තෙල් නැවකින් ඩොලර් 25000ක්ද පිරිපහදු තෙල් නැවකින් ඩොලර් 18000ක්ද ඛනිජ තෙල් සංස්ථාවට ලබා දිය යුතු වේ.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ දෛනික නිෂ්පාදන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන අවස්ථාවල වුවද මාසිකව අවශ්‍ය වන්නේ බොර තෙල් නැව් දෙකක් පමණි. එක් නැවකින් බොර තෙල් බෑම සඳහා ගතවන්නේ දින 04ක් පමණි. එමෙන්ම බොර තෙල් බෑමට පමණක්ම වෙන් වූ බෝයාවක් ද තිබීම හේතුවෙන් කිසිවිටෙකත් තදබදයත් ඇතිවන්නේ නැත. එනිසා 2010 – 2012 අතර කාලයේ නළ කැඩී යාම නිසා සිදු වූ ප්‍රමාදය හැරුණුවිට ඛනිජ තෙල් සංස්ථා ඉතිහාසයේ කිසිම අවස්ථාවක ඉන්ධන නැව් සඳහා ප්‍රමාද ගාස්තු ගෙවා නැත. නමුත් ඉකුත් අප්‍රේල් මස 25 වැනිදා බොර තෙල් ගෙන්වන තුන්වැනි පාර්ශ්වයේ සමාගමක නැවක් දින 34ක් ප්‍රමාද වූ අතර එම සමාගම විසින් පැනවූ කොන්දේසියක් හේතුවෙන් එක් දිනක ප්‍රමාදයට ඩොලර් 120000 බැගින් ගෙවීමට ඛනිජ තෙල් සංස්ථාවට සිදුවිය.

පිරිපහදු කළ තෙල් ගොඩබෑම මුතුරාජවෙල උස්වැටකෙයියාව පිටත බෝයාවෙන් සහ කොළඹ වරායේ බ්ලූමෙන්ඩල් ජැටියේ ඩොල්ෆින් බෝයාවෙන් සිදුවෙයි. මුතුරාජවෙලට දින දෙකකින් මෙට්‍රික් ටොන් 60000ක් ගොඩබෑම සිදු කළ හැකිය. එමෙන්ම එකවර පෙට්‍රල් සහ ඩීසල් ගොඩබෑම ද සිදු කළ හැකි පහසුකම් තිබේ. එබැවින් කිසිදු ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදුවන්නේ නැත. එමෙන්ම මුතුරාජවෙලට ගොඩබෑම සඳහා මෙට්‍රික් ටොන් එකකට ගෙවීමට සිදුවන්නේ ඩොලර් සත 22ක් පමණි. නමුත් ඩොල්ෆින් ජැටියෙන් කොළොන්නාවට ගොඩබෑමේදී මෙට්‍රික් ටොන් එකක් සඳහා ඩොලර් තුනක් ගෙවීමට සිදු වෙයි. ඊට අමතරව මෙට්‍රික් ටොන් 40000ක තොගයක් ගොඩබෑම සඳහා අවම දින තුනකට වඩා ගත වේ. ඊට හේතු වී ඇත්තේ නළ පද්ධතියේ තිබෙන අඩුපාඩු හේතුවෙන් අඩු පීඩනයකින් ගොඩබෑම සිදු කරන බැවිනි. ඒ අනුව දින තුනකට වඩා ප්‍රමාද වන නිසා ප්‍රමාද ගාස්තු ගෙවීමට අනිවාර්යයෙන්ම සිදු වෙයි. එනිසා ඉකුත් මාස 08ක කාලය තුළ කොළොන්නාවට ගෙන්වූ පිරිපහදු තෙල් සඳහා තොග මිලට අමතරව ප්‍රමාද ගාස්තු ද ගෙවීමට සිදු වී තිබේ.

මීට අමතරව ඉන්ධන නැව් සඳහා ද්විත්ව ක්‍රියාකාරී ගෙවීම් වශයෙන් ද විශාල මුදලක් ඉකුත් කාලය තුළ ගෙවීමට ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කර ඇතැයි වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත මහතා දේශයට ප්‍රකාශ කළේය. 

“අපේ තියෙනවා මුතුරාජවෙල ගබඩාවයි කොළොන්නාව ගබඩාවයි. මේගොල්ලො කරන්නේ නැව ගෙනල්ලා මුතුරාජවෙලට භාගයක් බානවා. ඊට පස්සේ නැව ගේනවා කොළොන්නාවට. එහෙම නැත්තම් ඩොල්ෆින් ජැටියේ දින දෙකක් ඇදලා ඊට පස්සේ මුතුරාජවෙලට ගිහින් බානවා. ඒ වෙනුවෙන් අපි නැවට ගෙවන්න ඕන ඩොලර් 50000ක්. දැන් ඒක ඩොලර් 75000ට වැඩිවෙලා. ඒකට කියනවා ද්විත්ව ක්‍රියාකාරී ගෙවීම් කියලා. මේකට විතරක් ගෙවලා තියෙනවා ඩොලර් ලක්ෂ විසිදහස් ගණනක් පසුගිය කාලයේ ද්විත්ව ක්‍රියාකාරී ක්‍රියාවලිය තුළ ගෙනාපු නැව් තිස් ගණනකට.”

ඉකුත් කාලය තුළ ඇතැම් නැව් දින 50ක් වැනි දීර්ඝ කාලයක් ජාත්‍යන්තර මුහුඳේ රඳවා තැබීමට සිදු විය. මාර්තු මස 27 වැනිදා පැමිණ ඉන්ධන නෞකාවක් මැයි 20 දක්වා රඳවා තැබූ නිසා රුපියල් මිලියන 335ක් ප්‍රමාද ගාස්තු වශයෙන් ගෙවා ඇත. රටේ පැවැති ඩොලර් අර්බුදය ඉන්ධන තොග නිදහස් කිරීමට නොහැකි වීමට හේතු වූ බවට බලධාරීන් පැවසුවද කිසිදු සමාගමක් ඇණවුමක් ලබා නොගෙන පැමිණෙන්නේ නැත.

ඉන්ධන ඇණවුම් කිරීමට ක්‍රමවත් ක්‍රමවේදයක් පවතී. සතියට වරක් රුස්වන තොග සමාලෝචන කමිටුව මාසිකව අවශ්‍ය සියලුම වර්ගයේ ඉන්ධන ගෙන්වීම සම්බන්ධයෙන් තීරණය කරයි. එම කමිටුවට තෙල් සංස්ථාවේ, තෙල් ගබඩා පර්යන්ත සමාගමේ, බලශක්ති අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් ද ඉන්දීය තෙල් සමාගමේ, ගෑස් සමාගමේ හා මහ බැංකුව නිලධාරීහු ද නියෝජනය වෙති. එම කමිටුවේ තීරණය අනුව තාක්ෂණික කමිටුව සකස් කරන තෙල් අවශ්‍යතා ප්‍රමාණය පිළිබඳ වාර්තාව මත ප්‍රසම්පාදන කමිටුව විසින් ටෙන්ඩර් කැඳවා දින 15න් 15ට ඇණවුම් ක්‍රියාවලිය සිදු වෙයි. ඒ අනුව ඉතා සැලසුම්ගත ක්‍රමයකට යටත්ව ඉන්ධන ඇණවුම් කළ ද ඉකුත් කාලය පුරාවට නැව් තදබදයක් ඇතිවන්නේ කුමන හේතුවක් මත ද යන්න ගැටලුකාරීය. මහ බැංකුව ද නියෝජනය වන තොග සමාලෝචන කමිටුව ඩොලර් සංචිත ප්‍රමාණය මැනවින් දන්නා නිසා මුදල් නිකුත් කළ හැකි දිනට ඇණවුම සිදු කරන්නට තිබුණත් සිදුව තිබෙන්නේ වෙනත් දෙයකි.

මේ කාරණා දෙස බැලීමේදී පෙනී යන්නේ ප්‍රමාද ගාස්තු ගෙවීම සඳහා ඉතා ඕනෑකමින් නැව් ප්‍රමාද කිරීම සිදුවන බවය. නිදහස් කිරීමට මුදල් නැති අවස්ථාවක ඇණවුම් කිරීම නැතහොත් වෙනත් නැවක් බෝයාවේ තෙල් ගොඩබාමින් සිටින අවස්ථාවේ නැවක් ගෙන්වීම ඒ සඳහා යොදාගන්නා ක්‍රමවේදයන්ය. තෙල් නැවක් මැදපෙරදිග සිට මෙරට වරායට පැමිණීමට ගතවන්නේ දින 4 සිට 9 දක්වා කාලයක් පමණි. එබැවින් මුදල් සංචිත සලකා ඇණවුම් සිදු කළ හැකිය. එමෙන්ම වෙනත් නැවක් බෝයාවේ තිබේ නම් ගොඩබෑම් අවසන් කරන දිනය සලකා ඇණවුම් කළ හැකි බව පැහැදිලිය. ඉකුත් කාලයේ සිදු වූ ඇණවුම් නිසා ප්‍රමාද ගාස්තු පමණක් නොව තොග නිදහස් කර ගැනීමට ලබාගත් ණය මුදලට පොලියක් ද ගෙවීමට සිදුව තිබේ. ඒ අනුව එක් නැවකට අමතර ගෙවීම් වර්ග දෙකක් සිදු කරමින් තවත් ජීවිත 27ක් ඉන්ධන පොලිම්වලදී අහිමිවීම දරාගත නොහැකි අපරාධයක් යැයි සිතීම සාධාරණය.

ආනන්ද පාලිත මහතා වැඩිදුරටත් මෙලෙස පැවසීය.

“මහ බැංකුවෙන් කිව්වා තෙල් ගන්න සල්ලි තියෙනවා කියලා. සල්ලි තියෙනවා නම් නැව් ගෙනල්ලා මුහුදේ තියන්නේ මොකටද? මැයි මාසෙට කලින් අපි ඉන්ධන මිලදී ගත්තේ කෙටිකාලීන, මධ්‍යකාලීන, දිගුකාලීන, නැත්නම් හදිසි මිලදී ගැනීම් විදිහට ටෙන්ඩර් ක්‍රියාවලියට. හැබැයි වර්තමාන ජනාධිපතිතුමා මුදල් අමාත්‍ය වුණාම ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව ගන්න නියෝග කළා. ඒ නිසා දැන් ගන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව. රටේ සල්ලි නැති නිසා බෙහෙත් සමාගම්, පිටි සමාගම් ලංකාවට එන්නෙ නැතිකොට තෙල් සමාගම් අමාත්‍යංශයේ පිරිලා. මොකද, ප්‍රසම්පාදනයෙන් තොරවයි තෙල් ගන්නේ. ඒකයි අපි කියන්නේ ගජමිතුරු සේවනයට තමයි දැන් ඉන්ධන ගේන්නෙ කියලා.”

මහජන මුදල් ගසාකෑමට සංවර්ධන ව්‍යාපෘති නොමැති නිසා ඉන්ධන මගින් ගසා කෑමට දේශපාලකයන් යොමුව ඇතැයි චෝදනාවක් වැඩි දෙනකු අතර පවතී. එහි සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් ප්‍රමාද ගාස්තු වශයෙන් වැය කළ ඩොලර් ලක්ෂ අසූවෙන් ඉන්ධන තොග කිහිපයක්ම ගෙන්වන්නට තිබුණු බව නම් සැබෑය. ඛනිජ තෙල් සංස්ථාව පෙන්වා දෙන්නේ මේ වනවිට ගෙවිය යුතු ප්‍රමාද ගාස්තු වැඩි ප්‍රමාණයක් ඩොලර්වලින්ම ගෙවා අවසන් බවය. මන්දපෝෂණ, උද්ධමනය, ඖෂධ හිඟය, අත්‍යවශ්‍ය භාණ්ඩ අත්හිටුවීම යන සෑම දෙයකම බර පහළම තලයේ මිනිසුන් මත පැටවෙද්දී ගජමිතුරු පෝෂණයට යහමින් ඩොලර් වැය වී ඇති හැටි දකින විට ඇතිවන්නේ කනගාටුවකි.

 සටහන: සකීෆ් සාම්