
ශ්‍රී ලාංකීය දේශපාලන වංශකතාවේ ටෝනාඩෝව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. විටෙක හිටිහැටියේම මතුවී විසල් බලයක් සහිතව දේශපාලන භූමිය ආක්‍රමණය කර ඉතිහාසය උඩු යටිකුරු කර දැමීමට එම දේශපාලන පක්ෂය සමත් විය. තවත් විටෙක ඔවුනට මෙරට දේශපාලන වංශ කතාවේද දැවැන්තම මහජන විරෝධයට මුහුණ පෑමටද සිදුවිය. ඊට අදාළ පොහොට්ටුවේ ඉතිහාස කතාව අපි දනිමු. මේ දිනවල වඩාත් වැඩි වශයෙන් කතාබහට ලක්වන්නේ පොහොට්ටුවේ බිඳීම සහ බෙදීම සම්බන්ධවය.
අද අප විමසා බලන්නට බලාපොරොත්තු වෙන්නේ පොහොට්ටු පක්ෂයේ ඩලස් අලහප්පෙරුම හා සබැඳි වර්තමාන කතාවය. පසුගිය ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් අගෝස්තු 31 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ සාමාජිකත්වය සහිත මන්ත්‍රීවරුන් 13 දෙනෙක් පාර්ලිමේන්තු විපක්ෂයේ අසුන් ගත්හ.
ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයේදී ඩලස් අලහප්පෙරුම මහතාට සහාය ලබාදුන් මෙම පිරිස ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් ලෙස පසුගිය සමයේ පෙනී සිටියද මෙවර ඔවුහු ස්ථිර විපක්ෂයට යාමට තීරණය කළෝය. ඒත් විපක්ෂය තුළ රැඳුණද තමන් තවදුරටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේම කොටසක් බව ඔවුහු කියා සිටියහ. කෙසේ වෙතත් මෙම බිඳීයෑම සඳහා ආසන්න හේතූන් මෙන්ම දුරස්ථ හේතුද වූයේය.
මෑතකදී පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමක් ලෙස පෙනී සිටීම හරහා ඔවුනට පාර්ලිමේන්තුවේ කතා කිරීමට කාලය ලබා ගැනීමේ ගැටලු මෙම පිරිසටද ඇතිව තිබුණි. මීට දෙසතියකට ඉහතදී ස්වාධීන වූවන් ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසටද ආණ්ඩුවෙන් සහ විපක්ෂයෙන් කාලය වෙන්කිරීම ප්‍රතික්ෂේප කොට තිබුණි. ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ ස්වාධීන වූ පොහොට්ටු කණ්ඩායමද මෙම ගැටලුවට මුහුණ පා සිටි බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය.
කෙසේ වෙතත් මෙම විපක්ෂයේ අසුන් ගැනීමේ තීරණය හුදෙක් පාර්ලිමේන්තුවේ කාලය බෙදාගැනීම සම්බන්ධ ගැටලුවක් නොවේ. මේ අතිශය දේශපාලනික සිදුවීම් දාමයක ප්‍රතිඵලයකි. මෙහිදී කතා නායකයා බවට පත්වන්නේ වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමයි. මේ වනවිට ඔහු වටා මෙම නව දේශපාලන කඳවුර පරිභ්‍රමණය වන බව පෙනී යයි. එමනිසාම ඩලස්ගේ නැගී සිටීම සම්බන්ධ කරුණු විමසා බැලීම වටීයි. අවසන් පාර්ලිමේන්තු මැතිවරණය, විදුලිබල අමාත්‍යාංශය, අරගලය අතරේ ඩලස් මහින්ද මහින්ද රාජපක්ෂට යැවූ ලිපිය, අනුප්‍රාප්තික ජනපති සටන මේ අතර අතීත සන්ධිස්ථාන ලෙස නම් කළ හැකිය. එසේ නමුත් පසුගිය මාසය තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එම පක්ෂයේ ප්‍රතිසංවිධාන කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු පෙනී සිටි අලහප්පෙරුම මහතා අතර සිදු වූ ලිපි ගනුදෙනුව ඉතා සුවිශේෂීය.
මෙම ලිපි ගනුදෙනු පරිශීලනය කිරීමෙන් වර්තමාන සිදුවීම් සම්බන්ධව යම්තාක් දුරකට නිරවුල් අදහසක් ලබාගත හැකිවේ. අගෝස්තු 18 වැනිදා පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටු පත්කිරීමේදී බලාත්මක වෛරී දර්ශක පිළිබඳ අවධානය යොමුකරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් ඉල්ලා පොහොට්ටු පක්ෂයේ ප්‍රතිසංවිධාන කණ්ඩායමේ නායකයා ලෙස අලහප්පෙරුම මහතා ලිපියක් යොමුකොට තිබුණි.
නව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමෙන් අනතුරුව මෙහෙයුම් කමිටු සඳහා මන්ත්‍රීවරුන් පත්කිරීමේදී සිදුවූ අකටයුතුකම් පිළිබඳ ඩලස්ගේ අලහප්පෙරුම යොමුකළ ලිපියේ සඳහන් විය. ජූලි 20 වැනි දින පැවැති ජනාධිපතිවරණයේදී තමා වෙත සෘජුවම සහාය පළකළ සහ ඒ වෙනුවෙන් ක්‍රියාකාරීව වෙහෙසුණු මහජන නියෝජිතයන් බොහෝ දෙනකු නැවත පත් නොකිරීමට ආණ්ඩුව උනන්දුවෙන් කටයුතු කොට ඇතැයි ඔහු ලිපි හරහා චෝදනා කළේය.
"ගරු අගමැතිතුමනි, එක් අතකින් ගරු ජනාධිපතිවරයා විසින් රට ගොඩනැගීම සඳහා සියලු බේද පසෙකලා සර්වපාක්ෂික රජයක් පිහිටුවීම සඳහා යෝජනා කරන අතරතුර අනෙක් අතට, ජනාධිපතිවරණයේ ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදීයාද, ඔහුගේ සමීපතයන්ද මෙලෙස දඩයම් කිරීම තුළින් නැවත නැවතත් පිළිඹිබු වන්නේ දශක ගණනාවක් පුරා ක්‍රියාත්මකව දැනට වියපත්ව, ගිලන්ව සිටින ශ්‍රි ලාංකේය කෛරාටික දේශපාලනයේ නෂ්ටාවශේෂ නොවේද?
මේ අනුව, නිසැකවම පැහැදිලි වනුයේ මීට දින 21ට පෙර ගරු ජනාධිපතිතුමන් විසින් ප්‍රතිපත්ති ප්‍රකාශනය ලෙස එළිදක්වා ඇත්තේ අරුත්සුන් හිස් ප්‍රලාපයක් බව පමණි. එමනිසා, ජනසම්මත වාදය සහ ලිච්ඡවී ප්‍රතිපත්ති පිළිබඳව උස් හඬින් කතා කරමින් ප්‍රජාතන්ත්‍රවාදයේ උල්පත ලෙස සලකන පාර්ලිමේන්තුව අභ්‍යන්තරයේ නිහඬව මේ ක්‍රියාත්මක කරනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට "ප්‍රජාතන්ත්‍රවාදය" ආදේශ කිරීමකියි යන මාගේ නිර්වචනය කාරුණිකව පිළිගනු මැනවි."
මේ දීර්ඝ ලිපියක් වූ අතර එහිදී වර්තමාන පාලනය සිටින අයගේ වෛරී ස්වභාවයන්, කුහකත්වයන් ආදී කරුණු පිළිබඳවද අවධානය යොමු කොට තිබුණි.
මේ අතර ඉකුත්දා අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ඩලස් අලහප්පෙරුම එවා තිබූ ලිපියට ප්‍රතිචාර දැක්වූවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතාය. එයද අතිශය දීර්ඝ ලිපියක් විය. "තල වපුරා මුං නෙලන්න බෑ" යන තේමාව යටතේ සකස්ව තිබූ ලිපියේ ඩලස් අලහප්පෙරුම මහතාගේ දේශපාලන භාවිතයන් පිළිබඳ දැඩි විවේනයක් සිදුකොට තිබුණි.
"අපි ප්‍රථම වශයෙන්ම කියා සිටින්නේ අලහප්පෙරුම මහතා සමඟ හෝ ඔහුගේ සාමාජිකයන් කිහිපදෙනා සමග හෝ අපට කිසිදු වෛරයක් නොමැති බවයි. නමුත් ඔවුන්ගේ දේශපාලන භාවිතය පිළිබඳව අපට ප්‍රතිපත්තිමය ප්‍රතිතර්කයක් ඇත. එය කිසිසේත්ම එකී පාර්ශවය වෙත වෛරය මුදාහැරීමක් නොවේ. ගරු ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා වත්මන් රජය බලයට පත් වූ අවස්ථාවේ සිටම කටයුතු කරනු ලැබුවේ එක්තරා ආකාරයක පෞද්ගලික න්‍යාය පත්‍රයක් මත බව අපට නිරීක්ෂණය වී තිබුණි. එතුමන් කිසිවිටෙක සාමුහික වගකීමට උරදුන් බවක් අප දුටුවේ නැත."
ඩලස් අලහප්පෙරුම මහතාගේ දේශපාලන ඉතිහාසය හා සබැඳි කරුණු මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස එවූ ලිපිය පිළිබඳවත් සාගර කාරියවසම් මහතාගේ අවධානය යොමුව තිබුණි. ඒ අනුව මෙම ලිපි ගනුදෙනුවේදී ඩලස් අලහප්පෙරුම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර වන ගැටුම පිළිබඳ කරුණු රැසක් අනාවරණය කරගත හැකිවිය. මෙම ලිපි ගැටුමද පොහොට්ටුවේ ප්‍රතිසංස්කරණවාදීන් විපක්ෂයේ අසුන් ගැනීමට හේතුවූ බව කිව හැකිය.
කෙසේ වෙතත් ඩලස් කඳවුර විපක්ෂයේ අසුන් ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දරණුයේ වෙනත් අදහසකි. මෙම කණ්ඩාමේ බහුතරයක් දෙනා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි අය බව පොහොට්ටුවේ පිරිස් කියා සිටියි. එම නිසා මෙම පිරිසේ නික්ම යාමෙන් දේශපාලන බලපෑමක් සිය පක්ෂයට සිදුනොවන බව ඔවුහු පෙන්වා දෙති. මේ හා සම්බන්ධව එස් බී දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද අදහස් දක්වා තිබුණි.
"ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීතුමා සමඟ එකතු වූ වැඩිදෙනෙක් පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පත්වුණ අය. මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා තවදුරටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති වශයෙන් පිළිගන්න බැහැ. අපි එතුමා වැඩ කටයුතුවලට සම්බන්ධ කර ගන්නේ නැහැ. අපේ පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ. ඒක වෙනස් වෙන්නේ නැහැ. මේ වෙනකොට පක්ෂයේ ආසන සහ දිස්ත්‍රික් මට්ටමින් සාමාජිකයන් කැඳවා පක්ෂ බලමණ්ඩල බලාත්මක කරමින් තිබෙනවා. ඉතාම නුදුරු දිනයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ සම්මේලනය පැවැත්වීමට නියමිතයි. එම සම්මේලනයේදී පොදුජන පෙරමුණේ සභාපති ඇතුළු පක්ෂයේ ක්‍රියාකාරී මණ්ඩලය පත්කර ගැනීමට නියමිතයි."
මේ අතර ඩලස් ඇතුළු කණ්ඩායම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේම කොටසක් ලෙස පෙනී සිටින බව කීවද ඔවුන් නව දේශපාලන යාන්ත්‍රණයක් නිර්මාණය කර ගැනීම නිසක බව දේශපාලන ආරංචි අතරේ අසන්නට ලැබේ. ඊට අමතරව සර්ව පාක්ෂික ආණ්ඩුවේ ඇමති ධූර පත් කිරීම සම්බන්ධව ආණ්ඩුවේ කටයුතුවලදී සිය කඳවුරු පුළුල් කර ගැනීමට ඩලස් පාර්ශ්වයේ සේම පොහොට්ටුවෙන් බිඳී ගිය සෙසු කොටස්ද උනන්දු වන බව අසන්නට ලැබේ. අය-වැය ඡන්ද විමසීමේදීද කිසිදු පාර්ශ්වයකට ඡන්දය ලබා නොදී සිටීමට මෙම පාර්ශ්වය සිකුරාදා වන විට තීරණය කළේය.
මෙය මෙගා ටෙලියක් සේ දීර්ඝ කතාවක් විය හැකිය. අප තවමත් නරඹමින් සිටින්නේ එහි ආරම්භය කොටස් කිහිපය පමණි.
I චමිඳු නිසල් ද සිල්වා