2022 අගෝස්තු 07 වන ඉරිදා

මහ ඡන්දයක් ඕනලු! එපාලු!

 2022 අගෝස්තු 07 වන ඉරිදා, පෙ.ව. 08:00 44

මේ දිනවල දේශපාලනයේ වැඩිම කතාබහ ඇතිව තිබෙන්නේ සර්වපාක්ෂික ආණ්ඩුව ගැනය. ජනාධිපතිවරයාත් විවිධ පක්ෂත් නිතර කතා කරන්නේ මෙකී සර්වපාක්ෂික ආණ්ඩුව හැදීම ගැනය. එහෙත් එය තවමත් ඇදී ඇදී යන්නේ නිසි විසඳුමකට කිසිම පාර්ශ්වයකට එන්න නොහැකිවීම මතය.

කෙසේ වෙතත් මේ අවස්ථාවේ තවත් පිරිසක් සඳහන් කරන්නේ වර්තමාන ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් ජනවරමක් නොමැති බැවින් වහාම මැතිවරණයකට යා යුතු බව කියාය. එසේ නොමැතිව රට පාලනය කිරීම ජනවරමට පිටුපෑමක් බව පිරිසක් සඳහන් කරති. ඒ නිසා ඉක්මනින් මැතිවරණයකට හෝ මැතිවරණයකට යන දිනයක් වර්තමාන ජනාධිපතිවරයා විසින් රටට දැනුම් දියයුතු බව ඒ පිරිසගේ මතය වී ඇත. එහෙත් මේ මොහොතේ රටේ ඇතිව තිබෙන ආර්ථික අවුලත් සමඟ මැතිවරණයකට යා නොහැකි බවත් තවත් පිරිසකගේ මතය වී ඇත. එසේ නම් මැතිවරණයක් පැවැත්විය හැකිද? නොහැකිද යන්න අප දේශපාලන ක්ෂේත්‍රයේ වගකිවයුත්තන්ගෙන් විමසා බැලුවෙමු.

මම ඉන්නෙ මැද තැනක

අනුර ප්‍රියදර්ශන යාපා 

පාර්ලිමේන්තු මන්ත්‍රී

ඒක ගැන මගේ අදහස පනහට පනහා වගේ තියෙන්නේ. මැතිවරණයකුත් අවශ්‍යයි. ඒ වගේම මැතිවරණයකට යන්න සුදුසු ආර්ථික පරිසයකුත් මේ මොහොතේ රටේ නෑ. දැන් මේ ආර්ථික ප්‍රශ්නය විසඳන්න සැලසුමක් නැතුව මැතිවරණයකට ගියොත් වෙන්නේ එන ආණ්ඩුවටත් මේ ආර්ථික අවුල එහෙමම එන එක. පවතින ජනමතය මත ඡන්දයකට ගියොත් ජනතාවගේ කැමැත්ත, වේදනාව, කෝපය මත ඔවුන් කැමති පිරිස තෝරගන්න පුළුවන්. ඒ තෝරාගැනීම හරි වුණොත් හොඳයි. එහෙම නැතිවුණොත් වෙන්නේ මාර අවුලකට යන එක. මොකද එන කණ්ඩායමට ආර්ථිකය සම්බන්ධයෙන් දැක්මක් අවබෝධයක් නැති පිරිසක් වුණොත් ඒ අවදානමත් ජනතාවට දරන්න වෙනවා. ඒ නිසා මේක සංකීර්ණ අවස්ථාවක්, මම දකින්නේ මේ වෙලාවේ මේ ආර්ථික අවුල විසඳගන්න සාමුහිකව එකතුවෙලා කටයුතු කරන්න ඕන. ඊටපස්සේ මැතිවරණයකට යන්න ඕන.

ඡන්දයක් ඕනෑ

නලින් බණ්ඩාර

පාර්ලිමේන්තු මන්ත්‍රී (සමගි ජනබලවේගය)

මේ වෙලාවේ මැතිවරණයක් අවශ්‍යයි. මොකද මේ තියෙන තත්ත්වය එක්ක තවදුරටත් ආණ්ඩුවට කරගෙන යන්න බෑ. හේතුව ජනවරමක් නැතිකම. ඒ මැතිවරණයට යනකල් සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න ඕන. එහෙම නැතුව මේ ආණ්ඩුව පොහොට්ටුවේ ජනවරමත් එක්ක කටයුතු කළොත් වෙන්නේ ජනතා විරෝධය ආයේ ඉදිරියට එන්න පුළුවන්. ඒ නිසා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදලා මෙන්න මේ කාලය වෙනකල් රට පාලනය කරලා, මෙන්න මේ දවසේ මැතිවරණයකට යනවා කිව්වා නම් මේ ප්‍රශ්නය ඉවරයි. එහෙම නැතුව එක එක අය අරගෙන ඇමතිකම් දීලා සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදුවේ කියලා මිනිස්සු රවට්ටලා යෑමෙන් වෙන්නේ, ආණ්ඩුව බලය රුකගන්න කටයුතු කරනවා මිසක් රට හදන්න බලය යොදවන්නේ නෑ.

අනුන්ගේ ඔටුන්නක් දාගෙන රට හදන්න බැහැ

සුනිල් හඳුන්නෙත්ති

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී (ජනතා විමුක්ති පෙරමුණ)

අපි කියන්නේ මැතිවරණයක් ඕන. මොකද මේ ජනාධිපතිවරයත්, ආණ්ඩුවත් ජනවරමක් නැති ආණ්ඩුවක්. මේ ජනාධිපති සහ ආණ්ඩුව පැළඳන් ඉන්නේ පොහොට්ටුවේ ජනවරම. ඒත් එළියේ ජනමතය තියෙන්නේ අන්න ඒ ජනවරමට එරෙහිව. එහෙනම් වර්තමාන පාලකයටත් ආණ්ඩුවටත් කිසිම අයිතියක් නෑ අරගලය විසින් ප්‍රතික්ෂේප කරපු ජනවරම නියෝජනය කරන එක. ඒකෙන් වෙන්නේ ජනතාවට මේ පාලකයා ආණ්ඩුව වගවීමක් නෑ. හේතුව ඡන්දයෙන් නෙමෙයිනේ පත්වුණේ. එහෙම නොවුණම මේ පාලකයා කරන්නේ තමන් කැමති දේවල්. ජනමතයට එරෙහි දේවල්. ගෙම්බෝ අහුලනවා වගේ කට්ටියක් අල්ලගෙන ආණ්ඩු අටවගෙන ජනමතය නියෝජනය කරන එක ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩක්. ඒක නවත්තන්න ඕන. අනුන්ගේ ඔටුනු දරාගෙන රටවල් හදන්න බෑ. ඒක මේ පාලකයෝ ඉගෙන ගන්න ඕන.

මැතිවරණ නොවේ: සර්ව පාක්ෂික ආණ්ඩුවයි ඕනෑ

මහින්ද අමරවීර

කෘෂිකර්ම අමාත්‍ය

මේ වෙලාවේ මැතිවරණයකට යන එක නෙමෙයි කරන්න ඕන පාර්ලිමේන්තුවම එකතුවෙලා සර්වපාක්ෂික ආණ්ඩුවක් වෙලා මේ රට හදන එක. ඒ වගේම මැතිවරණයකට යන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරැ කැමති වෙන්න ඕන. ඒකට 113ක් ඕන. එහෙම නැතුව මැතිවරණයකට යන්න බෑ. ඒ වගේම මැතිවරණයකට යන්න කෝටි 1000ක් වගේ යනවා. මේ වෙලාවේ ඒත‍රම් මුදලක් හොයාගන්න එකත් අමාරැයි. ඒ නිසා මම කියන්නේ දැන් කරන්න ඕන හැමෝම එකතුවෙලා මේ රට හදන එක. බෙදිලා වෙන්වෙලා මරාගෙන වැඩක් නෑ. පාර්ලිමේන්තුවම එකම ආණ්ඩුවක් වෙලා මේ රට හදන්න ඕන කියන එකයි මගේ අදහස.

 ගයාන් ගාල්ලගේ