2022 සැප්තැම්බර් 18 වන ඉරිදා

පත්තිනි සලඹ ශෘන්තිකර්මය නටන සරසවි ඇදුරා

 2022 සැප්තැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 08:00 640

"අවසර, පස්වාන් දහසකට චිරාත් කාලයකට අනන්ත කල්ප දහසකට මතු බුදුවන හාමුදුරුවනේ. ඔබ වහන්සේලාගේ බැල්ම දිවැස්ලා වූද නවගමුවේ දේව මාලිගාවේ වැඩවසන්නාවූ නයි කඳුළෙන් සිනාරැල්ලෙන් දෙමට මලින් එසේම සත්වාරයක් උප්පැන්න වන්නාවූ දොළහපත්තිනි සත්පත්තිනි දේවීන් වහන්සේලාගේ ආනුභාවයෙන් ආශීර්වාදයෙන් මේ දරුවාට සෙතක් ශාන්තියක් යහපතක් කරවන්නයි."

ශාන්තිකර්ම, දේශීය නර්තනයේ තිඹිරිගෙයයි. මෙරට නර්තන සම්ප්‍රදායයන් අතරින් පහතරටට අත්වන්නේ සුවිශේෂී ස්ථානයකි. ඇඟෙන් එන හැකියාව හැමෝටම නොලැබෙන වාසනා ගුණයකි. එකී වාසනා ගුණයට උරුමක්කාරයකු වෙමින් පහතරට නර්තන සම්ප්‍රදායත් දේශීය ශාන්තිකර්ම කලාවත් එකමිටට ගෙන එය අනාගතයට පුදන්නට පුදසුනක් වූ ආදරණීය කලාකරුවකු පිළිබඳ අපට අසන්නට ලැබිණ. ඔහු සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පහතරට නර්තන අධ්‍යයනාංශයේ කථිකාචාර්ය සුසන්ත විදානගමගේ වන්නේය. මෙතැන් පටන් දිගහැරෙන්නේ අප ඔහු සමග බෙදාගත් අත්දැකීම්වල ඒ ආදරණීය කතාන්දරයේ අඬහැරයයි.

පාරම්පරික දේව ශාන්තිකර්ම සිදුකරන කපු පත්තිනි පරම්පරාවට උරුමකම් කියූ පවුලක මාතර කඹුරුපිටිය විටියල ග්‍රාමයේදී මෙම කුමරු ජන්ම දායාදය ලැබුවේය. පහතරට ශාන්තිකර්ම සම්ප්‍රදායේ මාතර ශෛලියේ පාරම්පරික දෙටු කලාකරුවන් වූ ඇල්බට් විදානගමගේ සීයාවූද, කරුණාරත්න විදානගමගේ පියාවූද මද්දුමගේ සුමනාවතී මෑණියන්ට දාව පුත්‍ර රත්නය සුසන්ත විදානගමගේ වන්නේය.

බහ තෝරන වයසේ පටන් ටිකෙන් ටික වයස 7-8 වයස්වලට එද්දී පියාගේ සුළැඟිල්ලේ එල්ලී ශාන්තිකර්මවලට සහභාගි වීමට තරම් මෙම කුමරුවා භාග්‍යවන්ත වූයේය. ප්‍රාථමික අධ්‍යාපනය රන්න වාඩියගොඩ කනිෂ්ඨයෙනුත්, එතැන් සිට සාමාන්‍ය පෙළ දක්වා හක්මන ගංගොඩගම මහා විද්‍යාලයෙනුත් අධ්‍යාපනය හදාරා මාතර කෝංගල මහා විද්‍යාලයෙන් උසස් පෙළ සමත් වූ මෙම දරුවාට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දොරටුව විවර වූයේය. සරසවි මාතාවගේ ඇකයේ හැදී වැඩී ඒ තුරුලේම සෙවණ ලබන තමන්ගේම බාල පරපුරට යහමග පෙන්වීමට ඔහුට කලාතුරකින් ලැබෙන වරමක් ලැබුණේය. බාහිර කථිකාචාර්යවරයකු, තාවකාලික උපදේශකවරයකු ලෙස බැඳුණු ගමන් මග 2010 වසරේ සිට ඔහු ස්ථිර කථිකාචාර්යවරයෙක් ලෙස සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සේවය කරයි. 

එතෙක් මෙතෙක් සරසවියේ විද්‍යාර්ථීන් දස දහස් ගණනකගේ නැණ නුවණ පාදමින් මැකී යන කලාවක දූලි පිසදමන සුසන්ත විදානගමගේ මහතා සිය කතාව මෙසේ ඇරඹුවේය.

"අතීතයේ සතියේ දවස් පහේම ශාන්තිකර්ම තිබුණා. දේව ශාන්තිකර්ම වන ගම්මඩු, දෙවොල් මඩුවලට කුඩා වියේ පටන් සහභාගි වුණා. ශාන්තිකර්මවලට යන අතරතුර පාසල් අධ්‍යාපන කටයුතු කරගෙන යන්න අපහසුතා තිබුණා. ශාන්තිකර්ම කලාකරුවා කියන්නේ දුක්ඛ දෝමනස්ස මැදින් රිදුම් පිරිමදිමින් සිය ජීවිතය සිත්තම් කරන පිරිසක්. යන්න එන්න වාහන තිබුණේ නෑ. ඉතින් අපි පොඩි කාලේ වැඩිපුරම ගමන් ගිහින් තියෙන්නේ පයින්. ඒක තමයි ජීවිතයේ ලබපු හොඳම අත්දැකීම. ශාන්තිකර්ම කරන සැබෑ කලාකරුවන් කිසිවකු උඩින් පාත්වී නෑ. ඔවුන් බොහෝම දුක් මහන්සිවෙලා තමයි ඒ තැනට ඇවිත් තියෙන්නේ.”

දකුණු පළාතේ හේනෙගම, විටියල, දැලිගේගොඩ, නාකුළුගමුව, කොටපොළ ආදී පරම්පරා කිහිපයක් දේව ශාන්තිකර්ම සිදු කරයි. දේව ශාන්තිකර්මවලට සහ යක් ශාන්තිකර්මවලට වෙන වෙනම ශිල්පීහුද සිටිති.

ශාන්තිකර්ම වැඩවල නියැලීමේදී ලැබූ අත්දැකීම් පිළිබඳ ඔහු මෙසේ හඬ අවදි කළේය.

"ශාන්තිකර්මවල නර්තනයට වඩා ඇත්තේ ගායනයයි. දකුණු පළාතේ පවතින ලොකුම දේව ශාන්තිකර්මය ලෙස සැලකෙන්නේ තුන් දා ගී මඩුව ශාන්තිකර්මයයි. මෙහි වැඩිපුරම ඇත්තේ කෝල්මුර කවි ගායනා පාඩම් කරන්නයි. කුඩා කාලේ ඉඳන් මම කවි පාඩම් කළා. ඊට අමතරව දැක පුරුද්ද, අහ පුරුද්ද සහ කළ පුරුද්ද ඒ තුනම මට පොඩි කාලේ ඉඳන් ලැබුණා. මේ කිසිම ශාන්තිකර්මයක් මුදලක් බලාගෙන කළා නොවේ. මුදල ගැන නොසිතා වැඩ කළා. එසේ කළේ දේශීය කලාව රැකගැනීමේ වගකීමක් තිබෙන නිසා. දැන් තියෙන්නේ ඊට හාත්පස වෙනස් තත්ත්වයක්. වර්තමානයේ මේ සාම්ප්‍රදායික කලාව පිරිහී යාමට හේතු සාධක බොහොමයක් තිබෙනවා. මේක පරම්පරාවෙන් පරම්පරාවට දායාද වූ කලාවක්. මෙම ශාන්තිකර්ම කලාව සාම්ප්‍රදායික ශිල්පියාගෙන් තවත් සාම්ප්‍රදායික ශිල්පියකුට පමණක් දායාද වීම යම් ආකාරයකට ආත්මාර්ථකාමී හැඟීමක් යැයි ඇතැමකුට දැනෙන්නට පුළුවන්. ඉතා අමාරුවෙන් ඉගෙන ගත් ශාස්ත්‍රය රැකගැනීම තමයි ප්‍රධානම අරමුණ. දේව ශාන්තිකර්මවලට මත්පැන්, මත්ද්‍රව්‍ය, පිලී කුණු කිසිවක් ගාවගන්නේ නැහැ. එවන් අයකු අතට මේ ශාස්ත්‍රය ගියොත් විශාල හානියක් සිදුවෙනවා. පාරම්පරික දේ රැකගැනීමේ වගකීම තියෙන්නේ සාම්ප්‍රදායික පරම්පරාවලටයි. පරම්පරාවෙන් පරම්පරාවට පමණක් මේ ශාස්ත්‍රය ගියේ ඒකයි. අපේ ලංකාවේ අය වරද්දගත්ත තැනක් තිබෙනවා. දෙවියන් උදෙසා, යකුන් උදෙසා සහ ග්‍රහයන් උදෙසා පවත්වන ශාන්තිකර්ම යන ත්‍රිත්වය අතීතයේ සිටම සිදුවන්නක්. පාරම්පරික ශිල්පීන් මෙය ඉතා ගරුත්වයකින් සිදුකරගෙන ආවා. ඔවුන් ශාන්තිකර්මවලට සුදුසු ස්ථානවල මේ ශාන්තිකර්ම පැවැත්වුවා. ඔවුන්ට රෝගියා පිළිබඳ හොඳ දැනීමක් තිබෙනවා. පාරම්පරිකව ශාන්තිකර්ම කරන පිරිස එක කොට්ඨාසයක්. විවිධ බලවේගවලින් දේවාල ආශ්‍රිතව දේව ආරූඪවලින් කටයුතු කරන තව කොට්ඨාසයක් සිටිනවා. ඒ සම්බන්ධයෙන් කියන්නට තරම් මම දන්නේ නෑ. මට එහෙම ආරූඪයකුත් නැහැ. මට තියෙන්නේ පාරම්පරික දැනුමයි.”

ශාන්තිකර්ම කියන්නේ යම් ආකාරයක මනෝ චිකිත්සාවකි. රට යකුම වැනි ශාන්තිකර්මවල සාර සන්නිවේදන ලක්ෂණ රාශියක් දැකිය හැකිය. දරුවකු ලැබීමට නියමිත කාන්තාවක් කායික මෙන්ම මානසික වශයෙන්ද පීඩා විඳින්නීය. අද කාලයේ එවැනි ගැටලු මගහැර ගැනීමට පවුල් සෞඛ්‍ය සේවිකාවන්, වෛද්‍යවරුන් සහ මානසික උපදේශන ආදී දෑ බහුලය. එහෙත් එවැනි කිසිදු පහසුකමක් නොමැති සමයක සහ ලිංගික හැඟීම් අද තරම් විවෘතව කතා නොකළ සමාජයක එකී අවශ්‍යතා සහ මගපෙන්වීම සිදුවූයේ මෙවැනි ශාන්තිකර්මවලිනි. අතීතයේදී රට යකුම හෙවත් රිද්දි යාගය කළේ දරුඵල අහිමි කාන්තාවන්ට දරුඵල ලැබීමට සහ ගර්භනියන්ගේ දරු ගර්භය ආරක්ෂා කර ගැනීමට සහ දරු ප්‍රසූතිය යහපත්ව සිදුකර ගැනීමටයි. එදා යකැදුරා කියන්නේ අද සමාජයේ නම් වෛද්‍යවරයකු හා සමානය. ආතුර මනසට කරුණු කාරණා කාවද්දමින් ශාන්තිකර්ම දවසේ යකැදුරා සායනයක් පවත්වයි. රට යකුමේ එන නානුමුරය දරු නැලවිල්ල කපුයක්කාරිය යන නාට්‍යමය පෙළපාලි ජීව ගුණයෙන් අනූනය. ආතුර කාන්තාවගේ පමණක් නොව ප්‍රේක්ෂක සිත්සතන්වලද දරු කැක්කුම ඇති කරවයි. පිරිසක් ඉදිරියේ දරුවාට මව්කිරි දීමේදී කෙළ ගැල්මක්වත් ඇති නොවන අයුරින් එම කාර්යය සිදුකිරීමේ උත්තුංග කාර්යයට අවැසි දැනුම මනා ලෙස මේ හරහා ලබාදී තිබේ. ශාන්තිකර්ම භූමියට රැස්වී සිටින ඥාති හිතමිත්‍රාදීන් පිරිසට දරුවා පෙන්වා තෑගි ලබාගැනීමේ අවස්ථාවක් දරු නැලවිල්ලේ සඳහන්ය. මවුපියන් විසින් හදන දරුවා මතු පිවිසෙන සමාජය රැකබලා ගැනීමේ වගකීම පැවරීම මෙහි අරමුණයි. ආතුර කතගේ සැමියා පැදුරේ වාඩිකරගෙන සළුව වියන්නට එකතු පහදු කර ගැනීමෙන් එතුළින් පුරුෂයාගේ මනසට සහයෝගය යන ලක්ෂණය මතුකර දක්වයි. මෙය සැබෑ ලෙසම ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සැමදෙනාගේම ජීවිතයට වටිනා පාඩමකි.
“මා ඇතුළු විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දැනට විශ්වවිද්‍යාල මට්ටමින් සාම්ප්‍රදායික කලාව රැකගැනීම උදෙසා විධිමත් වැඩ කටයුතු රාශියකට උර දී සිටිනවා. ඕනෑම ගහක අග දල්ල රැකගන්න පෙර ගහේ මුල ආරක්ෂා කරන්න උත්සාහ කළ යුතුයි. අපේ මේ පුංචි රටේ වටිනා ඉතිහාසය රැකගැනීම ප්‍රධානයි. ගාල්ලෙන් කොළඹට යද්දී කලාව වෙනස්. එතැනින් නුවරට යද්දී ආයෙත් වෙනස්. මේ සාම්ප්‍රදායික කලාව රැකගැනීමට නම් සාම්ප්‍රදායික කලාකරුවන් සොයාගෙන ඔවුන් හඳුනාගත යුතුයි. සාම්ප්‍රදායික ශිල්පියා යනු සත පහකට ගණන් නොගන්නා පිරිසක් බවට පත්වෙලා. අවුරුදු දෙකකට සැරයක් සම්මාන උත්සවයක සම්මානයක් දුන්නත් එයට තෝරාගන්නත් ජාතික ජාත්‍යන්තර සම්මාන සහතික කුසලතා. කලාකරුවන්ට සම්මාන දෙන්නත් ඔවුන්ට ඊට පෙර සම්මාන තියෙන්න ඕනෑ. රෑ එළිවෙනකල් තොවිල්පළේ බෙරගහපු ශිල්පියාට කොහෙන්ද සහතික. ජාත්‍යන්තර සහතික ඉල්ලන්නේ ජාත්‍යන්තරයට අවස්ථාවක් ලබා දීලාද? කලාවේ සම්පූර්ණ සාරය තිබෙන්නේ සාම්ප්‍රදායික ශිල්පීන් ළඟ. මේ ශිල්පීන්ට රාජ්‍ය අනුග්‍රහයක් ලබා දී රටේ තැනක් ලබාදිය යුතුයි.

 I සසංක චලන ගිම්හාන