
තංගල්ල කතරගම පාරේ මොරකැටිආර ප්‍රදේශය ගොම්මන් කළුවරේ ගිලෙමින් තිබිණ. රතු ලේ රහට ගොදුරක් සොයන මිනීමරුවන් ගොම්මන් අඳුරේ මාන බලන බව කාටවත් වගක් නැත. මහමඟ ගමන් කරමින් තිබූ කැබ් රථයක් පසුපස යතුරුපැදියකින් ආ පුද්ගලයන් දෙදෙනකු විසින් එම රථයේ ගමන්ගත් පිරිස ඉලක්ක කොට වෙඩි වරුසාවක් එල්ලකොට තිබුණි. කිසිවක් සිතන්නට මොහොතක් නොතබාම වේගයෙන් පලාගිය වෙඩික්කරුවන් ගැන ආරංචියක් හෝ නොවීය.
නාඳුනන තුවක්කුකරුවන් විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණේ පසුගිය ජූනි පස්වැනිදා රාත්‍රී 7ට පමණය. වෙඩි වැදිමෙන් කැබ්රථයේ රියැදුරු ඇතුළු තිදෙනෙක් බරපතළ තුවාල ලැබූහ. ඔවුන් තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කැබ් රථයේ රියැදුරු වූ අසුන් චාමර නැමැත්තා ජීවිතක්ෂයට පත්විය. ඝාතනයට ලක්වූ පුද්ගලයා තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ අතර මරණයට ආසන්නම හේතුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර වූ විරසකයක් බවට සැක කෙරිණ.
ඝාතනය සිදුකළ නාඳුනන වෙඩික්කරුවන් පිළිබඳව හෝඩුවාවක් නොවුණද මියගිය පුද්ගලයා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක හෙවත් හරක් කටා නැමැත්තාගේ කුඩු ජාවාරමේ ප්‍රබල සාක්ෂිකරුවකුව සිට ඇත. ඒ අනුව පොලීසියේ පැවති සාධාරණ සැකය අනුව තංගල්ල පොලීසිය සිදුකළ විමර්ශනවලින් හෙළිවී ඇත්තේ අදාළ ඝාතකයන්ට රුකවරණය ලබාදීමට සමන් පෙරේරා නැමැත්තකු කටයුතු කර ඇති බවය.
සැකකාර සමන් පෙරේරා පිළිබඳව විමර්ශන සිදුකරමින් තිබියදී වෙඩික්කරුවන්ට රැකවරණය සැපයීම යන චෝදනාවට එරෙහිව පසුගිය 23 වැනිදා රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවේ අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතාය. මාස ගණනක් පුරා පොලීසිය මගහැර කට්ටි පනිමින් සිටි අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා කොස්ගොඩ ප්‍රදේශයේ ඔහුගේ මහගෙදරට පැමිණ සිටින බවට තංගල්ල පොලීසිය ලද තොරතුරක් අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට පත් විය.
ඉකුත් 23 වැනිදා රාත්‍රියේ සැකකරු ඔහුගේ මහගෙදර සිටින බවට ලද තොරතුරත් සමඟ ක්‍රියාත්මක වූ පොලීසිය වටලන මොහොතේ නිවෙසේ දොරගුළු දමා තිබී ඇත. ඒවා විවෘත නොකිරීම නිසා පොලිස් නිලධාරීන්ට සිදුව තිබුණේ නිවස අවට රැකවල් තරකර නිවසේ පසුපස දොරඅගුළු බිඳදමමින් ගෙට ඇතුළුවීමටය. එහිදීද සැකකරු ග්‍රහණය කරගැනීම සඳහා නිලධාරීන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බව වාර්තා වේ.
අපේ ජනබල පක්ෂයේ මහලේකම් වශයෙන්ද කටයුතු කළ මේ පුද්ගලයා පැවති ජනාධිපතිවරණය සඳහාද ඉදිරිපත් වූ අපේක්ෂකයෙකි. පැවති මහමැතිවරණය සඳහාද සියලුම දිස්ත්‍රික් නියෝජනය කරමින්එම පක්ෂය තරග කළ අතර අතුරලියේ රතන හිමියන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙනි. මේ අතර ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝද මෙම පක්ෂය නියෝජනය කරමින් මැතිවරණයට තරග කළහ.
සමන් පෙරේරා නැමැත්තාගේ මහගෙදර පිහිටි කොස්ගොඩ ප්‍රදේශයේ බොහෝ පිරිස් මොහුව හඳුන්වන්නේ රෝයල් බීච් සමන් ලෙසය. ඊට හේතුව ඉඳුරුව රෝයල් බීච් හෝටලයේ හිමිකරු මොහු වීමය. ඊට අමතරව සමන් ප්‍රසන්න පෙරේරා නැමැත්තා සංචාරක මඟ පෙන්වන්නකු වශයෙන් කටයුතු කොට ඇතැයි පැවසේ. පසුකලෙක මේ පුද්ගලයා වෛද්‍යවරියක සමඟ විවාහ වීමෙන් පසු මහා ධනස්කන්ධයකට උරුමකම් කියන බවද වාර්තා වේ.
සමන් පෙරේරා වරක් බන්ධනාගාර ගතව සිට ඇප ලබා පැමිණ සිටි අයෙකි. ස්ථාන කිහිපයක සිදුකළ ඝාතනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා පවතින මොහුට එරෙහිව නඩු කිහිපයක්ද විභාග වෙයි. බලපිටිය හිටපු ප්‍රාදේශීය සභා සභාපති ස්ටැන්ලි තාබ_ හා ඔහුගේ පුත්‍රයා වන ටෙරී තාබ_ වෙඩිතබා ඝාතනය කිරීම පිළිබඳව මොහුට චෝදනා එල්ල වී තිබේ. ඉඳුරුව සමන් නැමැත්තකු ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ඇත්තේද මොහුටය. කොස්ගොඩ සුජී නැමැති පාතාල නායකයාගේ ප්‍රධානතම ප්‍රතිවාදියකු බව කියන සමන් පෙරේරා විවිධ ගැටුම් ඇතිකොට ගෙන ඇත්තේ සංචාරක ව්‍යාපාරය හා දේපළ සම්බන්ධයෙන් බව කියැවේ.
දකුණේ පාතාලයට සබඳතා දක්වන සමන් පෙරේරා පිළිබඳව රාජ්‍ය බුද්ධි අංශ මගින්ද තොරතුරු අනාවරණය කොටගෙන ඇත. දකුණු පළාතේ සිදුවූ පාතාල ඝාතන රුසකට මොහුගේ සබඳතාවක් ඇති බව කියන අතර මොරකැටිආර වෙඩිතැබීමේ සිදුවීමට අදාළ වෙඩික්කරුටද සහාය ලබාදී ඇතැයි කියති. ඊට සම්බන්ධ සැකකරුවන් 5ක් මීට පෙර අවස්ථා කිහිපයකදී අත්අඩංගුවට ගෙන තිබුණි. ඉහත කී පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂකයෙක්ද ඒ අතර වෙයි. &සුරතලා* ලෙස හඳුන්වන ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී සමන් පෙරේරා පිළිබඳ තොරතුරු හෙළිකර ගැනීමට හැකිව තිබේ.
මොරකැටිය ඝාතන සිදුවීම මෙහෙයවා තිබුණේ මේ කියන සුරතලාය. මේ සඳහා ශෂී ප්‍රභා නැමැති හරක්කටාගේ මස්සිනා වන අයකුද සහාය වී ඇත. හරක්කටාගේ ගෝලයකු වූ කදිරා නැමැති වෙඩික්කරුටද ශෂී විසින් විවිධ සහායන් ලබාදී තිබුණි. ඝාතනයට ලක්වූ අසුන් චාමර හරක්කටාගේ හිටපු හිතවතෙකි. තංගල්ල නාකුළුගමුව නගරයේ හරක්කටාට අයත්ව තිබූ සුපිරි වෙළෙඳ සලකි. එහි හිමිකරු වශයෙන් පෙනී සිට තිබුණේ අසුන් චාමරය. පොලීසිය සිදුකළ වැටලීමකට පසුව එම ව්‍යාපාරය හරක්කටාට අයත් බව හෙළිකිරීම නිසා තරහට අසුන් චාමර ඝාතනය කිරීමට හරක්කටා සැලසුම් කර තිබිණ. ඔහු හා පැවති හිතවත්කමට සමන් පෙරේරා සැකකාර ඝාතකයන්ට සැඟවී සිටීමට ආධාර උපකාර කොට තිබූ බව කියති.
සමන්ත ප්‍රදීප් විල්තෙර