2022 අගෝස්තු 07 වන ඉරිදා

ඇඳේ ඉඳන් යාල සතුන් බලන්න පරණ තොටුපොළ බංගලව

 2022 අගෝස්තු 07 වන ඉරිදා, පෙ.ව. 08:00 267

අලි බැලිල්ලත් බලි බැලිල්ලත් කොපමණ කළත් එපා නොවන වැඩකි. මේ නිසා අපේ රටේ සංචාරකයන් සේම විදේශීය සංචාරකයෝද අලි බැලීමට අපේ ජාතික වනෝද්‍යානවලට වැල නොකැඩී ඇදී එති. අලි පමණක් නොව වෙනත් වන සතුන්ද දැකබලා ගැනීමටත් සොබා සුන්දරත්වයේ රස විඳීමටත් බොහෝ සොබා රසික සංචාරකයෝ වනෝද්‍යාන තුළ සංචාරක බංගලාවක රුය පහන් කිරීමට දක්වන්නේ ලොකු කැමැත්තකි.

දහවල් කාලයේ වනාන්තරයේ ජීප් රථයක ගමන් කරමින් වනසතුන් නරඹා එම වනයේම පිහිටි සංචාරක බංගලාවක ගත කිරීමට ඉඩ ලැබීම සොඳුරැ අත්දැකීමකි. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජාතික උද්‍යාන 26ක් ඇති අතර ඒ අතරින් බොහෝ ප්‍රමාණයක සංචාරක බංගලා පහසුකම් සලසා තිබේ. ඒ අතරින් ලංකාවේ ප්‍රකටම වනෝද්‍යානය වන්නේ යාල වනෝද්‍යානයයි. එයට වාර්ෂිකව වැඩිම දෙස් විදෙස් සංචාරක පිරිසක් පැමිණෙති. මේ වනවිට එහි සංචාරකයන් සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් බංගලා හතක් තිබේ. එම සියල්ල සඳහාම ඇත්තේ ඉහළම ඉල්ලුමකි. මේ නිසා දෙස් විදෙස් සොබා රසිකයන්ට තවත් අපූරැ අත්දැකීමක් විඳ ගැනීමේ පහසුව සලසමින්  පරණ තොටුපළ නිවාඩු නිකේතනය වනජීවී හා වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර අතින් පසුගිය සතියේ විවෘත කෙරිණි. වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මීට වැයකර ඇති මුදල රුපියල් මිලියන 100කි.

මෙය අනෙක් වනජීවී නවාතැන්වලින් වෙනස් ආකාරයට නවීන සැලසුමකට අනුව ඉදිකර තිබේ. එහි නවාතැන් ගන්නා අයට නිදියහනේ සිටම රාත්‍රී කාලයේ ඒ අවට සැරිසරන වනසතුන් පවා නැරඹීමට හැකිය. වනාන්තරයේ විශාල අවකාශයක් පෙනෙන පරිදි සැලසුම් කළ විවෘත නැරඹුම් මැදිරි පහසුකම්ද මෙහි ස්ථාපිත කර තිබීම එයට හේතුවයි. යාල අනෙක් බංගලාවලටත් වඩා වැඩි සංචාරක කැමැත්තක් මෙම නවාතැනට හිමිවන බව නිසැකය.

පරණ තොටුපොළ සංචාරක නිකේතනය විවෘත කරමින් අදහස් පළකළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ  රටේ ඩොලර් අර්බුදයක් පවතින බැවින් විදේශීය සංචාරකයන් නිවාඩු නිකේතන වෙන්කරන විට ඩොලර් වලින් මුදල් අය කිරීම සඳහා උපදෙස් දුන් බවයි. එමෙන්ම යාල වනෝද්‍යානයේ වාහන පහසුකම් සපයන සෆාරි රියැදුරන් දැනට මුහුණ දී සිටින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුවට වහාම විසඳුම් ලබා දීමටද අමාත්‍යවරයා එහිදී එකඟත්වය පළ කළේය. ඒ අනුව ඔවුන්ට අවශ්‍ය ඉන්ධන කතරගම ලංගම ඩිපෝව මඟින් සපයා ගැනීමට පහසුකම් සැලසීමට ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරන බවද මහින්ද අමරවීර සඳහන් කර සිටියේය.

මෙම සංචාරක බංගලා වෙන්කර ගැනීමත් ලෙහෙසි පහසු වැඩක් නොවේ. ඒවාට එතරම්ම ඉහළ ඉල්ලුමක් පවතී. වෙන්කර ගැනීම් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ  811A, ජයන්තිපුර, බත්තරමුල්ල පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් අයැදුම්පතක් ලබාගෙන ඉදිරිපත් කිරීමෙන් කළ යුතුය. සතියේ දිනවල පෙ.ව. 9.00 සිට සවස 3.00 දක්වා අයැදුම්පත් ඉදිරිපත් කළ හැකිවේ. සේවා භාර මාණ්ඩලික නිලධාරී ලෙස කටයුතු කරන්නේ නියෝජ්‍ය අධ්‍යක්ෂ - ආගන්තුක සේවා කළමනාකාරවරයායි. 

යාල බංගලාවලට අමතරව වනෝද්‍යානය අසල සංචාරක නිකේතන රාශියක්ද පවතී. එත් අපේ සොබාදම් ලෝලීන්ගේ එක් සිහිනයක් වන්නේ වනාන්තරය තුළ රැයක් ගතකිරීමයි. කොළඹ නගරයේ සිට කි.මී. 300ක් දුරින් පිහිටි යාල වර්ග කි.මී. 979ක විශාලත්වයෙන් යුත් වනාන්තරයකි. අලියා මෙන්ම දිවියාද මෙහි සුලබය. තිත් මුවන් දැකගත හැක්කේ විශාල රංචු වශයෙනි.

2004 දෙසැම්බර් 26 දින සිදුවූ සුනාමි ව්‍යසනයෙන් යාල සංචාරක බංගලාවලටද හානි සිදුවිය. පසුව යළිත් ඒවා ඉදි කෙරිණි. නව සංචාරක බංගලාවත් සමඟ අද යාල සංචාරක බංගලා අටක් පවතී.  මේ සෑම බංගලාවකම පුද්ගලයන් 10 දෙනකුට නවාතැන් ගැනීම සඳහා පහසුකම් පවතී.

ඒ අතරින් හීන්වැව සංචාරක බංගලාව නිසංසල ඉසව්වක පිහිටි ගොඩනැගිල්ලකි. එයට නුදුරින් පිහිටා ඇත්තේ හීන්වැව ජලාශයයි. නියඟයකදී වුවද එහි ජලය ටිකක් ඉතිරිව පවතී. මේ නිසා රැයේදී වැවට දියබීමට වනසතුන් විශාල සංඛ්‍යාවක් පැමිණෙති.  මහාසීලව සංචාරක බගංලාව, නව බුතව, පැරණි බුතව බංගලා පිහිටා ඇත්තේ බුතව වැවට ආසන්නවය. බුතව වැව අනුරාධපුර යුගයේදී සිතුල්පව්ව විහාරයේ වැඩසිටි භික්ෂූන් වහන්සේගේ පැන් පහසුව සැලසූ ගුතවිය වැව ලෙස සැලකේ. මෑතකදී වන සතුන්ගේ දිය පිපාසය නිවීමට වැව විශාල කර ඉදිකර ඇත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. බුතව කලපුවක්ද පිහිටා තිබේ. තල්ගස්මංකඩ, වරහන  අනෙකුත් බංගලාවන අතර ඒවාද තනා තිබෙන්නේ වනයේ සුන්දර ඉසව්වල වේ. ඔන්ඩච්චි බංගලාව මෑතකදී ඉදිකළ එකක් වන අතර එය දෙමහල්ය. මේ සෑම බංගලාවක්ම සොබාදහමට බාධා නොවන සැලසුමකින් යුක්තව ඉදිකර තිබේ.

අග්නිදිග ආසියාවේ චමත්කාරජනක වනෝද්‍යානවලින් එකක්‌ වන හුණ ජාතික වනෝද්‍යානය හෙවත් යාල ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ ප්‍රකාශිත ප්‍රථම වනජීවි ආරක්‍ෂිත ප්‍රදේශය ලෙස වර්ෂ 1900 මාර්තු මස 23 වැනි දින ප්‍රකාශයට පත් කෙරිණි.  වත්මන් යාල ජාතික වනෝද්‍යානය කොටස්‌ පහකින් යුක්‌තය. මෙම කොටස්‌ පහ සමග උද්‍යානයේ විශාලත්වය හෙක්‌ටයාර 126786කි. වර්ෂ 1938 දී හෙක්‌ටයාර 14102.99කින් යුත් පළමු කොටස හෙවත් Block i ද, වර්ෂ 1954 දී හෙක්‌ටයාර 9907.78කින් යුත් දෙවැනි කොටස හෙවත් Block ii ද, වර්ෂ 1964 දී හෙක්‌ටයාර 40775.63කින් යුත් තුන්වැනි කොටස හෙවත් Block iii ද, වර්ෂ 1969 දී හෙක්‌ටයාර 26418.81කින් යුත් හතරවැනි කොටස හෙවත් Block iv ද, වර්ෂ 1973 දී හෙක්‌ටයාර 665650කින් යුත් පස්‌වන කොටස හෙවත් Block v ද ප්‍රකාශයට පත් කර ඇත. මෙහි දැඩි රක්‍ෂිත ප්‍රදේශයක්ද ප්‍රකාශ කර ඇති අතර එයට හෙක්‌ටයාර 28905ක්‌ අයත්ය.

 කුසුම්සිරි විජයවර්ධන