2022 අගෝස්තු 07 වන ඉරිදා

දඩයමකට මැදිවන අරගලයේ නායකයෝ

 2022 අගෝස්තු 07 වන ඉරිදා, පෙ.ව. 08:00 165

ගාලු මුවදොර සැබෑ අරගලයට සම්බන්ධ වූවන් අතර අරගලයට කළු පැල්ලම් එක්කළ සිදුවීම්ද එවැනි පුද්ගලයෝද වෙති. ජූලි 22 වැනිදා අලුයම අරගලකරුවන් ඉලක්ක කොටගෙන ආරක්ෂක අංශ මගින් ගත් පියවර සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය යොමුව පවතී. එවැනි තත්ත්වයක් තුළ අරගල ක්‍රියාකාරීන් ගණනාවක් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත.

මොවුන් බහුතරය අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ ගාලු මුවදොර අරගලයට සම්බන්ධ වී ඒ අතරතුර රජයේ පොදු දේපළවලට හානි කළේ යැයි කියන සිදුවීම් සම්බන්ධයෙනි. අරගලය අතරතුර ජූලි 9 වැනිදා දිනය තුළ ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය හා අරලිය ගහ මන්දිරය යන ස්ථාන වෙත බලහත්කාරයෙන් ඇතුළු වූ අරගලකරුවන් අතර පුද්ගලයන් දහසකගේ පමණ ඇඟිලි සලකුණු හඳුනාගෙන තිබෙන බවට පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි. 

රජයට අයත් පෞරාණික ගොඩනැගිලිවලට හා ඒවායේ තිබූ විවිධ දේපළවලට සිදුව තිබෙන හානිය පිළිබඳව සිදුකරන ලද විමර්ශනවලදී ඇඟිලි සලකුණු කාර්යාංශයේ නිලධාරීන් එයට සහය වී තිබිණි. පොලිස් ආරංචි මාර්ග වාර්තා කළේ එම ඇඟිලි සලකුණු අපරාධ ලේඛනාගාරයේ පවතින අපරාධකරුවන්ගේ ඇඟිලි සලකුණු හා සැසඳෙන බවට සෙවීමට විමර්ශන ක්‍රියාත්මක බවකි. මෙසේ ලබාගත් ඇඟිලි සලකුණු ආගමන විගමන දෙපාර්තමේන්තුවට ලබාදීමට කටයුතු කර ඇත්තේ සැකකරුවන් හඳුනාගන ඔවුන්ගේ විදෙස් ගමන් වළක්වාලීම සඳහාය.

මෙසේ ඇඟිලි සලකුණු ලබාගත් පිරිසට අමතරව සී.සී.ටී.වී. දර්ශන හා සමාජ මාධ්‍යවල ඇති ඡායාරූප හා වීඩියෝ ආශ්‍රිතව සැකකරුවන් හඳුනා ගැනීමට නියමිත අතර ඊට අදාළ සාක්ෂි සනාථ වුවහොත් ඔවුන් අත්අඩංගුවට ගන්නා බව පොලීසිය ප්‍රකාශ කර තිබේ.

මේ ආකාරයට අත්අඩංගුවට ගැනීම සඳහා තහවුරු කරගෙන සිටි සැකකරුවකු වශයෙන් නුවරඑළිය කළුකැලේ ප්‍රදේශයේ පදිංචි විදුරංග යසන්ත නැමැත්තා පිළිබඳ වාර්තා වේ. නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඔහුට එරෙහි වරෙන්තුවක් නුවරඑළිය පොලීසිය වෙත නිකුත්කර තිබුණි. ඒ අනුව සැකකරු සොයා නිවසට ගිය පෙලීසියට ඔහු හා සිටි තවත් තරුණ පිරිසක් හමුවී ඇත. ඔවුන්ද ගාලුමුවදොර අරගලයට සම්බන්ධ වී කටයුතු කළ අය බවට වාර්තා විය. අරගලයට සම්බන්ධ වූවන් පොලිස් අත්අඩංගුවට ගන්නා බැවින් මොවුන් මෙම නිවසේ සැඟවී සිටඇතැයි කියති. එම පිරිසද පොදු දේපළ හානි කළ පිරිසට අයත්දැයි සනාථ කරගන්නා තෙක් අත්අඩංගුවේ පසුවෙති. එම සැකකරුවන්, බිංගිරිය, පිටිපන දකුණ, ගොතටුව, නුවරඑළිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

අරගලයට සම්බන්ධ වී සිටි ඇතැමුන් විදෙස් ගතවීමට සූදානම්ව සිටියදී අත්අඩංගුවට ගැනීම සිදුකෙරුණි. ඉකුත් 26 වැනිදා ඩුබායි වෙත පිටත්ව යාමට සූදානමින් ගුවන් යානයක සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ රොෂාන් අලී ධානිෂ් අලී නැමැත්තෙකි. මොහු පසුගිය ජූලි 13 වැනිදා ශ්‍රී ලංකා රෑපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුල් වී එහි මාධ්‍යවේදීන් හා කාර්ය මණ්ඩලය බියට පත්කර තර්ජනය කරමින් සජීවී රෑපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වීමේ සිද්ධියේ එක් සැකකරුවෙකි. ඔහු හා ඊට සම්බන්ධ වූ අනෙක් පුද්ගලයා කැලුම් අමරසිංහ නැමැත්තෙකි. සිදුවීම සම්බන්ධයෙන් කොළඹ කුරුඳුවත්ත පොලීසිය විමර්ශන සිදුකළේය. ඒ අනුව සැකකරුවන් දෙදෙනාට එරෙහිව විදෙස් ගමන් තහනමක් අධිකරණය හරහා ලබාගැනීමට කටයුතු කෙරිණ.

ජූනි 9 වැනිදා පොලිස් මූලස්ථානය අසළ විරෝධතාවකදී පොදු දේපළවලට හානි කිරීමේ සිදුවීමටද ධානිෂ් අලි සැකකරුවෙකි. මීට අමතරව ජනාධිපති ලේකම් කාර්යාලය හා මුදල් අමාත්‍යංශය වෙත පිවිසෙන දොරටු අවහිර කර අයුතු ජනරාශියක සාමාජිකයකු ලෙස හැසිරීම හේතුවෙන් මොහු ඇතුළු තවත් 21 දෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා ඇත. රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති නිදහස් මාධ්‍යවේදී ඇන්තනී වේරංග (27) ජූලි 27 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය. අධිකරණ නියෝග කඩකරමින් අයුතු ජනරාශියක සාමාජිකයකු ලෙස කටයුතු කිරීම හා රජයේ දේපළවලට හානි කිරීම ඔහුට එරෙහිව ඇති චෝදනායි.

මේ අතර අරගලයේ ආරම්භක සාමාජිකයකු බව කියන විදේශයක සිට පැමිණි පැතුම් කර්නර් කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයෙකු බව පැවසේ. ජූලි 13 වැනිදා පාර්ලිමේන්තුව ඉදිරිපිට පොල්දූව මංසන්ධිය අසල විරෝධතාව මෙහෙයවීම, මාර්ග බාධක බිඳ හෙළීම, කලහකාරී සිදුවීම්වලට සම්බන්ධ වීම යන චෝදනා ඔහුට එරෙහිව පවතී.

මේ අතර අරගලයේ කැපී පෙනෙන චරිත වූ රතිඳු සේනානායක හෙවත් රුට්ටා, ලහිරු වීරසේකර, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් අවස්ථා කිහිපයකදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සිදුකර ඇත. අරගලයේ ප්‍රධානීන් හා ඊට සබඳතා දැක්වූ පිරිස් දිවයින පුරාම අත්අඩංගුවට ගන්නා පසුබිමක ජූලි 9 වැනිදා ජනපති මැඳුරට ඇතුල් වී එහි තිබූ බීර බෝතලයක් පානය කර ඒ සඳහා භාවිත කළ වීදුරුව සොරාගැනීම සම්බන්ධයෙන් සැකකරුවකු වැල්ලව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම බලහත්කාරයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට ප්‍රථමයෙන් ඇතුල් වූ පුද්ගලයා හඳුනාගෙන අත්අඩංගුවට ගෙන තිබේ. එම ස්ථානයේ තිබූ ජනපති කොඩිය ගලවා සරමකට භාවිතා කිරීම සම්බන්ධයෙන් එක්තරා දේශපාලන පක්ෂයක වෘත්තීය සමිති නායකයකුද ජනාධිපතිවරයාගේ සුවපහසු ආසනයේ හිඳ ඡායාරෑපයකට පෙනී සිටි තරුණ අරගලකරුවකුද අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියාකර ඇත.

ඇතැම් පාර්ශ්ව මගින් හුවා දක්වන තරමේ දේපළ හානියක් අරගලකරුවන් විසින් සිදුකර නැති බව ඇතැමුන්ගේ අදහසය. විවිධ චෝදනා නගමින් අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම පසුපස වෙනත් බලවේගයක් ක්‍රියාත්මක බව ජනතාව කියා සිටිති. ජෝශප් ස්ටාලින් ඇතුළු වෘත්තීය සමිති නායකයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමෙන් එය පැහැදිලි වන බව ඔවුහු පෙන්වා දෙති. මේ අතර බොහෝ පාර්ශ්ව පෙන්වා දෙන්නේ ජනපතිවරයා ප්‍රමුඛ රජයට සර්වපාක්ෂික ආණ්ඩුවක් සෑදීමේ අවංක චේතනාවක් ඇත්නම් විවිධ චෝදනා නගමින් සාමකාමී අරගලයක යෙදුණු තරුණ අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම වහාම නැවැත්විය යුතු බවය.

 සමන්ත විල්තෙර