
සීමාසහිත නව දිල්ලි ටෙලිවිෂන් සමාගම හෙවත් NDTV සමාගමට අයත් වැඩි කොටස් ප්‍රමාණයක් ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා වන ගෞතම් අදානි විසින් පවත්වාගෙන යනු ලබන සමූහ ව්‍යාපාරය මගින් අත්පත් කර ගැනීමට දරන උත්සාහය මේ දිනවල උණුසුම් කතාබහකට ලක්ව තිබේ. පසුගිය සතියේ ඉන්දියාවේ ස්වාධීන මාධ්‍ය බලකොටුව ලෙස සැලකෙන NDTV ප්‍රවෘත්ති ජාලයේ බහුතර කොටස් පාලනය කිරීමේ සිය සැලසුම් එළිදැක්වීමෙන් පසුව NDTV සහ Adani ප්‍රසිද්ධියේ අං පටලවාගන තිබේ.
NDTV හි සියයට 29.18ක කොටස් අත්පත් කර ගැනීමට තමන් අදහස් කරන බවට අගෝස්තු 23 වැනි දින Adani සමූහය නිවේදනය කළේය. නව දිල්ලි ටෙලිවිෂන් ආයතනය සිය ජනප්‍රිය ප්‍රවෘත්ති ජාලය පාලනය කිරීමට අදානි සමූහ ව්‍යාපාරය ගන්නා මෙම උත්සාහයට බාධා කරමින් පැවසුවේ එහි නිර්මාතෘවරුන් විසින් Adani සමූහ ව්‍යාපාරය වෙත ප්‍රධාන කොටස් විකිණීමකට පෙර ඒ සඳහා ඉන්දියාවේ බදු බලධාරීන්ගේ අවසරය ගතයුතු බවය. 2017දී ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් NDTV ආරම්භකයින් වන ප්‍රනෝයි සහ රාධිකා රෝයිට ඔවුන්ගේ බදු නැවත තක්සේරු කිරීමේ හේතුව මත සිය කොටස් විකිණීම තාවකාලිකව තහනම් කළ බව ජනප්‍රිය ප්‍රවෘත්ති ජාලය මතක් කර දී තිබේ.
අදානි සමාගම මෙම කොටස් බාගැනීම සඳහා ඇමක් ලෙස යොදා ගන්නට යන්නේ එතරම් ප්‍රසිද්ධ නැති ඉන්දියානු සමාගමකි. එය අත්පත් කර ගැනීමෙනි. එම විශ්ව ප්‍රදර්ශන් වානිජ සමාගම (VCPL) දශකයකට වැඩි කාලයකට පෙර NDTVහි නිර්මාතෘවරුන්ට රුපියල් බිලියන 4ක (ඩොලර් මිලියන 50) ණයක් ලබාදුන් අතර ඒ වෙනුවට ඕනෑම අවස්ථාවක සිය ප්‍රවෘත්ති ආයතනයේ කොටස් පවරා ගැනීමට ඔවුන්ට නෛතික බලයද ලබා දී තිබුණි. අදානි සමූහය දැන් එම VCPL, ආයතනය සතු එම අයිතිවාසිකම පවරාගනිමින් එය සිය වාසියට යොදා ගැනීමට උත්සාහ දරා තිබේ. NDTV ආයතන ප්‍රධානින් මේ ගනුදෙනුව තම අනුමැතියකින් තොරව සිදුකර ඇති බව කියයි.
අදානිගේ මෙම නිවේදනයෙන් දින කිහිපයකට පසු, NDTV හි ආයතන ප්‍රධානින් ප්‍රකාශ කළේ ඉන්දියානු සුරුකුම්පත් සහ විනිමය මණ්ඩලයේ (සෙබි)ගේ අනුමැතිය නොමැතිව මෙම ගනුදෙනුව ඉදිරියට යා නොහැකි බවයි.
2020 නොවැම්බර් 27 වන දින සම්මත කරන ලද නියෝගයකින්, ඉන්දියානු සුරුකුම්පත් සහ විනිමය මණ්ඩලය (සෙබි) සුරුකුම්පත් වෙළඳපොළෙන් NDTV නිර්මාතෘවරුන්වන රාධිකා රෝයි සහ ප්‍රනෝයි රෝයි වසර දෙකක කාලයක් සඳහා තහනම් කරන ලද අතර එම කාලය නොවැම්බර් 26 දිනෙන් අවසන් වීමට නියමිතය.
එම සීමාවන් තවමත් ක්‍රියාත්මක වන බැවින්, විශ්වප්‍රධාන් කොමර්ෂල් ප්‍රයිවට් ලිමිටඩ් (VCPL) සතු අයිතිවසිකම් පවරා ගනිමින් NDTVකොටස් හිමි කර ගැනිම සඳහා ඉන්දියානු සුරුකුම්පත් සහ විනිමය මණ්ඩලය, Sebi වෙතින් පූර්ව ලිඛිත අනුමැතියක් අවශ්‍ය වන බව NDTV අදානි වෙත දන්වා තිබේ.
එහෙත් අතරමැදි විශ්වප්‍රධාන් කොමර්ෂල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය VCPL පවසා ඇත්තේ තමන් ණය ලබාදුන් NDTV ප්‍රධානීන්ට අයත් RRPR ආයතනය 2020 නොවැම්බර් 27 දිනැති Sebi නියෝගයේ පාර්ශවකරුවෙකු නොවන බවත්, සීමා කිරීම් එයට අදාළ නොවන බවත්ය. මේ නිසා තමන් වහාම තම වගකීම ඉටු කිරීමට සහ තමන්ට අදාළ කොටස් වෙන් කිරීමට බැඳී සිටින බවය.
අදානිගේ සමාගම මේ පවරා ගැනිම් ගැන අදහස් දැක්වූ දා සිටම මෙම මාධ්‍ය ආයතනයේ කොටස් මිල ඉහළ යමින් පවතී. ඒ අනුව NDTV හි කොටස් ඉකුත් බ්‍රහස්පතින්දා උදෑසන වෙළඳාමේදී උපරිම අවසර ලත් සීමාව වන 5% දක්වා ඉහළ ගිය අතර, Adaniගේ නිවේදනයෙන් පසු අඛණ්ඩ හයවන දිනටත් මෙලෙස ඔවුන්ගේ ලාභය සටහන් විය.
ඉන්දියාවේ සීඝ්‍රයෙන් ධ්‍රුවීකරණය වන මාධ්‍ය ක්ෂේත්‍රයේ පවතින ස්වාධීන හඬවල් කිහිපයෙන් එකක් ලෙස සමහරු NDTV සලකනු ලබන අතර, එය අත්පත් කර ගැනීමේ උත්සාහය සහ හිමිකාරීත්වය වෙනස් කිරීම එහි ස්වාධිනත්වය අඩපණ කළ හැකි බවටද හඬක් මතුව තිබේ.
සුගත් පී. කුලතුංගආරච්චි