2022 සැප්තැම්බර් 04 වන ඉරිදා

රටම හොල්මං කළ කාලගුණ විපත !

 2022 සැප්තැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 08:00 87

දින කිහිපයක් අඛණ්ඩව ඇදැහැළුණු වර්ෂාව හේතුවෙන් රත්නපුරය, කෑගල්ල, බදුල්ල, මහනුවර, කළුතර, පුත්තලම, කුරුණෑගල, අනුරාධපුර, මොණරාගල හා කොළඹ යන දිස්ත්‍රික්කවල පවුල් 275කට අයත් පුද්ගලයන් 1052කට වැඩි පිරිසක් බලපෑමට ලක්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කරයි. තද වැසි, පස් කඳු කඩා වැටීම, අකුණු අනතුරු හා තද සුළං හේතුවෙන් මෙම ආපදා සිදුව ඇති බවත් පූර්ණ නිවාස හානි දෙකක් සමඟ අර්ධ නිවාස හානි 71ක් සිදුව තිබෙන බවත් ඉකුත් 1 වැනිදා නිකුත් කළ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන වාර්තාවේ සඳහන් වේ.

අයහපත් කාලගුණය නිසා රත්නපුරය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට සුළු ගංවතුර හා නාය අවදානමට ලක්ව පැවතිණ. රත්නපුර හා ඇළපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 78ක් ආපදාවට ලක්ව සිටියි. පැවති තත්ත්වය හමුවේ 2 වැනිදා පස්වරුවේ පාලින්දනුවර, කුරුවිට, ඇළපාත, රත්නපුර ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා නායයාම පිළිබඳ රතු නිවේදන නිකුත් කළ අතර කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 27ක් සඳහා නාය යාම් පිළිබඳ අනතුරු ඇඟවීමේ පළමු හා දෙවැනි මට්ටමේ නිවේදන නිකුත් කළේය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ආශ්‍රිතව වැසි ලැබීම නිසා නෝර්ටන් බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය හා ලක්ෂපාන ජලාශයෙන් වාන් දැමීම ආරම්භ වී තිබිණ. මේ අතර හැටන් - කොළඹ, හැටන් - නුවරඑළිය, නුවරඑළිය - ගම්පොළ යන ප්‍රධාන මාර්ගවල වාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් වන්නැයි නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ඉල්ලා සිටියේය.

නිරිතදිග මෝසම සක්‍රිය වීමත් සමඟ පැවති වැසි තත්ත්වය තරමක් අඩුවන බවත් හෙට දිනයේත් වැසිබර කාලගුණයක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක මෙරිල් මෙන්ඩිස් මහතා කීය. කළු ගඟ ආශ්‍රිතව මිල්ලකන්ද ප්‍රදේශයේ තරමක ගංවතුර තත්ත්වයක් වාර්තා වුවද ඉදිරි දිනවලදී එවැනි අවදානමක් ඇතිනොවන බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සුගීෂ්වර මහතා තහවුරු කළේය.

I සමන්ත ප්‍රදීප්