2022 අගෝස්තු 07 වන ඉරිදා

දවස් හතට පෙට්‍රල් ලීටර් 5ක් ඇත්ද?- ත්‍රී රෝද රථ හිමියෝ විරෝධය

 2022 අගෝස්තු 07 වන ඉරිදා, පෙ.ව. 08:00 141

දහදිය සුවඳ හමන ගිනි අව්වේ වේලි වේලී තුන් රෝද රිය පැද ගොස් දිවි සරි කරගන්නා මිනිස්සුගේ දුක්ගැනවිල්ලක් පිළිබඳ විමසා බැලීමට කාලෝචිත යයි සිතූවෙමු. ඒ අනුව ඉන්ධන සීමා කිරීම සහ අර්බුද සමයේදී ත්‍රිරෝද රථරියදුරන් මුහුණ දෙන ගැටලු පිළිබඳ මෙහිදී අප අවධානය යොමු වේ.

අද වනවිට ත්‍රිරෝද රථයක් සඳහා සතියකට වෙන්කර ඇති ඉන්ධන පරිමාව ලීටර් පහකි. පළමුව ත්‍රීරෝද රථකරුවන්ගේ පාර්ශ්වයෙන් මතුවන චෝදනාව නම් මෙම ඉන්ධන ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නොවීමයි. මේ සම්බන්ධව බොහෝ වෘත්තීමය ත්‍රීරෝද රථ කරුවෝ දුක් ගැනවිලි ඉදිරිපත් කරති.

කොළඹ නගරය සහ තදාසන්න පෙදෙස්වල කුලී ත්‍රීරෝද රථකරුවන් සඳහා සතියකට පෙට්‍රල් ලීටර 10ත් 15ත් අතර ප්‍රමාණයක් වැයවන බව ඔවුහු කියා සිටිති. එසේම කොළඹින් පිටත කූලී ත්‍රීරෝද රථ කරුවන්ද කියා සිටින්නේ ලීටර් 5 ක ඉන්ධන ප්‍රමාණය කිසිසේතම තමන්හට ද ප්‍රමාණවත් නොවන බවයි. සැබැවින්ම දින හතක් ජීවත්වීමට මේ වනවිට පවුලකට අවැසි ආදායම පැට්‍රල් ලීටර් 5 කින් සොයාගත හැකිද යන්න සියලු දෙනාම කල්පනා කර බැලිය යුතු කරුණකි.

ත්‍රීරෝද රියදුරන් යනු දෛනික ආදායම් උපයන්නෝය. මේ වනවිටත් බොහෝ පෞද්ගලික රථවාහන සඳහා පොදු සීමා යටතේ ඉන්ධන සැපයීම සිදුවේ. එය එසේ සිදුවන අතරේ අතරේ ත්‍රීරෝද රථකරුවන් පමණක් ඉලක්ක කොටගෙන විශේෂිත පීඩනයක් එල්ල කිරීම ත්‍රීරෝද රථ කර්මාන්තයේ නියුතු ප්‍රජාවගේ දෝෂදර්ශනයට හේතු වී තිබේ. පොදු මගී ප්‍රවාහනයට සම්බන්ධ වන නිසාවෙන් තමන් පිළිබඳව බලධාරීන් මීට වඩා අවධානය යොමු කළ යුතු බව ඔවුහු කියා සිටිති.

මේ අතර නව ක්‍රමවේදය සඳහා ලියාපදිංචි වුවන් සංඛ්‍යාව ලක්ෂ 11 ඉක්මවා යන බව ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා පෙන්වා දෙයි. එහෙත් ඔහු කියා සිටින්නේ මෙරට කුලී ත්‍රිරෝද රථ ජීවනෝපාය කර ගත් පිරිස හත් ලක්ෂ පනස් දහසක් පමණ බවයි. ලියාපදිංචියේ ඇති අවිධිමත් ස්වභාවය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව ඔහු පෙන්වා දෙයි.

සිය පෞද්ගලික පරිහරණය සඳහා ත්‍රීරෝද රථ ළඟ තබාගෙන සිටින පිරිස්ද මෙම නව ක්‍රමවේදයේ හරහා ලියාපදිංචි වී සිටිති. මෙතරම් විශාල ප්‍රමාණයක් ලියාපදිංචිය ලබාගෙන ඇත්තේ එබැවිනි. කෙසේ වෙතත් සුදිල් ජයරුක් මහතා පෙන්වා දී ඇති ආකාරයට ලක්ෂ තුනකට අධික මෙම පෞද්ගලික ත්‍රීරෝද රථවලට ලබාදෙන සහනය ඉවත් කළහොත් ජීවනෝපාය ලෙස ත්‍රීරෝද රථ කර්මාන්තයේ නියුතු වන පිරිසට සතියකට ඉන්ධන ලීටර් 15ක් පමණ ලබාදීමට රජයට හැකි වනු ඇත.

මේ අතර පොලිසිය භාවිතා කරමින් ත්‍රීරෝද ලියාපදිංචිය සිදුකිරීම සම්බන්ධව ආරම්භයේ පටන් තම කණ්ඩායම විරුද්ධ වූ බව සමස්ත ලංකා තීරෝද රථකරුවන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පවසයි. ත්‍රීරෝද රථ සම්බන්ධව නියාමන යාන්ත්‍රණය සිදුවිය යුත්තේ පළාත් සභා හරහා බවත් එහි වගකීම පොලීසිය වෙත පැවරීමෙන් ගැටලු මතුවී ඇති බවත් ඔහු කියා සිටියි. දුරබැහැර ප්‍රදේශවල සිට පැමිණ කොළඹ ත්‍රීරෝද රථ රුකියාවේ නිරතවන තරුණයන් හට මෙම නව ක්‍රමවේදය ඉතා පීඩාකාරී එකක් වී ඇති බව ඒ අනුව අපට පැහැදිලි වේ. මේ හරහා බොහෝ දෙනෙකුට ඉන්ධන පෝලිම්වල රැඳී සිටිනවාට අමතරව දිවුරුම් ප්‍රකාශ ලබා ගැනීම ඇතුළු කටයුතු රැසක් වෙනුවෙන් රස්තියාදු වීමට සිදුව තිබේ.

ඔවුන් කොතරම් වෙහෙසවී ලියාපදිංචිය ලබා ගත්තද රජයේ අරමුණ ඒ හරහා ඉටුවී නොමැති බවද පැහැදිලිය. මන්ද මේ වනවිට ලියාපදිංචිය ලබාගෙන ඇත්තේ ජීවනෝපාය ලෙස ත්‍රීරෝද රථ කර්මාන්තයේ නිරත වෙන පිරිස් පමණක් නොවේ. පෞද්ගලික පරිහරණය සඳහා ත්‍රීරෝද රථ භාවිතා කරන්නන්ද අවස්ථාවේ වාසිය ලබා ගෙන හමාරය.

සැබැවින්ම ත්‍රීරෝද සම්බන්ධව නිසි නියාමනය යාන්ත්‍රණයක් නොවීම මෙවන් තත්ත්වයක් උද්ගත වීමට හේතුවය. කිසිදු රාජ්‍ය ආයතනයක් සතුව මෙරට ත්‍රීරෝද රථ කර්මාන්තය සම්බන්ධව නිසි දත්ත පද්ධතියක් නොමැති බව පැවසේ. එවන් දත්ත පද්ධතියක් තිබුණේ නම් මෙවන් කලබගෑනියක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නැත. තවදුරටත් ත්‍රීරෝද රථ කර්මාන්තය සම්බන්ධව නිසි වැඩපිළිවෙලකට අවතීර්ණ වීම පමා නොකළ යුතු බව ත්‍රිරෝද රථ හිමියන්ගේ මතයයි.

කෙසේ වෙතත් අප අවබෝධ කොට ගත යුත්තේ ත්‍රීරෝද රථකරුවන් මෙවන් වූ පීඩාවන්ට ගොදුරු වී සිටින්නේ ඔවුන්ගේ වරදින් නොවන බවයි. මෙරට සෑම අංශයකම සිදුවන පරිදි අදූරදර්ශී පරිපාලන යාන්ත්‍රණය ප්‍රතිඵලයක් ලෙස තුන් රෝද රියන් දිවි සරි කරගන්නා මිනිසුන්ද අපහසුතාවට පත්ව සිටිති.

මේ දිනවල ත්‍රීරෝද රථ සඳහා ප්‍රධාන වශයෙන්ම එල්ල වන චෝදනාව නම් ඉන්ධන ජාවාරමයි. කෙසේ වෙතත් ත්‍රීරෝද රථ සංගම් පවසන්නේ මෙම ජාවාරමේ නියුතු වන්නන් වෘත්තීයමය ත්‍රී රෝද රථකරුවන් නොවන බවයි. ඔවුන් සමාජ විරෝධී ලෙස සලකා ඔවුනට නිසි දඬුවම් ලබා දිය යුතු බව එම සංගම් පෙන්වා දී තිබේ. කෙසේ වෙතත් අප හට පෙනී යන්නේ මේ දිනවල ඉන්ධන ජාවාරමට සම්බන්ධ සමාජ විරෝධය තීරෝද රථ පිට තබා එහි යථාර්ථය වසන් කිරීමට පිරිසක් උත්සුක වන බවයි.

ඉන්ධන ජාවාරමට සම්බන්ධ වී ඇත්තේ ත්‍රීරෝද රථකරුවන් පමණක් නොවේ. සංවිධානාත්මකව මෙම ජාවාරමේ නියුතු පිරිස් රුසකි. ඇතැම් තැන්වල පොලීසියේද සහය මෙම ජාවාරම්කරුවන්ට ලැබී ඇති බවට තොරතුරු හෙළිදරව් වේ. සැමදා පහත් තැනින් ජලය ගලා ගලා බසින පරිදි මෙම අවස්ථාවේදී ත්‍රීරෝද රථකරුවන්ට හොඳම ජාවාරම සම්බන්ධ චෝදනාව පොදුවේ එල්ලකොට අප පිහිදා ගැනීමක් බොහෝ දෙනෙකු සිදු කරති. එහෙත් යථාර්ථය ඉඳුරාම වෙනස්ය. දින ගණනක් සිය ජීවනෝපාය අහිමිව දුක්විඳින ත්‍රීරෝද රථකරුවන් අපමණ ප්‍රමාණයක් මෙරට වෙති.

මේ අතර පොලිස් වසම් අනුව ත්‍රී රෝද රථ සඳහා ඉන්ධන පිරවුම්හල් වෙන් කිරීමද අසාධාරණ ක්‍රමයක් බව ලංකා ත්‍රීරෝද ත්‍රීරෝද රථ රියදුරන්ගේ සා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහහතා පෙන්වා දේයි. ඔහු පෙන්වා දෙන ආකාරයට මේ හේතුවෙන් දුරබැහැර ත්‍රීරෝද රථ ගමන් වල නිරතවන ත්‍රීරෝද රථ රියදුරන් දැඩි අපහසුතාවයකට පත් වේ.

ලංකා තීරෝද රථකරුවන්ගේ වෘත්තීය සමිතියේ  සභාපති ලලිත් ධර්මසේකර මහතාද මේ හා සම්බන්ධව අදහස් දක්වයි.

"මේ වැඩේ සුදුසුයි ගෙදර, ගමේ ස්ටෑන්ඩ් එකේ ත්‍රීවිල් දුවන අයට. කොළඹ ත්‍රීරෝද රථ පදවන වෘත්තීය රියදුරන්, ඌබර්, පික් මී වගේ දුවන රියදුරන් කොහොමද මේක කරන්නේ. උදාහරණයක් විදිහට සමහරක් විට කැස්බෑව කෙනෙක් කොල්ලුපිටියේ අවට ත්‍රීවීල් එක දුවන්න  පුළුවන්. එතකොට රිසව් වැටුණොත් මොකද වෙන්නේ. ආයම තෙල් පුච්චගෙන ගමට එන්න වෙයි අර ඉන්ධන පිරවුම්හලට තෙල් ගහගන්න. ඇත්තටම මේක ප්‍රායෝගික නැහැ."

ලලිත් ධර්මසේකර මහතා පෙන්වා දෙන ආකාරයට වෘත්තීයමය තීරෝද රථ රියදුරා හඳුනාගෙන ත්‍රීරෝද රථ නියාමනය සම්බන්ධව වැඩ පිළිවෙළක් ජාතික ප්‍රවාහන කොමිසම විසින් මේ වනවිටත් සකස් කොට තිබේ. පළාත් සභා සමග එකතුව කඩිනමින් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතුය. මේ මොහොතේ රටේ පවතින තත්වය හේතුවෙන් ඉන්ධන පරිමාව ඇතුළු ගැටලු තමා ඇතුළු කණ්ඩායම් දරාගෙන සිටියද මේ ආදී ප්‍රායෝගික නොවන කටයුතු හරහා සිදුවන්නේ අනර්ථයක් බව ලලිත් ධර්මසේකර මහතා පෙන්වා දෙයි.

චමිඳු නිසල් ද සිල්වා